
ආරක්ෂක ගැටලු පවසමින් බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වාර්තා කිරීම සඳහා ඉල්ලුම් කළ සියලු බංග්ලාදේශ මාධ්‍යවේදීන්ගේ අවසරපත් අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන ඇත.
සමස්ත ලෝක කුසලාන තරගාවලිය ආවරණය කිරීම සඳහා, බංග්ලාදේශයේ විවිධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් අයිසීසීය විසින් නියම කරන ලද නීතිරීතිවලට අනුකූලව සහ නිශ්චිත කාලය තුළ අයදුම්පත් ක්‍රියාවලිය සම්පූර්ණ කර තිබූ බවත් එම සංඛ්‍යාව 150ක් බවත් ඩේලි ස්ටාර් පුවත්පත සඳහන් කර සිටී.
බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවත් වුවද, සැලකිය යුතු මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් තම වෘත්තීය රාජකාරිවල කොටසක් ලෙස ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට යාමට සූදානම් වෙමින් සිටියහ. බංග්ලාදේශය 1999 දී ලෝක කුසලානයට ප්‍රථම වරට සහභාගි වූ දා සිට සෑම තරගාවලියකටම (එක්දින සහ විස්සයි20) එරට මාධ්‍යවේදීන් සහභාගි වී ඇත.
ස්කොට්ලන්තය ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසු බංග්ලාදේශ මාධ්‍ය ඉවත් කිරීමට ගත් තීරණය ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නව මතභේදයකට තුඩු දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, පළමු වරට බංග්ලාදේශ මාධ්‍යවේදීන් නොමැතිව ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට නියමිතය.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා බංග්ලාදේශ මාධ්‍යවේදීන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔවුන්ගේ ක්‍රීඩකයින්ට, මාධ්‍යවේදීන්ට සහ රසිකයන්ට ඉන්දියාව ‘අනාරක්ෂිත’ බව ප්‍රකාශ කිරීමෙන් පසුව එවැනි තීරණයක් ගත් බව අයිසීසීය පවසා තිබේ.


