
ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයක් ලෝකයේ කුමන රටක පැවැත් වුවද මුළු ලෝකයේම අවධානය ඒ දෙසට යොමු වන්නේ, අවුරුදු ගණනාවක් තිස්සේ දේශපාලන වශයෙන් ඇති වන යම් යම් සිද්ධීන් අවාසනාවකට දෙරටේ ක්‍රිකට් තරඟවලටද පැමිණීම හේතුවෙනි.සාමාන්‍යයෙන් ක්‍රීඩාව, කලාව වැනි පොදු කාරණාවලදී කිසිදු වාද භේද ඇති නොවේ. ඒ කලාව ක්‍රීඩාව වැනි දේ විශ්වයටම පොදු දේවල් වන නිසාය. නමුත් ඉන්දු – පාකිස්තාන උණුසුම වසර ගණනාවක් තිස්සේ පැවතෙන අතර, එය ක්‍රිඩාවට මෙන්ම කලාවටද බලපා තිබේ.පසුගිය කාලය තුළදී කාශ්මීර දේශසීමා අර්බුදයත් සමඟ ඉන්දු – පාකිස්තානු අර්බුදයද උත්සන්න වූ අතර එය දෙරටේ ක්‍රිකට් ක්‍රිඩාවටද බලපා තිබේ.ඒ උණුසුමත් සමඟ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ලැබුණු විවිධ ප්රතිචාරයන් ඔස්සේ ඉන්දු – පාකිස්තානු ක්‍රිකට් ගැටුමද අවිනිශ්චිත තත්ත්වයක පසුවිය.
ශ්‍රී ලංකාවේ මැදිහත්වීම
ඉන්දු – පාකිස්තානු ක්‍රිකට් තරඟය කෙසේහෝ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අයි.සී.සී ය දැඩි උත්සාහයක් දරද්දී ශ්‍රී ලංකාවද ඊට නොදෙවෙනි ආකාරයෙන් මැදිහත් වූයේ, මෙම ගැටලුව සමනය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව වන නිසාය.
ජනපතිගේ සාම මෙහෙයුම
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා සාර්ථක මැදිහත් වීමක් සිදු කළේය. ඒ සමඟ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ද ක්‍රියාත්මක විය. ඊට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ඊට මැදිහත් වන්නට විය.
මෙම සියළු සාකච්ඡා අතරතුර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාකිස්ථානු අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට ලබාදුන් දුරකථන ඇමතුම මෙහිදී තීරණාත්මක විය. අතීතයේදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉන්දියාව හා පාකිස්තානය එක්ව දැක්වූ සහයෝගයත් පසුගිය අර්බුද කාලවලදී පාකිස්තානයේ ක්‍රිකට් සහයෝගීතාවයට ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගීතාවයත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, 15 වැනිදා ඉන්දියාව සමඟ පාකිස්ථානයට තරගවැදීමට අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. එම ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සමඟ තරඟවැදීමට පාකිස්තානයට අනුමැතිය ලබාදෙන බවත්, මේ සඳහා දැඩි උනන්දුවකින් කටයුතු කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්තුතිය පළකරන බවත් හෙතෙම සඳහන් කළේය.
අලුත් තරග තීරක කවුද?
ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය ශ්‍රී ලංකාවේ පැවැත් වීම සඳහා මැදිහත් වූ අනුරකුමාර ජනාධිපතිවරයා එම ක්‍රිකට් තරඟයේ තරඟ තීරක බව දේශපාලන ක්ෂේත්රයේ බොහෝදෙනෙකු පැවසුවේ ජනාධිපතිවරයාට ගෞරවයක් ලෙසය.
තීරණය වෙනස් වුණේ ශ්‍රී ලංකාව නිසයි මහ කොමසාරිස් ඇමැති විජිතට කියයි.
2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරඟයට සහභාගි නොවීමට ගෙන තිබූ තීරණය ශ්‍රී ලංකාවේ ඉල්ලීම නිසා වෙනස් කළ බවත්, මතභේද අත්හැර ඊට සහභාගි වීමට තීරණය කළ බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මැදිහත් වීම ප්‍රශංසනීය බවත් ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේය. ඒ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට පෙර ඉකුත්දා (10) විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූ අවස්ථාවේදීය.
මෙම තීරණයට එළඹීම සම්බන්ධයෙන් දින තුනක් පුරා පවත්වන ලද රාජතාන්ත්‍රික සාකච්ඡා සහ දුරකථන සංවාද සම්බන්ධීකරණය කිරීමේදී පාකිස්තාන මහකොමසාරිස්වරයා දැක්වූ කඩිනම් ප්‍රතිචාර වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් සිය කෘතඥතාව පළ කළේය.
එමෙන්ම T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පැවති අවිනිශ්චිත තත්ත්වයන් ගණනාවක් නිරාකරණය කිරීමට විදේශ අමාත්‍යවරයා වශයෙන් විජිත හේරත් අඛණ්ඩව ගත් රාජතාන්ත්‍රික උත්සාහය ද මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක් විය. මහකොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය ඉතා ප්‍රියජනක මෙන්ම සාර්ථක කාලයක් වූ බවත්, ඒ සඳහා විදේශ අමාත්‍යවරයාගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු සහාය අනර්ඝ බවත් මහකොමසාරිස්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. තමාගේ සේවා කාලය ඇතුළත (2024 දී) ශ්‍රී ලංකාව තුළ ඉතා සාධාරණ හා විශිෂ්ට මැතිවරණ දෙකක් පවත්වනු දුටු බවත්, ඒ පිළිබඳ තමා පෞද්ගලිකව සතුටු වන බවත් පාකිස්තානු මහකොමසාරිස්වරයා සඳහන් කළේය.
‘දිට්වා’ පැරද වූ මනුෂ්‍යත්වය
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය අමතක කර ඇතැයි ඇතැමුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුවට චෝදනා කළ ද එයින් විපතට පත් නිවාස අහිමි වූ හා ව්‍යාපාර කටයුතු අඩපණ වූ ජනතාවට ආධාර ලබා දීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතී. පසුගියදා ජනාධිපතිවරයා මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස අහිමි වූ ජනතාවට නව නිෙවසක් ඉදි කර ගැනීම සඳහා ආධාර ලබාදීමේ වැඩසටහන් දෙකකට කුණ්ඩසාලේදී සහ ගලගෙදරදී සම්බන්ධ විය.
ජනපතිට ඉහළ ප්‍රතිචාර
එහිදී ආධාර ලැබූ ජනතාව ජනාධිපති ඇතුළු ආණ්ඩුවට ප්‍රශංසා කරනු ලැබුවේ දැඩි භක්තියකිනි. ආදරයෙනි.
“ අපේ ගෙවල් තිබුණේ අධිඅවදානම් කලාපයක. නමුත් මෙච්චර කාලයකට කිසිම ආණ්ඩුවක් අපිව ඒ තැන්වලින් අයින් කරන්න කටයුතු කළේ නෑ. ඒ නිසා සුළි සුළඟ ආපු වෙලාවේ මහා වැස්සේ අපේ ගෙවල් කඩා වැටුණා. අපි හිටියේ මින් එහාට මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව. අපිට ගෙයක් හදාගන්න ඉඩමකුත් එක්කලා ලක්ෂ පනහක් දෙනවා කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒත් අපි ඒක විශ්වාස කළේ නෑ; මේ කතා අපි ඕන තරම් අහල තියෙනවනේ. මේ අපේ ජනාධිපතිතුමා; බුදුන් දැක නිවන් දකින්න ඕන. එතුමා අපිට සියලු ලියකියවිලිත් එක්ක ඉඩමක් දුන්නා. අද ගේ හදාගන්න ලක්ෂ විස්සකුත් දුන්නා. තව ලක්ෂ තිහක් ගේ හදන්න පටන් ගත්තට පස්සේ දෙනවා කිව්වා. මේක නිකං හීනයක් වගේ. ”
එහෙම කිව්වේ; නාය යෑමෙන් පූර්ණ හානියට පත් වූ නිවසක් වෙනුවට නව නිෙවසක් හදාගන්න ප්රතිලාභ ලැබූ කාන්තාවකි.
ජනතාවගෙන් ප්‍රශංසා
මෙහිදී ප්රතිලාභ ලැබූ ගෘහ කර්මාන්තයක් ලෙස බිම්මල් වගාවක් කරගෙන ගිය අයකු පැවසුවේ මෙවැන්නකි.
“ ‘දිට්වා’ සුළි කුණාටුව වෙලාවේ අපේ ගෙදරටත් සුළු හානි වුණා. ඒකට අපිට ලක්ෂ පහක් ලැබුණා. මම ගෙදර කරගෙන ගිය බිම්මල් වගාවත් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒකට මට අද ලක්ෂ දෙකක වන්දියක් ලැබුණා. ඒ මුදලෙන් මට ආපහු මගේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. ඇත්තටම මේක ලොකු හයියක්. මේ ආණ්ඩුව කිව්ව විදිහටම අපිට හැම ආධාරයක්ම දුන්නා. එහෙම නොවුණා නම් අපිට තව කාලයක් දුක් විඳින්න වෙනවා. සුළි කුණාටුව ආපු වෙලාවෙ ඉඳලා ග්‍රාම සේවක මහත්තයාගෙ සිට දිසාපතිතුමා දක්වා හැම රාජ්‍ය නිලධාරියෙක්ම, ප්‍රදේශය නියෝජනය කරන මැති ඇමැතිවරුන් මේ සියලුදෙනා අපි ගැන හොයලා බලලා කරන්න ඕනි හැමදේම කළා. ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් මේ නිලධාරී හැමෝටමත් බොහෝමත්ම පිං මේ කළ සේවයට. ”
වතු කම්කරු ජනතාවගේ සතුට
එලෙස ප්රතිලාභ ලැබූ හැම කෙනෙක්ම ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් බොහෝ සේ ප්‍රශංසා කළේ කියපු ලෙසටම සියලු ආධාර මුදල් ලබාදුන් නිසාය.
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයෙන් කම්කරුවකුට රුපියල් 200ක මුදලක් වෙන් කිරීමට අයවැය යෝජනා සම්මත කෙරුණි. තවත් රුපියල් 200ක් වතු හිමියන්ගෙන් ලබාදීමට එකඟත්වය පළ කරමින් පසුගියදා ගිවිසුම්ගත විය. ඒ අනුව රුපියල් 1350 සිට 1750 දක්වා වැඩි වූ ජනවාරි මාසයේ වැටුප වතු කම්කරුවන්ට ලැබුණේ පසුගිය දහ වැනිදාය.
කිරිබත් කමින් රතිඤ්ඤා පත්තු කරමින් වතු කම්කරුවෝ ඒ පිළිබඳව සතුට පළ කළහ. ජනාධිපති ප්රමුඛ ආණ්ඩුවට ප්‍රශංසා කළහ. ජනාධිපතිවරයා වතු ජනතාව මුණ ගැසීමට පසුගිය 11 වැනිදා වතුකරයට ගියේ ඔවුන්ගේ වැටුප වැඩි වීමේ සතුට භුක්ති විඳිමින් සිටියදීය. ඔවුන් ජනාධිපතිවරයා පිළිගත්තේ ඉමහත් ආදරයෙනි. ඇතැම් කාන්තාවන් කරගැට නැඟෙන තුරු දලු නෙළු තම දෑත් ජනාධිපතිවරයාට පෙන්වමින් තමන්ගේ වැටුප් වැඩි කරමින් දැක්වූ සැලකිල්ල ගැන කඳුළු වගුරවමින් සතුට පළ කළහ. ඇතැම් කාන්තාවන් දණ නමා වඳින්නට උත්සාහ කළ ද ජනාධිපතිවරයා වහා උරහිසින් අල්ලා ඔවුන් වළකමින් “එහෙම ඕන නෑ” යැයි පැවසීය.
“කිසිම ජනාධිපති කෙනෙක් මෙහෙම අපිව බලන්න ඇවිත් නෑ, ඔබතුමා විතරයි අපිව බලන්න ආවේ. ඒ ගැන ගොඩාක් ස්තූතියි සර්.” තවත් කම්කරු කාන්තාවක් සතුට පළ කළාය.
ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින්ට ඉන්දියාවේදී ඉහළ පිළිගැනීමක්
“සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ” (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා 05 වැනිදා නවදිල්ලි නුවර බලා පිටත්ව වූ අතර 12 වැනි දින ඔවුන් නැවත දිවයිනට පැමිණියේය.
එම සංචාරය අතරතුර ටිල්වින් සිල්වා සහ ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා අතර හමුවක් පසුගිය 07 වැනිදා සිදු විය.
අනතුරුව 09 වැනිදා ගුජරාට් ප්‍රාන්තයේ මහඇමැති ශ්‍රී භූපේන්ද්‍ර රජනිකාන්ත් පටෙල් අතර හමුවක් සිදු වූ අතර ගුජරාට් ප්‍රාන්තයේ ඉදිරි සංවර්ධනය මෙන්ම කර්මාන්ත ආශ්රිත දියුණුව පිළිබඳ මෙහිදී සාකච්ඡා කළේය. එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත, සංචාරක, ඇඟලුම් වැනි කර්මාන්ත සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදි.
11 වැනිදා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහඇමැති පින්නරායි විජයන් සහ තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් නගරයේදී සිදු විය.
එසේම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් එම්.ඒ. බේබි හා මධ්‍යම කාරක සභාවේ සහෝදරවරු කිහිප දෙනෙක්ද මුණගැසී සාකච්ඡා කළේය.
ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්, ප්‍රාන්තයක් ලෙස කේරළයේ සිදු කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන්ද, සාක්ෂරතාව 100%ක් බවට පත්කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද, ආන්තික දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඉදිරියේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගිතාවය වර්ධනය කරගැනීම හා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සංවර්ධනය ළඟා කරගත හැකි අවකාශ සම්බන්ධයෙන්ද පක්ෂ දෙක අතර සබඳතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළහ.
රනිල්ගේ නීතිඥයා නීතිපතිට දැනුම් දුන්නේ මොනවාද?
මේ ගමන ගැන අදාළ තීරණ සියල්ල ගත්තේ කොළඹ සිටය. ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයෙන් කරන ලද්දේ ඒ තීරණ ක්‍රියාත්මක කිරීම පමණි. ඒ අනුව නඩුවේ වැදගත් සාක්ෂි ඇත්තේ කොළඹයි. එසේ තිබියදී අධික වියදමක් දරමින් එංගලන්තයට පස්දෙනෙක් ගොස් සාක්ෂි ලබා ගත්තේ කාගෙන්ද? යනුවෙන් එ.ජා.පය ප්‍රකාශ කරයි.
අනෙක මෙවැනි උත්සවවලට ආරාධනා කරන්නේ අදාළ උත්සවය පැවැත්වෙන රට මඟින් නොව අදාළ ආයතනය මඟිනි. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමෙරිකාවේ පැවැත් වුවද ඊට ආරාධනා කරන්නේ අමෙරිකාවෙන් නොවූ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනි.1950 වසරේ සිටම සිදුව ඇති සම්ප්රදාය එයයි.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට යනවා නම් රාජ්‍ය නායකයා ඇතුළු පස් දෙනකුට ඊට අවස්ථාව ලැබෙයි. ඊට සමගාමී සැසිවලට යන නිලධාරීන්ට වියදම් කරන්නේ ඔවුන්ගේ රටවල්වලින් බවද එ.ජා.පය විසින් පෙන්වා දී තිබුණි.
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක රාජ්‍ය නායකයන් මේ වගේ ගමන් බිමන් කොතෙකුත් ගිහින් තිබේ. ඒ ගැන උදාහරණ කිහිපයක් ද රනිල්ගේ නීතිඥ අනුජ ප්‍රේමරත්න නීතිපතිවරයාට දක්වා ඇත.
රනිල් චීනය ගැන ඉන්දියාවෙන් විමසුවේ මොනවාද?
ඉන්දියාවෙන් වැඩම කරවන ලද දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට රනිල් ගියේ ඉකුත් බදාදා උදේ වරුවේය. ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන ස්ථානයේ සිටි ඉන්දීය නිලධාරිනියගෙන් රනිල් ඉතිහාස කරුණු විමසා සිටි අතර අදාළ පුරාවිද්‍යා භූමියේ ධාතූන් වහන්සේ තිබූ මංජුසාවේ තවත් යම් යම් දෑ හමුවීදැයි විමසීය. එහිදී ඉන්දීය නිලධාරිනිය පැවසූයේ එහි සිල්ක් තිබූ බවයි.
“ඉතින් ඒ කාලේ ඉඳන් ඔයගොල්ලො චීනය එක්ක ගනුදෙනු කරලා නේ,දැන් අපට කෑ ගහන්නේ” යැයි රනිල් වික්‍රමසිංහ මහතා සිනාමුසුව පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා කියූ කාරණයට ඉන්දීය නිලධාරිනිය සිනහවකින් පිළිතුරු දුන්නාය.
මහින්ද – වජිර කතා කළේ මොනවාද?
චීන තානාපති කාර්යාලය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබූ චීන අලුත් අවුරුදු පිළිගැනීමේ උත්සවය සඳහා එජාප සභාපති වජිර ගියේ නායක රනිල් නියෝජනය කරමිනි. ඒ වෙලාවේ රනිල්ට වෙනත් වැඩක් යෙදී තිබූ බැවින් වජිරට එහි යන ලෙස දැනුම් දී තිබිණි. චීන තානාපතිද දේශපාලනඥයෝද බොහොමයක් එහි වූහ.
ඇමති විජිත, හිටපු ජනාධිපති මහින්ද , හිටපු කතානායක මහින්ද යාපා, ජී. එල්, ගම්මන්පිල එහි සිටි තවත් කිහිපදෙනෙකි.
වජිර මුලින්ම චීන තානාපති මුණ ගැසී තමන්ගේත් නායක රනිල්ගේත් සුභාසිංසන පිරිනැමීය.
උත්සවය අතරතුරදී වජිර -මහින්ද අසලටම ගොස් කතාබහ කළ අතර, උත්සවයට පැමිණ සිටි පිරිසට මෙම කතාව කුතුහලයට තුඩු දුන්නේ ඒ අසලම ඇමති විජිත ද සිටි නිසාය. පසුව මෙම කතාවට ජී. එල්. සහ ගම්මන්පිලත් හවුල් වූහ.
පැයකට වැඩි කාලයක් උත්සව සභාවේ මේ පිරිසත් සමඟ රැඳී සිටි වජිර එතැනින් නික්මුණේ වෙනත් කටයුත්තක් සඳහා සහභාගි වීමට තිබු නිසාය.
සජබයේ ගුටිබැට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බොහෝම ළඟම හිතවතෙකු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ගුටිබැට හුවමාරු කරගෙන තිබේ. නාගරික මන්ත්‍රීවරයකු වන ඔහු අවුරුදු ගණනාවක සිට සජිත් වෙනුවෙන් දර දිය අදියි. සජිත් මන්ත්‍රී කාලයේ ඇමැති කාලේ පමණක් නොව විපක්ෂ නායක කාලයේ පවා ඔවුන් සජිත් වෙනුවෙන් කැපවී ඇත. පසුගිය දිනවල සජිත් ඉන්දියාවේ සංචාරයක් යන විට හර්ෂ ද සිල්වා හලා එක්ක ගියේ ඔහුය.
ජී.එල්. තවත් පොතක් පෙරළයි
ලංකාවේ සැවොම යුද්ධය ගැන කතා කළත් සාම ක්‍රියාවලිය ගැන කතා නොකරන තරම්ය. එවැනි පසුබිමක මහාචාර්ය ජී.එල්. පීරිස් සාම ක්‍රියාවලිය පිළිබඳ කළ පොතක් පසුගිය 12 වැනිදා එළි දැක්වූයේය. එකල සාම ක්රියාදාමයේ මැදිහත්කරු ලෙස කටයුතු කළ නෝවේ විශේෂ නියෝජිත එරික් සෝල්හයිම් ද පසුගිය දිනවල දිවයිනට පැමිණ සිටියේය. ඔහු සාම ක්‍රියාවලියට අදාළ ලියකියවිලි තබා ඇති ලේඛනාගාරයක්ද විවෘත කළේය. ඔහු එය කළේ මිලින්ද මොරගොඩ හා සම්බන්ධ වෙමිනි. මහාචාර්ය පීරිස් කලකට පසු එළියට විත් පොතක් එළිදක්වන්නේ එවැනි පසුබිමකය. මෙහි ආරාධිත දේශකයන් වූයේ ආචාර්ය සරත් අමුණුගම, ආචාර්ය දයාන් ජයතිලක හා නීතිඥ ශිරාල් ලක්තිලකය. එකල ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය රාජතාන්ත්‍රික භාවය පැවතුණේ කෙබඳු තත්ත්වයකද යන්න මෙරට ජනතාවට සිහිකර දීම සඳහා මිලින්ද ජී.එල් ඇතුළු කණ්ඩායමක් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මෙම කටයුත්තද ඊට අදාළව සිදු කරන එකකි.
මැදපෙරදිගම ඉම්තියාස්ගේ ගෙදර
පසුගියදා රාත්‍රියක හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකාර්ගේ බුලර්ස් පටුමගේ ඇති නිවසට මුස්ලිම් රටවල තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් එකොළොස් දෙනෙකු පැමිණියහ. ඔවුන් පැමිණියේ ඉමිතියාස්ගේ ආරාධනාවකට අනුවයි . ඉමිතියාස් මෙය සාම්ප්‍රදායිකව කරන වැඩකි. රාමසාන් කාලය ආසන්නයේදී සෑම වසරකම ඉමිතියාස් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පිරිනමයි. මෙහිදී පිරිස පලස්තීන ප්රශ්නය රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සුහද කතාබහක නිරත විය.
පලස්තීනයෙන් ඇමැති විජිතට සුබ ආරංචියක්
පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජය දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යාංශයේදී මුණ ගැසුණේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනය සම්බන්ධ යෝජනාවලදී ශ්‍රී ලංකා රජය ලබා දුන් නොපැකිලි සහයෝගය පිළිබඳව පලස්තීන රජයේ විශේෂ ස්තුතිය තානාපතිවරයා මෙහිදී පිරිනැමුවේය. අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීන විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා කරන ලද ආරාධනය පලස්තීනයට කරන ලද ඉහළ ගෞරවයක් ලෙස සලකන බව ද තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. දශක ගණනාවක සිට ජාත්‍යන්තර තලයේදී පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටීම සම්බන්ධයෙන් පලස්තීන ජනතාව තුළ පවතින ඉහළ ප්‍රසාදය ද තානාපති ඉහාබ් අයි. එම්. කලීල් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


