එජාප හා සජබ එකතුව වෙනුවෙන් පක්ෂ නායකත්ව අත්හරින්න රනිල් සූදානම් ?

එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පසුගිය (17වැනිදා) දැනුම් දී තිබේනවා.පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය එදින පස්වරුවේ රැස්වුණා.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු කමිටුවක් පත් කර ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේග පාර්ශවයේ කටයුතු මෙහෙයවනු ලබනවා.

එම සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් නිල වාර්තාවක් තවමත් තමාට ලැබී නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වා තිබෙනවා. අදාල සාකච්ඡා ඉතා ඉක්මනින් අවසන් කළ යුතුව ඇතැයිද තවදුරටත් මන්දගාමීව ඇදගෙන යෑමට කාලයක් නැතැයිද ඹහු දැනුම් දී ඇති බවයි වාර්ථා වන්නේ.

ලබන වසරේ සිට විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු වන හෙයින් ඉහත සාකච්ඡා කඩිනම් කරන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු යැයි එම සාකච්ඡා වලදී එකඟතාවයකට පැමිණියහොත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට එය ගැටළුවක් නොවේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණා.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවාට තමාද කැමති බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇති අතර අදාළ සාකච්ඡා වලදී රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත් හෝ වෙනත් අයකුට නායකත්වය දිය යුතු යැයි යෝජනාවක් පැමිණියහොත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට කිසිම ගැටලුවක් නැතැයිද වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ඒ අනුව එවැනි එකතුවක් සඳහා තමා ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවද එජාප නායකයා ප්‍රකාශ කර ඇති බවයි වාර්ථා වන්නේ. ” මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් හිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි. ඒ වගේම රට අසීරුම මොහොතකට පත් වූ අවස්ථාවේ රට බාරගෙන ඉහළට ඔසවා තබන්නට කටයුතු කළා. ඒ නිසා මේ අත්හැරීම මට ගැටලුවක් නොවේ. හැබැයි මෙය ඉක්මනින්ම ඉවර කළ යුතුයි” යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට වැඩි දුරටත් පවසා තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *