
ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 30 වැනිදා ආදායම් දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ සංචාරයක නිරතවුනා. වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ එම දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් එම දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බලමින් කාර්ය මණ්ඩලය සමග හමුවකට එක් විය.
වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස්කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවත්, එය මේ වසරේ ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 33ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමක් බවත්, එය පෙර වසරේ උපයා ගත් ආදායමට සාපේක්ෂව 15%ක වර්ධනයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීය.
රජය අපේක්ෂා කළ ආදායම අභිබවා ඉහළ ආදායමක් ලබාදීම පිළිබඳව මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියටද සියලුදෙනා එකම අරමුණක් ඔස්සේ කටයුතු කරමින් රටට අවශ්‍ය ආර්ථික පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට කැපවෙමු යැයි සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.
බදු නොගෙවා සිටීමේ වරප්‍රසාදයක් කිසිවෙකුට හිමි නොවන අතර, පුද්ගල, ඥාති සහ දේශපාලන සබඳතා මත බදු සංස්කෘතිය ක්‍රියාත්මක වූ යුගය අවසන්ව ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා බදු පැහැර හැරීම් සිදුකරන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.
බදු අය කර ගැනීම මර්දනයක් හෝ බලහත්කාරයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය රාජ්‍යයක හිමිකම බවත්, එම දායකත්වය ලබාගැනීම වෙනුවෙන් නීති, අණපනත් සහ තනතුරු නාමවල මෙන්ම කාර්යමණ්ඩලවලද කළයුතු වෙනස්කම් සිදු කරන බවත් සඳහන් කළේය.
මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ රටේ ජනතාවට ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලැබූ මෙම සාර්ථකත්වයට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාව සහ කැපවීම හේතු වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
2026 වසර සඳහා රුපියල් බිලියන 2401ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති බවත් බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු පදනම පුළුල් කිරීම ආදී වැඩපිළිවෙළ මගින් එම ඉලක්කය සපුරා ගැනීමට අපේක්‍ෂා කරන බවත් ඇය සඳහන් කළාය.
මේ අතර ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර බවට 2025 වසර පත්ව තිබෙන බවත්, ඒ අනුව අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 2115ක ඉලක්කය අභිබවා ගොස් තවත් රුපියල් බිලියන 300ක පමණ අතිරික්ත ආදායමක් සමඟ 2026 වසර ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.පී. අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එහි අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ සමග සාකච්ඡාවක නිරත විය.
රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා දෙමින් රටේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කර සිටියේය.
එමෙන්ම රටට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නව සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු’යි සියලුදෙනාට ආරාධනා කළේය.
2022 වසරේදී සිදු වූ ආර්ථිකමය බිඳ වැටීමට ආණ්ඩුවට අවශ්‍ය රුපියල් ප්‍රමාණය නොලැබී යාම සහ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොමැති වීම හේතු වූ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට මේ වන විට රජයට හැකි වී තිබෙන බවත් පසුගිය ආපදා තත්ත්වට මුහුණ දීමේදීද එය ශක්තියක් වූ බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ කාර්යසාධනය සහ ප්‍රගතිය, 2026 වසරට අදාළ නව සැලසුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳ නව අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.
එමෙන්ම, ශ්‍රී ලංකා රේගුව ඩිජිටල්කරණය වෙනුවෙන් 2026 වසරේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම්, උසස් වීම්, පුහුණු වීම සහ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුද සාකච්ඡා කෙරුණි.
රට තුළ අස්ථාවත්වරයක් නිර්මාණය කිරීමේ උපක්‍රම සහ සැලසුම් දිගින් දිගටම ක්‍රියාත්මක වන බැවින් එවැනි අවස්ථා නිර්මාණය කිරිමට ඇති ඉඩ ඇහිරීමේදී ගුවන් තොටුපොළ ආශ්‍රිත සේවා ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉදිරි අභියෝගයන්ට මුහුණ දිය හැකි අන්දමින් සහ රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ ඇති වගකීම හඳුනා ගනිමින් එහි කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එන්. හපුගල යන මහත්වරු සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී අරුක්ගොඩ මහතා, අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


