අඩි 7000ක උඩ සිට ලෝක කුසලානය ප්‍රේමදාස පිටියට.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට පිරිනමන රන් ආලේපිත කුසලානය, අඩි 7000ක උඩ සිට පැරෂුට් මඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පසුගියදා ගොඩබැස්සවීමට කටයුතු කළේය. ත්‍රිවිධ හමුදාවලින් සමන්විත පැරෂුට් භටයන් පැරෂුට් 5කින් උඩු ගුවනේ පිම්ම ලබා අලංකාර ලෙස ප්‍රේමදාස ක්‍රීඩාංගණයට කුසලානය රැගෙන පැමිණියේය.ජාතික ධජය ලෙළදෙමින් පැරෂුට් භටයන් පස්දෙනා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ගොඩ බසිද්දී එක් පැරෂුට් භටයකු අත විස්සයි20 ලෝක කුසලානය සුරැකිව තිබූ අතර, ඔහු ක්‍රීඩාංගණය හරහා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රධාන මණ්ඩපය ඉදිරියේ විශේෂ පීඨිකාවේ කුසලානය තැන්පත්කොට මහජන ප්‍රදර්ශනයට තැබුවේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරනු ලබන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ එතැන් සිට හෙලිකොප්ටරයකින් ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඉහළ අහස දක්වා පියාසර කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිට රත්මලාන දක්වා ගමන් කරද්දී ලෝක කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබිණි.

ෙලෝක කුසලානය ප්‍රදර්ශනය කරන නිල සංචාරය පසුගිය (21) වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වූ අතර, (24) දින දක්වා ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කෙරේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන්‍ පසුව මහනුවර, දඹුල්ල සහ යාපනය යන ප්‍රදේශවල සංචාරය කරන ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ගැනීමට සහ එය නැරඹීමට අවස්ථාව ලබාදී ඇත. මේ සංචාරයේ මූලික අරමුණ වන්නේ රට තුළ ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට පෙර ප්‍රේක්ෂකයන්ගේ උද්‍යෝගය ඇති කිරීම සහ උනන්දුව ගොඩනැඟීම වේ.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ලබන මස 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර ලෝක කුසලාන තරගාවලිය 2012දී පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන විශාලතම තරගාවලිය වේ. ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණය කේන්ද්‍රකොට තරග පැවැත්වීමට සැලසුම් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *