
2026 වසරේ ඉතාලියේ පැවැත්වෙන මිලානෝ කෝර්ටිනා (Milano Cortina 2026) ශීත ඍතු ඔලිම්පික් උළෙලේ නිල ස්වේච්ඡා බලකායේ සුවිශේෂී භූමිකාවක් සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන රවීන්ද්‍ර කුමාරගේ මහතා තේරී පත්වී ඇත.
ඔහු මෙම ගෝලීය ක්‍රීඩා උළෙලේ “කණ්ඩායම 26” (Team26) ස්වේච්ඡා බලකායේ පිරිස් කළමනාකරණ (People Management) අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ.
මෙම අවස්ථාව සඳහා ලොව පුරා අයදුම්පත් 135,000කට අධික ප්‍රමාණයක් ලැබී තිබූ අතර, ඉන් තෝරාගෙන ඇත්තේ 18,000ක පමණ සීමිත පිරිසකි. තෝරාගත් පිරිසෙන් බහුතරය ඉතාලි ජාතිකයන් වන අතර, අනෙකුත් රටවල් නියෝජනය කරමින් තේරී පත් වූ සුළු පිරිස අතරට රවීන්ද්‍ර කුමාරගේ මහතා ඇතුළත් වීම විශේෂත්වයකි.
මෙම තේරීම් ක්‍රියාවලිය ඉතාමත් තරඟකාරී පරීක්ෂණ රැසකින් සමන්විත වූ අතර, ඉන් අනතුරුව ඔහුට අතිශය දුෂ්කර පුහුණු සැසි සහ විවිධ පාඨමාලා (Courses) ගණනාවක් සාර්ථකව නිම කිරීමට සිදු විය.
මෙවර තෝරාගත් ස්වේච්ඡා සේවකයින්ගෙන් 58%ක්ම ක්‍රීඩා සහ ස්වේච්ඡා සේවය පිළිබඳ පෙර අත්දැකීම් සහිත පුද්ගලයන් වීම විශේෂත්වයකි. වසර 25ක ක්‍රීඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ ඉතාලියේ “කෙනිහා” ක්‍රීඩා ඇකඩමියේ නිර්මාතෘ ලෙස රවීන්ද්‍ර කුමාර මහතා සතු වෘත්තීය පසුබිම මෙම ජාත්‍යන්තර ඇගයීමට ප්‍රබල හේතුවක් වී ඇත.
ශ්‍රී ලාංකික අනන්‍යතාවය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඉහළින්ම ඔසවා තබමින්, ඔලිම්පික් වැනි උදාර වේදිකාවක මෙවැනි වගකිවයුතු භූමිකාවක් හිමි කර ගැනීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම මහත් අභිමානයකි


