AIසමුළුවට නවදිල්ලියට ගිය ඡනපති හමුවීම් රැසක.

කිසිවකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින්  සාමුහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026  සමුළුවේ නායක සැසියට පසුගිය (19) වැනිදා අමතමිනි.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා තම රට AI යටිතල පහසුකම් දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළග මායිම ලෙස බව පැවසීය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර එහි රාජ්‍ය නායක සැසියේ සමාරම්භක අවස්ථාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, බ්‍රසීල ජනාධිපති ලූලාද සිල්වා සහ භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් ඊට එක් වූහ.

AI Impact 2026 සමුළුවට සමගාමීව නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හි දී සංවිධානය කර තිබු ප්‍රදර්ශනය නැරඹීමටද මෙහිදී රාජ්‍ය නායකයන් එක් වූහ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව  AI Impact 2026 සමුළුව  සඳහා සහභාගී වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීව හමු වීම් රැසකට එක් විය.

ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝර්  මහතා අතර හමුවක් පසුගිය (18)වැනිදා පෙරවරුවේ සිදු විය.

මේ අතර, AI Impact  2026 සමුළුව සඳහා සහභාගී වීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපතිවරයා පසුගියදා එක්විය.

ජනාධිපතිවරයා  ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ විශේෂ හමුවකටද එක් වු අතර සමුළුවට සහභාගි වීම සඳහා නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වුනා.මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්ද නවදිල්ලි නුවරදී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *