නව වසරේදී අන්තර්ජාතික පිටියේ ප්‍රධාන තරගාවලි 26ක්

වසර 4කට වරක් උදා වන පාපන්දු ලෝක කුසලානය, කාන්තා හා පිරිමි විස්සයි20 ලෝක කුසලානය ඇතුළුව මේ වසරේදී අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ කැපීපෙනෙන තරගාවලි 26ක් පැවැත්වීමට නියමිතය. නව වසර උදාවත් සමඟ එංගලන්තයේ ගාඩියන් පුවත් සේවය විසින් පෙළගස්වනු ලැබූ එම තරගාවලි ලැයිස්තුවට අනුව ටෙනිස්, රග්බි, ක්‍රිකට්, මෝටර් රේසිං, මලල ක්‍රීඩා, ගොල්ෆ්, ස්නූකර්, මැරතන්, තුරඟ තරග සහ පාපැදි තරග ඊට ඇතුළත්ය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සහ ශීත ඍතු ඔලිම්පික් උලෙළද පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේදීය.

නව වසරේ පළමු අන්තර්ජාතික තරගාවලිය සුපුරුදු පරිදි පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙනි. ලෝක ටෙනිස් පිටියේ ප්‍රධානතම වාර්ෂික තරගාවලි 4න් පළමුවැන්න වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවලිය ලබන 12 වැනිදා සිට පෙබරවාරි 1 දක්වා මෙල්බර්න් නුවරදී පැවැත්වේ. අනතුරුව, පෙබරවාරි මස 5 වැනිදා කාන්තා හා පිරිමි සය සාමාජික රග්බි ශුරතාවලිය ආරම්භ වන අතර, එය මාර්තු 21 දක්වාත්, අප්‍රේල් මස 11 වැනිදා සිට මැයි 17 දක්වාත් පැවැත්වෙනු ඇත. එංගලන්තය, ප්‍රංසය, අයර්ලන්තය, ඉතාලිය ඇතුළු තරගාවලියට සහභාගි වන රටවල් 6 දීම තරග පැවැත්වීමට නියමිතය.

ඉතාලියේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පෙබරවාරි 6 වැනිදා සිට 22 දක්වා පෙළ ගස්වා ඇති අතර, එය මෙවර පැවැත්වෙන්නේ 25 වැනි වරටය. ලෝක ක්‍රිකට් පිටියේ කෙටි මුහුණුවර යටතේ විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පෙබරවාරි මස 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අමෙරිකානු පාපන්දු ක්‍රීඩාවේ මහා සැණකෙළිය ලෙස සැලකෙන සුපර් බෝල් තරගාවලිය පෙබරවාරි 8 වැනිදා පැවැත්වේ.

මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ වේගවත්ම අන්තර්ජාතික තරගාවලිය වන ෆෝමියුලා වන් ලෝක ශූරතාවලිය මාර්තු මස 6 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන අතර, අදියර කිහිපයක් යටතේ වසර පුරා පැවැත්වෙන තරගාවලියේ අවසන් අදියර දෙසැම්බර් මස 6 වැනිදා අබුඩාබි නගරයේදී නිමාවට පත් වනු ඇත. ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය පෝලන්තයේදී ආරම්භ වන්නේ මාර්තු මස 20 වැනිදාය. 21 වැනි වරටත් පැවැත්වෙන එම තරගාවලිය මාර්තු මස 22 වැනිදා නිමාවට පත් වෙයි. ගොල්ෆ් ක්‍රීඩාවේ වැඩි අවධානයට ලක් වූ මාස්ටර්ස් තරගාවලිය අප්‍රේල් මස 9 සිට 12 වැනිදා දක්වා අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේදී පැවැත්වෙන අතර, ලෝක ස්නූකර් ශූරතාවලිය අප්‍රේල් මස 18 දින සිට මැයි මස 4 දක්වා එංගලන්තයේදී පැවැත්වෙනු ඇත. අප්‍රේල් මස 26 වැනිදා ලන්ඩන් මැරතන් තරගය පැවැත්වෙන අතර, යුරෝපයේ කාන්තා පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රධානතම තරගාවලිය වන කාන්තා ලීග් ශුරතාවලියේ අවසන් තරග මැයි 22 වැනිදා නෝර්වේ රාජ්‍යයේදී පැවැත්වේ. තුරඟ තරග පිටියේ වැඩි අවධානය දිනූ ‘ඩර්බි’ ශූරතාවලිය ජූනි මස 6 වැනිදා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙයි.

මේ වසරේදී ලොව පැවැත්වෙන විශිෂ්ටතම සහ විශාලතම තරගාවලිය වන්නේ ජූනි මස 11 වැනිදා අමෙරිකාවේ, කැනඩාවේ සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් ආරම්භ වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියයි. ලොව වැඩිම ජනප්‍රියත්වය දිනූ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජූලි 19 නිමාවට පත් වනු ඇත. එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන් කාන්තා විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ජූනි මස 12 වැනිදා සිට ජූලි 5 දක්වා පැවැත්වෙයි. ලෝක ටෙනිස් පිටියේ ප්‍රධානතම වාර්ෂික තරගාවලි 4න් දෙවැනි තරගාවලිය වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලිය ජූනි මස 29 වැනිදා සිට ජූලි 12 දක්වා එංගලන්තයේ පැවැත්වෙන අතර, අන්තර්ජාතික පාපැදි ක්‍රීඩකයන්ගේ විශිෂ්ටත්වය උරගා බලන ප්‍රංස පාපැදි සවාරියේ පිරිමි තරගය ජූලි මස 1 වැනිදා සිට 26 දක්වා සහ කාන්තා තරගය අගෝස්තු මස 1 වැනිදා සිට 9 දක්වා පැවැත්වෙනු ඇත.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර කේන්ද්‍ර කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ ජූලි 23 වැනිදා සිට අගෝස්තු 2 දක්වා පැවැත්වෙන අතර, රග්බි ලීග් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 15 වැනිදා සිට නොවැම්බර් 15 දක්වා ඔස්ට්‍රේලියාවේ සහ පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *