ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ශ්‍රී ලංකාවේ සංචාරයක.දිට්වා විපතත් දැකගනී.රටේ ප්‍රගතිය ගැන සතුට පල කරයි.

ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ පසුගිය (17)වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී IMF ලබා දුන් සහයෝගයට ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ අතර, ‘දිට්වා’ ලෙස හඳුන්වන විශාල ආපදා තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ ද ආර්ථික ස්ථාවරත්වය නිසා බව පෙන්වා දුන්නේය.

‘දිට්වා’ අභියෝගය හමුවේ දේශපාලනය හා ආර්ථිකය එකිනෙකට පටලවා නොගෙන කටයුතු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා, උදාකරගත් ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ගලා යාම රජයේ ඊළඟ අරමුණ බව ද සඳහන් කළේය.

එමෙන්ම, ආපදා තත්ත්වය හමුවේ වැඩිම පීඩාවට පත් වූයේ ග්‍රාමීය අඩු ආදායම්ලාභී ජනතාව බව පෙන්වා දී, ඔවුන් ආර්ථික වශයෙන් නඟා සිටුවීම සහ මානව සම්පත් සංවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත්, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී IMF හි තවදුරටත් සහාය අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂවරිය, ආපදා සහන කටයුතු සඳහා IMF විසින් ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් කළාය.

ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගත් කඩිනම් පියවර සහ අභියෝග හමුවේ සැලසුම් සහගතව යළි නැඟී සිටීමට දක්වන කැපවීම ඇය ඇගයීමට ලක් කළාය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත ආර්ථික වර්ධනයක් සම්පූර්ණ කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සමීප සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටද මෙහිදී එකඟතාව පළ විය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.මෙම හමුව පසුගිය (17)වැනිදා කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ප්‍රසාදය පළ කළාය.

තවද, ස්වභාවික විපත්වලින් සිදුවූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර ද හමුවක් සිදුව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය කෘතඥතාව පලකළ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය.මෙම ජාතික ව්‍යසනයේදී ඉතාම සංවේදී කලාපයක් ලෙස සැලකූ මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නාය යාමට ලක්ව 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව අතර, තවත් හය දෙනෙක් අතුරුදන් වූහ.

විපතට පත් ජනතාව සමග අදහස් හුවමාරු කරගත් ජෝර්ජිවා මහත්මිය, ඔවුන්ට සිය සංවේගය පළ කළාය. මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදී රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙල පිළිබඳව සතුට පළ කළ ජෝර්ජිවා මහත්මිය එහිදී ජනතාව දැක්වූ අසීමිත ධෛර්යය, කැපවීම හා එකමුතු බවද අගය කළාය.

දැන් මෙහි සිටින කුඩා දරුවන් රටේ අනාගත ප්‍රගතිය වෙනුවෙන් හෙට දවසේ විශාල දායකත්වයක් දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඒ අරමුණ සාර්ථක කරගැනීම සඳහා රජය ළමා පරපුර සවිබල ගැන්වීමට කැපවී කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවද විපතට පත් පවුල්වල දරුවන් අමතමින් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *