නැටුමින් , හද බසින් අපේ දරුවන් පෙරමුණට ගෙනයන ගුරුතුමිය, රෂාන්ති.

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන ගුරුවරියක් එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු නර්තන ආචාර්ය වරිය ඇයයි.  කැනඩාවේ ශ්‍රී ලාංකික පිරිස් වෙනුවෙන් මහත් මෙහෙයක් කරන තවත් ගුරු චරිත රැසක් සිටියදී අප ඇය ගැන මේ මාසයේදී කතාකරන්නේ ඇය දායකත්වය දක්වන පීල් අන්තර්ජාතික භාෂා පන්තියේදී කරන සුවිශේෂී කාර්යභාරය ඇගයීමත් පෙරදැරි කරගෙනයි. සෙනසුරාදා සිංහල පංති වෙනුවෙන් ඔබේ දූ දරුවන් ලියාපදිංචි කරවීම වැදගත් ඇයි කියලත් ඔබට මේ ලිපිය කියවද්දී වැටහේවි . ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත්  මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.

මහා බෙංගාලි කලාකරු රබීන්ද්‍රනාත් තාගෝර් වරෙක කියා තිබෙනවා නර්තනය සහ සංගීතය මිනිස් සිරුරේ හොඳම ප්‍රකාශන කියලා. එමෙන්ම බොහෝ ශ්‍රේෂ්ඨ කළා කරුවන්ගේ මතය තමයි නර්තනය ආත්මයේ සහ ශරීරයේ බලවත් චිත්තවේගීය සහ අව්‍යාජ භාෂාවක් බව. 

අද අප පුවත්පත වන “Srilancan” හි චරිතාපදානයට ප්‍රස්තුතය වන්නේ, නර්තනය තම ආත්මය කරගත් ශිල්පිනියක්. “රංගාරා” නර්තන පාසලේ නිර්මාතෘවරිය වන  ඇය තම අනන්‍යතාවය තහවුරු කරගත්තේ සෞන්දර්යාත්මක නර්තන කලාව කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජය තුල ස්ථාපිත කිරීමෙන්. බහ තෝරන වියේ දැරියකව සිටියදී පටන් තමා කල නර්තනයන් සම්බන්ධ සියලු සිදුවීම් ඉස්පිල්ලක්, පාපිල්ලක් නැතිව හදවතේ රහස්ම තැනක අදටත් පරෙස්සම් කරගෙන සිටිනා, මෙම කලාකාරිනිය නමින් රෂාන්ති හෙට්ටිආරච්චි. ජයමිණ කොඩිප්පිලි වන තම සැමියා සහ දරු දෙදෙනා සමඟ ඇය ජීවත් වෙන්නෙ Ontario ප්‍රාන්තයේ Brampton නම්වූ නගරයේ. මෙම නර්තනවෙදිනිය Peel පාසැල් පද්ධතියේ සිංහල භාෂා ගුරුවරියක් ලෙසද කටයුතු කරනවා. 

සිංහල සාහිත්‍යය හෝ කලාව අස්වැද්දීමට සාරවත් පොළොවක් නොවූ මේ කැනඩාවට පැමිණ එම පරිසරය තම ආධිපාත්‍යයට යටත් කරගත් අයුරු විමැසීම අරඹයා අප පුවත්පත වෙනුවෙන් මම ඇයව සම්බන්ධ කරගත්තෙ දුරකතනයෙන්. මම අපේ   කතා බහට ආරම්භයක් ගත්තෙ ඇයගේ වතගොත සම්බන්ධව විවරණයක් කිරීමට ආරාධනය කරමින්, “මම ඉපදුනේ ගම්පහ ගනේමුල්ල ගමේ. එය ඉතාමත් පිටිසර ගම්මානයක් නොවුනත් ගමකට අවශ්‍ය සෑම උපාංගයක්ම වන කෙත්වතු, ඇළ දොළ, ගහකොළ වැනි දෙයින් සපිරි අමුතු සුන්දරත්වයක් එහි තිබුනා. මට අදටත් මතකයි ගොයම් කපන කාලෙට පිදුරු ගොඩේ දඟලපු ඒවා. මම අත්දැකපු ඒ මනබඳිනා සෞන්දර්යාත්මක පරිසරය අද මගේ කලා නිර්මාණවලට බෙහෙවින් බලපෑමක් ඇති කරන බව මම තරයේ විශ්වාස කරනවා. පවුලේ එකම දරුවා වූ මම හැදුනෙ වැඩුනෙ  ඉතාමත් ස්නේහවන්ත පරිසරයක. තනි දරුවා ලෙස ඉපදුනත්, මගෙ තාත්තගෙ සොයුරු සොයුරියන්ගෙ දරුවන් සමඟ මම ගෙව්වේ ඉතාමත් ආදරණීය ළමා කාලයක්.  එයාලගෙන් දායාද වූ වටිනා ගුණ ධර්ම තමයි දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ මග පෙන්වීමට අමතරව මාව හැඩ ගැස්වුයේ. 

මට කුකුසක් ඇතිවුනා කොහොමද ඇයට මේ රංගන කලාවට ආභාෂය ලැබුනේ කියලා දැනගන්න. ඒ පැනයට ඇයගේ පිළිතුර වුයේ, “මගේ පවුලේ කිසිම කෙනෙක් කලා අධ්‍යාපනයක් නොලැබුවත්, මගේ අම්මා තාත්තා දෙන්නම ගීත ගායනාවට හපන්. නැටුම් ආභාෂය මගේ ජානවල නොතිබුනත්, මට පුංචි කාලෙ ඉඳලම නැටුම්වලට තිබුනෙ පුදුම ආසාවක්. අදටත් මට මතකයි මොන්ටිසෝරියේදී මුලින්ම මම නටපු නැටුමත්, එදා ඇඳපු ඇඳුමත්. එතකොට මට අවුරුදු පහයි. මගේ මනසට අදටත් සුරංගනා කතාවක් වගේ මැවී පේනවා ඒ කාලේ විවිධ ප්‍රසංග වලට නටපු කලගෙඩි නැටුම, මල් නැටුම එහෙම. 

ඇයගේ අධ්‍යාපන පසුබිම ගැනත් ඇය කරුණු කාරනා මා සමඟ බෙදා ගත්තා, “මම මුලික අධ්‍යාපනය ලැබුවෙ ගලහිටියාව හේමමාලි මහා විද්‍යාලයෙන්. ඉන්පසුව ද්විතීයික අධ්‍යාපනය ලබා ගත්තෙ කැලණියේ ගුරුකුල විද්‍යාලයෙන්. ඇත්තටම, මම සෑම පාසැලකදීම වැඩිපුරම උනන්දුව දැක්වුයේ බාහිර ක්‍රියාකාරකම්වලට. නර්තනය පමණක් නොවෙයි, මීටර් 200, 400 දිවීමට මෙන්ම පාසැලේ වොලිබෝල්, නෙට්බෝල්, පෙරදිග තුර්ය වාදක කන්ඩායම්වලද මම සාමාජිකාවක්. එවකට පාසැලේ මට්ටමේ සහ සමස්ත ලංකා මට්ටමේ තිබුණු සෑම තරඟයකටම වාර්ෂිකව මම සහභාගී උනා වගේම  ඒවායින් ජයග්‍රහනද ලබා ගත්තා. විශේෂයෙන්ම, ගද්‍ය සහ පද්‍ය රචනා, අත් අකුරුවලට මට විශේෂ හැකියාවක් තිබුනා. ඒ වගේම මම ගුරුකුල විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක්ද වුවා. පාසල් දෙකේම සෑම සමිති සමාගම්වලටද මම සහභාගී වුයේ ඉතා උනන්දුවකින්. කුඩා කාලයේ සිටම ඕනෑම දෙයකට ඉදිරියට ගොස් ඉදිරිපත් වීමේ උනන්දුව මගේ චරිතාංග ලක්ෂණයක්. ඇත්තටම, මම සෑම දෙයක්ම දැනගෙන නෙවෙයි ඉදිරියට ගියේ. මම හිතන්නෙ මගේ දෙමාපියන්ගෙන් සහ ඥාතීන්ගෙන් ලැබුණු සහයෝගය ඊට පිටුවහලක් වෙන්න ඇති. ඒවගේම අධ්‍යාපනය පැත්තෙන් උනත් දෙමාපියන් මට ප්‍රබල බලපෑම් කලේ නැහැ. අනෙක් අතට, මම ඉතාමත් ප්‍රියමනාප දේට ඔවුන් බාධා කලෙත් නැහැ. වැඩිපුර බාහිර ක්‍රියාකාරකම්වලට උනන්දුවක් දැක්වුවත්, වාසනාවකට මට සරසවි අධ්‍යාපනය ලැබීමට වරම් ලැබුනා. කැලණිය විශ්ව විද්‍යාලයේදී, ජන සන්නිවේදනය, සමාජ විද්‍යාව, සහ සිංහල භාෂාව වැනි විෂයන් තමයි හැදෑරුවේ. ඉන්පසුව, රජයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් නර්තන කලාව පිළිබඳව පස් අවුරුදු විශේෂවේදී  උපාධිය ලබා ගත්තා. අවසානයේ, මම නර්තන කලාවට තිබු ප්‍රබල ආලයත්, ඊට අදාලව ලැබූ අධ්‍යාපනයත් හේතුවෙන් තමයි මම අද ඉන්නා තැනට එම කලාව ප්‍රගුණ කරගන්න ලැබුනේ. ජීවිතය දෙස ආපස්සට හැරී ආවර්ජනයක් කලොත්, මම දැනුවත්ව හෝ නොදැනුවත්වම ඉදිරියට ගිහින් තියෙන්නෙ කලාව පැත්තෙන්”, ඇය එක හුස්මට කියාගෙන ගියා.

“විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව, ලංකාවේදී ඔබ රැකියාවක් කලාද?”,  එයයි මගේ ඊළඟ ප්‍රශ්නය.

“විශ්ව විද්‍යාලයෙන් පසුව ගුරුවරියක් ලෙසට මට මුල්ම රැකියාව ලැබුනෙ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට. එහි සේවය කල අවුරුදු 3 ක් වැනි කෙටි කාලයකදී, මට පැවරී තිබු විෂයන්ට අමතරව දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණු කිරීමේ උපදේශකත්වයන්ට සහභාගී වීමේ අවස්ථාව මට ලැබුනා. තරුණ ගුරුවරියක ලෙසට ගතානුගතිකතත්වයට එහා සිතීමේ හැකියාවක් මට එදා තිබුනා. ඒ පුහුණුව අදටත් මට උපකාරී වෙනවා. ගුරු වෘත්තියේ නියැලුණු එම කාලය රැකියාවකට වඩා දරුවන් සමඟ ගත කල සුන්දර කාල පරිච්චේදයක් වුවා”. ඇය පැවසුවේ තෘප්තිමත් හැගීමෙන්.

මගේ ඊළඟ ප්‍රශ්නය වුයේ, “ලංකාවේදී ඔබ ගත කලේ බොහෝ අයට නොතිබුනාවූ සුවපහසු ජීවිතයක්. ඇයි ඔබ කැනඩාවට පැමිණියේ? එය සිදු වුයේ මොන අවුරුද්දේද?”.  

ඇයගේ අතීත තොරතුරු මා සමඟ බෙදා ගත්තා, “අපි ආවේ 2007 අවුරුද්දෙ. මගේ ලොකු පුතාගෙ අධ්‍යාපනය වෙනුවෙනුයි අපි කැනඩාවට ආවෙ”. 2007 කැනඩාවට පැමිණියාට පසුව මට දැනුනා එදා කැනේඩියානු ලාංකික කලා කටයුතුවලදී විශාල මෙහෙයක් කල ලතා දිසානායක, ප්‍රමිලා විලියම්ස් වැනි නිර්මාණ ශිල්පීන් එවකට නාට්‍ය සඳහා නැටුම් පුරුදු පුහුණු කිරීම් කලත් නාට්‍ය කලාව පිලිබඳ ස්ථාවර සැලසුමක් තිබුනේ නැහැ කියලා. විශේෂම දේ තමයි, එදා කළා නිර්මාණ කරුවන් අතර පුදුම සමගියක් තිබුනා. තරඟකාරීත්වයක් තිබුනත්, ඒ අය අතරේ ප්‍රබල සහයෝගයක් සහ එකිනෙකාට උපකාර කිරීමේ අන්‍යෝන්‍ය සබඳතාවයක් තිබුනා. අද වගේ නෙවෙයි, කෙනෙක් යම් ප්‍රසංගයක් සැලසුම් කිරීමට ප්‍රථම, වෙනත් අයගේ  ප්‍රසංග එදිනට සැලසුම් කර ඇත්දැයි සොයා බලනවා. ඇත්තටම, අප ජීවත්වන මේ බහු ආගමික, බහු භාෂාමය, බහු සංස්කෘතික සමාජ ස්ථරයේ අපේ ශ්‍රී ලාංකික සංස්කෘතික ලකුණ ඉදිරියට ගෙන යාමට නම් තරඟකාරීත්වය අප අතරේ පමණක් තබාගෙන, ජාතියක් ලෙස ලාංකික සමාජය එකමුතුව සිටිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ” ඇය කතාව අවසන් කලේ ප්‍රබල ස්වරයකින්. 

2008 වසරේදී, රෂාන්ති හෙට්ටිආරච්චි නම්වූ මේ කලාකාරිනිය, ඇය සතු නර්තන කුසලතාවයන් සහ සිංහල භාෂා අධ්‍යාපනයත් පසුබිම් කරගෙන කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයේ අභිවෘද්ධියට යම් සේවයක් කල හැකි යයි පසක් කරගත්තේ අප සමාජයේ වාසනාවකට. ඇයට අප ලාංකික සමාජය ගැන නිවැරදි කියවීමක් සහ අවබොධයක් තිබුනා. කැනේඩියානු ලාංකික දරුවන්ට මේ දැනුම දීමෙන් කැනේඩියානු සමාජයේ සංස්කෘතික හුදෙකලාවට යම් තරමක හෝ  සහනයක් ලබා දිය හැකි යැයි සිතූ නිවැරදි සිතුවිල්ල තමයි 2008 බිහිවූ “රංගාරා”  නර්තන සිප්හලේ  ආරම්භක වස්තු බීජය.    

2012 දී ඇයට Peel දිස්ත්‍රික් පාසල් මණ්ඩලයේ සිංහල භාෂාව පිලිබඳව භාෂා උපදේශිකාවක් වීමේ භාග්‍ය ලැබුනා. කැනඩාවේ පාසැල් ගුරුවරියක වීමට බලපත්‍රයක් අවශ්‍ය වුවත්, ඇයගේ සිංහල භාෂාව පිලිබඳ උපාධිය සලකා බලා ඔවුන් ඒ අවස්තාව රෂාන්ති හෙට්ටිආරච්චිට ලබා දුන්නා. එයට අවංකවම මග පෙන්වා දුන්නේ Brampton විහාරාධිපති පඥ්ඥාසාර හිමියන්. ඇය ශ්‍රී ලාංකීය සමාජයේ කරගෙන යනු ලබන නර්තන කටයුතු සම්බන්ධව පාසැල් මණ්ඩලය ඉතා පැහැදීමකින් සිටිනා අතර, අවශ්‍ය සෑම අවස්ථාවකම, ඇයට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා දෙන බව රෂාන්ති මා සමඟ පැවසුවේ ඉතාමත් කෘතඥශීලීව.  

මම නිහඬතාවය බිඳිමින් ඇයගෙන් විමසුවේ ඇයගේ නර්තන පාසැල මගින් අප ශ්‍රී ලාංකික සමාජයට සිදුවන මෙහෙවර ගැන, “ඔව් අප පාසැල මගින් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් පවත්නා සෑම සංස්කෘතික උත්සවයකටම පුර්ණ සහයෝගය ලබා දෙන්නෙ කිසිම බරපැනක් නොගෙන. ඒ වගේම සෑම පන්සලකටම අපේ රංගාරා පාසැල දායකත්වය ලබාදෙන්නෙත් මුළු හදවතින්මයි. ආර්ථික වාසියක් ලැබෙන්නෙ විවාහ මංගල උත්සව වලට සහභාගී වීමෙන් හෝ අපි සංවිධානය කරනු ලබනා ප්‍රසංගවලින් පමණයි. දරුවන්ගේ දෙමව්පියන් ඒ දරුවන්ගේ ඇඳුම් පැළඳුම්වලට වියහියදම් දැරීම අප නර්තන පාසැලට විශාල ආශීර්වාදයක් මෙන්ම සහනයක්. මා ඒ සම්බන්ධව දෙමාපියන්ට කෘතඥ වෙනවා. අප නර්තන පාසැල මගින් සිංදුවකට නැටුමක් නැටීමකට වඩා සේවාවක් විය යුතුයි කියා මම තරයේ විශ්වාස කරන නිසා සාම්ප්‍රදායික නර්තන කලාවයි අප පාසැලින් මේ දරුවන්ට දායාද කරන්නෙ. නමුත් සමහර සංගීත දර්ශන සඳහා ඔවුන්ගේ ඉල්ලීම්වලට අනුව සුළු සුළු වෙනස්කම් කිරීමටත් සිදුවෙනවා. රංගාරා පාසැල, රංගනයට අමතරව, සාර ධර්ම, වැඩිහිටියන්ට ගරු කිරීම, ළමා මානසික නිදහස වැනි පුළුල් මාතෘකා පිළිබඳවත් දරුවන් පුහුණු කරනවා. අප රංගන පාසැලේ දරුවන් සහ මා අතර තිබෙන්නේ ඉතාමත් ආදරණීය, මිත්‍රශීලී සුහද බැඳීමක්. එදා ගලහිටියාව විදුහලේදී මා භාවිතා කල වටනා ගුරු උපාය මාර්ග, මෙරට දරුවන්ගේ මානසික තත්වයත් සලකා බලා තීන්දු තීරණ ගැනීම සඳහා බෙහෙවින් උපකාර වෙනවා”, ඇය පැවසුවේ අභිමානයෙන්. 

රෂාන්තිගේ නර්තන පාසල මගින් සිදු කරනා නාට්‍ය ප්‍රසංග තොරතුරු අප පුවත්පතේ රසිකයින් සමඟ බෙදා හදා ගන්නා ලෙස මම ඇයගෙන් කාරුණිකව ඉල්ලා සිටියා. 

“අපේ ප්‍රසංග රවිබන්ධු විද්‍යාපති වැනි විශිෂ්ඨයන් සම්බන්ධ කරගෙනයි පවත්වන්නෙ. අප නර්තන පාසැල මගින් 2012 දී ටොරොන්ටෝවේ සහ ඔටවා නගරවල කල දර්ශනවලදී, සම්පුර්ණ ටිකට් පත් ඉතා වේගයෙන් විකුණුනා. 2024 වසරේදී, අප රංගාරා  නර්තන පාසැල මගින් ප්‍රථම වතාවට පිරිමි දරුවෙක් වෙනුවෙන් වෙස් මංගල්‍යයක්ද, ගැහැණු දරුවන් 9 දෙනෙක් සඳහා පායින්පත් මංගල්‍යද පැවැත්වුවා. වෙස් (පිරිමි ළමයින් සඳහා) මංගල්‍යය සහ පායින්පත්(ගැහැණු ළමයින්) මංගල්‍යය කියන්නෙ නර්තන කලාවේ වසර ගණනාවක් අධ්‍යයනය කල ශිෂ්‍යයින් වෙනුවෙන් පවත්නා උපාධි ප්‍රධානෝත්සවයක් වැනි උත්සවයක්. මේ වටිනා සාම්ප්‍රදායික සංස්කෘතික උරුමයන් රැක ගැනීමට අවශ්‍ය නිසයි අප පාසැල මගින් මෙවැන්නක් සංවිධානය කලේ. දැනට කැනඩාවේ පවත්වන නර්තන ප්‍රසංගයන්ට අමතරව, ඇමෙරිකාව, මෙක්සිකෝව වැනි රටවලත් අප සංදර්ශන පවත්වා තිබෙනවා. අපිට බොහෝ රටවලින් ආරාධනා ලැබුනත්, මගේ රැකියාව නිසාත් අප නර්තන විදුහලේ දරුවන්ගේ පාසැල් සහ විශ්ව විද්‍යාල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසාත් සීමිත අවස්ථාවන්ට පමණයි සහභාගී වෙන්නෙ. මේ වසරේදී, එවැනි සංචාර කිහිපයක් කිරීමටද බලාපොරොත්තුවක් තිබෙනවා”, රෂාන්ති පැවසුවා.

මම ඇයගෙන් විමසුවා ඇය සම්බන්ධවූ සිංහල භාෂා දින සම්බන්ධව. හිටපු  කොන්සල් ජනරාල් කරුණාරත්න පරණවිතාන මහතාගේ අනු දැනුම මත ආරම්භ කල මුල්ම සිංහල භාෂා දිනයට රෂාන්ති හෙට්ටිආරච්චි සිංහල භාෂා ගුරුවරියගෙන් ලැබුණු දායකත්වය ඉතා මහත්. ඇයට සිංහල භාෂාව පිලිබඳ උපාධියක් තිබීම මේ සිංහල භාෂාව දිනය පිළිබඳ කටයුතුවලට බෙහෙවින් උපකාරී වුවා. වරෙක, රෂාන්තිගේ  නැටුම් සංදර්ශනයකට ගෙන්වා ගත්  කීර්තිමත් ශ්‍රී ලාංකික නර්තන ශිල්පියෙකු සහ බෙර වාදකයකු වන රවිබන්ධු විද්‍යාපති මැතිතුමා එම වසරේ සිංහල දින උත්සවවලටද සම්බන්ධ කර ගැනීමට ඇය අවස්තාව සලසා දුන්නා. 

මගේ ඊළඟ ප්‍රශ්නයේ වාරය ආවා, “මට කියන්න පුලුවන්ද ඔබගේ රංගනයෙන් ඔබ ලබනා තෘප්තිය පිළිබඳව යමක්?” ඇය ඉතාමත්ම හැඟුම්බරව කතාව පටන් ගත්තා, “රංගනය කියන්නෙ මගේ ජීවිතය. මම නැටුමක නිරතව ඉන්න කොට තමයි මට දැනෙන්නෙ ජීවත් වෙනවා කියලා. ඒ අවස්ථාවේ මගේ හිතට දැනෙන සැහැල්ලුවේ හැගීමට, වචනවලින් සාධාරණයක් ඉෂ්ඨ කරන්න බැහැ කියලයි මට හිතෙන්නෙ. එය ඒ තරම්ම ගැඹුරු හැගීමක්. රංගනය තමයි මාව ඉස්සරහට අරගෙන යන බලවේගය”.  

බොහෝ කාර්යබහුල ජීවිතයක් ගෙවන රෂාන්ති නම්වූ මෙම කලාකාරිනියට මා යොමුකළ ඊළඟ ප්‍රශ්නය වුයේ, “ඔබගේ කළා ජීවිතය සහ වෘත්තීය ජීවිතය සමතුලිතව පවත්වා ගෙන යන ආකාරය සම්බන්ධව කෙටි විස්තරයක්  කරන්න” කියලයි. ඇය නැවතත් කටහඬ අවදි කළා, “ඒක හුඟක්ම අමාරු දෙයක් උනත්  මගේ පිටුපස මට විශාල සහයෝගයක් තිබුනා. ඇත්තටම, මම රංගනයට අවතීර්ණවූ මුල කාලයේ මගේ සැමියා වන ජයමිණ තමයි පිටිපස්සෙන් ඉඳගෙන හැමදේටම මට  සහයෝගය දුන්නෙ. මගේ රංගන කලාව ගොඩ නගා ගන්න මට ඔහු ශක්තියක් උනා. ඒ වගේමයි, මගේ අම්මයි තාත්තයි දෙන්නත් මගේ හෙවනැල්ල මෙන් මගේ ලඟින් ඉඳගන මට සම්පුර්ණ සහයෝගය දුන්නා. ඒ නිසා මට සියල්ල සමබරව කරගෙන යන්න පහසු උනා. නමුත් මම දැන් බොහොම ස්වාධීනව හැමදේම කරගෙන යනවා. ඒත් ගෙදර දේවල් අදටත් බලා කියා ගන්නේ අම්මයි, තාත්තයි”, රෂාන්ති පැවසුවේ ඉතාමත් තෘප්තිමත්ව. 

මම ඊළඟට විමසුවේ ඇයගේ සිහින පිළිබඳව. “ඇත්තටම මම කිසිදිනක සිහින මැව්වේ නැති උනත්, මා ප්‍රේම කරන මගේ ආත්මික නර්තනය හරහා මා ලබන අසීමිත තෘප්තිය අනාගතයේදීත් එලෙසම මගේ නර්තන පාසැල හරහා පවත්වාගෙන යාමයි මගේ අරමුණ. මගේ  මුළු ජීවිතයම කැප කිරීමෙන් මා ලැබුවාවූ නර්තන කලාව පිලිබඳ අධ්‍යාපනය, පළපුරුද්ද, අත්දැකීම් සහ ප්‍රඥාව කැනේඩියානු ශ්‍රී ලාංකික කුඩා දරුවන්ටත් යොවුන් දරුවන්ටත් ලබා දීම මගේ සිහිනයක් කියලා මට කියන්න පුළුවන්. ඉතා සරල බසින් කියනවා නම් මගේ අධිෂ්ඨානය ලෝකයට අරුතක් සහිත නිර්මාණ බිහි කිරීම සඳහා කැනේඩියානු දරුවන්ට මග පෙන්වන පහන් කණුවක් වීමට. අනාගතේ කැනඩාවේ ජීවත් වෙන දරුවන් අපේ කලාවන් ඉදිරියට පවත්වා ගෙන යෑම දැකීම නම් මට ප්‍රබල සිහිනයක්. තවමත් මගේ සිතේ නොපිලිසිඳුනාවු බලාපොරොත්තු එකින් එක සැබෑ කිරීමටද මම උත්සුක වෙනවා”. ඇය නිහඬ වුවා.

මගේ ඊළඟ ප්‍රශ්නය වුයේ, “රෂාන්ති, ඔබට මග හැරුණු සිහිනත් තිබේද?” යන්න.   

“කැනඩාවට ආපු මුල් දිනවලම මට මගේ උපාධිය හරහා නැවත සුදුසුකම් හදාගෙන ගුරුවරියක වීමේ බලපත්‍රය ලබා ගැනීමේ අවස්තාව තිබුනත්, මම මගේ පවුල වෙනුවෙන් එම අවස්තාව කැප කළා. මට හිතුනා දරුවන් සහ පවුලේ අනාගතය වෙනුවෙන් මෙරටට පැමිණීමේ උපරිම ඵල නෙලා ගැනීමට නම් ඔවුන් වෙනුවෙන් මගේ වෘත්තීය කැප කල යුතුයි කියලා. එය මඟ හැරුණු සිහිනයකට වඩා මවක් සහ  බිරිඳක් ලෙස මා කල කැප කිරීමක් කියලා හිතුවම මට දැනෙන්නේ සන්තුෂ්ඨියක්. අනික මට ඒ තැනට යාමට අවශ්‍ය නම්, අදත් එය කල හැකියි. අපි දන්නවනේ, ලංකාවේ ගැහැණු ළමයෙකුට අධ්‍යාපනය කියන්නෙ ආභාරණයක්නෙ. එමනිසා මට මග හැරුණු සිහින නැහැ”, ඇය පැවසුවේ ස්ථීරසාරව.

රෂාන්තිගේ කටහඬට සවන් දුන් මට ඇති වුයේ විස්මයක්, “තනිවම නර්තන සහ භාෂා පාසැලක් පවත්වාගෙන යන අතර ඉන් සමාජ මෙහෙවරක්ද කිරීමට අමතරව පිටස්තර නර්තන ප්‍රසංගද පැවැත්වීම කෙතරම් බැරෑරුම් සේවාවක්ද?”, මම නැවතත් කටහඬ අවදිකළේ ඇයගෙන් එදිනෙදා කරනු ලබානා කර්තව්‍යන් ගැන දැන ගන්න. 

“ඔව්, නර්තන කලාව කියන්නෙ හැමදාම එක වගේ තියෙන කලාවක් නෙවෙයි. ඒක දිනපතා වෙනස් විය යුතුයි. පසුබිම් සකස් කිරීම, දරුවන් පුහුණු කිරීම වැනිදේට විශාල ශ්‍රමයක් යොදවන්න වෙනවා. දරුවන් පුහුණු කිරීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක්. නමුත් මම ඒ දේ කරන්නෙ හදවතින්ම නිසා මට වෙහෙසක් දැනෙන්නෙ නැහැ”. 

ඇයගේ හැකියාවන්හි හතරමායිම් දැන ගැනීමේ අටියෙන් මම ඇයගෙන් ඇසු අතුරු ප්‍රශ්නයක් වූ, “ඔබට ගීත ගායනා කල හැකිද” යන්නට ඇය ලබා දුන්නෙ හාස්‍ය උපදවන පිළිතුරක්. “මගේ කේන්දරේ තියෙන්නෙ මම සංගීතයෙන් ඉතාමත් ඉහලට යන සංගීතයට ඉතාමත් ලැදි කෙනෙක් කියලා. ඒත් මට ගීත ගායනා කිරීමේ හැකියාවක් නැහැ, නමුත් මම සංගීතයට ඉතාමත්ම ලැදියි. මගේ නැටුම්වලට අදාළ කවි සහ වන්නම් ගායනා ටික නම් මම කර ගන්නවා”, ක්ෂණිකව ඇය පිළිතුරු දුන්නා.     

මම නැවතත් ඇයට පැනයක් යොමු කළා, “ඔබට හුස්මක් ගන්න ඉඩක් කඩක් ලැබෙන ඔබේම පෞද්ගලික මොහොතක ඔබ මොනවද කරන්න කැමති? ඇය ඉතා ගැඹුරු හුස්මක් සමඟ කතාව ඇරඹුවා, “ඉතා කාර්ය බහුල දිවියක් ගෙවන මා හට කළා කෘතීන් නිර්මාණය සඳහා මානසික නිදහස අත්‍යාවශ්‍ය බව මම තරයේ විශ්වාස කරනවා. ඒ මානසික නිදහස ලබා ගැනීම සඳහා මම ප්‍රියකරන කළා මාධ්‍ය කිහිපයෙන් සංගීතයට තමයි මගේ ප්‍රබලම ආකර්ෂණය තිබෙන්නෙ. ඒ වගේම හුදකලාවක පොතක පිටු අස්සෙ හිර උනාමත් මට දැනෙන්නෙ පුදුමාකාර ආස්වාදයක්.  ඒත් එක්කම, කලාවට සම්බන්ධ විදෙස් සම්භාව්‍ය සිනමා පටවලටත් මට විශාල රුචියක් තිබෙනවා”.  

නර්තන පාසැලට පැමිණෙන දරුවන් කෙරෙහි ඇය තුල ඇත්තේ ප්‍රබල ලබැඳියාවක්. නර්තනයට පමණක් නොවෙයි, ඔවුනගේ උසස් අධ්‍යාපනයට රෂාන්තිට   පෞද්ගලිකව කල හැකි ඕනෑම උපකාරයක් කරන්නෙත් ඉතා කැමැත්තෙන්.  පාසල මගින් එම දරුවන්ට පාසල් ඩිප්ලෝමාව ලබා ගැනීම සඳහා අවශ්‍ය වන පැය 40 ක ප්‍රජා සහභාගීත්ව ක්‍රියාකාරකම් (ස්වේච්ඡා සේවය) සඳහා අවැසි ඉතා දීර්ඝ විස්තර සහිත ලිපිගොනු සාදා දීමත් කරන්නෙ බොහොම ආසාවකින්.

මගේ අවසාන ප්‍රශ්නය වුයේ, “රෂාන්ති ඔබගේ ජීවිතයේ පරමාදර්ශී චරිත ගැන යමක් කිව හැකිද?

“ඔව්, මේක මම තනියම ආපු ගමනක් නොවේ. මගේ ආදරණීය දෙමාපියන්, ජයමිණ මගේ ආදරණීය ස්වාමි පුරුෂයා හැරුණු කොට, මම ලංකාවේ සිටියදී මගේ වටේ හිටපු ඥාතීන් තමයි මගේ ජීවිතයට ශක්තියක් උනේ. තනි දරුවෙකු වූ මට ඒ පවුල්වල දරුවන් තමයි මගේ තනිකම නැති කලේ. ඒත් එක්කම, මගේ ගමනට කුඩා කාලයේ සිටම අතහිත දීපු, ආශීර්වාද කරපු ගුරුවරුන් මගේ ජීවිතයට විශාල බලපෑමක් කලා. ඔවුන් අපට නිවැරදි මග පෙන්වුවා වගේම නිර්මාණ සඳහා අවස්ථාවද ඒවා සඵත කරගැනීමට ඇවැසි විශ්වාසයද ඇති කළා. තරඟකාරිත්වයට වඩා ගුණාත්මක නිර්මාණ තුලින් සමාජය පෝෂණය කිරීමට උත්සාහ ගන්නා ලෙසයි ඔවුන් මට අවවාද කලේ. මා කරන කියනා සැමදේම හරියට කිරීම සඳහා මට අධිෂ්ඨානය ඇතිකලෙත් මේ ගුරුවරු. මුලින්ම මම සඳහන් කරන්න ඕන, ‘පියසාර ශිල්පාධිපති ගුරුතුමා, එතුමාගේ නර්තන ශෛලිය තමයි මම ඉදිරියට ගෙන යන්නෙ. ඒත් එක්කම කැනේඩියානු නර්තන ගමනේ මා තබනා අඩියක් අඩියක් පාසා මට අවවාද අනුශාසනා, දිරිදීම් මෙන්ම උපකාර කරනා රසික කොතලාවල සොහොයුරා මගේ නර්තන ගමනේ පහන් එළියක්. අදටත් ඉතා සමීප සබඳතාවයක් පවත්වා ගෙන යන රවීබන්ධු විද්‍යාපති, මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරු දෙපළ මට ලබා දෙන අවවාද අනුශාසනා තමයි මගේ කැනේඩියානු ආගමනයෙන් පසුව මා ආරම්භ කල නර්තන ගමන සාර්ථක කර ගැනීමට ශක්තියක් සහ අනුබලයක් වුයේ. මීට අමතරව, මගේ නර්තන කණ්ඩායමට අවශ්‍ය සංගීතය සහ ඇඳුම් පැළඳුම් සකසා දෙන ලාංකීය  සහෘදයින්ට මගේ හෘදයාංගම තුතිය හිමිවිය යුතුයි. ඔවුන් මගේ සාර්ථකත්වයේ ප්‍රබල කොටස් කරුවන්.   

නර්තනය කියන්නෙම හැඟීම්වල ගැඹුරු ප්‍රකාශනයක් බව අපි අසා තිබෙනවා. දිගු කාලයක් රෂාන්ති සමඟ ගතකල සුහද දුරකථන හමුවෙන් මට දැනුනෙ නර්තනය කියන්නෙ ඇයගේ ආත්මයේ සැඟවුණු භාෂාව කියලයි. නමුත් අෂාන්ති හෙට්ටිආරච්චි කියන්නෙ නිකම්ම නිකම් රංගන ශිල්පියෙක් නෙවෙයි. නර්තන හැකියාවන් ඇසුරෙන් ඩොලර් පමණක් සෙවීම පසෙකලා, අපගේ සංස්කෘතිය කැනේඩියානු පොළොවේ අස්වැද්දීමට උත්සාහ ගන්නා කළා ශිල්පිනියක්. කලාකරුවෙක් කියන්නේ සමාජය තිබෙනා තත්වයෙන් ඉහලට එසවීම සඳහා තමාගේ හැකියාවන් යොදා ගන්නා  නිර්මාණකරුවෙකුට. එමනිසා ඇය සැබවින්ම කලා කාරිනියක්.

එමෙන්ම රෂාන්ති, ඇයගේ භාෂා පැතිකඩ හරහාද අප මව් භාෂාව කැනඩාවේ පැල කිරීමට උත්සාහ ගන්නා ගුරු මවක්. මෙහිදී වඩත්ම සැලකිය යුතු කාරණාව වන්නේ, සිංහල භාෂාව අරුමැක්කයක්වු බහුතර සමාජ වටපිටාවක ගැවසෙන දරුවන්ටයි ඇය භාෂා දැනුම පෝෂණය කිරීමට උත්සාහ කරන්නේ. එය උඩුගම් බලා යෑමටත් වඩා අසීරු කටයුත්තක්. 

රෂාන්ති ඇතුළු ගුරැවන් පිරිසක් ටොරොන්ටෝව අවට පාසැල් මණ්ඩල විසින් පවත්වා ගෙන යන අන්තර්ජාතික භාෂා පාසැලේ සිංහල භාෂාව උගන්වනවා. අතීතයේදී ඒ වෙනුවෙන් දෙමව්පියන් තුල විශාල උනන්දුවක් තිබුනා. දිස්ත්‍රික්ක කීපයකම පංති පැවැත්තුවද මෑතක පටන් ඒ උනන්දුව අඩුවෙලා සහ පංති වැසි යමින් පවතිනවා. භාෂාව ඉගෙන ගැනිමේ වැදගත්කම දැනෙන්නෙ ගලප ගලපා ඔබේම දරුවා සිංහලෙන් යමක් කියන විට දැනෙන ආඩම්බරයත් එක්කයි. මෙවන් රටකට පැම්ණත් තමන්ගේ මව් භෂාව හැදෑරීම සහ භාෂාව කතා කීරිම අගයන්න උවමනා කාරණාවක්. තම පාසල් අධ්‍යාපනයෙන් විෂය සාමාර්ථයක් (credits) ගන්නා තරමට ඔබේ දරුවාට සිංහල ඉගෙන ගන්න පුළුවන්. කැනේඩියානු රඡය ඒසදහා ඔබට අවස්ථාව සලසා දී තිබෙනව.එම නිසා 2026 වසරට ඔබේ පුතා හෝ දුව සිංහල පංතියට ලියාපදිංචි කරන්න කියලා අපි ඔබට ආරාධනා කරන බව රෂාන්ති සදහන් කලා.

හෝරාවකට ආසන්න කාලයක් තිස්සේ අප පුවත්පත සමඟ සුහද සංවාදයක යෙදුනු රෂාන්තිට සමු දීමට කාලය එළැඹ තිබෙනවා. සිංහල භාෂාව කැනේඩියානු දරු දැරියන්ට අකුරු කරවනවා මෙන්ම, තමා පරතෙරට අධ්‍යයනය කල නර්තන කලාව කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයට දායාද කිරීම හරහා සමාජ මෙහෙවරක් කිරීමට අධිෂ්ඨාන පුර්වකව සිටිනා අප රෂාන්ති හෙට්ටිආරච්චි නම්වූ කලාකාරිනියට ඇයගේ පෞද්ගලික සහ පොදු ප්‍රාර්ථනා ඉටු වේවා යැයි ප්‍රාර්ථනා කරමින් අප ආදරණීය සංවාදයට විරාමය තැබුවෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *