
අරගලය පැවැති අවස්ථාවේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී චුදිතයින් 12 දෙනකුට මරණීය දණ්ඩනය ද, සිව් දෙනකුට අත්හිටවූ සිරදඬුවම් ද, තවත් චුදිතයින් 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග නිකුත් කෙරුණා.
ඒ, ගම්පහ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව පසුගිය (11)වැනිදා ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීයි. අයුතු ජනරාශිය, මනුෂ්‍ය ඝාතනය, පොදු දේපලවට හානි කිරීම යන චෝදනා 14කට අදාළව නිතිපතිවරයා විසින් මෙම නඩුවේ චුදිතයින් 41 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණා.
මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ ඉදිරිපත් කර තිබු සියළු චෝදනාවලින් සියළුම චුදිතයින් නිදොස් කොට නිදහස් කරන බවයි.ඒ අනුව මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක් බවට ප්‍රකාශයට පත් වුණා.මෙම නඩුවේ දී අත්හිටවූ සිරදඬුවම් නියම වූ චුදිතයින් සිව් දෙනාට අධිකරණයෙන් දඩ හා වන්දි මුදල් ද නියම කෙරුණා.
ඒ අනුව, එක් අයකුට රුපියල් 10,000 ක දඩයක් හා අගතියට පත් පාර්ශ්වය වෙත රුපියල් 50,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට අධිකරණයෙන් නියෝග කෙරුණා.
එම දඩ මුදල සහ වන්දි මුදල එදිනම දිනයේදීම ගෙවා නිම කළ යුතුව ඇති බවටත් අධිකරණයෙන් චුදිතයින් සිව් දෙනාට නියෝග කෙරුණා.මෙලෙස වන්දි ගෙවීමට නියම කෙරුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ බිරිඳට සහ හිටපු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන යන අයගේ බිරිඳටයි.
අරගලය පැවැති සමයේ ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියා.
එහිදී නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළ අතර එම පහරදීම CCTV කැමරාවල සටහන්ව තිබුණා.
එනතුරුව සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර ඒ අතරින් 41 දෙනෙකෙුට එරෙහිව නඩු පවරනු ලැබුවා.
එම ම්ලේච්ඡ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික නඩු කටයුතුවලින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබුවා.
ඒ අනුව මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයා විසින් පත්කරනු ලැබුවා.
අධි චෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මියගොස් තිබූ අතර, 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස් ඇති අතර ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරුණා.
මෙම නඩුව තීන්දුව සඳහා ඉකුත් ජනවාරි 14 වැනිදා කැඳවූ අවස්ථාවේදී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් 37 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරු මඬුල්ල විසින් 11 වැනිදාට කල් තැබුවා.


