අක්කර දොළොස් ලක්ෂයක් ඇමරිකාවට!

කාලීන අවශ්‍යතාවය වෙනුවෙන් පල කල මේ ලිපි දෙක 2019 ලියන ලද ඒවාය.
මේ පටු දේශපාලන අරමුණු සහ ජනතා නොමග යැවීම් ලංකාවට කල විනාශයන් අතුරින් එකක් පමණි.

අක්කර දොළොස් ලක්ෂයක් ඇමරිකාවට!

පසුගිය දවසක මගේ උගත් මිත්‍රයෙක් ඔහුගේ වත්පොත් පිටුවේ ප්‍රසිද්ධ කරල තිබුණු බැනරයකට අනුව, ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා, අටමස්ථානය සීගිරියද ඇතුළුව ඉඩම් අක්කර මිලියන 1.2ක් ඇමරිකාවට විකිණීමේ ගිවිසුමකට සජිත් ප්‍රේමදාසගේද අනුමැතිය ලැබී තිබෙනවා. මේ කියන ගිවිසුම පෙන්වන්න කියා වෙනත් අයෙක් ඉල්ලා සිටි විට බැනරයේ තිබෙන කරුණු උපකල්පනයන් පමණක් බවත්, මේ ආකාරයට බැනරයක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ අදාළ ගිවිසුම ප්‍රසිද්ධ කරන මෙන් ආණ්ඩුවට බල කිරීම බවත් ඔහු කියනවා.

ලංකාවේ මුළු වර්ග ප්‍රමාණයම අක්කර මිලියන 16.2ක්. එයට අභ්‍යන්තර ජලාශ, වනාන්තර, ආර්ථික ප්‍රයෝජනයක් නැති ඉඩම් ආදියත් ඇතුළත්. එහෙම බැලුවහම අක්කර මිලියන 1.2ක් කියන්නේ රටෙන් විශාල කොටසක්. බැනරයේ ලකුණු කර තිබෙන ආකාරයටනම් මේ ප්‍රදේශය ඊටත් වඩා ගොඩක් විශාල රටෙන් තුනෙන් එකක වගේ කොටසක්.

බැනරයේ ඉහළ දකුණු කෙළවරේ තිබෙන ලාංඡනය අනුව, මේ කතා කරන්නේ සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන බව පැහැදිලියි. ඔය කියන ගිවිසුම රහසිගත එකක් නෙමෙයි. මගේ මිතුරා අදාළ ප්‍රතිචාරය වත්පොතේ දමන විටත් මුදල් අමාත්‍යංශය විසින් ගිවිසුමේ පිටපතක් ප්‍රසිද්ධ කරලයි තිබුණේ. ඔය කියන විදිහට ඇමරිකාවට ඉඩම් විකුණන කතාවක් ගිවිසුමේ කොතැනකවත් නැහැ.

රටේ ඉඩම්, විශේෂයෙන්ම සීගිරිය වගේ තැන්, විකුණන්න යන කතාවනම් විවිධ පුද්ගලයින් විසින් වරින් වර නැවත නැවත විකුණන කතාවක්. කාලෙකට ඉස්සර නන්දා මාලිනී එක්ක එකතු වෙලා සුනිල් ආරියරත්නත් ඔය කතාව සෑහෙන ගාණකට විකුණ ගත්තනේ. තරුණ කාලය ගෙවෙනකම් සීගිරි නගින්න බැරි වුන, සීගිරිය එක්ක ඇරියස් තියෙන අය සීගිරිය විකුණන කතාව විකුණන වෙළෙන්දන් අතර ඉස්සරහින්ම ඉන්නවා. ඔය වගේ කතා මිල දී ගන්න පාරිභෝගිකයෝ ඉන්න තුරු කතා විකුණන අයට වෙළඳපොළක් තියෙනවා.

රනිල් වික්‍රමසිංහ චරිතය හංවඩු ගහලා තියෙන්නේ හැම දේම විකුණන වික්කමසිංහ කෙනෙක් විදිහටනේ. හැබැයි ඔය මනුස්සයා විකුණපු කෙහෙම්මලක්නම් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ අඩු ගානේ තමන්ගේ ප්‍රතිපත්ති හෝ කළ වැඩ ටිකවත් විකුණගන්න අසමත් මනුස්සයෙක්. ඒ වුනත්, වික්කමසිංහ නමනම් වෙළඳපොළේ විකිණෙනවා.

දැන් මේ කියන සහශ්‍ර අභියෝගිතා ගිවිසුමෙන් ඇමරිකාවට ඉඩම් විකිණීමක් වෙන්නේ නැත්නම් එයින් වෙන්නේ කුමක්ද?

මේ ගිවිසුම යටතේ ලංකාවට ඇමරිකානු රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් ලැබෙනවා. එය ආපසු ගෙවිය යුතු ණය මුදලක් නෙමෙයි.

ඇමරිකාව ඔය විදිහට ලංකාවට සල්ලි දෙන්නේ ඇයි?

ඇමරිකාව විසින් අඩු ආදායම්ලාභී රටවලට ආධාර දීම අද ඊයේ කළ දෙයක් නෙමෙයි. දශක ගණනාවක් තිස්සේම විවිධ ව්‍යාපෘති යටතේ ඇමරිකාව විසින් අඩු ආදායම්ලාභී රටවලට මෙවැනි ආධාර ලබා දී තිබෙනවා. ඇමරිකාව වගේම වෙනත් බටහිර රටවලුත්, සෝවියට් දේශය වැනි පැරණි සමාජවාදී රටවලුත් වෙනත් රටවලට ආධාර දීම කාලයක් තිස්සේ කළ දෙයක්. ලෝකයේ ඇතැම් රටවල් දියුණු නොවී තිබෙන්නේ ප්‍රාග්ධනය හිඟකම නිසා බව පසුගිය සියවස තුළ ප්‍රචලිතව තිබුණු අදහසක්. ඒ අනුව, ධනවත් රටවල් දුප්පත් රටවල් වලට ආධාර කිරීම මඟින් ලෝකයේ රටවල් අතර තිබෙන ආදායම් විෂමතා තුරන් වනු ඇතැයි ඒ කාලයේ බොහෝ දෙනෙක් විශ්වාස කළා. ඇමරිකාවේ යූඑස්ඒඩ් වැනි ආයතන පිහිටවනු ලැබුවේ මේ ආකාරයට විදේශ ආධාර ලබා දීම කළමනාකරණය කරන්නයි.

සහශ්‍ර අභියෝගිතා සමාගම කියන්නේ මොකක්ද?

ප්‍රාග්ධන ආධාර දුන් පමණින් දුප්පත් රටවල් දියුණු නොවන බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ නිසා, අඩු ආදායම්ලාභී රටවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස ආධාර ලබා දීමේදී අලුත්, වෙනස් ආකෘතියක් අනුගමනය කළ යුතු බව මේ සහස්‍රය මුලදී ඇමරිකාව තීරණය කළා. මේ අනුව, 2004දී ඇමරිකානු ක්‍රොන්ග්‍රසය විසින් සහශ්‍ර අභියෝගිතා සමාගම නම් වූ ඇමරිකානු රජයට අයත් අලුත් ආයතනයක් ස්ථාපිත කළා. ඒ වගේම, මේ වෙනුවෙන් 2003දී සහස්‍ර අභියෝගතා පණත ඇමරිකානු කොංග්‍රසයේ සම්මත කෙරුණා. සහස්‍ර අභියෝගතා පණත යටතේ සහස්‍ර අභියෝගතා සමාගම හරහා ආධාර ලබා දීම සිදු වන්නේ මූලධර්ම තුනක් මතයි.
– ආධාර ලබාදෙනු පිණිස රටවල් හා ව්‍යාපෘති තරඟකාරී පදනමකින් තෝරා ගැනීම
– ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ රටවලට ඉඩ හැරීම
– ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අදාළ රටවලටම භාර දීම

අනෙක් බොහෝ රටවල් ණය ලබා දීමේදී පවා ඒ ණය මුදල් යෙදවිය යුතු අංශ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව කොන්දේසි දමා ණය සේ ලබාදුන් මුදල් නැවත තමන්ගේ රටටම ඇද ගන්නා පසුබිමක මෙහි වෙනස පැහැදිලි විය යුතුයි.

ආධාර ලබාදෙනු පිණිස රටවල් තෝරා ගන්නා පදනම කුමක්ද?

ඇමරිකාවේ රාජ්‍ය මුදල් වැය කරන්නේ නිශ්චිත හා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අනුවයි. කිසියම් රටක් හා අදාළ වාස්තවික නිර්ණායක දෙස බලා මිස ජනාධිපති හෝ අගමැති කවුද, එසේ නැත්නම් බලයේ සිටින දේශපාලන පක්ෂය කවුද වැනි කරුණු මත රටකට ආධාර දීම ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය නෙමෙයි. එහෙත්, එවැනි කරුණු වක්‍ර අයුරකින් සලකා බලනු ලබන වාස්තවික නිර්ණායක කෙරෙහි බලපෑමක් කළ හැකියි. මේ ආධාර ලංකාවට ලැබෙන්නේ රනිල් නිසා හෝ යහපාලන ආණ්ඩුව නිසා නෙමෙයි. ආධාර ලබා දෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්.

රටවල් තෝරා ගන්නා නිර්ණායක මේවායි.

1. පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් විය යුතුයි.
2. ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති රටක් නොවිය යුතුයි.
3. පරීක්ෂා කරන විෂයයන් 20කින් අනිවාර්ය විෂයයන් ඇතුළුව අවම වශයෙන් විෂයයන් 10කට සමත් ලකුණු ලබාගත යුතුයි.

පසුගිය වසරේදී මේ කාර්යය හා අදාළව පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් සේ සැලකුණේ සලකා බලන අවස්ථාවේදී (මා හිතන පරිදි 2017 ඒක පුද්ගල ආදායම අනුව) ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,875- 3,895 අතර වූ රටවල්. ඒ වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,840ක් වූ නිසා ලංකාව නූලෙන් මේ රටවල් ලැයිස්තුවට අයිති වුනා. එහෙත්, මේ වන විට ලංකාව ආදායම පහළ මැදි ආදායම් මට්ටම ඉක්මවා ඉහළ මැදි ආදායම් මට්ටමට ගොස් ඇති නිසා 2020 වසරේදී සලකා බලන රටවල් ලැයිස්තුවේ ලංකාව නැහැ. යම් හෙයකින් මේ වෙලාවේ ගිවිසුම අත්සන් කිරීම කල් දැමුවොත්, මෙම ආධාරය ලංකාවට නැවත කිසිදා නොලැබී යා හැකියි.

පසුගිය 2019 වසරේදී සහශ්‍ර අභියෝගතා ආධාර ලබා දීම සඳහා සලකා බලන අවස්ථාවේදී ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,875- 3,895 අතර වූ රටවල් 40ක් තිබුණත්, ඒ අතරින් රටවල් 10කට විවිධ සම්බාධක පනවා තිබුණු නිසා එම රටවල් තරඟයෙන් ඉවත් කෙරුණා. එවිට ඉතිරි වුණේ රටවල් 30ක් පමණයි. ඒ රටවල් අතරින් ප්‍රමුඛයින් තෝරා ගැනුණේ මා පෙර කී නිර්ණායක 20 මතයි. මේ නිර්ණායක 20 ආර්ථික නිදහස, පාලනයේ නීතිගරුක බව හා මානව සංවර්ධනය ලෙස කාණ්ඩ තුනක් යටතේ වර්ග කර තිබෙනවා. නිර්ණායක මේවායි.

කාණ්ඩය I : ආර්ථික නිදහස
1. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති 
2. උද්ධමනය
3. නියාමනයේ ගුණාත්මක භාවය
4. වෙළඳ ප්‍රතිපත්ති
5. ආර්ථික කටයුතු වලදී ස්ත්‍රී සහභාගීත්වය 
6. ඉඩම් අයිතිය හා අත්පත් කරගැනීමේ හැකියාව 
7. ණය ලබා ගැනීමේ පහසුව
8. අලුත් ව්‍යාපාර ආරම්භ වීම

කාණ්ඩය II : පාලනයේ නීතිගරුක බව
9. දේශපාලන අයිතිවාසිකම්
10. සිවිල් නිදහස
11. දූෂණ පාලනය කිරීම
12. රජයේ ඵලදායීතාව
13. නීතියේ ආධිපත්‍යය
14. තොරතුරු දැනගැනීමේ නිදහස 

කාණ්ඩය III : මානව සංවර්ධනය
15. සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය 
16. මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය 
17. ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම
18. ප්‍රතිශක්තිකරණ අනුපාතය
19. ගැහැණු ළමුන්ගේ ද්වීතියික අධ්‍යාපනය ලැබීමේ අනුපාතය
20. ළමා සෞඛ්‍යය

දැන් මේ විභාගය සමත් වෙන්නනම් පහත අවශ්‍යතා සපුරා තිබිය යුතුයි.
– අවම වශයෙන් විෂයයන් 10ක් සමත් විය යුතුයි
– සෑම කාණ්ඩයකින්ම අවම වශයෙන් එක් විෂයක් සමත් විය යුතුයි
– දේශපාලන අයිතිවාසිකම් හා සිවිල් නිදහස යන විෂයයන් දෙකෙන් එකක් සමත් විය යුතුයි
– දූෂණ පාලනය කිරීම විෂය අනිවාර්යයෙන් සමත් විය යුතුයි

ලංකාව අනිවාර්යය විෂයයන් ඇතුළුව විෂයයන් 13ක් සමත් වී මේ අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙනවා. ප්‍රතිශක්තිකරණ අනුපාතය හා ළමා සෞඛ්‍යය විෂයයන්ට විශිෂ්ඨ සාමාර්ථ ලබා ඉහළින්ම සමත් වී තිබෙනවා. ආර්ථික කටයුතු වලදී ස්ත්‍රී සහභාගීත්වය විෂයය අසමත් වී ඇතත් ඒ යාන්තමින්. ලකුණු අඩුවෙන්ම ලබා තියෙන්නේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය, සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා ඉඩම් අයිතිය හා අත්පත් කරගැනීමේ හැකියාව විෂයයන්ටයි. රතු පාට අකුරින් තිබෙන්නේ අසමත් වූ විෂයයන්.

මේ නිර්ණායක හරහා අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් වියදම් වැඩි කිරීමටත් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමටත් රජයට බල කෙරෙන බව පැහැදිලි විය යුතුයි. සමහර අය කියන්නේනම් ඕකේ අනිත් පැත්තයි.

ආධාර ලබාදෙනු පිණිස ව්‍යාපෘති තෝරා ගන්නා පදනම කුමක්ද?

සහශ්‍ර අභියෝගිතා සමාගම විසින් ආධාර ලබා දීම පිළිබඳව සලකා බැලෙන රටවල් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමෙන් පසුව අදාළ රටවලට ආධාර ඉල්ලා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකියි. ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීමේදී සලකා බලන ප්‍රධාන නිර්ණායකයක් වන්නේ අදාළ ව්‍යාපෘති හේතුවෙන් රටේ කොපමණ පිරිසකට සෙත සැලසෙනවද කියන එකයි. එවැනි ව්‍යාපෘති හඳුනා ගැනීම සඳහා සහශ්‍ර අභියෝගිතා සමාගමත් උදවු කරනවා.

ලංකාවට ආධාර ලැබෙන්නේ කවර ව්‍යාපෘති වෙනුවෙන්ද?

ලංකාවේ රජය විසින් ව්‍යාපෘති දෙකක් සඳහා ඇමරිකන් ආධාර ඉල්ලා තිබෙනවා.
1. ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 350ක්
2. ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 67ක්

මෙම මුදල් සහශ්‍ර අභියෝගිතා සමාගම විසින් ආධාර සේ ලබා දීමට එකඟ වී ඇති අතර එයට අමතරව ශක්‍යතා අධ්‍යයන, ව්‍යාපෘති කළමනාකරණය, පුහුණු වැඩ සටහන්, ව්‍යාපෘති සැලසුම්, නිරීක්ෂණ කටයුතු හා පසු විපරම් කිරීම ආදිය වෙනුවෙන් වැය කිරීමට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 63ක මුදලක්ද සමඟ මුළු ආධාර මුදල ඇමරිකන් ඩොලර් මිලියන 480ක් වෙනවා.

ප්‍රවාහන ව්‍යාපෘතියෙන් මිලියන 7ක පිරිසකට සෙත සැලෙසෙන අතර ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය 19%ක් ලෙස ගණන් බලා තිබෙනවා. ඉඩම් ව්‍යාපෘතියෙන් මිලියන 5ක පිරිසකට සෙත සැලෙසෙන අතර ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය 26%ක්. ව්‍යාපෘති දෙකෙන්ම මිලියන 11.3ක පිරිසකට (ඇතැම් අයට ව්‍යාපෘති දෙකෙන්ම වාසි සැලසෙන නිසා) සෙත සැලසෙන අතර මේ පිරිස ලංකාවේ ජනගහණයෙන් 54%ක්. ඇමරිකානු රජය මේ ආධාරය අනුමත කර තිබෙන්නේ එපමණ පිරිසකට සෙත සැලසෙන නිසයි.

ව්‍යාපෘති දෙකම ලංකාවේ රජයට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම නිසා නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළ නොහැකි වූ රටේ ජාතික භෞතික සැලැස්මේ කොටස්. එසේ නැතුව මේ ව්‍යාපෘති ඇමරිකානු රජයෙන් සැලසුම් කළ ව්‍යාපෘති නෙමෙයි.

ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොකක්ද?

මේ යටතේ අනු ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙනවා.
– කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල මාර්ග තදබදය අවම කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 159.9ක්.
– කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 50ක්.
– රටේ මධ්‍යම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 140.1ක්.

මාර්ග තදබදය අවම කරන්නේ කොහොමද?

මේ ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් දේවල් සිදු වෙනවා.
– කොළඹ හා තදාසන්න වාහන තදබදය ඉතා අධික මාර්ග අටක මං සන්ධි 132ක් රථවාහන ආලෝක සංඥා සහිතව වැඩි දියුණු කිරීම හා පාර මාරු වන ස්ථාන 50ක් අලුතින් ඉදි කිරීම.
– රථවාහන තදබද පිළිබඳ දත්ත එසැණින් ලබා ගෙන, අලුතින් ස්ථාපිත කරන ස්වයංක්‍රීය රථවාහන තදබද කළමනාකරණ මධ්‍යස්ථානයකදී විශ්ලේෂණය කර රථවාහන තදබදය අවම වන පරිදි ස්වයංක්‍රීය ලෙස රථවාහන සංඥා ආලෝක පුවරු හැසිරවීම.
– සීසීටීවී කැමරා සහ ජීපීඑස් උපකරණ යොදා ගනිමින් හදිසි මාර්ග තදබද අවස්ථා වලදී ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයක් ඇති කිරීම
– ඉහත පද්ධති නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය.

පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්නේ කොහොමද?

මෙහිදී මූලික වශයෙන් අවධානය යෙදවෙන්නේ බස් සේවය නවීකරණය කිරීමටයි. ඒ යටතේ,
– ජීපීඑස් තාක්ෂනය සහිතව බස් රථ නවීකරණය කිරීම,
– බස් රථ තුළ මගීන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම,
– සීසීටීවී කැමරා යොදාගනිමින් නිරීක්ෂනය කිරීම,
– ප්‍රමුඛතා මං තීරු ඇති කිරීම,
– මුදල් ගෙවනු වෙනුවට කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීම, ඇතුළු තවත් කටයුතු හරහා පොදු ප්‍රවාහන සේවා වඩා ජනප්‍රිය කර රථවාහන තදබදයට හේතුවන පෞද්ගලික මෝටර් රථ භාවිතය අඩු කිරීම අපේක්ෂාවයි.

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොකක්ද?

මේ යටතේ පදික මං තීරු ආදියද සහිතව පහත මාර්ග සංවර්ධනය කෙරෙනවා.
– අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා කිලෝමීටර 40ක්
– බෙරගල සිට වැල්ලවාය දක්වා කිලෝමීටර 31ක්
– දඹුල්ල සිට නාඋල දක්වා කිලෝමීටර 21ක්
– දඹුල්ල ආසන්නව මධ්‍යම හා උතුරුමැද පළාත් සීමාවේ කිලෝමීටර 18ක කොටසක්
– රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා කිලෝමීටර 22ක්

ඉඩම් ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොනවාද?

මේ යටතේ අනු ව්‍යාපෘති පහක් තිබෙනවා.
1. ලංකාවෙන් 28%ක් ආවරණය වන දිස්ත්‍රික් 7ක ඇති ඉඩම් වල සිතියම් පරිගණකගත කිරීම – ඩොලර් මිලියන 23.4ක්.
2. ඉඩම් හිමිකම් ලේඛණ (ඔප්පු) ස්කෑන් කර පරිගණකගත කිරීම – ඩොලර් මිලියන 11.4ක්.
3. ඉඩම් වල වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම – ඩොලර් මිලියන 6.5ක්.
4. රජයට අර්ධ අයිතියක් ඇති පුද්ගලයින් සතු ඉඩම් වල අයිතිය අදාළ පුද්ගලයින්ට ලබා දීම – ඩොලර් මිලියන 19.3ක්.
5. ඉඩම් ප්‍රතිපත්ති පිළිබඳ පර්යේෂණායතනයක් ඇති කිරීම – ඩොලර් මිලියන 6.7ක්.

මා හිතන හැටියට, ඉහත අනු ව්‍යාපෘති අතරින් බොහෝ දෙනෙකු විසින් විවේචනය කරන්නේ පළමු හා සිවුවන අනු ව්‍යාපෘති දෙකයි.

ඉඩම් වල සිතියම් මෙන්ම ඔප්පුද පරිගණකගත කිරීම කළ යුතුම දෙයක්. පරණ කඩදාසි ඔප්පු හා සිතියම් සමඟ ඉදිරියට යාමේ අකාර්යක්ෂම බව ගැන කතාකරන්න කාලය යොදවන එකේත් තේරුමක් නැහැ. මේ කටයුතු දිවයින පුරාම සිදු විය යුතුයි. දැනට මෙය දිස්ත්‍රික් හතකට සීමා කර තිබෙන්නේ රට පුරාම මේ කටයුතු ක්‍රියාත්මක කරන්න තරම් මුදල් ප්‍රතිපාදන නැති නිසයි.

මුඩුබිම් පණත යටතේ, කිසිවෙකුට ඉංග්‍රීසි ක්‍රමයට හිමිකම් තහවුරු කළ නොහැකි වූ ඉඩම් සියල්ල රජයේ ඉඩම් බවට පත් වුනා. ඉන් පසු මේ ඉඩම් වරින් වර වගා කටයුතු හෝ වෙනත් කටයුතු වෙනුවෙන් පුරවැසියන්ට ලැබුණා. එහෙත්, ඒ විදිහට ලැබුණු ඉඩම් පෞද්ගලික ඉඩම් වුනේ නැහැ.

මෙවැනි ඉඩම් මුලින්ම ක්‍රවුන් ග්‍රාන්ට් ඉඩම් ලෙසත්, ඉන්පසු එල්ඩීඕ (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන්) ඉඩම් ආදී ලෙසත් විවිධ නම් වලින් හැඳින්වුනා. ඉඩම් හිමියන්ට රජයෙන් ලැබුණු බලපත්‍රයක් මිස පූර්ණ හිමිකමක් තිබුණේ නැහැ. පොළොවෙන් යට අයිතිය තිබුණේ රජයට. මේ ඉඩම් කොටස් කිරීමට හා විකිණීමට හැකියාවක් තිබුණේ නැහැ. පවුලේ අයෙකුට පැවරීමට පමණක් හැකිකම තිබුණා. ඒ වගේම බැංකුවට තබා ණයක් ගන්න පුළුවන් කම තිබුණේ නැහැ. විවිධ ආණ්ඩු  යටතේ ස්වර්ණභූමි, ජයභූමි, රත්නභූමි, රන්බිම ආදී වශයෙන් ඔප්පු ප්‍රදානය කෙරෙද්දී මේ සීමාවන් ටිකින් ටික ලිහිල් වුනත් මුළුමනින්ම නැති වුනේ නැහැ.

ඉහත කී ආකාරයේ හිමිකමක් තිබෙන අයෙකුට ඉඩම අවශ්‍ය පරිදි කැබැලි කළ නොහැකි නිසා දරුවන් අතර ඉඩම බෙදා දීම අසීරුයි. ඉඩම විකුණා මුදල් බෙදා දිය හැක්කේ දරුවන්ගෙන් අයෙක් එය මිල දී ගන්න කැමැතිනම් පමණයි. මිල දී ගැනීමක් කියා කිවුවත් ගනුදෙනුව සිදු කරන්න වෙන්නේ අත යටින්. නීත්‍යානුකූලව සිදු වන්නේ පැවරුමක්. ඒ නිසා, ඉඩම එහි වටිනාකමට විකිණෙන්නේ නැහැ. ඉඩම් ගනුදෙනුවෙන් රජයට බදු මුදලක් ලැබෙන්නෙත් නැහැ. ඉඩම පැවරිය හැක්කේ පවුලේ අයෙකුට පමණක් වුවත් බොහෝ විට මොකක් හෝ වංගුවක් දමා ඉඩම පිටට විකුණන එක දුලබ දෙයක් නෙමෙයි.

රජයට අයත් හැම ඉඩමක්ම මේ වර්ගයේ ඉඩම් නෙමෙයි. උදාහරණ විදිහට මාර්ග රක්ෂිත, දුම්රිය මාර්ග රක්ෂිත, ඇළ රක්ෂිත, ජලපෝෂක ආදී ලෙස වෙන් කළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එහෙත්, මේ ඉඩම් බොහොමයක්ද මේ වන විට කවුරු හෝ විසින් අල්ලාගෙන ස්ථිර ගොඩනැගිලි ඉදි කරලා. මගේ ලංකාවේ ගෙදර කිට්ටුව ඇළ රක්ෂිතයක මේ විදිහට අනවසරයෙන් එක් අයෙක් මුලින් හදපු ගෙයක් දැන් ජනපදයක් වෙලා. ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ උදවුවෙන් මුලින් එක ගෙදරකට විදුලි බලය ලබාගත්තාට පසුව අනෙක් ගෙවල් වලටත් විදුලි බලය සැපයීමට විදුලි බල මණ්ඩලයට සිදු වී තිබෙනවා. මේ ඉඩම් වලට බදු ඔප්පු හෝ නැහැ. නමුත්, ගෙවල් සහිත ඉඩම් කැබලි වෙනත් අයට විකිණීම පවා සිදු වෙනවා. ඔප්පුවක් නැතත් ගන්න අයත් ඉන්නවා. ඒ නැවත කාට හෝ විකුණන්න පුළුවන් බව දන්නා නිසයි. මා දන්නා තවත් පැති වල බලය ඇති ඇතැම් අය හොර ඔප්පු හදාගෙන ඉඩම් විකුණනවා. කිහිප වරක් ඉඩමක් විකිණූ පසු, පසුව මිල දී ගන්නා අයෙකුට ඉඩමේ අයිතියේ සම්භවය ගැන සැක හිතෙන්නේ නැහැ. ඉඩම් හිමිකම් හා සිතියම් ලේඛනගත වී ඇත්නම් මෙවැනි වංචා කරන්න අමාරුයි. ඒ වගේම, බාග අයිතියක් ඇති ඉඩම් අත යටින් හුවමාරු වීම ඉතා අකාර්යක්ෂමයි.

මේ දෙආකාරයේම ඉඩම් වල නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ රජයට වුවත්, කවුරු හෝ පවුලක් ස්ථිර ගෙයක් හදාගෙන කාලයක් පදිංචි වී සිටින තැනකින් ඒ අයව එළියට ඇදලා දාන එක සිදු නොවන දෙයක්. එවැනි දේ කර දේශපාලනිකව අප්‍රසාදයට පත් වෙන්න කිසිදු ආණ්ඩුවක් කැමති නැහැ.

තෝරාගෙන තිබෙන දිස්ත්‍රික් හතේ හෝ රජයට නීත්‍යානුකූල අයිතිය තිබෙන ඉඩම් නැවත මැන, සිතියම් පරිගණක ගත කළොත් හා එසේ කරන අතරතුර ඉඩමේ දැන් තත්ත්වය ගැන දත්ත එකතු කර ගත්තොත් රජයට අයිති දැනට නිදහස්ව තිබෙන ඉඩම් ගැන කිසියම් අදහසක් ගත හැකියි. ඉන් පසුව, අවශ්‍යනම් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් ඒ ඉඩම් යොදා ගත හැකියි. ආණ්ඩුව තීරණය කරනවානම් ඇමරිකාවට විකුණන්න වුනත් පුළුවන්. ඒ වගේම, කවුරු හෝ ස්ථිර ඉදිකිරීම් කර ඇති ඉඩම් අවශ්‍යනම් ඒ අයටම ප්‍රදානය කළ හැකියි. එවිට ඒ අයට ඒ ඉඩම් ඇමරිකාවට හෝ වෙනත් අයෙකුට විකුණන්න හෝ බැංකුවට උගස් කර ණයක් ගන්න පුළුවන්. කොහොම වුනත්, ඒ වැඩි වැඩ කිසිවක් සහශ්‍ර අභියෝගිතා ගිවිසුමේ නැහැ. ගිවිසුම අනුව සිදු වන්නේ ඉඩම් පිළිබඳ තොරතුරු පරිගණකගත කිරීම පමණයි.

ගිවිසුමේ කොන්දේසි මොනවාද?

ගිවිසුමේ මුලින්ම විශේෂ කොන්දේසි හතරක් තිබෙනවා.
1. මේ මුදල් හමුදා, පොලීසි, නිල නොවන හමුදා ආදිය පුහුණු කිරීම වෙනුවෙන් යොදාගත නොහැකියි.
2. මේ මුදල් ඇමරිකාවේ රැකියා හෝ නිෂ්පාදිතය විශාල වශයෙන් අඩු කෙරෙන කටයුත්තක් සඳහා යොදාගත නොහැකියි.
3. පරිසරයට, මහජන සෞඛ්‍යයට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන කටයුත්තක් වෙනුවෙන් මේ මුදල් යෙදවිය නොහැකියි.
4. ගබ්සා කිරීමට හෝ ගබ්සා වලට අනුබල දීමට හෝ බලහත්කාරයෙන් හෝ මුදල් දී වන්ධ්‍යාකරණය කිරීමට මේ මුදල් යෙදවිය නොහැකියි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සහශ්‍ර අභියෝගිතා සමාගම නමින් සමාගමක් පිහිටුවිය යුතුයි. නමුත්, මේ සමාගම ඇමරිකානු සමාගමක් නෙමෙයි. එහි අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය සමන්විත වන්නේ පහත අයගෙන්.

1. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්
2. අගමැතිවරයාගේ නියෝජිතයෙක්
3. මුදල් අමාත්‍යාංශයේ ලේකම්
4. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්
5. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්
6. මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
7. අධිවේගී මාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
8. වනිතා හා ළමා කටයුතු හා වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
9. පෞද්ගලික අංශයේ නියෝජිතයෙක්
10. සිවිල් සමාජ නියෝජිතයින් දෙදෙනෙක්

කාලයක් තිස්සේ ඉතුරු කරගත්ත මුදල් ටිකක් යොදවලා සීගිරියෙන් කෑල්ලක් ගන්න කියලා හිතලා හොයලා බැලුවත් ඔය තියෙන දේවල් වලට වඩා වැඩි දෙයක්නම් තාම හොයා ගන්න බැරි වුනා.

දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්!

දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්!

කලින් ලිපිය බොහෝ දෙනෙක් විසින් වත්පොතේ බෙදාගෙන තිබෙනවා. ඒ අය කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියි. පළමු කාණ්ඩය කිසිම විමසිල්ලක් නැතුව, වත්පොතේ ඇති දෙයක් දැකපු පමණින්, එය තමන්ගේ පූර්ව නිගමන හා ගැලපෙන්නක් මෙන් පෙනේනම්, බෙදා හරිමින් ප්‍රචාරය කරන අය. ඒ අයගෙන් වැඩි පිරිසක් මේ ආණ්ඩුවට හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට විරුද්ධ රාජපක්ෂ ආගමිකයින්. නමුත්, ඒ ආකාරයට තමන් ආණ්ඩුවට හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට විරුද්ධ ඇයි කියා ඒ අයවත් දන්නේ නැහැ. රාජපක්ෂ කඳවුරේ සිටින සියළුම දෙනා රාජපක්ෂ ආගමිකයින් නෙමෙයි. ඒ වගේම මේ වර්ගයේ අය එජාප, ජවිපෙ ඇතුළු අනෙකුත් කඳවුරු වලත් ඉන්නවා.

දෙවන කාණ්ඩයේ ඉන්නේ ලිපිය කියවීමෙන් පසුව එය බෙදාගත් අයයි. ඒ අය අතර දේශපාලනිකව විවිධ කඳවුරු වල සිටින අය දැකිය හැකියි. පොදුවේ ඔවුන් සියල්ලෝම රාජපක්ෂ විරෝධීන් නොවූවත් මේ අය අතර රාජපක්ෂවාදීන් සිටිනවා කියා මා හිතන්නේ නැහැ. මේ ඇතැම් දෙනෙක් එජාපයට හෝ ජවිපෙට පාක්ෂිකත්වයක් ඇති අය. වෙන පිලක හිටියත් ඒ  ඇතැම් අයත් ආගමිකයින්. කොහොම වුනත්, ඒ ආගමික කොටසට අමතරව දෙවන කාණ්ඩයේ සැලකිය යුතු පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කරන පාවෙන ඡන්දදායකයින් කියා කිව හැකි අයයි. මට අවශ්‍ය වුණේ ඒ අය වෙත ලිපිය ගෙන යන්නයි. සැලසුම් කළ පරිදිම මුලින් කී දේශපාලනික ආගමිකයින්ගේ උදවුවෙන් එය කර ගැනීමට හැකි වී තිබෙනවා.

වහල් මානසිකත්වකින් තොරව මේ ප්‍රශ්නය දිහා බලන කෙනෙකුට සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන විවිධ අය කියන කතා නිසා මොනවා හෝ ප්‍රශ්න මතු නොවෙන්න හේතුවක් නැහැ. එය ඉතාම සාධාරණයි. එවැනි වලංගු ප්‍රශ්න ගණනාවක් අපේ වියුණුවේ නිත්‍ය පාඨකයින් මෙන්ම එසේ නොවන අයද විසින් වියුණු ලිපියේ පරිකථා කොටසේ හා වත්පොතේ ප්‍රතිචාර හරහා මතු කර තිබෙනවා. කෙසේ වුවත්, ලිපිය බෙදාගත් වෙනත් අයගේ වත්පොත් වල තිබෙන ප්‍රතිචාර සියල්ල මට පෙනෙන්නේ නැහැ.

ඒ වගේම, බොහෝ විට සිදු වන පරිදි විවිධ අය විසින් මෙවරද ලිපිය උපුටාගෙන වෙනත් තැන් වල නැවත පළ කර තිබෙනවා. එසේ ලිපිය උපුටා පළ කර තිබෙන වෙනත් තැන් වලින් මෙහි පැමිණ කියවූවාට වඩා විශාල පිරිසක් විසින් කියවා තිබෙනවා. ඒ අයගේ ප්‍රතිචාර මට පෙනෙන්නේත් නැහැ. ඒ වගේම, ඇතැම් අය කිසිම හිරිකතක් නැතුව ලිපියේ කොටස් ඒ විදිහටම කොපි කර තමන්ගේ නමින් පළ කර තිබෙන බවත් පේනවා. අන්තිමේදී දවස් දෙකකට පසු මා ලියූ ලිපියේ කොටස් වෙනත් අයගේ නමින් මගේ වත්පොතේම දකින්නට ලැබෙනවා. මේ තියෙන්නේ එවැනි තැනක්.

http://lankanewsapp.com/archives/2234

නැවත මුලට ආවොත්, වඩා නිවැරදි දේ සොයා ගැනීමේ අරමුණින් මෙහි පළවන දෑ කියවන අපේ නිත්‍ය පාඨකයින් මතු කර තිබෙන ප්‍රශ්න කිහිපයක් ගැන අපි තව ටිකක් කතා කරමු.

මේ ගිවිසුමේ වැරැද්දක් ඇත්තෙම නැද්ද?

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියන එක අපි කවුරුත් දන්නා කියමනක්. මේ කියමන අපේ ඇඟවල් වලට පත්තියම් වෙලා තියෙන්නේ. ඒ නිසා, දුමක් නගින හැම වෙලාවෙම අපි හිතන්නේ කොහේ හෝ ගින්නක් තිබිය යුතුයි කියලයි. විවිධ දේවල් ගැන බොරු ප්‍රචාර යන අවස්ථා කිහිපයකදීම මේ වියුණුව හරහා ඇත්ත පෙන්වා දී තිබෙනවා. උදාහරණක් විදිහට කලකට පෙර වේගයෙන් ප්‍රචාරය වූ ප්ලාස්ටික් හාල් කතාව පෙන්වන්න පුළුවන්. මෙවැනි බොහෝ අවස්ථා වලදී දුම නගින්න හේතු වුනු ගින්න හොයාගෙන එය පෙන්වන්න අපට හැකි වුනා. නමුත්, මේ වෙලාවේ අප එවැනි ගින්නක් පෙන්වා නැති නිසා ගින්න කොහේ හෝ හැංගී ඇතැයි බොහෝ දෙනෙක් හිතනවා.

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියන එක ලංකාවේ බොහෝ දෙනෙක් විස්වාශ කරන බව විමල් වීරවංශ වැනි අය දන්නවා. ලංකාවේ මිනිස්සු හිතන ආකාරය ගැන ඔහුට තිබෙන අවබෝධය මත ගිණි නැතුව දුම් ගසා ගිණි ඇති බව පෙන්වීමේ කලාව ඔහු හොඳින් ප්‍රගුණ කර තිබෙනවා. සමහර විට ගහන දුම් නිසා පසුව ගිණි ඇති වෙනවා. මේ සිද්ධිය හා අදාළව හිතාමතා ප්‍රචාරය කෙරෙන කතා බොහොමයක් කිසිම පදනමක් නැති, අමූලික, පට්ටපල් බොරු. ඒ නිසා, මෙතන පෙන්නන්න තරම් ගින්නක් නැහැ. එවැන්නක් තිබුණානම් පෙන්වන්න අප පැකිලෙන්නේත් නැහැ.

මා දන්නා තරමින් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් මේ තරම් වාසිදායක තත්ත්වයන් යටතේ ලංකාවට මෙවැනි මුදලක් ලැබී නැහැ. එක අතකින් අදාළ මුදල ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබුණු විශාලම ආධාර මුදල. ඒ වෙනුවෙන් ඇමරිකාවට කිසිවක් දිය යුතු නැහැ. අනෙක් පැත්තෙන් මේ හා අදාළ කොන්දේසි ඇත්තේම නැති තරම්. ඩොලර් මිලියන පන්සීයක් ගිණි පොලියට ගැනීමේදී පවා ලංකාව බොහෝ විට විවිධ කොන්දේසි වලට එකඟ වෙනවා. මුදල ලැබෙන්නේ ලංකාවෙන් ඉල්ලා සිටි කටයුතු දෙකක් කරන්නයි. ඒ කටයුතු වෙනුවෙන්ම මුදල් යොදවනවානම් වෙනත් ගැටලුවක් නැහැ.

බොහෝ දෙනෙක්ට සැක පහළ වී තිබෙන්නේම විශ්වාස කරන්නත් අමාරු මේ වාසිදායක තත්ත්වය නිසායි.

එතකොට ඇමරිකාවට ඉඩම් දෙන කතාව?

මේ කතාව තනිකරම ගොතපු කතාවක්. ගිවිසුමේ කොහේවත් එවැනි දෙයක් නැහැ. මේ ගිවිසුමට සම්බන්ධයක් නැති ලංකාවේ දිගුකාලීන ජාතික භෞතික සැලැස්ම කියා වෙනම එකක් තිබෙනවා. එය දිගුකාලීනව ලංකාවේ භෞතික සම්පත් වැඩි දියුණු කළ යුතු ආකාරය පිළිබඳ ජාතික සැලැස්මක්. මෙහි රටේ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපොළ ආදිය ඒකාබද්ධව සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳ පුළුල් සැලසුමක් තිබෙනවා. චම්පික රණවක කියන ආකාරයට මෙය හදා තිබෙන්නේ දේශීය විශේෂඥයින් තුන් දහසක් පමණ මුල් වීමෙනුයි. සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන ප්‍රශ්න මතු වෙන්න පෙර සිටම මේ ගැන ඔහු කියා තිබෙනවා.

රාජපක්ෂ කාලයේ හම්බන්තොට ආශ්‍රිත බොහෝ යටිතල පහසුකම් දියුණු කළේත් මෙවැනි සැලැස්මක් අනුවයි. මෑතකාලීනව මේ සැලැස්ම යාවත්කාලීන කරන විට කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා තීරුවක් ඉදිරි සංවර්ධන කටයුතු වලදී ප්‍රමුඛතාවය ලැබිය යුතු ආර්ථික කලාපයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. චම්පික කියන විදිහට, ඒ තීරණය පිටුපස විද්‍යාත්මක හේතු තිබෙනවා. මේ තීරුව හඳුන්වා දී තිබෙන්නේ ආර්ථික කොරිඩෝරයක් ලෙසයි. එය බොහෝ දෙනෙකු දන්නවා ඇතැයි සිතන සංස්කෘතික ත්‍රිකෝණය හා පොල් ත්‍රිකෝණය වැනි ලංකා සිතියමේ ලකුණු කළ හැකි නිශ්චිත කලාපයක් වුවත් මහ පොළොවේ වැටවල් හෝ කම්බි ගසා වෙන් කෙරෙන ප්‍රදේශයක් නෙමෙයි. ඇමරිකාවට විකුණන අක්කර දොළොස් ලක්ෂයක තීරුව ලෙස පෙන්වන්නේ ලංකාවේ ජාතික භෞතික සැලැස්මේ තිබෙන මේ තීරුවයි. ඒ තීරුවට අයත් ආර්ථික කලාපයට අක්කර දොළොස් ලක්ෂයක් ඇතුළත්.

සහශ්‍ර අභියෝගිතා ගිවිසුමේ ඉඩම් ව්‍යාපෘතිය යටතේ සිතියම්ගත කෙරෙන දිස්ත්‍රික්ක හත තෝරාගෙන තිබෙන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉහත ප්‍රමුඛ ආර්ථික කලාපය ආවරණය වන ආකාරයටයි. ලංකාවේම ඉඩම් මැන පරිගණකගත කිරීම බොහෝ කලකට පෙර ආරම්භ වී මුදල් නැති කම නිසා ඉතා මන්දගාමීව සිදුවෙමින් පවතින කටයුත්තක්. ඇමරිකාවෙන් ආධාර ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනාව හදද්දී මේ කටයුත්ත වේගවත් කිරීම පිණිසත් මුදල් ඉල්ලා තිබෙනවා. නමුත්, මේ ආධාර ක්‍රමය යටතේ ලැබිය හැකි ආධාර ප්‍රමාණයේ සීමාවක් තිබෙන නිසා මුළු ලංකාවම සිතියම්ගත කරන්න ඇමරිකාවෙන් ආධාර ඉල්ලන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, කිසියම් ප්‍රදේශයක් තෝරා ගන්න වෙනවා. මෙහිදී ලංකාව පැත්තෙන් ව්‍යාපෘති යෝජනාව හදපු අය තෝරා ගෙන තිබෙන්නේ ඉහත දිස්ත්‍රික් හතයි.

මේ තේරීම ඉතා යෝග්‍ය එකක්. රටේ ජාතික භෞතික සැලැස්ම අනුව ප්‍රමුඛතාවය දිය යුතු වන්නේ මේ කලාපය සංවර්ධනය කිරීමට බව හඳුනාගෙන තිබෙන නිසා එහි වාසි ගණනාවක් තිබෙනවා. මූලික කරුණෙන් පිට පනින නිසා කරුණු සාකච්ඡා කිරීම පැත්තකින් තියමු. ඒ වගේම මේ ආධාරය ලබා දීමේදී ව්‍යාපෘති යෝජනා අතර විශාල තරඟයක් තිබෙනවා. මීට කලිනුත්, රාජපක්ෂ කාලයේත්, ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතත් ඒවා තරඟකාරී මට්ටමක තිබී නැහැ. රටේ ප්‍රමුඛ සංවර්ධන කලාපයේ කරන දෙයකින් ප්‍රතිලාභ වැඩියි. එවැනි ව්‍යාපෘතියක් වඩා තරඟකාරීයි.

අනෙක් අතට මේ වැඩේට දකුණේ හා බස්නාහිර දිස්ත්‍රික්ක තෝරා ගත්තානම් මේ විවේචකයින් කියයි රටේම තියෙන වටිනාම ඉඩම් ටික කියා. උතුරු නැගෙනහිර ප්‍රදේශ තෝරා ගත්තානම් සිතියම් පෙන්වා කියන කතාව හිතාගන්න අමාරු නැහැනේ. දැන් මේ රට මැද වැඩිපුර සිංහල බෞද්ධයින් ඉන්න දිස්ත්‍රික්ක තෝරා ගෙන ඔවුන්ට යහපතක් වෙන දෙයක් කරද්දීයි මේ විවේචන කරන්නේ. තවත් නියම වැඩක් කියන්නේ ඔය උඩින් තිබෙන ගෝඨාභය කඳවුරේ අය භාවිතා කරන සිතියම ටැමිල්නෙට් එකෙන් ගත් එකක්. පසුගිය අප්‍රේල් මාසයේදී සහශ්‍ර අභියෝගිතා ආධාර මුදල් අනුමත වීමෙන් පසුව, මේ ව්‍යාපෘතිය ඔවුන් විසින් හඳුන්වාදී තිබෙන්නේ නාසිවාදී චම්පික රණවකගේ බලපෑමෙන් රනිල්ගේ ආණ්ඩුව විසින් වවුනියාව හා ත්‍රිකුණාමලය නාගරීකරණය කර, සිංහලයින් පදිංචි කර, සංවර්ධන ජනසංහාරයක් කිරීමේ වෑයමක් ලෙසයි. ඔය තීරුව නාගරික ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය වුනොත් “දෙමළ නිජබිම” දෙකට බෙදෙනවා කියන එකේනම් ඇත්තකුත් තියෙනවා.

විවේචකයින් අතර ඉන්නා එක් අයෙක් තිස්ස ජනනායකනම් ටියුෂන් ගුරුවරයෙක්. ඔය මනුස්සයා වෙන දේවල් ගැනත් බොරු කියනවා මම කලින් දැකලා තියෙනවා. එක වීඩියෝ එකක කැප්පෙටිපොළ දිසාවගේ ජාන විකෘතියක් ගැන කියන්නේ හරියට ඔය මනුස්සයා ඩීඑන්ඒ පරීක්ෂාවක් කළා වගේ. මේ ගිවිසුම හා අදාළවත් කිසිම පදනමක් නැති බොරු ගණනාවක් කියනවා. ගිණි නැතිව නගින දුම්! මේ පුද්ගලයා එක්කෝ ගිවිසුම කියවා නැහැ. නැත්නම් එහි නැති දේවල් ගැන හිතාමතාම බොරු කියනවා. වෙන බොරුත් කියනවා. ඉන්දු-ලංකා ගිවිසුම කියා එකක් අත්සන් කරන්න ගිහින් අන්තිමට විරෝධය නිසා අත්සන් කළේ නැහැයි කියන්නේ. මේ වැඩේ එක්කෝ දේශපාලන අරමුණකින් එහෙම නැත්නම් ටියුෂන් ගුරුවරයෙක් නිසා ප්‍රසිද්ධිය බලාගෙන කරන වැඩක් කියා හිතන්න පුළුවන්.

පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උපාධි ධාරියෙක්ද වන උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට අනුව පර්චසය රුපියල් 180 ගානේ අක්කර විසිනව ලක්ෂයක් ඇමරිකාවට අවුරුදු දෙසීයකට බදු දෙනවා දෙනවා. අක්කර විසිනව ලක්ෂයක් කියා කියන්නේ ඔය දිස්ත්‍රික්ක හතේ මුළු භූමි ප්‍රමාණය හෝ රජයට අයිති ඉඩම් කොටස. ඩොලර් මිලියන 480 රුපියල් කරලා, අක්කර ගණන පර්චස් කරලා, බෙදලා බැලුවහම ගණනනම් හරි.  කාශ්‍යප හාමුදුරුවෝ ඉත්තෙක් වී තිබෙන්නේ ගිවිසුම ගැන හාන්කවිසියක් නොදැන බව පැහැදිලියි. ඔය අවුරුදු දෙසීයේ බදු කතාව කියන්නේ ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහලයි.

සහශ්‍ර අභියෝගතා ගිවිසුම අනුව රටේ එක අඟලක්වත් ඇමරිකාවට විකිණීමක් වෙන්නේ නැහැ. නමුත්, ඔය ගණන අනුව බැලුවොත් රටේ දිස්ත්‍රික්ක හතක සෑම පර්චසයක්ම වෙනුවෙන් ඇමරිකාවෙන් රුපියල් 180ක් නිකම් ලැබෙනවා කියා කියන්න පුළුවන්. ඔය දිස්ත්‍රික්කයක ඉන්න කෙනෙක්ට තමන්ගේ ඉඩම මැනගන්න අවශ්‍යනම් මිනින්දෝරු ගාස්තු විදිහට කීයක් ගෙවන්න වෙනවද?

ඇමරිකාව සල්ලි නිකම් දෙන්නේ ඇයි?

මේක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. කිසි කෙනෙක් තමන්ට වාසියක් නැතිව හිඟන්නෙක්ට රුපියලක්වත් නොදෙන මා මේ වියුණුව හරහාම පසුගිය වසර කිහිපය තිස්සේ සමාජගත කර තිබෙන අදහසක්. ඒ නිසා, බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය ඇසීම ගැන මට තිබෙන්නේ සතුටක්. හිතන්න අවශ්‍ය නිවැරදි ආකාරය මෙයයි.

ඒ වගේම, මා තවත් අදහසක් ජනගත කරන්න උත්සාහ දරා තිබෙනවා. ගනුදෙනුවකින් කෙනෙක්ට වාසියක් වෙනවා කියන්නේ අනෙක් පාර්ශ්වයට අවාසියක් වෙනවා කියන එක නෙමෙයි. බොහෝ විට ගනුදෙනුවකින් දෙපාර්ශ්වයටම වෙන්නේ වාසියක්. ඇමරිකාවට මොනයම් හෝ වාසියක් නැත්නම් ඇමරිකාව මේ විදිහට නිකම් සල්ලි දෙන්න හේතුවක් නැහැනේ.

ඇමරිකාව අනෙකුත් රටවලට විවිධ ආකාර වලින් මුදල් ආධාර කරනවා. පළමු කොටස පෞද්ගලික ප්‍රේෂණ. දැන් අපි වගේ අය ලංකාවේ ඉන්න අපේ ඥාතීන් හෝ මිතුරන් වෙනුවෙන් හෝ ඇතැම් පොදු කටයුතු වෙනුවෙන් මුදල් යවනවා. ඒ ඇයි කියන එක පැහැදිලියිනේ. ඒ වගේම, පල්ලි හා රාජ්‍ය නොවන සංවිධාන වලිනුත් වෙනත් රටවලට මුදල් දෙනවා. නමුත්, මෙතැනදී අපි කතා කරන්නේ ඇමරිකාවේ ෆෙඩරල් ආණ්ඩුව විසින් ලබා දෙන ආධාර ගැනයි. මේවා ඇමරිකන් ජනතාවගෙන් එකතු කරන බදු මුදල්. ඒ නිසා, ඒ මුදල් වියදම් කරන ආකාරය හා ඒ හේතුවෙන් ඇමරිකාවට තිබෙන වාසිය ගැන ඇමරිකන් ෆෙඩරල් ආණ්ඩුව ජනතාව දැනුවත් කළ යුතුයි.

ඇමරිකාවෙන් වෙනත් රටවලට ආධාර ලෙස ලබා දෙන මුදල් බොහෝ විට එම රට වලට ලොකු මුදලක් වුවත් ඇමරිකාවට විශාල මුදලක් නෙමෙයි. ඒ නිසා, මේ ආධාර දෙන්නේ දිගුකාලීන වාසියක් බලාගෙන මිසක් එකවර ලැබෙන වාසියක් බලාගෙන නෙමෙයි. දිගුකාලීන වාසි ගැන සැලකූ විට ප්‍රාග්ධනය හිඟ රටවල් වලට ආධාර දීමෙන් ඇමරිකාවට දිගුකාලීනව ආර්ථික, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලදී ලැබෙන වාසි තිබෙනවා.

අපේක්ෂිත ප්‍රධානම ආර්ථික වාසිය වන්නේ අනාගතයේදී ඇමරිකාවේ නිෂ්පාදන වලට වෙළඳපොළක් ලැබෙන එකයි. එහෙම නැතුව ලංකාවේ ඉඩම් මිල දී ගැනීම නෙමෙයි. ඇමරිකාව කියන්නේ ලංකාවට සාපේක්ෂව ඉඩම් ඕනෑ තරම් තිබෙන රටක්. කිසියම් රටක ඒක පුද්ගල ආදායම ඉහළ ගිය විට ඇමරිකාවේ නිෂ්පාදන සඳහා ඉල්ලුම ඉහළ යනවා. විශේෂයෙන්ම සහශ්‍ර අභියෝගිතා අරමුදල් ලබා දීමේදී ආදායම අඩුම රටවල් වෙනුවට පහළ මැදි ආදායම් රටවල් ඉලක්ක කරන්නේ එම රටවල් ඉක්මණින් ඉහළ මැදි ආදායම් කාණ්ඩයට තල්ලු කරන්නයි. දැන් ඩොලර් හාරදාහක් පමණ වන ලංකාවේ ඒක පුද්ගල ආදායම තෙගුණයකින් පමණ වැඩි වුනොත්, දැනට ඉන්දියාවේ හා චීනයේ හදන ආනයනික බඩු වෙනුවට ඇමරිකන් බඩු හොයන පිරිසක් රටේ ඇති වෙන්න ඉඩක් තිබෙනවා.

මේ කරුණ තහවුරු වූ කරුණක්. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව ජපානයට විශාල වශයෙන් ආධාර කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ජපානය වේගයෙන් දියුණු වුනා. දැන් ජපානය ඇමරිකාවෙන් විශාල ලෙස භාණ්ඩ ආනයනය කරන රටක්.  ඉන් පසුව, ඇමරිකාවේ ආධාර ලැබූ දකුණු කොරියාව, මෙක්සිකෝව, බ්‍රසීලය, තායිලන්තය හා වියට්නාමය වැනි රටවල් වල ආර්ථිකයන්ද මේ වන විට විශාල ලෙස දියුණු වී එම රටවල් වලින් ඇමරිකන් භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම, අප්‍රිකානු රටවල ඒඩ්ස් වසංගතය තුරන් කිරීම පිණිස ඇමරිකාව විශාල ලෙස ආධාර කිරීමෙන් පසුව එසේ ආධාර ලැබූ අප්‍රිකානු රටවල් ගණනාවකම ඇමරිකන් ආනයන වලට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට ඇමරිකන් භාණ්ඩ වලට එම රටවල් වල වෙළඳපොළක් හැදෙද්දී එම රටවල් වලින් ඇමරිකාවට කරන අපනයනද ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ඇමරිකන් දේශපාලනඥයින් වෙනස් මත දැරුවත් මෙයත් ඇමරිකාවට වාසිදායකයි. ඇමරිකාව වෙනත් රටකින් භාණ්ඩ ආනයනය කරන්නේ එය රට ඇතුළේ එම භාණ්ඩ නිපදනවාට වඩා වාසිදායක නිසයි. මේ පදනමින් ඇමරිකාවට වාසි සැලසෙන්නේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉහළ ගිය තරමටයි. එය ඇමරිකාවට වාසියක් වෙනවා වගේම ලංකාවට ඊටත් වඩා වාසියක්.

දෙවන වාසිය සෞඛ්‍යමය වාසියයි. ඒඩ්ස්, එබෝලා වැනි වසංගතයක් ලෝකයේ එක් ප්‍රදේශයක ව්‍යාප්ත වූ විට එය අනෙකුත් රටවල් වලටත් බලපානවා. ඒ නිසා, කවර හෝ රටක සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමට ආධාර කිරීමෙන් අනෙකුත් රටවල් වලටද වාසි සැලසෙනවා. ප්‍රතිශක්තිකරණ අනුපාතය අඩු රටක එය ඉහළ දැමීමට උදවු කිරීමෙන් ඇමරිකාවට වසංගත රෝග බෝවී ඇමරිකානු කාර්යක්ෂමතාව පහළ වැටීමේ අවදානම අඩු කරගත හැකියි. මෙයත් ඇමරිකාවට වාසියක් වුවත්, ආධාර ලබන රටවල් වලට ඊටත් වඩා වාසියක්.

තෙවන වාසිය ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබද වාසියයි. කිසියම් රටක මිනිසුන්ගේ ආදායම් මට්ටම, අධ්‍යාපන මට්ටම හා සෞඛ්‍ය මට්ටම ඉහළ යන තරමට එවැනි රටවල් වලින් සමාජ විරෝධීන්, විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් බිහිවෙන්න තිබෙන ඉඩකඩ පහළ  යනවා. ඇතැම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මේ හැම අතින්ම ඉහළින් සිටි අය බව කාට හෝ පෙන්වා දෙන්න පුළුවන්. මා කියන්නේ ඇමරිකාව හිතන ආකාරයයි.

සහශ්‍ර අභියෝගිතා ආධාර ක්‍රමය ඇති කරද්දී ඉහත කරුණු වලට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ආධාර ලබා දීමේදී සලකා බලන නිර්ණායක සකස් කර තිබෙන්නේ මේ අනුවයි. ආධාර ක්‍රමය නිසා, අවසානයේදී ආධාර ලැබුනත් නැතත්, ආධාර ඉල්ලන්න බලාපොරොත්තු වන රටවල් වලට මේ කරුණු 20 ගැන අවධානය යොදවන්න වෙනවා. එය ඇමරිකාවට වාසියි. කොහොම වුනත්, ඇමරිකාවට තිබෙන වාසි ගැන සලකා බලා තිබෙන්නේ 2003දී අදාළ පණත සම්මත කරන විටයි. කිසියම් වසරක් තුළ ආධාර දීම සඳහා ව්‍යාපෘති යෝජනා තෝරා ගැනීමේදී සලකා බලන්නේ අදාළ ව්‍යාපෘතිය සලකා බලන නිර්ණායක අනුව කොයි තරම් තරඟකාරීද කියන එකයි. ව්‍යාපෘති යෝජනා සකස් කළ ලංකාවේ කණ්ඩායම මෙවර වැඩේ හොඳින් කර තිබෙනවා.

මේ සල්ලි දේශපාලනඥයින්ගේ සාක්කුවට යයිද?

මේක සාධාරණ ප්‍රශ්නයක්නේ. මේ ප්‍රශ්නය අපට වඩා සල්ලි දෙන ඇමරිකාවට තිබෙන ප්‍රශ්නයක්. සල්ලි දේශපාලනඥයින්ගේ සාක්කුවට ගියොත් ඇමරිකාවේ අරමුණු ඉටු වෙන්නෙත් නැහැ. ලංකා සහශ්‍ර අභියෝගිතා සමාගම නමින් සමාගමක් හැදිය යුතු වන්නේ මේ අවදානම අවම කර ගන්නයි. එවැනි වෙනම ආයතනයක් හැදූ විට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වගකිව යුතු නිශ්චිත පුද්ගලයින් පිරිසක් ඉන්නවා. ඒ වගේම, ගිවිසුමක් අත්සන් කර ගන්නේත් ලබා දෙන සල්ලි ලංකාවෙන් යෝජනා කර ඇමරිකාව විසින් අනුමත කර තිබෙන ව්‍යාපෘති වෙනුවෙන්ම යෙදවෙන බව තහවුරු කර ගන්නයි.
මේ ගිවිසුම මේ වෙලාවෙම අත්සන් කළ යුත්තේ ඇයි?

මේ ආධාර මුදල ලබා ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව 2016 සිට මහන්සි වී තිබෙනවා. ඇමරිකාවේ සහශ්‍ර අභියෝගිතා සමාගමේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආධාර මුදල අනුමත කර තිබෙන්නේ 2019 අප්‍රේල් 25 දිනයි. ගිවිසුම අත්සන් කිරීම මේ කාලයට වැටීම අදාළ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සිදු වී තිබෙන සාමාන්‍ය දෙයක්. මා දන්නා තරමින්, ජනාධිපතිවරණයට පෙර ගිවිසුම අත්සන් කළ යුතු බවක් ඇමරිකන් පාර්ශ්වයෙන් කියා නැහැ. ආණ්ඩුව වෙනස් වුනත් ඉන් පසුව ගිවිසුම අත්සන් කිරීමට බාධාවක් ඇතැයි මා හිතන්නේ නැහැ. සල්ලි එපානම් ඇමරිකාව බලෙන් සල්ලි දෙන්න එන එකක් නැහැ. එපා කියා කියන්න විතරයි තියෙන්නේ. නමුත්, කවුරු බලයට පත් වුනත් මේ ගිවිසුම අත්සන් නොකර සිටීයැයි හිතන්න අමාරුයි. එය ඒ තරම්ම වාසිදායක දෙයක්.

මේ ආධාර මුදල ප්‍රතික්ෂේප කළොත් ලංකාවට නැවත මෙවැනි ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලංකාව දැනටමත් පහළ මැදි ආදායම් මට්ටමෙන් ඉහළ මැදි ආදායම් මට්ටමට ගිහිල්ලයි ඉන්නේ. හැබැයි ගිවිසුම අත්සන් කිරීම සති දෙක තුනක් ප්‍රමාද කළා කියා අනුමත වී ඇති ආධාරය නොලැබී යන එකක් නැහැ.

මගේ අදහස අනුව ගිවිසුම මේ වෙලාවේ අත්සන් කරන්න යොදා ගන්න ඇත්තේ ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුවට දේශපාලන වාසියක් ගන්න බලාගෙනයි. නමුත්, වත්මන් ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් සිදු වී තිබෙන්නේ එහි අනිත් පැත්තයි.

ප්‍රසිද්ධ කර තිබෙන ගිවිසුම ඇත්ත ගිවිසුමද?

ප්‍රසිද්ධ වී ඇති ගිවිසුම ඇත්ත ගිවිසුම නොවන බව ආණ්ඩුවේ පැත්තෙන් කියා නැහැ. ඒ වගේම මේ ගැන විරෝධය පාන අය කතා කරන්නෙත් ප්‍රසිද්ධියේ තිබෙන ගිවිසුම ගැන බව පැහැදිලියි. ඒ හැර, මේ ගැන මීට වඩා වැඩි දෙයක් මම කියන්න දන්නේ නැහැ. ප්‍රසිද්ධ කර තිබෙන පිටු 84ක ගිවිසුමේ 12, 13 පිටු අඩුයි. මෙය ඡායාපිටපත්කරු අතින් සිදු වූ අත් වැරැද්දක් කියා මම හිතනවා. ඒ පිටු වල තිබෙන දේ පටුනේ තිබෙන නිසා මා ලියා ඇති මූලික කරුණු වලට මේ පිටු දෙක නොතිබීම බල නොපාන බව මගේ අදහසයි.

පසු සටහන: පිටු සියල්ල සහිත, නීතිපතිගේ එකඟත්වයෙන් කෙටුම්පත් කර ඇති ගිවිසුම පහත තිබෙනවා.

http://www.treasury.gov.lk/documents/10181/519892/MCC+Rescan1.pdf/a5d28fac-22cc-4139-a88e-a37311bafb6b

ගිවිසුම නිසා ලංකාවට ඇමරිකන් හමුදා ගොඩ බසියිද?

ඇමරිකන් ෆෙඩරල් රජයේ ආධාර මිලිටරි ආධාර හා මිලිටරි නොවන ආධාර කියා කොටස් දෙකක් තිබෙනවා. මෙය මිලිටරි නොවන ආධාරයක්. මිලිටරි නොවන ආධාර සම්ප්‍රදායිකව බොහෝ විට ලබා දී තිබෙන්නේ යූඑස්ඒඩ් වැනි ආයතන හරහා. මෙවැනි මිලිටරි නොවන ආධාර ලබා දීමේදී ඇමරිකාවේ භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් එම ආධාර මුදල් යොදා ගැනෙන බවට චෝදනා නැගී තිබෙනවා. 2003දී සහශ්‍ර අභියෝගිතා පණත සම්මත කර තිබෙන්නේම ඇමරිකාවේ භූ දේශපාලනික අවශ්‍යතා ගැන නොසිතා ස්වාධීනව තරඟකාරී පදනමක් මත මේ ආධාර මුදල් බෙදා හැරීම වෙනුවෙන්. සහශ්‍ර අභියෝගිතා සමාගම පිහිටුවා තිබෙන්නේත් ඒ වෙනුවෙනුයි. මේ ක්‍රමයට ලබා දෙන්නේ ඇමරිකානු විදේශාධාර වලින් වසරකට ඩොලර් මිලියන 900ක පමණ “සුළු මුදලක්” පමණයි. ඒ කියන්නේ ආධාර ලැබෙන්නේ වසරකට රටවල් දෙක තුනකට පමණයි.

මේ පදනම යටතේ ආධාර ලැබූ අනෙකුත් රටවල් මොනවාද?

කලාපයේ නේපාලය හා ඉන්දුනීසියාව ඇතුළු රටවල් 37ක් පසුගිය කාලයේ මේ යටතේ ආධාර ලබා තිබෙනවා. ඇතැම් රටවල් දෙවරක් ආධාර ලබා තිබෙනවා.

මෙය ක්‍රියාත්මක කළ අනෙක් රටවල් දියුණු වෙලා නැහැ කියන්නේ ඇත්තද?

මේ කතාව බොරුවක් බව පෙන්වාදීම අමාරු නැති වුනත් එය තේරුමක් නැති දෙයක්. දැන් ලංකාවම ගම්මුකෝ. ඩොලර් මිලියන 480ක් කියන්නේ ලංකාවට විශාල මුදලක් වුනත්, ඔය වගේ මුදලක් ලැබුණා කියා ඒ හේතුව නිසාම රටක් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා, රටක් දියුණු වුනේ හෝ නොවුනේ මේ වගේ ආධාරයක් නිසා කියා කියන්න බැහැ.
එතකොට ඉඩම් විකිණීමක් වෙන්නෙම නැද්ද?

ලංකාව ආර්ථික සංවර්ධනයේ ඊළඟ අදියරයට යන්නනම් කළ යුතු මොනවාද කියන එක වරින් වර බොහෝ දෙනෙක් මගෙන් අසා තිබෙන ප්‍රශ්නයක්. මේ ගිවිසුමේ නොතිබුණත්, ලංකාව ආර්ථික සංවර්ධනයේ ඊළඟ අදියරයට යාමට කළ යුතු දේවල් අතර ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීම අත්‍යාවශ්‍යම දෙයක් කියන එක මගේ අදහසයි. ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම සංවර්ධන ආර්ථික විද්‍යාඥයෙක් ලංකාව ගැන නිසි අධ්‍යයනයක් කළොත් මේ කරුණ සම්බන්ධව එකඟ වෙයි කියා මම හිතනවා.

ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 85.8%ක්ම අයිති රජයටයි. පෞද්ගලික අයිතිය යටතේ තිබෙන්නේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 14.2%ක් පමණයි. රජයට අයිති ඉඩම් වලින් 21%ක් විවිධ යෝජනා ක්‍රම යටතේ වගා කටයුතු සඳහා බෙදා දී තිබෙනවා. එවිට ඉතිරි ප්‍රමාණය 64.6%ක්. එහෙත්, මේ ඉතිරි ඉඩම් ඇත්තටම නිදහස්ව තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඔය ඉඩම් බොහොමයක් විවිධ පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙනයි තියෙන්නේ. මේ ගැන දැන ගන්න වෙන්නේ රටේම ඉඩම් නැවත මැන සිතියම්ගත කළහොත් පමණයි.

රටේ මිලියන 21.4ක ජනගහණයකට මිල දී ගන්න හෝ විකුණන්න අයිතිය තිබෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 0.93ක් හෙවත් අක්කර මිලියන 2.3ක් පමණයි. ජීවිතය ගොඩ නගා ගන්නා තරුණයෙකුට හෝ ව්‍යවසායකයෙකුට ඉඩමක් මිල දී ගන්න බොහෝ අසීරු වෙන්න මෙය ප්‍රධාන හේතුවක්.

ප්‍රශ්නය විසඳෙන්නනම් රජය සතු ඉඩම් වලින් කොටසක් පුද්ගලික අංශය සතු විය යුතුයි. රජයට තමන් සන්තකව තිබෙන ඉඩම් වෙළඳපොල මිලට විකුණා එක පැත්තකින් රටේ ඉඩම් ප්‍රශ්නය විසඳමින් අනෙක් පැත්තෙන් රජයේ ආදායම් ප්‍රශ්නයත් විසඳාගත හැකියි. විකිණීම ප්‍රශ්නයක්නම් බදු දෙන්නත් පුළුවන්. ඇමරිකාවට හෝ විදේශිකයින්ට විකිණීම හෝ බදු දීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත්, රටේ ආර්ථික සංවර්ධනයට දායක කර නොගැනෙන ඉඩම් වල අයිතිය පුද්ගලික අංශය වෙත මාරු වෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි. මේ ඉඩම් වැඩි ප්‍රමාණයක් තිබෙන බව හඳුනාගෙන තිබෙන්නේ ප්‍රස්තුතයට අදාළ දිස්ත්‍රික්ක වලයි.

රජයට අයත් ඉඩම් විකිණීමෙන් ඉඩම් වෙළඳපොළේ සැපයුම වැඩි කළ හැකි වුවත්, ඒ පැති වල මිනිස්සු පදිංචි වෙන්න හා ව්‍යාපාර ආරම්භ කරන්න කැමති නොවුනහොත් සැපයුමට ගැලපෙන ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. දැනට ඉඩම් ඉල්ලුම තිබෙන්නේ බස්නාහිර, දකුණු, සබරගමු පළාත් වල පහත රට තෙත් කලාපයේ දිස්ත්‍රික්ක වලටයි. එයට හේතුව රැකියා තිබෙන්නේ ඒ ප්‍රදේශ වල වීමයි. ඒ නිසා, ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීමත්, අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් මගින් කොළඹ ත්‍රිකුණාමල තීරුවේ ආර්ථික කටයුතු උත්තේජනය කළ හැකිනම් එය නරක දෙයක් නෙමෙයි.

ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමරිකාවෙන් සල්ලි ඉල්ලා සිටිද්දී ඒ ව්‍යාපෘතිය නිසා රටේ  මිනිස්සුන්ට සෙත සැලසෙන්නේ කොහොමද කියන එකත් පෙන්වා දෙන්න වෙනවා. එසේ පෙන්වා දීමේදී ආණ්ඩුවේ පැත්තෙන් ඉඩම් වෙළඳපොල සක්‍රිය කිරීම ගැනත් කිවුවා වෙන්න පුළුවන්. සහස්‍ර අභියෝගිතා ආධාර මුදලට සෘජු සම්බන්ධයක් නැතත්, ලංකාවේ ඉඩම් වෙළඳපොල සක්‍රිය කිරීම සංවර්ධනයේ ඊළඟ අදියරට යන්න කළ යුතුම දෙයක්.

මේ කරුණු ගෝඨාභය පාර්ශ්වයේ වගකිව යුතු අය නොදැන ඉන්න හේතුවක් නැහැ. ඔවුන් මේ ගැන කතා නොකරන්නේ ඒ නිසයි. නමුත්, ගෝඨාභය රකින්න කඩුව ගත්තු වඳුරෝ මැස්සෝ එළවන්න ගිහින් ගෝඨාභයට දැනටමත් සෑහෙන්න තුවාළයි.

https://economatta.blogspot.com, ඉකොනොමැට්ටාගේ බොජුන්හල වෙබ් අඩවියෙන්

* අවසර ඇතිව උපුටා ගත්තකි .Categories: Business

Leave a Reply

Your email address will not be published. Required fields are marked *