සිංහල බ්ලොග් කවි මුතු

ආදරය නම්

පිච්චෙනවා

කියලා

දැන දැනම

පළගැටියා

නටයි

ඉටිපන්දම්

වට කැරකෙමින්….

මියෙන

මොහොතත්

තටු පිලිස්සී

දකිමින්ම

එළිය

ඉටි පන්දම්

හිත තුටින් පුරවන….

හුදකලාවේ ලියු කවි

https://hudakalakavi.blogspot.com

මගේ පෙම්වතිය  !

මම නොදනිමි 

නැවත 

ඔබ දකීවි දැයි මම 

මගේ ආදරිය  

මා පිය බිරිඳ  

මගේ මිතුරිය  

මම  පෙරමුණට යමි  

ඔබ  වෙනුවෙන් 

අපේ ජිවිතය  වෙනුවෙන් 

අපේ මතකය වෙනුවෙන් 

අපේ නිදහස වෙනුවෙන් 

අප වෙනුවෙන් 

මට ඔබ නැවත 

දකින්නට හැකිවේද නොදනිමි 

මට ඔබේ උණුසුම ලබන්නට  හැකිවේද  නොදනිම්  

මූනිස්සමක්  හද පසාරු කර ගෙන ගියත්  

 මගේ හදවත ඉන් බිඳී නොයේ 

ඔබ ගැන සිතනා නිසා 

කොළඹ ගමයා 

https://kolambagamaya.blogspot.com

සිහි නොවන දිනයක් නැත

කලබල වීදියක

දස අත දුවන සෙනඟ’තර

නාඳුනන මුහුණක

ඒ අඩ දෑස් සිනහව ම

ඔබ සිහි නොවන දිනයක් නැත

හිස රැඳි ඔටුනු බර

දැනෙන වෙහෙසී හවසක

රිය ගාලේ ඉරි තැල්මක

ඔබ දුන් දම් පැහැ මල ම

ඔබ සිහි නොවන දිනයක් නැත

නොසෙල්වෙන රිය පෙළ මැද

සිරවුණු අනෝරාවක

“පාලු අඳුරු නිල් අහසේ”

තාල සූරයි හදවත

ඔබ සිහි නොවන දිනයක් නැත

හෙල්මලී ගුණතිලක

https://hotchocolatedays.blogspot.com

මගේ සිහිනයෙ නුඹ නිදන හැටි !

දුර ඈත අතීතයේ දවසක

බොහෝ ප්‍රේමයෙන්

එකම වහලක් යට

ජීවිතය බෙදාගත්

හිතවත ,

සමාවෙන්න

අත්වැරදීමකින් වගේ

මං ඔබේ මුහුණු පොතට එබුනා

බොහෝ කලකට පසුව

ඒ උදේම ඔබේ ප්‍රොෆයිල් පින්තූරය

අලුත් එකකට මාරුවී තිබුනා

ඔබ ඇයත් එක්ක එකම රාමුවක

හරි අපූරුවට මල් මල් හිනා

වස්සමින් උන්නා

ඇත්තමයි කල්පෙකට පස්සෙත්

මගේ ඇස් එක මොහොතකට

ගිනිකන වැටුනා

දැන් ඉතින් අඩන්නට තැවෙන්නට

හේතුවක් නැති මුත්

යංතමට ඇහි පියන් ගැහුණා

 චුට්ටක් වයසට ගිහින් බඩත් ඇවිදින්

ඒත් ඔය දුඹුරු ඇස් වල මනමාල 

හිනාව එහෙම්මම තිබුනා

සත්තමයි මට ආයෙමත් ආදරේ දැනුනා !!

ගල් ගහල කුරුළු කූඩුවට ඈ 

හිනාවෙන හැටි..අම්මපා

මට යක්ශයා වැහුණා 

මිට මොලවල කම්මුලට දෙන්න හිතුනා !!

සංසුන් වෙන්න ඔයාමනෙ යන්න දුන්නෙ

ඔයාමනෙ දිනුම දුන්නෙ

මගෙම හිත මට කියනවා ඇහුනා

‘ මට ඔයත් ඕනේ එයත් ඕනේ ‘

තුන්කොන් සටනක උච්චම මොහොතෙ

ඔයා කියපු හැටි ආයෙ ආයෙ ඇහුනා

මට තරමටම එයාටත් 

ආදරේ බව කිව්වම

මගෙ පපුව දෙකට පැලුනා

බදාගන්නට මිසක් බෙදාගන්නට බැරි

ප්‍රේමයේ මතක කන්දම අරන්

මං ආයෙමත් හැරුනා

ඇසිල්ලකින් ඔයා ඒ අත අල්ලගත්තා !!

සොඳුරු සඳවතී 

https://kavisandalla.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *