
කැනඩාවේ ටොරොන්ටෝ හා ඔන්ටාරියෝ (Ontario) ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ශීත කාලගුණයක් පවතින බවට සමාජ මාධ්‍ය තුළ මේ දිනවල පුවත් වාර්තා දකින්නට ලැබෙනවා.
ඇතැම් පෝස්ටුවල හා පුවත්වල සඳහන් වන්නේ මෙවර කැනඩාව “ලොව සීතලම ස්ථානය” බවට පත්වනු ඇති බවයි.
එහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එම පුවත් සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා.කෙසේ නමුත් පසුගිය දිනවල අදාළ නිල කාලගුණ වාර්තා අනුව දකුණු ඔන්ටාරියෝ ප්‍රදේශයේ උෂ්ණත්වය -15°C සිට -24°C දක්වා පහළ බැස තිබෙන බව සඳහන්.එහිදී සුළඟේ වේගය නිසා දැනෙන ශීතල (Wind Chill) අගය -30°C සිට -35°C දක්වා දැඩි විය හැකි බවයි දැක්වුණේ.
ඒ අනුව සමාජ මාධ්‍ය පුවත්වල දැක්වෙන පරිදි සෙල්සියස් අංශක -50°C වැනි අගයන් සාමාන්‍යයෙන් ඔන්ටාරියෝ හි ටොරොන්ටෝ වැනි ජනාකීර්ණ නගරවල වාර්තා නොවන බව දැක්වෙනවා.
මේ අතර එවැනි දැඩි ශීතලක් වාර්තා වන්නේ කැනඩාවේ අතිශය උතුරුකරයට වන්නට පිහිටි ජනශුන්‍ය ප්‍රදේශවල පමණක් බවයි සඳහන් වන්නේ.සෑම වසරකම පාහේ ලොව සීතලම උෂ්ණත්වයන් වාර්තා වන්නේ ඇන්ටාක්ටිකාවෙන් (Antarctica) හෝ රුසියාවේ සයිබීරියානු ප්‍රදේශ ආශ්‍රිතවයි.මේ අනුව කැනඩාවේ වර්තමාන උෂ්ණත්වය ඉතා දැඩි වුවද, එය ලෝක වාර්තාවක් ලෙස සැලකිය නොහැකි බව වාර්තා වනවා.

කැනඩා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Environment Canada) විසින් දැඩි ශීතල පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති අතර, පහත කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලෙසද දන්වනවා.
ඒ අනුව සිරුර හොඳින් වැසෙන පරිදි ස්ථර කිහිපයකින් යුත් ඇඳුම් ඇඳීම, හිම කුණාටු සහිත කාලගුණය නිසා රිය පැදවීමේදී දැඩි අවධානයෙන් සිටීම, අවශ්‍යතාවයකින් තොරව එළිමහනේ රැඳී සිටීමෙන් වැළකීම ඒ අතර සඳහන්.


