මැයි මාසය කැනඩාවේ බෞද්ධ උරුම මාසය කලයුත්තේ ඇයි ?

කැනේඩියානු ගුවනේ අත්සන් සොයමින් සැරිසරනා විද්‍යුත් මහජන පෙත්සමක් ඇස ගැටුණු අප SriLancan පුවත්පත තීරණය කළා මෙම විද්‍යුත් පෙත්සම නම්වූ අයිස්-කන්ද යට තිබෙනා විශාල කොටස ගැන හාරා ඇවිස්සීමට. පුවත්පත වෙනුවෙන් ඒ සම්බන්ධව සොයා බැලීමට අප දුරකතන සංවාදයකින් මුණ ගැසුනේ වෙනස් ආරක අදහසක් ඇති ශ්‍රී ලාංකිකයෙක්. ඔහු තමයි මේ ලිපියට නිමිත්ත වන ඔටවාහි ‘බෞද්ධ තානාපති කාර්යාලයේ’ සහ වෙසක් උත්සවයේ මුලාරම්භක විසිත සිරින් ලීලාරත්න මැතිතුමා. මැයි මාසය බෞද්ධ උරුම මාසය ලෙස ප්‍රකාශයට පත්කිරීම පෙරදැරිව ඉතා වෙහෙසක් ගන්නා එතුමාගෙන්ම අපි ඒ ගැන තව දුරටත් කරුණු විමසා බලමු.  

ඒ පිළිබඳව කතාව ඇරඹීමට පෙර, එතුමාට මගේ මුල්ම ඉල්ලීම වුයේ ඔහු ගැන අප පාඨකයින්ට යම් හැඳින්වීමක් කරනා ලෙසටයි. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වූ ඔහු, 1986-1987 වර්ෂවලදී, විදුහලේ බෞද්ධ සමිතියේ සභාපති පදවිය හෙබවූවා. පසුව කැනඩාවට පැමිණීමට පෙර New York Baruch College හි අධ්‍යාපනය ලබනා කාලයේදීත් එහි බෞද්ධ සමිතියක් පිහිටුවීමට ඔහු කටයුතු කලේ New York මහා විහාරයේ හිටපු නායක හිමිපාණන් වහන්සේ වන කුරුනෑගොඩ පියතිස්ස ස්වාමීන්වහන්සේගේත් අනුශාසනා ඇතිවයි. සමකාලීනව, උන්වහන්සේ සමග ගොඩනැගිලි සෑදීම වැනි විවිධ කටයුතුවල නිරත වීමටත්  ලීලාරත්න මැතිතුමාට අවස්තාව ලැබුනා. 

කැනඩාවට පැමිණීමෙන් පසුවද එතුමා බොහෝ බෞද්ධ පුණ්‍ය කටයුතු මෙන්ම බුදු දහම ප්‍රචාරය කිරීමේ කටයුතු වලටද සහභාගී වුවා. සිරින් ලීලාරත්න මහතාගේ බුදු දහම නගා සිටුවීමේ චෛතසිකය පිටුපස සිටගත් දැවැන්ත මෙන්ම පරමාදර්ශී චරිතය වූයේ ඔහුගේ පියාගේ වැඩිමහල් සොහොයුරෙක්වූ සිරිපාල ලීලාරත්න මැතිතුමා. ඔහු ශාස්ත්‍රවේදී සහ දර්ශනශුරී උපාධීන් දැරූ අතර සිංහල, පාලි, සංස්කෘත, හින්දි, වංග, චීන, ඉංග්‍රීසි භාෂා සියල්ල දත් බහුශ්‍රුතයෙක්. කෘතහස්ත ලේඛකයෙක්, දේශකයෙක්, ගුරු විද්‍යාල කථිකාචාර්ය වරයෙක්, මහාචාර්යවරයෙක් වූ එතුමා පසුකාලීනව, චීනයේ බීජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ආසියා-අප්‍රිකා භාෂා පීඨයේ සිංහල අංශයේ කථිකාචාර්ය වරයෙක් ලෙසද සේවය කළා. 1977 දී, සිරිපාල ලීලාරත්න මහතාට චීනයට යාමට සිදු වුයේ චීන සිංහල පර්යේෂණ අංශයේ අධිපති ලෙසට. අවිවාහකයෙකු වූ එතුමාගේ මුළු ජීවිතය මෙන්ම පෞද්ගලික ධනයද කැප කලේ බෞද්ධාගමට මෙන්ම පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව දීම වැනි පොදු අරමුණු උදෙසා. එතුමා සමඟ තිබු  සමීප සම්බන්ධතාවය තමයි සිරින් ලීලාරත්න මහතාට  බෞද්ධාගම සම්බන්ධව ප්‍රබල ආභාෂයක් ලැබීමට හේතු කාරකය වුයේ. භික්ෂුණී ශාසනය සම්බන්ධව ඉතා උනන්දුවක් දැක්වූ සිරිපාල ලීලාරත්න මහාචාර්යතුමා ඒ පිළිබඳව චීනයේදී කරනා ලද ගවේෂණවලින් සොයා ගනු ලැබුයේ චීනයේ බෞද්ධ භික්ෂුනී ශාසනය අදටත් පැවතීමට හේතුව වන්නේ ලංකාවෙන් වැඩම කල ථේරවාද භික්ෂුනීන් වහන්සේ නමක් වූ දේවසාර තෙරණියගේ අනුග්‍රහය බවයි. 1983 දී, සිරිපාල ලීලාරත්න මැතිතුමා දිවි සැරිය නිම කල පසුව එතුමාගේ ශිෂ්‍යයෙකු වූ චීන ජාතික ආචාර්ය හව් වේ මින් මහතා සිරින් ලීලාරත්න මහතාට මුණ ගැසුනේ 2003 දී. අවුරුදු 30 ක පමණ කාලයක් ලංකාවේ ජීවත් වූ හව් වේ මින් ආචාර්යතුමා නැවතත් 2019 කොවිඩ් කාලයේදී ඔහුට මුණ ගැසුනා. එතුමා සමඟ කල සාකච්චාවලින් භික්ෂු ශාසනය පිළිබඳව ඉතාමත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට විසිත සිරින් ලීලාරත්න මහතාට හැකි වීම ඔහුගේ බෞද්ධ දර්ශන සංචාරයට විශාල රුකුලක් වුවා.

ඉන්පසුව, එතුමා මා සමඟ කරුණු බෙදා හදා ගත්තේ Buddhist Embassy නම්වූ සංවිධානය මගින් 2026 සඳහා සුදානම් කර ඇති අධ්‍යාපන පන්ති මාලාවන් 9 ක් පිළිබඳව. මෙම සැසිවලදී, විනාඩි දහයක් E-පෙත්සමට අත්සන් කිරීම පිළිබඳව සාකච්චා කිරීමට නියමිතයි. ”Bridging Ancient Wisdom with Today’s Realities-Teaching Buddism in the language of the modern world” නම්වූ ආරම්භක සැසිය 2026 ජනවාරි 3 වෙනි සෙනසුරාදා පස්වරු 4-5.00 EST, zoom තාක්ෂනය ඔස්සේ පැවැත්වූ  අතර, පෙබරවාරි 07 වෙනි සෙනසුරාදා zoom තාක්ෂනය ඔස්සේ පවත්වන ”Forest Monks and Technology-Teaching Buddhism in the language of the modern world” හි උපදේශකවරයා වන්නේ කැනේඩියානු ස්වාමීන්වහන්සේ නමක් වන Bhante Joe Athulo හිමියන්. මෙය විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට ඵලදායි වේයැයි සංවිධායකයින් බලාපොරොත්තු වෙනවා. 

“මැයි මාසය බෞද්ධ උරුම මාසය” ලෙස ප්‍රකාශයට පත්කිරීම වැනි ගැඹුරු කර්තව්‍යකට නැඹුරුවීම පිළිබඳව අප පාඨකයින් තුල ඇති විය හැකි කුකුස ගැන අවබෝධයෙන්, මෙවැනි අදහසක් ඔහුට ඇති වුයේ කෙසේද කියලා මා ඔහුගෙන් විමසුවා. අද වෙනකොට අවුරුදු 40කට වැඩි කාලයක් බෞද්ධ දැක්ම පිලිබඳව සිතේ ගැඹුරු කැක්කුමක් තිබුනත්, ඔහුගේ පුතා උදාර ලීලාරත්න කුඩා කාලයේදී පිරිත් නුලක් බැඳගෙන පාසැල් ගිය මොහොතක ඔහු පත්වූ අපහසුතාවය හේතුවෙන් පිරිත් නුල නැවත බැඳීමට පුතා ප්‍රතික්ෂේප කිරීම ඔහු බාර ගත්තේ ඉතා ගැඹුරු හැගීමකින්.  අනාගතයේ කිසිම දරුවෙක් එතැනට පත්විය යුතු නැතැයි කියනා අධිෂ්ඨානයයි ඔහුගේ අරමුණේ  බීජය වුයේ. ඔහුට අවශ්‍ය වුයේ බෞද්ධ උරුමක්කාරකම  කැනේඩියානු අයිතිවාසිකම් ප්‍රඥප්තිය තුලට ඇතුලත් කිරීමට.

මේ සඳහා,  පසුගිය නොවැම්බර් 05 වෙනිදා කැනඩාවේ පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒම සඳහා විසිත සිරින් ලීලාරත්න මහතා එහි මුලික කටයුතු ආරම්භ කලේ කැනේඩියානු දේශපාලකයින්ද සම්බන්ධ කරගෙන. කැනඩාවේ බුදු දහම ප්‍රචලිත කිරීමේ අරමුණින් මැයි මාසය බෞද්ධ උරුම මාසය ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සංකල්පය ගෙන ඒම සඳහා ලිඛිත මහජන පෙත්සමක් අවශ්‍ය වූ බැවින්,  එය කැනඩා පාර්ලිමේන්තු වෙබ් අඩවිය ඔස්සේ ඉලෙක්ට්‍රොනිකව එලි දැක්වුවා. අවශ්‍ය අත්සන් ප්‍රමාණය 500ක් වුවත්, දැනට අත්සන් 750 කට වැඩි සංඛ්‍යාවක් දායකත්වය ලබාදී  තිබෙනවා. Ontario ප්‍රාන්තයේ, Kanata හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන, The Honourable Jenna Sudds {Parliamentary Secretary to the Minister of Government Transformation, Public Works and Procurement and to the Secretary of State(Defence Procurement) (Parliamentary Secretary)}, මෙම පෙත්සම නිල වශයෙන් අනුමත කලේ ඉතා කැමැත්තෙන්. 2021 දී, එවකට Ottawa නගරාධිපතිව සිටි Jim Watson, මැයි මාසය බෞද්ධ උරුම මාසය සම්බන්ධව Video ප්‍රකාශයක්ද ලබා දුන්නා.

විසිත ලීලාරත්න මහතා ඉන්පසුව බෞද්ධ දර්ශනය මෙන්ම බෞද්ධ උරුම මාසය මෙතරම් බෞද්ධයන්ට වැදගත් වන්නේ කිමෙක්දැයි කියලත් දීර්ඝ වශයෙන් පැහැදිලි කලා.

ලෝක බෞද්ධ ජනගහනය මිලියන 500-535 ක් පමණ වන නිසා, එය ලොව සිව්වන විශාලතම ආගම බවට පත් වෙනවා. නිර්මාතෘ දෙවියෙකු නොමැති බුදු දහමේ, බුදුන් රජාණන් වහන්සේ සැලකෙන්නේ මාර්ගෝපදේශකයෙකු ලෙස මිසක් දෙවියෙකු ලෙස නොවේ. උන්වහන්සේ දේශනා කලේ භාවනාව වැනි පුරුදු හරහා ස්වයං අවබෝධය කෙරෙහි අවධානය යොමු කරන ලෙසටයි. බෞද්ධ සාරධර්ම අතර අවිහිංසාව, සිහිකල්පනාව, ඉවසීම, අනිකාට ගෞරව කිරීම, ත්‍යාගශීලීභාවය ප්‍රධාන තැනක් ගන්නවා. උතුරු ඇමරිකාව සහ බටහිර කලාපවල බෞද්ධයින්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින අතර කැනඩාවේ 350,000 කට වඩා වැඩි ප්‍රමාණයක් බෞද්ධයින් සිටිනවා. මැයි මාසය බෞද්ධ උරුම මාසය ලෙස නම් කිරීමෙන් කැනේඩියානුවන්ට, මේ රටේ වසන බෞද්ධයින්ගේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ මානුෂීය දායකත්වයන් හඳුනා ගැනීමේදී එය වැදගත් සන්ධිස්ථානයක් වන අතර මෙම නම් කිරීම වර්තමාන බෞද්ධයින් විසින් අනාගත පරම්පරාවන් සඳහා දෙනු ලබන විශිෂ්ඨ ත්‍යාගයක් වන බවයි සංවිධායකයින් තරයේ විශ්වාස කරනු ලබන්නේ.

මගේ ඊළඟ ප්‍රශ්නය වුයේ, ඔටවා හි පිහිටුවා ඇති ලොව සහ කැනඩාවේ පළමු නිල ධර්මචක්‍ර මාර්ග සංඥාව පිළිබඳව. ලෝකයේ ප්‍රථම වතාවට 2012 වසරේ වෙසක් දිනය සැමරූ අවස්ථාවේදී  තමයි මෙම නිල බෞද්ධ මාර්ග සංඥාව මුලින්ම ස්ථාපිත කලේ. ඉන්පසුව 2018 දීයි, අම්බලන්ගොඩ නගරයෙත් නිල ධර්මචක්‍ර මාර්ග සංඥාවක් සවිකරන ලද්දේ. අදටත් එය අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබෙනවා.

2013 වසරේ දී, Ottawa Mayor ව සිටි Jim Watsonගේ ප්‍රධානත්වයෙන් කාම්බෝජ, ලාඕස්, තායිලන්ත, ජපන්, ඉන්දුනීසියානු, නේපාල, ඉන්දියානු, කොරියානු, ශ්‍රී ලාංකික වැනි විවිධ ජාතීන්, එම රටවල තානාතිපතිවරුන් සමඟ Ottawa නගර ශාලාවේ වෙසක් දිනය සමරද්දී, එම නගර ශාලාව ඉදිරියේ අඩි 26X12 ප්‍රමානැති බෞද්ධ කොඩිය ලෙල දීම කැනේඩියානු බෞද්ධයින්ට ඉතා විශේෂ අවස්තාවක් උනා. එම රටවලට අයත් සංස්කෘතික නැටුම් ගැයුම්ද උත්සවයට ඇතුලත්වීමෙන් එම අවස්තාව අනාගත දරු පරපුරට ලබා දුන්නෙ ඉතා වටනා සංස්කෘතික ආභාෂයක්. 2026 වසරේදී, ටොරොන්ටෝව  ඇතුළු නගර කිහිපයක වෙසක් උත්සව සංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී, මෙම උදාර කර්තව්‍යයට සත් භාවයෙන් අතහිත දුන් සැමට කෘතඥතාවය පලකිරීමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා.

ඉනික්බිත්ව, අප සාකච්චා කලේ 1986 සිට 2025 දක්වා,  ශ්‍රී ලංකාවේ සිට කැනඩාව තෙක් ඔහු ගමන් කල බෞද්ධ ධර්මය නැගිටුවීමේ දීර්ඝ මංපෙත ගැන. මෑතකදී  ඔටවා නගරාධිපතිවරයා විසින් විසිත ලීලාරත්න මහතාගේ වසර 15ක ප්‍රජා නායකත්වය පිළිගැනීම හේතුවෙන් ලැබුණු  ගෞරවය ගැන ඔහු මා සමඟ පැවසුවේ ඉතා තෘප්තිමත් හැගීමකින්. ඒ කටුක මාවත ඔහු සමඟ බෙදා හදා ගත් සෑම කෙනෙකු සම්බන්ධව ඔහුට ඇත්තේ කෘතහස්ත හැගීමක්. එමෙන්ම මෙම පිළිගැනීම, ඔවුනට අනාගතයේදී, මීටත් වඩා සෑම ප්‍රජාවක් සමඟම සහයෝගීතත්වයෙන් සහ එක්සත්ව ඉදිරියට යාමට පෙළඹුමක් වනවා. මෙම ගමනේ අරමුණු ගැන පැහැදිලි අවබෝධයක් තිබීමෙන් තනිවම කළ හැකිදෑට වඩා බොහෝ දේ ඉටු කළ හැකියැ”යි ඔහුගේ විශ්වාසය. 

ඒත් එක්කම, මැයි මාසය බෞද්ධ උරුම මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සංවිධාන කටයුතු සඳහා “Buddhist Heritage Month” නමින්  non-profit organization එකක් පත් කර තිබෙන අතර, මෙම සංවිධායකයින්ගේ මීළඟ අරමුණ වන්නේ ටොරොන්ටෝව සහ ඒ අවට භික්ෂුනීවහන්සේලා ඇත්නම්, 2027 වනවිට භික්ෂුණී ආරාමයක් පිහිටුවීමට.

පාර්ලිමේන්තුවේ මුලික අනුමැතිය ලැබ සියල්ල සම්පුර්න වුවාට පසුව, මැයි මාසය බෞද්ධ උරුම මාසය ලෙස නිල වශයෙන් නම් කල පළමු රට කැනඩාව වීම බෞද්ධ, අබෞද්ධ අප සැමට ඉතාමත්ම ඓතිහාසික සංසිද්ධියක් වනවාට අමතරව විශේෂයෙන්ම බෞද්ධයින් එම ප්‍රෞඪත්වයේ කොටස්කරුවන් වෙනවා.

බෞද්ධ උරුම මාසය මුලපිරීම සඳහා මාර්තු 5 වන දින වන විට කැනේඩියානු අත්සන් 700 සිට 10,000 දක්වා එකතු කර ගැනීමට “Buddhist Heritage Month” සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. එම ඉලක්කය සපුරා ගැනීමට ඉත සිතින් සම්මාදම් වන ලෙස Sri Lancan පුවත්වත අප පාඨකයින්ගෙන් අප ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම විසිත සිරින් ලීලාරත්න මැතිතුමා සමඟ පැයකට අධික කාලයක් කල අපගේ සාකච්චාව මෙතැනින් අවසන් කරන්නේ මේ උදාර කර්තව්‍ය වෙනුවෙන් දර දිය ඇදි  එතුමා ඇතුළු සංවිධායක මණ්ඩලයට අප පුවත්පතේ ගෞරවයත්, ඔවුනගේ ඉදිරි කාර්‍යයන් සඳහා අපගේ සුභාශිංසනත් පිරි නමමින්! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *