මැයි මස 16 වෙනිදා ටොරෝන්ටෝවට පායන “සඳ නොදුටු සඳ”

2026 වසරේ, මැයි මස 16 වෙනිදා කැනඩාවේ Armenian Youth Centre හිදී සවස 6.30 ට රඟ දැක්වෙන “සඳ නොදුටු සඳ” නම්වූ නාට්‍යය ගැන තොරතුරු දැන ගැනීම සඳහා අප Srilancan පුවත්පත වෙනුවෙන් මම දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තෙ එම නාට්‍යයේ නිෂ්පාදක සමන්ත කරුණාරත්න කලාකරුවා.

1991 වර්ෂයේ අගෝස්තු මාසයේ 01 දා සහ 02 වෙනිදා ලුම්බිණී රගහලේ පැවති  මංගල දර්ශනයෙන් ආරම්භ වු “විල් තෙරක් නුදුටු හංසියක්” නම්වූ නාට්‍යයේ රචකයා සහ නිෂ්පාදකයා වනුයේ සේසිරි එම්. සෙනෙවිරත්න කලාකරුවා. නාට්‍ය වාර 50 ක් පමණ රඟ දැක්වූ මෙම නාට්‍යය, පසුකාලීනව කාල පරිච්චේද දෙක තුනක් පසුකරනා අතරේ එහි නමද කිහිප වතාවක් වෙනස් වුවා. ලංකාවේදී, මෙම නාට්‍යයට සංගීතය සැපයුවේ ප්‍රතිභාපුර්ණ සංගීත ශිල්පී ඔස්ටින් මුණසිංහ කලාකරුවා. 2026 මැයි මස 16 වෙනිදා කැනඩාවේදී, සමන්ත කරුණාරත්න “සඳ නොදුටු සඳ” නමින් නිෂ්පාදනය කර රඟ දක්වන්නේ “විල් තෙරක් නුදුටු හංසියක්” හි තෙවැනි නිෂ්පාදනයයි.  

එකල මෙම නාට්‍යයේ රඟ දැක්වු නාට්‍ය ශිල්පීන් වූයේ: 

භද්‍රා නන්දනී

සේසිරි එම්. සෙනෙවිරත්න

ජයන්ත අබේරත්න

ප්‍රියන්ත සෙනෙවිරත්න

නිලන්ති කොඩිතුවක්කු

සනී කරුණාසේන

සරත් ෆොන්සේකා

සිරිල් ජයසිංහ

උදය ශාන්ත

ජගත් නවරත්න

අජිත් එදිරිමාන්න

නැවත, 1996 වර්ෂයේදී, යෞවන සම්මාන උළෙලට පමණක් මෙම නාට්‍යය ප්‍රදර්ශනය වුයේ “මායා දොරටු” නමින්. එහිදී, වසරේ හොඳම පිටපත සඳහා දෙවන ස්ථානයත්, හොඳම නිළියට හිමි සම්මානයත් මෙම නාට්‍යය අභිමානයෙන් හිමිකර ගත්තා. 

1996 වසරේදීම, එල්ෆින්ස්ටන් රඟ හලේදී නැවතත් “විල් තෙරක් නුදුටු හංසියක්” රඟ දක්වන්නේ “සඳ නොදුටු සඳ” නමින් එවකට සංචාරක, ගුවන් සේවා සහ මාධ්‍ය අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉන්පසුව “සඳ නොදුටු සඳ” නාට්‍යය වාර 100ක් මුළු රටපුරාම රඟ දැක්වුවා. මෙම දෙවන වටයේදී තමයි සමන්ත කරුණාරත්න කලාකරුවාට මෙම නාට්‍යයේ රංගන ශිල්පියෙක් ලෙස සම්බන්ධවීමට අවස්තාව ලැබුනේ.

සමන්ත කරුණාරත්නගේ ලාංකික නාට්‍ය කලා ජීවිතය පිළිබඳවත් පුවත්පත වෙනුවෙන් අප විමසීමක් කළා.

ඔහු මේ නාට්‍ය රඟ දක්වන වකවානුවේදී, තරුණ සේවා සභාව මගින් මෙහෙය වූ නාට්‍ය සහ රංගන කලාව පිළිබඳව පාඨමාලාවක් හදාරමිනුයි සිටියේ. අද ඉතා ජනප්‍රිය රංගන ශිල්පීන් වන මාධනී මල්වත්තගේ, මිහිර සිරිතිලක වැනි අයද  තරුණ සේවා සභාවේ ඔහුගේ සමකාලීනයන් වුවා. 

සමන්ත කරුනාරත්න තරුණ නාට්‍ය සිසුවාට ජයලත් මනෝරත්න නම්වූ දැවැන්ත කලාකරුවා මුණ ගැසුණු ආකාරය පිළිබඳව ඔහුට ඇත්තේ ඉතාමත් සුන්දර මතකයක්. තරුණ සේවා සභාවේ පාඨමාලාව අවසන, කෙටි නාට්‍යයක් ඉදිරිපත් කර හැකියාවන් පෙන්වීමයි සිසුනගේ ප්‍රායෝගික පැවරුම වුයේ. එම තරඟ විනිශ්චය සඳහා පැමිණි කලාකරුවන් තිදෙනාගෙන් එක් අයෙක් වුයේ සම්මානලාභී ශ්‍රේෂ්ඨ  කලාකරු ජයලත් මනෝරත්න. එම නාට්‍ය තරඟාවලිය අවසානයේ, ජයලත් මනෝරත්න මහතා විසින් ඔහුගේ “කනේරු මල්” නාට්‍යයට තෝරා ගත්  සිසුන් 7 දෙනාගෙන් එක් අයකු වීමේ වාසනාව සමන්තට ලැබුනේ ඔහුවත් නොසිතු ආකාරයට. ලංකාව පුරා දර්ශන වාර 60-70 ක් පමණ රඟ දැක්වු “කනේරු මල්” නාට්‍යය, සමන්ත නම්වූ නවක රංගන ශිල්පියාගේ කලා දිවියේ සන්ධිස්ථානයක් වුවා. සමන්තට ලුෂන් බුලත්සිංහලගේ “රතු හැට්ටකාරී” සහ “බෙරහඬ” නාට්‍යවල  රඟපෑමට ලැබුණු අවස්ථාව ගැනද ඔහු සඳහන් කලේ ඉතාමත් සන්තුෂ්ටියකින්.

මීට අමතරව, ජයන්ත චන්ද්‍රසිරි, බන්දුල ජයවර්ධන, පරාක්‍රම නිරිඇල්ල, ඩග්ලස් සිරිවර්ධන, මංගල සේනානායක, එච්. ඒ. පෙරේරා වැනි විශිෂ්ඨ කළා කරුවන් සමන්තගේ කලාදිවියට ලබා දුන්නේ ඉතා වටීනා උපදෙස්.

2020 දී කැනඩාවට පැමිණි පසුවද නාට්‍ය කලාව පිලිබඳව ඔහුට තිබු පිපාසය හේතුවෙන් නාට්‍යයක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් ඔහු සිහින මැව්වා. එබැවින්,  2026 දී ඔහු තීරණය කළා  “සඳ නොදුටු සඳ” නම්වූ ඔහුට හුරු පුරුදු විශිෂ්ඨ නාට්‍යය ඉතාමත් සුළු වෙනස්කම් කිහිපයක් සහිතව කැනඩාවේ රඟ දැක්වීමට. නමුත් නාට්‍යයකට දායක විය හැකි රංගන ශිල්පීන් සොයා ගත හැකි වේදැයි තිබු සැකය හේතුවෙන් නාට්‍ය ආරම්භ කිරීම තරමක් ප්‍රමාද වුවා. කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ආකාරයට, නාට්‍යය සඳහා මේ කැනේඩියානු පොළොවෙන් සම්බන්ධ කරගත් සියළුම ශිල්පීන් ඉතා දක්ෂ රංග ශිල්පීන් බව ඔහුට පසක් වුයේ පෙරහුරුව ආරම්භ කල පසුයි. විශේෂයෙන්ම, සම්මානලාභී කලාකරුවකු වන බන්දුල කුරුවිට ආරච්චි ප්‍රධාන චරිතයකට දායක කරගැනීමට ලැබීම නාට්‍යයට ගෞරවයක් වන බව සමන්ත කරුණාරත්නගේ විශ්වාසයයි. 

සත්‍ය වශයෙන්ම, ලංකාවේ දර්ශන වාර 150 කට වඩා රඟ දැක්වූ නාට්‍යයක්, කැනඩාවේදී නව නිමැයුමක් ලෙස දර්ශනය වන ප්‍රථම අවස්තාව මෙය වෙනවා. 

සමන්ත කරුණාරත්න නම්වූ මෙම නාට්‍යකරුවා නාට්‍යයේ වස්තු බීජය සම්බන්ධවත්  සංක්ෂිප්ත විස්තරයක් අප පාඨකයින් වෙත ලබා දීමට උත්සුක උනා. මෙම කතාවට තේමාව වන්නේ මේ වාස්තවික සමාජයේ සම්ප්‍රදායික ආකාරයට වෙළඳ පොළ අභික්‍රමණය කිරීමට තම අනන්‍යතාවය මරා ගැනීමට සිදුවූ සිත්තරෙකුගේ අනුවේදනීය කතා දිග හරුමක්. 

කලාකරුවන් “ආර්ථිකව යාචකයින්”ලෙස අපකීර්තියට පත්වීම එදා සාමාන්‍ය දෙයක්. නමුත් මේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් මියැදුනායින් පසුව ඔවුනට ගෞරවයක් සහ  වටිනාකමක් දීමයි අපේ ලාංකික සම්ප්‍රදාය. සංගීතඥයෙක්, ගායකයෙක් සහ ගීත රචකයෙක් වන සුනිල් ශාන්ත කලාකරුවා මෙයට හොඳම උදාහරණය ලෙස ගත හැකියි. 

කාසි පමණක් වන්දනා කරනා සමාජයක තමන්ගේ මනුස්සකම් තවදුරටත් රැකගත නොහැකි තැනට වත්මන් සමාජ  සංදර්භය නිර්මානය වී තිබීම හේතුවෙන් මිනිසුන් හුස්ම හිරකර ගෙන සිටීම මෙයට හේතුවක් විය හැකි නේද? එමනිසා ලාංකික සමාජය තුල තිබෙනා මේ මිනිස්කමේ ගැටළුව අප විසඳා ගත යුතු බරපතල ප්‍රශ්නයක්. 

සමන්ත කරුණාරත්න කැනේඩියානු කලා තෝතැන්නට නවක නාට්‍ය නිෂ්පාදකයෙකු  වුවද, ඔහු ලාංකික නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ඨයින් නිෂ්පාදනය කරනු ලැබූ ඉතා සාර්ථක නාට්‍යයන් රැසකට රංගනයෙන් දායක වූ තරුණ කලාකරුවෙක්. “සඳ නොදුටු සඳ” නිෂ්පාදනයෙන් ආරම්භ වන නාට්‍ය ආගමනය අප ශ්‍රී ලාංකික කැනේඩියානුවන්ට ආශ්චර්යමත් ආරම්භයක් ලබා දෙනවාට කිසිම සැකයක් නැහැ.

2026 වසරේ, මැයි මස 16 වෙනිදා සන්ධ්‍යාවේ, 6.30 ට කැනඩාවේ Armenian Youth Centre හිදී, ශ්‍රී ලාංකික කැනේඩියානු පොළොවට අස්වද්දන “සඳ නොදුටු සඳ” දැක ගැනීම සඳහා කැනඩාවේ ශ්‍රී ලාංකික සමාජයට ආරාධනා!   

2026 නව නිර්මාණයේ රංගන ශිල්පීන් 

නව නිෂ්පාදක:

සමන්ත කරුණාරත්න

රංගනය:

බන්දුල කුරුවිට ආරච්චි

සමන්ත කරුණාරත්න

හිරුණි බටවල

කල්ප සමරතුංග

චන්දික රත්නමලල

බිම්සරා ගීතචාපා

සංජීව අබේරත්න

සෑම් ජයසූරිය

මසිත් ගුණවර්ධන

එරංද පෙරේරා

ඉමේෂා කෙත්මිණි

අයේෂා චන්ද්‍රරත්න

ශලින්ක පෙරේරා

පෙළ රචනය:

සේසිරි එම් සෙනෙවිරත්න

නර්තන වින්‍යාසය:

ඉමේෂා කෙත්මිණි

වේෂ නිරෑපණය:

බන්දුල කුරුවිට ආරච්චි

වේදිකා පසුතල නිර්මාණය:

මිරාන් ප්‍රේමරත්න

උදාර පතිරණ

ශබ්ද පරිපාලක සහ ආලෝකකරණය:

රිසෙන්දි රුවන්සා

පෙළ මතක් කරදීම:

සිනෙත්මි ඔමෙත්මා

එරංද පෙරේරා  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *