අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රට කලඹයි – නන්දනත් දිවිසැරිය නිම කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ද දේශපාලනාඥයකු වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම රාගම රෝහලේදී මියගිය බව පවුලේ ඥාතිහූ සනාථ කළහ.මිය යන විට 63 වැනි වියේ පසු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසියේය.ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයකු වූ ඒ මහතා පසුව ඉන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක් විය.නගර සභා සභාපතිවරයකු මෙන්ම ඒ මහතා අමාත්‍යවරයකු ලෙසද කටයුතු කළේය.

අලි-ටෙලිෆෝන් හවුලේ අනාගතය

අඟහරුවාදා රාත්‍රියේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පිටකෝට්ටේ පක්ෂ මූලස්ථානයේදී රැස්වුණේ නායක සජිත්ගේ ප්‍රධානත්වයෙනි.මාලිමා ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන සමඟ එක්ව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් විරුද්ධ විය යුතු බවට මෙහිදී තීන්දු කෙරිණි. දැනට මුද්‍රණය කර ඇති මොඩියුලවලට අධික වියදමක් දරා තිබෙන බවත් ඊට ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවත් සජිත් මෙහිදී කීවේය.එසේම හරිනිට එරෙහි විශ්වාසභංගය වෙනස් නොවිය යුතු බවටද තීරණය විය.

සියලු දෙනා අපේක්ෂා කරන එක්වීමක් ළඟදීම සිදුවන බවත්,දැනට එජාපය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක බවත් සජිත් කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැනුම් දුන්නේය.මෙම අවස්ථාවට මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,රෝහණ බණ්ඩාර,ජේ.සී.අලවතුවල,ප්‍රසාද් සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.මේ අතර සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සජිත් සජබ-එජාප එකතුව ගැන කිසිම  තීරණයක් ගෙන නැති බවට රනිල්ට  ආරංචියක් ලැබු‍ණේ එම රැස්වීම අවසන් වනවාත් සමඟය.රනිල් ඒ වනවිට සිටියේ මල් පාරේ දේශපාලන කාර්යාලයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක සහ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සමඟ හමුවකය.මෙම ආරංචියත් සමඟ සජබයේ හැසිරීම පිළිබඳව රනිල් තරමක් අප්‍රසාදයෙන් යුතුව කතා කළේය.” අපි සුමානෙකින් එජාප කෘත්‍යාධිකාරි  මණ්ඩලයට මේක ඉදිරිපත් කරලා තීරණය ඉදිරිපත් කළා.අපි අපේ තීරණය ගැන නොපමාව රුවන් මඟින් ඒ අයට දැනුම් දුන්නා. අපි යවපු ක්‍රියාමාර්ගය අනුමත කරනවද, සංශෝධනය කරනවද කියලා කියන්න ඕනනේ.අපි එක්ක කතා කරද්දි මුලින් සජබෙ  කිව්වේ යෝජනා එවන්න කියලා.ඒ අනුව තමයි අපි යෝජනා යැව්වේ.ඒ යෝජනාවලට කිසිම පිළිතුරක් නෑ.ඒගොල්ලන්ගේ පැත්තෙන් සාකච්ඡාවලට නම් කරන්නේ කවුද? ඒ මුකුත් තාම තීරණයක් නෑ” රනිල් පැවසුවේය.”කරන්න ඕන දේ නොකර දැන් අධ්‍යාපනය වගේ දේවල් ගැන කතා කරමින් ඉන්නවා” එසේ කීවේ රනිල් හමු වූ සජබ මන්ත්‍රිවරයෙකි. “විපක්ෂ නායක කියා පුද්ගලයෙක් සිටියත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි සටනේ ජය කණුව ගත්තේ  විමල්” හිටපු ඇමැතිවරයෙක් පැවසුවේය.

සජබ – එජාප එකතුව ප්‍රමාද වීම සම්බන්ධයෙන් එජාපයේ කොටසක් දෝස්මුර තබමින් සිටින බව ආරංචිය. අලි-ටෙලි‍ෆෝන් හවුලක් ගොඩ ගන්න යෑමෙන් සජිත් මේ දවස්වල දැඩි අමාරුවක වැටී සිටින බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. 

නීති ක්ෂේත්‍රයේ පැතිරෙන ළැව් ගින්න

හිටපු මැති ඇමැතිවරු පිරිසක් හමු වූයේ පවතින දේශපාලන තත්ත්වය ගැන කතා කිරීමටය.“රනිල්ගේ එංගලන්ත ගමන ගැන මාලිමාවේ උදවිය කුමන කරුණු ගෙන හැර පෑවත් දැන් එය අවසානයේ අනුරගේ පැත්තට අවාසියට පෙරළෙමින් තියෙන්නේ.අනුර ජනාධිපති ලෙස ජපානයේ ගිය ගමන සම්පූර්ණයෙන්ම පෞද්ගලික එකක් බව දැනටමත් කරුණු හෙළිදරව් වී හමාරයි.”හිටපු ඇමැතිවරයෙක් එසේ කීවේය. “මිතුරන් අතරේ පෞද්ගලිකව බෙදා හරින්න. “ඇතුළුවීම ලියාපදිංචි පුද්ගලයන්ට පමණි” යනුවෙන් අනුරගේ ජපන් රැස්වීම ගැන සඳහන් පෝස්ටුව දැන් එළියට ඇවිල්ලා. අනුර ගිහින් තියෙන්නේ රනිල්ටත් වඩා පෞද්ගලික ගමනක් . නීති ක්ෂේත්‍රයේත් දැන් මේ කතාව ළැව් ගින්නක් වගේ පැතිර යනවා.”හිටපු මන්ත්‍රිවරයෙක් එහිදී පැවසුවේය

රට කැලඹූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඩියක් පස්සට ගැනීමට ආණ්ඩුව ඉකුත් සතියේ තීරණයක් ගත්තේ දස දෙසින් විරෝධතා ඇවිළෙමින් තිබූ පසුබිමකය.උද්ඝෝෂණ,සත්‍යග්‍රහ මෙන්ම දෙවියන්ට පොල් ගැසීම දක්වා විරෝධතා තීව්‍ර වී තිබිණි. විපක්ෂයේ සාමාජිකයන් පිරිසක් කතරගමට ගොස් පොල් ගැසුවේ ඉකුත් සෙනසුරාදාය.

මේ අතර සජබ මන්ත්‍රි  ප්‍රසාද් සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූණේ ගිය සඳුදාය.විමල් වීරවංශ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහය ආරම්භ කළේද එදිනමය. හය ශ්‍රේණිය ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත් බව ඇමැති නලින්ද ජයතිස්ස දැනුම් දුන්නේ අඟහරුවාදාය. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් දිගින් දිගටම ඉල්ලා සිටියේද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ අතරේ  ජනාධිපති ලේකම් කාර්යාලයේ අඟහරුවාදා පස්වරුවේ  ජනාධිපති අනුර  ගුරු සංගම් නියෝජිතයන් හමු විය. අගමැති හරිනි සහභාගි වූ මෙම හමුවට යල්වෙල පඤ්ඤාසේකර හිමි,ජෝසප් ස්ටාලින්,මහින්ද ජයසිංහ ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ගණනාවක නායකයෝ සහභාගි වූහ. ගුරුවරු,විදුහල්පතිවරු,විශ්වවිද්‍යාල ආචාර්යවරු,අධ්‍යාපනඥයන් හා විද්වතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවට වෘත්තීය සමිති නායකයෝ මෙහිදී අවධාරණය කළහ.පැය දෙකකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාවේදී අනුර කීවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට ගුරුවරුන්ගේ හා මවුපියන්ගේ විශ්වාසය දිනාගැනීම අවශ්‍ය බවයි.සැකයක් හෝ අවිශ්වාසයක් සහිතව පරිවර්තනයක් සිදුකළ නොහැකි බව කී ජනපතිවරයා  පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති හමුවේ කීවේය.මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟහරවා ගනිමින් 06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම 2027 වසරේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසුවේය.අනුරගේ මෙම සාකච්ඡාවට ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතිවලට පමණක් ආරාධනා කර තිබූ බවත්,තමන් වහන්සේට ඊට ආරාධනා නොකළ බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පසුව කීහ.

විමල් සත්‍යග්‍රහයට සූදානම් වූ හැටි

“දරුවන් උදෙසා වැඩිහිටියෝ” නමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අලුතෙන් සංවිධානයක් ආරම්භ කර ඇත්තේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් කිරීමටය.  එහි කැඳවුම්කරු වන විමල් පළමු පියවර තැබුවේ සඳුදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹමිනි.

රනිල්ගෙන් විමල්ට ඇමතුමක්

“හරිනිගේ බඩිකුලප්පු අධ්‍යාපන සිපයිකරණය වහා හකුළා ගනු,දරුවන් බඩියන් කරවන අධ්‍යාපන ඇමැතිනිය ඉල්ලා අස්වනු” යන ප්‍රධාන සටන් තේමාවෙන් සත්‍යග්‍රහ භූමිය සකසා තිබිණි.  මෙහිදී අධ්‍යාපන ඇමැති හරිනිට එරෙහිව මහජන පෙත්සමකට අස්සන් ලබාගනු ලැබීය.විමල්ද එහි අස්සන යෙදීය.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසි ලෙස කළමනාකරණය නොකිරීම හා නිදහස් අධ්‍යාපනය අභියෝගයට ලක්ව ඇතැයි කියමින් මෙම මහජන පෙත්සම සූදානම් කර ඇත. විමල් සත්‍යග්‍රහයේ වාඩිවෙමින් කීවේ හරිනි ඉවත් වන තුරු අඛණ්ඩව මෙම විරෝධතාව පවත්වාගෙන යන බවත්,ඊට සහාය දැක්වීමට සිය දහස් ගණනක් සූදානමින් සිටින බවත්ය.

කණ්ඩායම් වශයෙන් මාරුවෙමින් සත්‍යග්‍රහය පවත්වාගෙන යන බවත්,එක් කණ්ඩායමක් නැඟිටින විට තවත් කණ්ඩායමක් එහි වාඩි වෙන බවත් ඔහු කීවේය   විමල් වාඩි වී සිටි සත්‍යග්‍රහ වේදිකාව පැවතියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පුවරුව ඉදිරිපිටය.දහවල් වන විට එම ප්‍රදේශයට දැඩි අව් රශ්මියක් වැටෙන බැවින්  ආවරණයක් විදිහට හට් එකක් සවි කිරීමට විමල් ඇතුළු පිරිස තීරණය කළහ.එය සූදානම් කරනවිට කාන්තාවක් කෑ ගැසුවේ හට් එක ගහන්න කවුද ඔයාට කෝට් ඕඩර් එක දුන්නේ කියමිනි.සත්‍යග්‍රහයේ  වාඩි වී සිටි විමල් එවිට ක්ෂණිකව නැඟිට හට් එක සකස් කිරීමට උදවු කළේ කාන්තාවගේ කතාව මායිම් නොකරමිනි.එදින දහවල් කාලයේදී මෙම සත්‍යග්‍රහයට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබා දී තිබුණේ මාර්ගය අවහිර නොවන ලෙසත්, උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකරන ලෙසත් අවධාරණය කරමිනි.

සත්‍යග්‍රහය රාත්‍රියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබිණි.විමල්ද රාත්‍රියේ එම ස්ථානයට පැමිණියේය.රාත්‍රියේදි ගීත ගායනා කරමින් පිරිස කාලය ගෙවා දැමූහ. එසේම අගමැති හරිනි ආරක්ෂක රථ සමඟින් සත්‍යග්‍රහ භූමිය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරන ආකාරය දකින්නට ලැබිණ.පසුදා හරිනි අමාත්‍යාංශය ඇතුළට යන විට හා පිට වන විට සත්‍යග්‍රහ භූමියේ සිටි අය ප්‍රතිචාර දැක්වූයේ හූ කියමිනි.සත්‍යග්‍රහයේ දෙවැනි දිනය වූ අඟහරුවාදා චන්න ජයසුමන,ජගත් කුමාර විමල්ගේ සහායට පැමිණියහ.එසේම වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි හා බත්තරමුල්ලේ සීලරතන හිමියෝද සත්‍යග්‍රහ භූමියට වැඩම කළහ.හය ශ්‍රේණිය ප්‍රතිසංස්කරණ වසරකින් කල් දමන බවට කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැති නලින්ද කියන ආකාරය විමල් දුරකථනයෙන් නැරඹූයේ සත්‍යග්‍රහයේ වාඩි වී සිටින අතර තුරය.ඔහු අසල වෛද්‍ය වසන්ත බණ්ඩාරද විය. අනතුරුව සටන ජයගත් බව කියමින් විමල් සත්‍යග්‍රහය අවසන් කළේය.අවශ්‍ය වුවහොත් නැවත සටන ආරම්භ කරන බවත්,මෙය තිතක් නොව කොමාවක් බවත් ඔහු එහිදී කීවේය. ” ඔයා මොකක්ද හරිනිට කළේ” යැයි රනිල් විමල්ට දුරකථන ඇමතුමක් දී විමසා ඇති බවද සිරිකොතින් ආරංචි වෙයි.

ප්‍රතිසංස්කරණ ගැන මහ නායක හිමි කී දේ

සත්‍යග්‍රහයට පෙර දින  මහනුවරට ගිය විමල් ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් බැහැදැක සත්‍යග්‍රහය ගැන දැනුවත් කළේය. මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ සුමංගල හිමියන් හමුවේ විමල් පැවසුවේ අසැබි වෙබ් අඩවියක් අඩංගු හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සිසුන් අතට පත් නොකරන බවට අගමැතිවරිය කියන නමුත් මේ වනවිට පෞද්ගලික අංශයේ ඇතැම් ආයතන එය මුද්‍රණය කර මුදලට අලෙවි කරමින් සිටින බවයි.එවිට මහ නායක හිමියන් සිනහ වෙමින් කීවේ කොළ කැඩුවට වැඩක් නැති බවයි.මේ අතර ජීඑල්,ගම්මන්පිල,ප්‍රසන්න රණතුංග,සංජීව එදිරිමාන්න,මොහොමඩ් මුසම්මිල් සඳුදා ත්‍රෛනිකායික හිමිවරුන් හමු වී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කර සිටියහ.

හරිනි නිසා මතුගම රත්වෙයි

සෙනසුරාදා මතුගම උණුසුම් වූයේද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසාය. එදින ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙන්ම විපක්ෂය විරෝධතා සංවිධානය කර තිබිණ. විපක්ෂයේ විරෝධතාව පැවතියේ නිදහස් අධ්‍යාපනයේ  පියා වන සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කංනන්ගර ශ්‍රීමතාණන්ගේ පිළිරුව ඉදිරිපිටය. “නිදහස් අධ්‍යාපනය රැකගනිමු! සර්ව පාක්ෂික විරෝධතාව” ලෙස එය නම් කර තිබිණ.එහිදී මහජන පෙත්සමකට අස්සන් තැබීමද සිදුවිය.විපක්ෂයේ උද්ඝෝෂණයට සමගි ජන බලෙව්ගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය,සර්ව ජන බලය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් එක්විය.එසේම  සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් සහායට පැමිණ සිටියහ.අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හා මොඩියුලවල ඇති  දෝෂ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය සංවිධානය විය.පසුගිය නොවැම්බර් 21 නුගේගොඩ පැවැති ආණ්ඩු විරෝධී රැස්වීමට සහභාගි නොවූ සජබයේ සජිත් හා සර්වජනයේ දිලිත් මෙම  විරෝධතාවට එක්වූයේ එකටමය. මීට අමතරව ජගත් විතාන, අජිත් පී. පෙරේරා,සංජීව එදිමාන්න ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ විපක්ෂයේ දේශපාලනඥයෝ පිරිසක් සහභාගි වූහ. ඔවුන් දිගින් දිගටම කීවේ  සමලිංගික වෙබ් අඩවියක් මොඩියුලයකට ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන්  හරිනි ඉල්ලා අස්විය යුතු බවයි.

උමංගා හා කොට්ටහච්චිත් ඇවිත්

විපක්ෂයේ උද්ඝෝෂණය පැවැත්වෙමින් තිබියදී ආණ්ඩුවෙන්ද විරෝධතාවක් සංවිධානය කර තිබිණ. ඒ විපක්ෂය කාන්තා හිංසනයක් සිදුකරන බව කියමිනි.මාලිමාවේ මන්ත්‍රිවරියන් වන නිලන්ති කොට්ටහච්චි හා  ඔෂානි උමංගා කාන්තාවන් පිරිසක් කැඳවා මෙම උද්ඝෝෂණය කළේ මතුගම නගරයේ ප්‍රධාන මාර්ගය අසලය. කොට්ටහච්චිලාගේ ප්‍රධාන චෝදනාව වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිහින් විපක්ෂය හරිනිට අපහාස කරමින් සිටින බවයි. විපක්ෂයේ හැසිරීම හෙළා දකින බවද උද්ඝෝෂණයට එක්වූ කාන්තාවෝ හඬ නඟමින් කීහ. “ප්‍රේමදාස මේ අහපන්, නාමලයෝ මේ අහපන් උඹෙ අම්මා ගෙන්නාපන් “ යැයි එහිදී කොට්ටහච්චි ඇතුළු පිරිස හඬනඟා කියනු ඇසිණ. “ගෑනුන්ට අවමන් කරන විපක්ෂයේ ගොන් හවුල හෙළා දකිමු,ගැහැනුන්ගේ ගරුත්වය වෙනුවෙන් ගැහැනු අපි එක මිටට,ලැජ්ජ නැති විනාශකයේ මන්ත්‍රිලා කාන්තා හිංසනයේ”  ආදී විරෝධතා  පුවරු එහි ප්‍රදර්ශනය විය.උමංගා එහිදී විපක්ෂයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළාය.

දෙවියන්ගෙන් හා ටිල්වින්ගෙන් එකවර ඉල්ලූ දේ

විපක්ෂයේ පිරිසක් සෙනසුරාදා කතරගමට ගියේ අගමැති හරිනිට එරෙහිව පොල් ගැසීමටය. විශාල පිරිසක් එක්ව කතරගම දේවාලයේ පොල් ගසා කන්නලව්වක් ඉදිරිපත් කළේ හරිනි ඉවත් කර දෙන ලෙසට ඉල්ලමිනි.  සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ මෙම අවස්ථාවට එක්වුණේ කළුතර දිස්ත්‍රික්කයේ පාක්ෂිකයන් පිරිසක් සමඟිනි. එසේම මෙම කාර්යයට වරුණ රාජපක්ෂද උදවු කර තිබිණ.කතරගම දෙවියන්ගෙන් හරිනි ඉවත් කරන්නැයි ඉල්ලන අතරේ ඔවුන් ටිල්වින් සිල්වාගෙන්ද  ඉල්ලීමක් කළේ අනේ ටිල්වින් අයියේ  හරිනි ඉවත් කරලා වෙන කෙනකුට අධ්‍යාපන ඇමැතිකම දෙන ලෙස කියමිනි. “අනේ ටිල්වින් අයියේ ඔබතුමාවත් මේකට බැහැලා මේ මොකද්දේ වෙන්නේ කියලා බලන්න.ටිල්වින් අයියා මැදිහත් වෙලා හරිනිගේ ක්‍රියාදාමය වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කරන්න”යැයි පොල් ගැසීමට එක්වූ කාන්තාවක්  කීවාය.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  කල් දැමූ පසු චරිත් හමු වූ සජබ මන්ත්‍රිවරුන් පිරිසක් ඇසුවේ පොල් ගහපු නිසා වැඩේ නැවතුණා නේද කියමිනි. “ඔව්. පොල් ගහපු එක වැඩ කළා” යැයි එවිට  චරිත් කීවේය.

සජිත්ලාත් අධ්‍යාපන වැඩේට අත ගසයි

ජාතික අධ්‍යාපන කොමිසමේ හිටපු නිලධාරීන් පිරිසක් බදාදා විපක්ෂ නායක කාර්යාලයට ආවේ   සජිත් හමුවීමටය.ඒ දඹර අමිල හිමියන් ඇතුළු නිලධාරීන් පිරිසකි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා මතුව ඇති ගැටලුව ගැන මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.එසේම විපක්ෂ නායක කාර්යාලය මැදිහත්ව දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම ගැන අදහස් හුවමාරු විය.රෝහිණි කවිරත්න,මුජිබුර්,බුද්ධික පතිරණ,චරිත හේරත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. “ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ ලේකම් කාර්යාලයත්,අධ්‍යාපන මහජන සභාවත් ඒකාබද්ධව අද මේ වැඩසටහන සම්පාදනය වෙන්නේ.මෙය පක්ෂ දේශපාලනයෙන් එහා ගිය කාර්යයක්.පාර්ලිමේන්තුව,ජනාධිපති ලේකම් කාර්යාලය,අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය හැරුණු කොට විපක්ෂ නායක කාර්යාලය මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනයක්.එය දේශපාලන පක්ෂයක කාර්යාලයක් නෙමෙයි.

මහජන බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකාවේ හතර වන ප්‍රධානතම ආයතනය වන විපක්ෂ නායක කාර්යාලය 2022 සිට ප්‍රතිපත්ති සම්පාදනයට විවිධ ක්ෂේත්‍ර අරබයා වැඩසටහන් 39ක් ආරම්භ කර තිබෙනවා.එහිදී අධ්‍යාපනය පිළිබඳව අපි විවිධ අවස්ථාවලදී සාකච්ඡා පැවැත්වුවා.අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු  සාකච්ඡා කරන්න විපක්ෂ නායකතුමාගේ ආරාධනයෙන් ඔබ සියලු දෙනා පැමිණ සිටින්නේ”බුද්ධික පතිරණ කීවේය. “අද රටේ දිට්වා කුණාටුවෙන් පසුව ආපු ලොකුම කුණාටුව විදිහට තියෙන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ.ඒ තුළ ආණ්ඩුව පසුබෑමකට ලක්ව තිබෙනවා.රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නමුත් කුමක් හෝ ලබාදීම අපි අනුමත කරන්නෙ නෑ.ආණ්ඩුවේ උද්දච්චකම නිසා මේ අවුරුද්දේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කර ගන්න බැරි වෙලා.අපිට කරගන්න තිබුණු දෙයක් කර ගන්න බැරි වුණා.අපි දේශපාලන බලපෑමකින් තොරව මේක ඉදිරියට ගෙන යා යුතු බවට ආංශික අධීක්ෂණ කමිටුවලදී සාකච්ඡා කළා.විපක්ෂ නායක තුමා ඇතුළු අපේ මන්ත්‍රි කණ්ඩායම දිගින් දිගටම කියා සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැති බව.හැබැයි ඒවා විධිමත්ව රටට ගැළපෙන විදිහට ගෙන ආ යුතුයි”රෝහිණි කවිරත්න කීවාය.

රනිල් රුවන්වැලි සෑය වන්දනා කරද්දි නාමල් බුද්ධගයාවේ

රනිල්, වජිර හා සාගල සමඟ අඟහරුවාදා සවස අනුරාධපුරයට ගියේ ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වන්දනා කිරීමටය. එසේම මෙම අවස්ථාවට පී.හැරිසන්ද පැමිණ සිටියේය. රනිල්ගේ මෙම ගමන සම්බන්ධීකරණය කළේ වජිරය. අනුරාධපුර පූජා භූමියට ගිය රනිල්ට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. මහ සංඝරත්නය පමණක් නොව එහි පැමිණ සිටි ජනතාවද රනිල්ගේ පැමිණීම පිළිබඳව විශේෂ උනන්දුවකින් සිටිනු පෙනිණි. “ඔබතුමා නොහිටින්න අද රට කොතැනද කියන්න දන්නේ නෑ” බොහෝ දෙනෙක් රනිල් හමුවේ කියන්නට වූහ.රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන්  බැහැ දැක ආශීර්වාද ලබා ගත් හිටපු ජනපතිවරයා උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක යෙදීය.

“රාජ්‍ය නායකයෝ වෙහෙර විහාරස්ථාන,අටමස්ථානය, ස්වාමීන් වහන්සේලා බැහැ දැකලා ආශීර්වාද ලබාගැනීම එදා සිටම පැවති සිරිතක්.ඒක මේ වෙලාවේ යුගයේ හැටියට කාටත් හොදයි” එහිදී ඥානතිලක හිමියෝ කීහ.   එසේම ඔහු  අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.  පල්ලේම හේමරතන හිමි, ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි මෙන්ම ලංකාරාමාධිපති රළපනාවේ ධම්මජෝති හිමි ඇතුළු මහ සංඝරත්නය සහභාගි වූ විශේෂ ආශීර්වාද පින්කමක්ද රනිල් වෙනුවෙන් සූදානම් කර තිබිණ.එහිදී අදහස් දැක්වූ රළපනාවේ ධම්මජෝති හිමියෝ රනිල්ගේ ශාසනික හා ජාතික සේවය අගය කරමින් අනුශාසනාවක් කළහ.“ ඔබතුමා ගැන කතාබහට ලක්වූ එක් අවස්ථාවක් මේ ඉතිහාසයේ අපි දකිනවා.දේශපාලන ඉතිහාසයේ අපේ රට දෙපැත්තට දෝලනය වෙමින්  අරාජිකවීමට ගිය අවස්ථාවේදී මේ රට අවදානම් තත්ත්වයෙන් බේරගන්න ඉදිරිපත් වුණා.එතැන් සිට ඔබතුමා ජනාධිපති ලෙස රටට හා ජනතාවට සේවය කළා.සැතපුම් ගණන් පෝලිම් තිබුණා.මිනිස්සු පෝලිම්වල ඇදගෙන වැටුණා.භයානක තත්ත්වයක් රට ඇතුළේ නිර්මාණය වෙමින් තිබුණා.ජාත්‍යන්තරයේ සහ‍ායෙන් මිනිස්සුන්ගේ හිත්වල දුක් නිවලා ආර්ථිකය යම් මට්ටමට ගෙනාවා.මේවා මිනිස්සුන්ට අමතක වෙලාද මං දන් නෑ.දේශපාලනය කියන්නේ ආභරණයක් නොවන බව ඔබතුමා පෙන්නුවා”යැයි උන්වහන්සේ එහිදී පැවසූහ.

මේ අතර,මන්ත්‍රි නාමල් බුද්ධගයාවේ පිහිටි මහා බෝධි විහාරයට ගොස් තිබුණේ බිරිඳ ලිමිනි සමඟය.  .එසේම අනගාරික ධර්මපාලතුමා වර්ෂ 1891දී ආරම්භ කරන ලද ඉන්දියාවේ මහා බෝධි සංගමයටද ඔහු ගියේය.

සාගල එක්ක සජිත් උපන්දිනය සමරයි

සජිත් ජලනි යුවළ කොළඹ හුණුපිටිය ගංගාරාමයට ඉකුත් සඳුදා පෙරවරුවේ ආවේ විශේෂ පින්කමකට සහභාගි වීමටය. සජිත්ගේ 59 වැනි උපන් දිනය වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් හා ආගමික වතාවත් එහි සූදානම් කර තිබිණ. හර්ෂ,ගයන්ත,චමින්ද්‍රානි,කාවින්ද,හර්ෂණ,චරිත් අබේසිංහ ඇතුළු පිරිසක් ඒ වන විටත් ගංගාරාමයට පැමිණ සිටියහ. එසේම එජාප ජාතික සංවිධායක සාගල රත්නායක සහ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනද ආවේ සජිත්ට සුබ පැතීමටය.කලක් එක පක්ෂයේ තනතුරු දරමින් එකට දේශපාලනය කළ පිරිසක් එකට එක්ව සිටි අවස්ථාවක් විය.සජිත්ලා,සාගලලා පහන්, හඳුන්කූරු දැල්වූයේත්,මල් පූජා කළේත්,බෝධීන් වහන්සේ නැහැවූයේත්,සිවුරු පූජා කළේත් එකටමය. රුවන් පහනට පොල්තෙල් වත්කර තෙල් බෝතලය දුන්නේ කාවින්දගේ අතටය.සජිත් පහන දල්වා ඉටිපන්දම දුන්නේ සාගලගේ අතටය. සජිත් රුවන්ට දුන් ඉටිපන්දම සාගල කාවින්දට දුන්නේය.කාවින්දගේ අතින් එය ලැබුණේ ගයන්තගේ අතටය.එහිදී සජිත් මෙන්ම ගයන්ත සාගලට හා රුවන්ට අතට අත දුන්නේ පරණ මිතුරුකම් අලුත් වී ඇතැයි පෙන්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *