ලෝක කුසලාන පාපන්දු තෑගි මුදල සියයට 50කින් වැඩිවෙයි.

මේ වසරේ එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුළු ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 655ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 20234ක්) පමණ වන බවට ගණන් බලා තිබෙනවා. එය මෙයට පෙර කටාර්හි පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුළු ත්‍යාග මුදලට වඩා සියයට 50ක වැඩිවීමක්.

ලෝක කුසලාන පාපන්දු ශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 50ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1544ක්) පිරිනැ‍‍මෙන අතර, අනුශූරයන්ට අමෙරිකානු ඩොලර් මිලියන 33ක්, තෙවැනි ස්ථානයට අමෙරිකානු ඩොලර් මිලියන 29ක්, සිවුවැනි ස්ථානයට ඩොලර් මිලියන 27ක්, 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ඩොලර් මිලියන 19ක්, 9 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා ඩොලර් මිලියන 15ක්, 17 වැනි ස්ථානයේ සිට 32 වැනි ස්ථානය දක්වා ඩොලර් මිලියන 11ක්, 33 වැනි ස්ථානයේ සිට 48 වැනි ස්ථානය දක්වා ඩොලර් මිලියන 9ක් ප්‍රදානය කිරීමට ෆීෆා තීරණය කර තිබෙනවා. පසුගිය වතාවේ ශූරතාව සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 42ක මුදලක් පිරිනැමුණා.

කණ්ඩායම් 48ක් සහභාගි වන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මෙය වනවා.

ෆීෆා සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා මාධ්‍ය වෙත පැවසුවේ මෙවර ලෝක කුසලානය “ගෝලීය පාපන්දු ප්‍රජාවට මූල්‍යමය දායකත්වය අතින් තීරණාත්මක” එකක් වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *