ගැහැණු ළමයි සංරක්ෂිත පිටපත බලන්න මාර්තු 22 වන ඉරිදා Armenian Youth Centre එකට එන්න

සදාතනික ප්‍රේමානුවේදනාවේ අන්දරය  “ගැහැණු ළමයි” කැනඩාවට සම්ප්‍රාප්ත වන වගයි

සිංහල නවකතා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළ රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී නවකතාකරු කරුණාසේන ජයලත් විසින් රචිත, සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද “ගැහැණු ළමයි” නම්වූ ශ්‍රේෂ්ඨ සිනමා කෘතිය සලෙල රූ පටයකට සිත්තම් කලේ  දැනට වසර 48 කට පමණ පෙර. එම නිර්මාණය, 1978 ලන්ඩන් චිත්‍රපට උළෙලෙහිදී, වසරේ විශිෂ්ටතම සිනමා පටය ලෙස ගෞරවාදරයට පාත්‍ර වීමට හේතු වුයේ එය ශ්‍රී ලාංකික පන්තිමය බාධක සහ සමාජ ගැටුම් නිරූපණය කිරීම සඳහා එහි අධ්‍යක්ෂවරියවූ සුමිත්‍රා පීරිස් ගත් අනුපමේය උත්සාහය හේතු පාදක කරගෙනයි. ලංකාවේ පළමු කාන්තා චිත්‍රපට අධ්‍යක්ෂවරියවූ ඇය ලොව හඳුන්වා දෙන්නේ  සිංහල සිනමාවේ කිවිඳිය මෙන්ම, පුරෝගාමී ශ්‍රී ලාංකික සංකේතාත්මක චිත්‍රපට නිර්මාණය කළ ඉතා විශිෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙසටයි. එදා මිලි මීටර් 35 නෙගටිව් වලින් නිපදවූ “ගැහැණු ළමයි” චිත්‍රපටය අද නව තාක්ෂනය මගින් සම්භාව්‍ය  කෘතීන් අතර ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස දිදුලන යශෝරාවය දැක බලා ගැනීමට සුමිත්‍රා පීරිස් නොසිටීම ඉතාමත් අභාග්‍යසම්පන්න කරුණක්.

“ගැහැණු ළමයි” ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ ආරම්භක ස්ත්‍රී චින්තන ධාරාවේ හැරවුම් ලක්ෂයක් වුවා මෙන්ම, එය  සුමිත්‍රා පීරිස්ගේ සිනමා දිවියේත් සන්ධිස්ථානයක් වී ලාංකික සිනමා ඉතිහාසයේ  නොමැකිය හැකි සලකුණක් සනිටුවන් කළා. මෙම සිනමා කලා කෘතිය මල් ඵල ගැන්වුයේ අප ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේදීයි. බොහෝ විචාරකයින් සහ නරඹන්නන්, චිත්‍රපටයේ චරිතයන්ට කා වැද්දු  චිත්තවේගීය ගැඹුර, බලගතු රංගනයන් සහ කලාත්මකභාවය ගැන ඉතා ප්‍රබල ලෙස කතා බහට ලක් කළා. “ගැහැණු ළමයි”චිත්‍රපටයේ  නිමල්ගේ චරිතය  නිරුපනය කල අජිත් ජිනදාසයන්ගේ දෙවැනි සිනමා පටය මෙය වූ නමුත් වසන්ති චතුරානි සිනමාවට මුල්ම වරට හඳුන්වාදීම සිදු වුයේ මෙම සිනමා පටය හරහායි. මොවුන් දෙදෙනා ඉතා විචිත්‍ර ලෙස පණ පොවන්නේ නිමල් සහ කුසුම් තුළ ජනනය වන සැබෑ අවංක ආදරය හා කන්‍යා ප්‍රේමයයි.

නැවත 2025 දී, වසර 47කට පසුව, ප්‍රංශයේ  කෑන්ස් චිත්‍රපට උළෙලේදී කීර්තිමත් කෑන්ස් සම්භාව්‍ය අංශය සඳහා 4K ප්‍රතිසංස්කරණය කරන ලද “ගැහැණු ළමයි” තෝරා ගැනීමේ සංසිද්ධිය අපට ප්‍රෞඩත්වයකුත් සමඟ දනවන්නේ එම සිනමා කතාන්දරයේ වටිනාකම නොනැසී පවතින්නක් බව නොවේද? ඉන්පසුව, 2025 BFI ලන්ඩන් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කරන ලද මෙම චිත්‍රපටය තවදුරටත් ලොව පිළිගැනීමට ලක් වුවා. මෙය 2025 මැයි 17 වන දින කෑන්ස් ලෝක මංගල දර්ශන සම්භාව්‍ය උත්සවයෙන් පසුව, ඉතාලියේ බොලොග්නා නගරයේදීත්, මෙල්බර්න් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදීත්, ශ්‍රී ලංකාවේ මංගල දර්ශන දෙකක් සමඟ නිව්යෝර්ක්හිදී සහ තවත් විදේශ සිනමා හල් කිහිපයකද  තිරගත වුවා. 

1978 දී, කරුණාසේන ජයලත් කතුවරයාගේ ගැහැණු ළමයි නම්වූ මෙම කෘතිය ඇසුරින් සුමිත්‍රා පීරිස් ඉතා සංවේදී ගැඹුරු සිනමා කථාවක් අපට දායාද කළා. ඒ තුලින් ඇය බොහෝ ලාංකික යුවතියන්ගේ යථාර්ථවාදී ජීවිත පිළිබඳව සංවේදී සමාජ විවරණයක් ඉතාමත් අපුරුවට කැටයම් කර තිබෙනවා. ඒත් එක්කම පාඨකයින් සංවේදනාවට පත් කරන්නාවූ නිමල් සහ කුසුම්ගේ සදාතනික ප්‍රේමයෙන් දෙදෙනාටම අත්මිදෙන්නට නොහැකිවූ නොකී කතාව මුළු ග්‍රන්ථයේම සහ සිනමා පටයේම පතුලේ තිබෙනවා.

එදා යෞවනය කරුණාසේන ජයලත් නම්වූ ගත්කරුවානන්ගේ කෘතීන්ට තදින් ඇබ්බැහිවී සිටියා යැයි පැවසීම සාවධ්‍යය කරුණක් නොවේ. ඒ නව කතා අතර, ගොළු හදවත, ගැහැණු ළමයි ඉදිරියෙන්ම සිටි බව ඔහුගේ පාඨකයින් සාක්ෂි දරාවි. “ගැහැණු ළමයි” කියන්නෙ තම හදවතේ ගැඹුරුම තැනින් ප්‍රේම කල යුවතියක් සම්මතය නාමයෙන් තම ආත්මික ප්‍රේමය බිලි දුන් සියුම් හා කාව්‍යමය කතන්දරයක්. ධනය, කුලය, බලය පමණක් රජ කරන ගෝත්‍රික සමාජය ඉදිරියේ ඇයට ඇයගේ පෞරුෂය යටපත් කර ගැනීමට සිදුවීම පිළිබඳව එදා තාරුණ්‍යයට විවේචනයක් තිබුනා. ප්‍රේමය නම්වූ රමණීය මනෝභාවයට තැකීමක් නොමැති එම අසාධාරණ සමාජයටද එම තරුණ පරපුර දැක්වුයේ නොරිස්සුමක්. සමහරක් විට ඒ ගෝත්‍රික සමාජය ඉතාමත් අවඥාවෙන් ඉවත දා, කුසුම් නම්වූ ඒ යෞවනිය දිරිමත් දියුණු චරිතයකට පත් කිරීමට කතෘවරයා නොගත් උත්සාහය හේතුවෙන් මතුවූ සංවේදනාව, මෙම වෘතාන්තය පාඨකයින්ගේ සිත් ඇද බැඳ ගන්නට සමත් වෙන්න ඇති යැයි අපට උපකල්පනය කල හැකියි නේද? 

“ගැහැණු ළමයි” විශිෂ්ඨ සිනමා කෘතියේ පසුබිම් ගීය වූ “වියෝ ගී ගැයෙනා හදේ”  ශෝකජනක ගීතය මෙම සම්භාව්‍ය ශ්‍රී ලාංකික සිනමා කෘතියට එකතු කරන්නේ තවත්  චිත්තවේගීය ගැඹුරක්. 

ප්‍රතිසංස්කරණය කරන ලද “ගැහැණු ළමයි” සිනමා කෘතිය කැනඩාවේ ටොරොන්ටෝවේ ජීවත්වන අපටත් බලා කියා ගැනීමේ  භාග්‍යය උදාවී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකින් එකක් රඟපාන අජිත් ජිනදාස(නිමල්) කළා කරුවා අද ජීවත් වන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ. ඔහු කැනේඩියානු ශ්‍රි ලාංකික අපිට ලබා දෙන්නෙ ඉතාමත් ගෞරවයක්. 

අජිත් ජිනදාස කළා කරුවාගේ මුලිකත්වයෙන් කැනඩාවට සංක්‍රමණය කරනා ප්‍රතිසංස්කරණය කරන ලද “ගැහැණු ළමයි” සිනමා කෘතිය මෙම මාර්තු මස 22 වැනි ඉරිදා, සවස 4.00ට කැනඩාවේ ටොරොන්ටෝවේ Armenian Youth Centre හිදී දර්ශනය වෙනවා. 

1978 දී, ගැහැණු ළමයි මුලින්ම තිරගත වූ අවස්ථාවේ එය බැලීමට නොහැකි වූ ආදරණීය කැනේඩියානු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට මෙය දැක බලා ගැනීමට අනගි අවස්තාවක් වනවාට කිසිම අනුමානයක් නැහැ. Srilancan පුවත්පත වෙනුවෙන් අප කැනේඩියානු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සුන්දර අනගි අවස්තාව මඟ නොහරිනා ලෙසටයි. “ගැහැණු ළමයි” සිනමා ලෝලීන් වෙනුවෙන් පින්තුර ගැනීම සඳහා කුටියක් ඉදි කිරීමටද සංවිධායකයින්  බලාපොරොත්තු වන බව අපට ආරංචි මාර්ගයෙන් දැනගන්න ලැබුනා.

“ගැහැණු ළමයි” සමඟ ඉතා සුන්දර සන්ධ්‍යාවක් ගත කිරීම සඳහා 2026, මාර්තු මස 22 වැනි ඉරිදා සවස 4.00 ට කැනඩාවේ ටොරොන්ටෝවේ Armenian Youth Centre හිදී නැවත හමුවන තෙක් Srilancan පුවත්පතේ පාඨක ඔබට ආයුබෝවන්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *