ශ්‍රී ලංකාව සුපිරි 8 වට­යට. මතීෂ වෙනුවට ඩිල්ෂාන් මධුසංක කණ්ඩා­යමට.

ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ ඔස්ට්‍රේ­ලි­යාව කඩුලු 8කින් පර­දවා සුපිරි අට වට­යට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩා­යම තර­ගා­ව­ලි­යට එක්ව සිටින අනෙක් සියලු කණ්ඩා­ය­ම්ව­ලට අන­තුරු ඇඟ­වී­මක්ද කර­මින් ඉදි­රි­යට පැමිණ සිටියි.

ශ්‍රී ලංකාව මූලික වටයේ සිම්බාබ්වේ සමඟ තර­ගය ඉති­රිව තිබි­ය­දීම සුපිරි 8 වට­යට සුදු­සු­කම් ලබා­ගත් අතර, එම සුපිරි වටයේ පළමු තර­ගය එළැ­ඹෙන 22 වැනිදා එංග­ල­න්තය සමඟ පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී පස්වරු 3ට පැවැත්වේ.

අඛ­ණ්ඩව ප්‍රමුඛ ජය­ග්‍ර­හණ තුනක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල විශාල වර්ධ­න­යක් පෙන්නුම් කිරීම අනෙක් සියලු කණ්ඩා­ය­ම්ව­ලට දැන් ප්‍රශ්න­යක් මතු කර තිබේ. ප්‍රබල ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව පෙරේදා මහ­නු­ව­රදී ලැබූ දැවැන්ත ජය­ග්‍ර­හ­ණය ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන්ගේ විශ්වා­සය සහ ප්‍රවී­ණ­ත්වය යන දෙකම අව­ධා­ර­ණය කළහ. අය­ර්ල­න්තය සහ ඕමා­නය යන කණ්ඩා­යම් දෙකම පරා­ජය කිරී­මෙන් පසුව කැන්ග­රුවෝ ශ්‍රී ලංකා පිල ඉදි­රියේ අස­රණ වූහ.

ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ මෙවර පළමු ශත­ක­යට හිමි­කම් කීමට ශ්‍රී ලංකා ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශංක සමත් විය. පන්දු 52කදී හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 100ක් ලබා­ගත් ඔහු විස්සයි20 දිවියේ දෙවැනි ශත­කය සම්පූර්ණ කිරීම මෙහිදී කැපී පෙනිණි.

තර­ගයේ තවත් හැර­වුම් ලක්ෂ්‍ය­යක් සට­හන් කළ පැතුම් නිශ්ශංක මෙවර ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ හොඳම උඩ පන්දුව රැක ගනි­මින් ඔස්ට්‍රේ­ලි­යාවේ භයා­න­කම පිති­කරු ග්ලෙන් මැක්ස්වෙල් දවා ගැනී­මට සම­ත්වී­මද අම­තක කළ යුතු නැත. දඟ පන්දු යවන දුෂාන් හේමන්ත‍ගේ පන්දු­ව­කට මැක්ස්වෙල් ‘රිවර්ස් ස්විප්’ පහ­රක් එල්ල කළ අතර, ‘බැක්වර්ඩ් පොයින්ට්’හි සිටි පැතුම් උඩු ගුවනේ වම් පැත්තට පියා­සර කර­මින් අපූරු ග්‍රහ­ණ­යක් කිරීම දර්ශ­නීය අව­ස්ථා­වක් විය.

ශ්‍රී ලංකාව මේ වන විට ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සට­හනේ ලකුණු 6ක් වාර්තා කොට පෙර­මු­ණ­ටම පැමිණ සිටියි. මේ තත්ත්වය මත තරග දෙකක් පරා­ජය වී සිටින ඔස්ට්‍රේ­ලි­යාව සුපිරි 8 වට­යට පිවි­සී­මට නොහැකි විය.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු Pathum Nissanka 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව අවසන් වූ තරගයේදී වාර්තා කළ විශිෂ්ට ශතකය හේතුවෙන් ඔහු 6වන ස්ථානයේ සිට 3වන ස්ථානයට උසස් වී ඇත.කෙසේ නමුත්, පැතුම් නිස්සංක හැරෙන්න පළමු දස දෙනා අතර වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු නොමැති බව ද සඳහන් වේ.

මේ අතර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට නම්කළ ඩිල්ෂාන් මධුසංකට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් මතීෂට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය 16 වනදා පැවැති තරගයේදී ආබාධයකට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *