
කලකට ඉහත ලංකාවේ විවිධාකාර මාර්ග අංක සහිත විවිධ ගමනාන්ත සහිත බස් රථ දැකගත හැකි විය. උඩහමුල්ල ඩිපෝවෙන් බස් රථයක් ධාවනය කළේ උඩහමුල්ල – බම්බලපිටිය මාර්ග අංක 179 ලෙසය. එම බස් රථය ඔය කියන සන්දියේ රූපවාහිනී සංස්ථාවත් ගුවන්විදුලි සංස්ථාවත් මැදින් ඇති පාරේ ගමන් කොට ඇත්තේ නිදහස් මන්දිරය අසලිනි. එදා නිදහස් මන්දිරය අසල බස් හෝල්ට් එකක්ද තිබී ඇත.
“නිදහස් චතුරස්‍රය බහිනවා…” එක් මගියෙක් කියයි.
මේ අතර තවත් මගියකු කියන්නේ, “ටොරිංටන් චතුරස්‍රය බහිනවා…” යනුවෙනි. ඔය කොහොම කිවුවත් බහින්නේ එකම තැනකය.
බොහෝ දෙනා සිතා සිටින්නේ මෙයින් වසර 78කට පෙර ලංකාවට නිදහස උදා වුණ 1948 පෙබරවාරි 4 වැනි දින ලංකාවේ නිදහස් උත්සවය පැවැත්වූයේ මේ නිදහස් මන්දිරයේ සිට බවයි. එහෙත් ඉතිහාසය හාරාඅවුස්සන විට එය නිවැරදි නොවන බව තහවුරු වූ නිසා මේ නිදහස් ගොඩනැඟිල්ලේ ඉතිහාසය සොයා යැම වැදගත්විය.
1948 පෙබරවාරි 4 දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් මිදී නිදහස ලැබීම නිමිත්තෙන් කිසියම් සිහිවටනයක් තැනිය යුතු යැයි එවකට ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යව සිටි දිවංගත ඩී.එස්. සේනානායක මහතාට සිතිවිල්ලක් පහළ විය. එවකට ප්‍රවාහන හා රජයේ වැඩ පිළිබඳ අමාත්‍යව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සිය අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා මෙරටේ දීර්ඝ ඉතිහාසයකට අභිමානයක් හා ගෞරවයක් ගෙන දෙන ආකාරයට නිදහස් අනුස්මරණ ශාලාවක් ටොරිංටන් චතුරශ්‍රයේ ඉදි කරන ලෙස ඩී.ඇස්. දන්වන ලදි.

නව ගොඩනැඟිල්ල සඳහා තෝරාගත් වත්මන් නිදහස් මන්දිරය ඇති ස්ථානය එදා ටොරින්ටන් උද්‍යානය නමින් හැඳින්විණ. එදා ටොරින්ටන් උද්‍යානයට අයත් බිම් පෙදෙසින් වැඩි ප්‍රමාණයක් අයත්ව තිබුණේ ලංකා තුරඟ තරග කොම්පැනියකටය. නිදහස් මන්දිරය ගොඩනැඟීමට එවක රජය එයින් බිම් කඩක් රුපියල් පන්ලක්ෂයකට මිල දී ගන්නා ලදි. එම ඉඩම මිල දී ගත් නමුත් නිදහස් අනුස්මරණ ශාලාව ඉදි කිරීමට වහා සැලසුමක් සකසා ගත යුතු වීම ඊළඟ ප්රයත්නය විය.
එම සැලසුම සැකසීම සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් අට දෙනකුගෙන් යුතු කමිටුවක් රජය විසින් පත් කරන ලදි. එම කමිටුවට රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පි ශ්‍රීමත් ටී.එන්. විනේ ජෝන්ස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවට එහි උප ගෘහ නිර්මාණ ශිල්පි ශ්‍රීමත් එෆ්.එච්. බලිමෝරියාත් විශ්වවිද්‍යාල ගෘහ භාණ්ඩ ශිල්පි ෂර්ලි ද අල්විස් මහතාත්, කොළඹ නාගරික සැලසුම් ශිල්පි ඔලිවර් වීරසිංහත්, සහකාර ගෘහ නිර්මාණ ශිල්පීන් වන එච්.ජේ. බලිමෝරියාත් ජේ. සමරසේකරත්, එම්.බී. මොරේනා අයත් වූ බව කලකට ඉහත රත්නපුර කෞතුකාගාරයේ විනී ලයනල් විසින් සටහනක් තබා ඇත.
කමිටුව විවිධ සැලසුම් තඩි බ්‍රිස්ටල් බෝඩ්වල ‘ඉන්දියන් ඉන්ක්’ තීන්තෙන් ඇඳ සර් ජෝන්ට ඉදිරිපත් කළමුත් ඔහුගේ හිතට ඒවා ඇල්ලුවේ නැත.
“වරදක් නෑ… තව ඩිසයින් එකක් ගේන්න…” සර් ජෝන් කමිටුවට කිහිප වරක් පැවසීය.
අන්තිමට සර් ජෝන් හමු වූ කමිටුවේ චිත්‍ර ශිල්පියෙක් ඉපැරණි රජ යුගයේ ගොඩනැඟිලි කීපයක් පෙන්වා සර් ජෝන්ගේ කැමැත්ත විමසීය.
“මේක නම් ටක්කේටම හරි යනවා!” වරක් සර් ජෝන් එක ඡායාරූපයක් දෙතුන් සැරයක් බලා කමිටුවට පැවසීය.

කන්ද උඩරට ශ්‍රී විභූතිය විදහාපාන මහනුවර මඟුල් මඩුවේ කලාත්මක අංශ ඇතුළත් කොට ඊට පසු සැලසුම් අඳින ලදි. එයට අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍යතුමාගේ සිත තදින් ඇදී ගියේය. ඒ සඳහා අනුමැතිය ලැබීමත් සමඟ මහල් දෙකකින් යුතු නිදහස් අනුස්මරණ මන්දිරය ගොඩනැඟීම අරඹන ලදි. ඉහළ මාලය 452 දෙනකුට එක්වර අසුන් ගත හැකි වන සේ සකසා ඇත. එහි කැටයම් කළු ගලෙන් නිමවා ඇති අතර, ලංකා ඉතිහාසයේ වැදගත් සිද්ධි එහි චිත්රණය කොට තිබේ. එහි තඹයෙන්ද කරන ලද කැටයම් සිගන්නාසුලු ඒවාය.
නිදහස් මන්දිරය චතුරස්රකාර දිගැටි ගොඩනැඟිල්ලකි; ප්‍රවේශ දෙකකි. එයින් එකක් පියගැටපෙළ දෙකකින් යුක්තය. ද්වාර සතර දෙසින් හිඳි සිංහ රූප පේළි 60කි. අපේ නිදහස් මන්දිර සැලැස්මට මහනුවර මඟුල් මඩුවේ ඇතැම් ලක්ෂණ අඩංගු වේ. දේශීය කලා ශිල්පද මතු වෙයි.
බැලූ බැල්මට මෙහි අප දකින්නේ යාබදව දෙපළට වූ චතුරශ්රාකාර කුලුනු 60කි. මහනුවර සම්ප්‍රදායට අනුව මඟුල් මඩුවේ සහ ඇම්බැක්කේ වැනි තැන්වල කණුවල අගනා කැටයම් දැක්වෙන අතර, වහල දරා සිටින ඉදිරිපස කුලුනු පේළිය දර්ශනීයය. වහල මුඳුන්ද ඒ කෙළවරින්ද ඊතලයෙන් වාත්තු කළ රන් ආලේපිත කොත් කැරලි දෙකක් වේ. සේනානායක ප්‍රථම අගමැතිවරයාගේ හදිසි වියෝවෙන් එතුමාගේ ලෝහමය පිළිරුව ඉදි කළ පසු ඒ අවට වූ පොකුණ බැඳි වේදිකාව වටා සිව් දිසාවට මුහුණ ලා සිටින සිංහ රූ හතරක් පිහිටුවීමේ විශේෂ සැලසුම සර් ජෝන්ගේය.
මේ ගොඩනැඟිල්ල විවෘත කරන දින පැවති උත්සවයේදී කතාවක් පවත්වා ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකු පවසා ඇත්තේ මේ ගොඩනැඟිලි ඉදි කිරීමට යොදාගෙන ඇත්තේ එංගලන්තයේ ප්‍රදේශයකින් නැව් මඟින් ගෙන එන ලද ගල් විශේෂයක් බවයි.
නිදහස් මන්දිරයේ කණුවල ඇති සෑම කැටයමක්ම සකසා තිබෙන්නේ මහනුවර මඟුල් මඩුවේ සහ ඇම්බැක්ක දේවාලයේ ඇති කැටයම් ඇසුරෙනි. නාරිලතා මල පංචනාරිඝටය, ගජසිංහ, භේරුණ්ඩ පක්ෂියා, වෘෂභයින්, නෙළුම් මල් ආදිය ඒ කැටයම් අතර දැකගත හැකිය.
නිදහස් මන්දිරය විවෘත වූ වෙලාවේ එවකට එංගලන්ත කිරීටයට විරුද්ධ පක්ෂයක විකල්ප පුවත්පතකට ලිපියක් ලියූ වාමාශිකයකු නිදහස් වෙනුවෙන් ගොඩනැඟූ ගොඩනැඟිල්ල පිහිටි ප්‍රදේශය ටොරිංටන් චතුරශ්‍රය වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටිනා ලදි.
1847 දී එංගලන්ත වෙළෙඳපොළේ කෝපි මිල පහත වැටුණ නිසා ලංකාවේ කෝපි වගාව අර්බුදයකට ලක් විය. ඒ හේතුවෙන් රජයේ ආදායම බෙහෙවින් පහත වැටිණි. ඒ අර්බුදයට පිළියමක් වශයෙන් එවකට ආණ්ඩුකාර ටොරින්ටන් සාමිවරයා කඩසාප්පුවලට, කරත්තවලට, පාරවල්වලට, ඔරුවලට, තොටුපොළට, තුවක්කුවට පමණක් නොව ගෙදර හිටපු බලු කුක්කටත් බදු ගසන ලදි. මේ අසාධාරණ බදු පැනවීම්වලට විරුද්ධව අපේ අතීත විරුවන් ක්‍රියාත්මක කළ කැරැල්ලේ කුඩාපොළ හාමුදුරුවොත්, ගොංගාලේ ගොඩ බණ්ඩා වගේම වීරපුරන් අප්පුලාත් දිවි පූජා කළහ.
කරුණු එසේ වුණත් අපේ වීරයන්ගේ ජීවිතවලට තිත තැබූ ටොරිංටන්ගේ නමට අපේ නිදහස් චතුරශ්‍රය නම් කොට ඇත. අදටත් එය සමහරුන්ට ටොරිංටන් චතුරශ්‍රයයි. එදාවේල තමන් දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගත් අපේ මිනිසුන්ගේ කර මත දරාගත නොහැකි ලෙස බදු බර පැටවූ ටොරිංටන්ගේ නමින් නිදහස් චතුරශ්‍රය අදටත් හඳුන්වන ඇතැම්හු සිටිති.
නිදහස් මන්දිරය ඉදිකිරීම සඳහා නියමිත පළමු පස් පිඬැල්ල කැපීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවූ අතර නිදන් වස්තු තැන්පත් කළේ හිටපු ජෝන් කොතලාවල ඇමැතිතුමාය. ඒත් ගොඩනැඟිල්ල විවෘත කිරීමට ප්‍රථම ඩී.ඇස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත විය.
1956 බලයට පත් අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඉතිරි වැඩ නිම කර 1957 පෙබරවාරි මස 4 වැනි දින පැවැත්වූ නිදහස් උත්සවයේදී නිදහස් මන්දිරය විවෘත කිරීමට කටයුතු කරන ලදි. උත්සවයට එවකට චීන අග්‍රාමාත්‍යව සිටි චෞ එන් ලායිගේ සහභාගිත්වය විශේෂ වූ බව චීනයේ ප්‍රථම ශ්‍රී ලංකා තානාපතිවරයා වූ විල්මට් ඒ. පෙරේරා නොහොත් හොරණ ශ්‍රීපාලි නිර්මාතෘවරයා සටහනක් තබා ඇත.
එහෙත් තවත් ලේඛනවල ඇත්තේ 1953 පෙබරවාරි 5 වැනි දින නිදහස් මන්දිරය විවෘත කළ බවකි.
නිදහස් මන්දිරයට විශේෂ දිනයක් වන්නේ මීට වසර 18කට පෙර නිදහස් අනුස්මරණ කෞතුකාගාරය බිහි වීමත් සමඟය. එහෙත් එය පසු කර යන බොහෝ දෙනා එහි කෞතුකාගාරයක් ඇති බව නොදනිති. එසේම වසර 78 නිදහස් උදානය ප්‍රෞඪ ලෙස දරාගනිමින් නිදහස් මන්දිරය පොදු ජනතාවගේ නිදහස වෙනුවෙන් දැන් ඉතින් ජාතික සංකේතයක් වී හමාරය.


