මකුළු මහත්මියකගේ පැමිණිල්ල..

කොසු පහර හරි සැරයි නෝනා
එක් සැනින් මුළු කැදැල්ලම
අතුගාල බිම ඇදල දමනා
අනවසරයෙන් තමයි
මම බැන්ඳෙ මගෙ ගේ
ඒ වුණත් මම කියා
වෙන කොහේ යන්නද…
අව් වැසි මහ සුළං පීඩා
ඉවස ඉවසා බැරිම තැනමයි
ඔබෙ වහල යට
ඉඩ ගන්න සිතුවේ…
සිසිලසයි හරි සනීපයි
පැටවුන්ට වුණත් හරි හොඳයි
ඔබේ ගේ මගෙ කැදැල්ලට
කදිමය කියාමයි හිතුණෙ මට..
ඉඩ ගන්න පෙර විමසා බලන්නට
ඔබෙන් අනුමැතිය ගන්නට
බැරිවුණා ඒ ඉතින් ඇත්තයි
ඉතින් දැන්වත් සමා වෙනවද
මගේ පැටවුන් බෝමයක් ඇති
තවම උං ඇස් ඇරලවත් නැති
සුදුම සුදු ඔය දැල් පසුම්බිය
විතරවත් මට තියල යනවද….
පැමිණිලි බසක් හෙම කියනවා නොවෙයි මම
කොසු පහර ඔබෙ හරි සැරයි නොවැ
මකුළු අඩුවකුත් මගෙන් නාහම
ගෙන ගියේ ඔබ මොකට ගන්නද
ඒ වුණත් මට තවම දිරි ඇත
තියා යයි නම් මගෙ පැටව් ටික
බඩ බැදන් මම අදම දැන්මම
නික්ම යන්නම් ආයෙත් නොඑන්නම….
අවන්හල – මහේෂ් රත්නායක
නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත…..

හද කලම්ඹන නෙතු විකල්වන නුඹේ රුව මත පතිත සඳ සේ
දෙතොල් පොපියන වතත් රතුවන හැඟීමක් මැද රඟන බිඟු සේ
රැලිත් නොනගින විලත් හඬවන හමායන සැඩ මාරුතය සේ
කොහේ සිට නුඹ පාවුනිද මෙහි මගේ දිවියේ අයිතිකරු සේ
පාවෙනා සුළඟත් නිසලවන දිදුලනා නුඹේ නීල දෙනයන
කැල්ම දරනට බැරුව ලතවෙන මගේ සිතුවිලි මන විකල්වන
සරණ සොයනට නුඹේ උණුසුම සියළු සසරෙම සොයා ලතවෙන
වැළඳ ගන්නට තවත් ඕනෙද සිතන්නට කල් මාව අවුලන
කල් බලගන දෙතොල පිනවන මදුවිතක් වුන නුඹේ වදනට
නෙතු පිනායන සිතුවමක් වුන දූල කැල්මක රැඳුන උවනට
මටද මාවත් අමතකව යන සිත නිවාලන ලතෙත් සෙනෙහෙට
උරුම අයිතිය මටම දෙනවද හොවා ඔසු මේ හද උමතුවට
කටුසු හදවත
https://katusuhadawatha.blogspot.com
හුයන්නනී

හුයන්නනී
හැන්ද අතැති
ඇතිවෙන්න බෙදාගෙන කාපල්ලා
ඈඳිගෙන
කුස්සියේම
මහ බංකුවේ…
ps:
හුයනවා = උයනවා, අරක්කැමියා, කෑම හදන cook
හුයන්නනී = cooks
හෝටලේ මුදලාලි කවදත් හොඳින් සලකන්නේ කුක්ලාට
ගල්මල් – Coral
ලාබයක් නැති ආදරේ | pure love?

හොඳටෝම වෙහෙසවී
එයා එනකොට ගෙදර,
ජනේලෙන් බලාගෙන
ඉන්නවා දුකෙන් මම…
කකුල උඩ – නිකට
ඇස්දෙක ඔහුගේ – ඇස්වල
හොයනවා මම
‘කෝ දැන් ඇතිය’ කියනතුරු
(පොඩ්ඩක් තරහ ගත්තද.)
එලෙව්වට වතාවක්
දන්නවා ආයේ හැරී බලනවග ,
ඉතින් මම පස්සෙන්
එනව ඇඳ ගාවටම…
‘අද දවස කොහොමද?
ඔයා උන්නම හදවතේ
මට නම් නෑ කිසිම පාළු…
දැක්ක එක ලොකු දෙයක්
මාත් එක්කම නේද යාළු ?’
කමක් නෑ හෙට උදේ
බත්ම කනවා ඔන්න..
මට බෑනේ කන්න දැන්
එයාටත් ඇති බඩගින්න..
මොකක් තිබුනත් ඉතින්
ඔයා මගෙනේ ඉතින්!
(බල්ලෙකුගේය මේ හදවත)
මන්ජි
https://kadadasikole.blogspot.com
එක් වරක් දෑත දිගුකර කැඳවනු හැකිද මා එහි…

මේ තණ තිල්ල
ඒ එදා ඔබ පයට පෑගුණු
තණ පලසම ද?
තෘණ පතින් පත දැවටී
සිලිලන පිනි කැටිති
ඔබේ ළය පෑරී ගලා ආ
කඳුළක හැඩය ගති…
තුරු අගිසි මත ඉසිඹුලන
රූරා හැලෙන සඳ වතුර
ළදළු පත් සසලවා
සුසුම් ලන නළ රැළි
එදත් මේ ලෙසම සසැළුණිද,
ජීවිතය අයදින සරින්,
වැව් දිය සරැළි බිඳි බිඳී
නගනා මුණු මුණුව
ඒ එදා මැදියමේ
‘දිය කර හරිමි ජීවිතය මී විතක‘
ඔබ පැවසූ වදන්
නිහඬව අසා උන්නෙද?
ඒ එදා ඔබ අද කොහිද?
ඒ එදා මමම ද අද මෙතැන
ඔබ ද නැත
මම ද ඒ එදා උන් මා නොවේ
කාලය ඉක්ම යයි
වේදනාවේ ගං දියෙහි එති එතී
රළු රළ සුලි සමඟ හැපි හැපී
යනු මිස එනු නැති
සන්තුෂ්ටියේ සේයා
අන්ධ අඳුරට මුහු වෙවී
කියන්න මට,
ජීවිතේ දුර්ග කඳු වැටියෙන් ඔබ
මරණයේ මිටියාවත කෙලෙසින්ද
සෙවූ සැනසුම් හමුවිණි ද?
මී විතක් තරමින්ම ඉමිහිරි
මත් බවේ මායාවක්ද එය?
එක් වරක් දෑත දිගු කර
කැඳවනු හැකිද මා එහි
සුළු ඉඩක් වෙන් කර
දිය හැකි නම් පමණක්
ඔබ අසල…
තරුරසී


