
අපගේ මාතෘකාව වන ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන අභියෝග සම්බන්ධව සාකච්චා කිරීමට ප්‍රථම අද කැනඩාවේ ජාත්‍යන්තර සිසුන්ගේ තත්වය පිළිබඳව ලුහුඬු විමර්ශනයක් කර ගනීමු.
2026 වන විට කැනේඩියානු රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒවා අතර, නව බලපත්‍ර සීමාවන්, ඉහළ මූල්‍ය අවශ්‍යතා, දැඩි PGWP(post-graduation work permit) නීති රීති සහ ඔවුන් තම අධ්‍යාපන ආයතනයෙන් පිටත වැඩ කිරීම් සතියකට පැය 24 දක්වා සීමා කිරීම් වැනි නීති ප්රමුඛ ස්ථානයක් ගනු ලබනවා. මෙම කප්පාදු කිරීම් වලට ප්‍රබල හේතුවක් වන්නේ නිවාස දුෂ්කරතා මැඩපැවැත්වීම සඳහා රජය ගන්නා ප්‍රබල උත්සාහයයි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2026 මුල් භාගය වන විට ජාත්‍යන්තර සිසුන්ගේ නව පැමිණීම් 97% කින් පහත වැටීමක් සිදුව තිබෙන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. ඇත්තටම, 2026 සඳහා අධ්‍යයන බලපත්‍ර 408,000කට(නව අධ්‍යයන බලපත්‍ර 155,000 ක් සහ දීර්ඝ කිරීම් 253,000 ක්) පමණයි සීමා කර තිබෙන්නේ.
වර්තමානයේ, කැනඩාවේ ජාත්‍යන්තර සිසුන්ගෙන් ප්‍රධාන කොටසක් ඉන්දියානු සිසුන් වන අතර, විශේෂයෙන් ඔන්ටාරියෝ වැනි පළාත්වල, ඇතුළත් කිරීම් වලින් 60% කට වඩා මෙම නියෝජනය කර තිබුනා. 2025 දී, ඉන්දියානු ශිෂ්‍ය වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ අනුපාත 80% ක් තරම් ඉහළ අගයක් ගත් බව වාර්තා වූවා මෙන්ම, ඉන්දියානු සිසුන් අඩු කිරීමේ දැඩි පිළිවෙත 2026 දක්වා ද පවත්වා ගෙන යන බවයි පෙන්නුම් කරන්නෙ.
දැන් අපි ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන අභියෝග සහ විසඳුම් සාකච්ඡා කරමු.
1. මූල්‍ය පීඩනය – ජාත්‍යන්තර සිසුන්, කැනේඩියානු සිසුන්ට වඩා 2-3 ගුණයකින් වැඩි ගාස්තුවක් ගෙවනු ලබනවා. ඒ සමඟම ඔවුන්ගේ මව් රටවලට සාපේක්ෂව කැනඩාවේ ජීවන වියදම ඉතා ඉහළ මට්ටමක පැවතින නිසා වියදම් දරා ගැනීමේ අපහසුව හේතුවෙන්, කැනේඩියානු රජය ජාත්‍යන්තර සිසුන් සඳහා ශිෂ්‍යත්ව සහ ශිෂ්‍ය ණය වැනි මූල්‍ය ආධාර විකල්ප කිහිපයක් ලබා දෙයනවා.
https://www.canada.ca/en/services/finance/educationfunding/scholarships.html
https://www.international.gc.ca/education/scholarships-bourses.aspx?lang=eng
https://www.educanada.ca/scholarships-bourses/index.aspx?lang=eng
2. නිවාස සහ නවාතැන් – සිසුන්ට දැරිය හැකි සුදුසු නිවාස සොයා ගැනීම, විශේෂයෙන් ටොරොන්ටෝ සහ වැන්කුවර් වැනි ප්‍රධාන නගරවල සිසුන්ට ඉතාමත් අභියෝගයක්. 2024 දී, ඔන්ටේරියෝ විද්‍යාලවලට සහ විශ්ව විද්‍යාලවලට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සඳහා නිවාස සහතික කිරීම කල යුතු බව ජිල් ඩන්ලොප් අමාත්‍යවරිය නිවේදනයක් කිරීම යම් තරමක ශුභාරංචියක්. බොහෝ විද්‍යාල සහ විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර, නගර නිවාස, කැම්පස් වලින් පිටත හවුලේ බෙදාගත හැකි මහල් නිවාස, කොන්ඩෝ වැනි ශිෂ්‍ය නිවාස තිබෙනවා. ඔබ සහභාගී වීමට සැලසුම් කරන පාසල සමඟ කතාබහ කිරීමෙන් මේවා සම්බන්ධව තොරතුරු ලබා ගත හැකියි. මීට අමතරව, සමහර නිවාස හිමියන් සිසුන් තමාගේ නිවෙස්වල නවත්වා ගැනීමටද කැමැත්තක් දක්වනවා. kijiji, Facebook Market Place වැනි වෙබ් අඩවි ද නිවාස තොරතුරු සපයනවා.
3. භාෂා බාධක – ඉංග්‍රීසි/ප්‍රංශ මව් භාෂාව නොවන සිසුන්ට චතුරතාව සහ විශ්වාසය ගොඩනැගීම සඳහා කියවීම, ලිවීම, සවන්දීම, කථා කිරීම සහ ව්‍යාකරණ කෙරෙහි අවධානය යොමු කළ ESL/FSL (දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි හෝ ප්‍රංශ භාෂාව)වැනි පුළුල්, පූර්ණ කාලීන වැඩසටහන්, බොහෝ විද්‍යාල සහ පෞද්ගලික භාෂා මගින් පවත්වා ගෙන යනු ලබනවා. භාෂා ගැටලුව ජය ගැනීමට වඩාත්ම ඵලදායී ක්‍රම වන්නේ නව පරිසරයේ භාෂාව සහ සංස්කෘතිය සමඟ සම්බන්ධ වීම, සංවාදවල යෙදීම, ඉංග්‍රීසි/ප්‍රංශ හොඳින් කතා කළ හැකි මිතුරන් ඇති කර ගැනීම සහ රූපවාහිනියේ භාෂා වැඩසටහන් නැරඹීමයි. එමෙන්ම සංස්කෘතික උත්සවවලට සහභාගීවීමටත් උත්සාහ කරන්න.
4. සෞඛ්‍ය සේවා ප්‍රවේශය – සමහර ප්‍රාන්ත සෞඛ්‍ය සැලසුම් යටතේ ජාත්‍යන්තර සිසුන් සඳහා සෞඛ්‍ය රක්ෂණයක් ලබා දෙන නමුත් අනෙක් ප්‍රාන්ත එසේ නොකරන බැවින් පෞද්ගලික රක්ෂණ සැලසුම් මිලදී ගැනීමට ඔවුන්ට සිදුවෙනවා. එම මුදල ස්ථානය සහ රක්ෂණ සමාගම අනුව සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 600-900 අතර මුදලක් විය හැකිය.
5. සංස්කෘතික ගැලපීම් – ඔබ පැමිණීමට පෙර සිටම කැනඩාව ගැන අධ්‍යයනය කර ගැනීමට අමතරව භාෂා කුසලතා වර්ධනය කර ගන්න. ඒ වගේම අන් අයගේ සම්මතයන්, චාරිත්‍ර වාරිත්‍ර සහ හැසිරීම් පිළිබඳ හැඟීමක් ලබා ගන්න. කිසිවිටකට්ත් ඉක්මනින් මිනිසුන් විනිශ්චය කිරීමට උත්සාහ නොකරන්න. කැනේඩියානු උත්සවවලට ගොස් අනෙක් අය හමුවන්න. එමෙන්ම ඔබේ පවුලේ අය සමඟ ඉතාමත් ළඟ සම්බන්ධයක් තබා ගන්න.

6. රැකියා අවස්ථා – ජාත්‍යන්තර සිසුන් සඳහා විශ්ව විද්‍යාල පරිශ්‍රයේ අවම වැටුපට ආසන්නව ගෙවන විවිධ රැකියා අවස්ථා තිබෙනවා. ඒ වගේම Coffee shops, Fast Food Restaurants වැනි තැන්වලත් සිසුන් බඳවා ගැනීම් සිදු කරනවා. Snow Removing, Landscaping වැනි රැකියාවන් සිසුන් සඳහා වඩා හොඳ වැටුප් දෙන රැකියාවන් වෙනවා. ඔබට කැනඩාවේ රැකියා බැංකුවේ(JobBank) වෙබ් අඩවියද පරීක්ෂා කළ හැකියි.
https://www.jobbank.gc.ca/home
7. අධ්‍යයන අපේක්ෂාවන් – කැනේඩියානු අධ්‍යයන පද්ධතිවලට ඔවුන්ගේම රටවල පුරුදු වී තිබූ අපේක්ෂාවන් සහ ඉගැන්වීමේ විලාසයන් තිබිය හැකියි. ලංකාවේ මෙන් එක් විභාගයක් මගින් සිසුවකුගේ දක්ෂතාවය මැනීමක් නොකර, බොහෝ උපදෙස්/පැවරුම් කැනඩාවේ අධ්‍යයන වාරය පුරා කිහිප වතාවක් ඇගයීමට ලක් කෙරෙනවා. පරීක්ෂණ සඳහා රචනා, කෙටි ප්‍රශ්නාවලි, කණ්ඩායම් ව්‍යාපෘති ඉදිරිපත් කිරීම්, මධ්‍ය කාලීන පරීක්ෂණ සහ අවසාන විභාග මේවාට ඇතුළත් විය හැකියි. සරල කටපාඩම් කිරීමට වඩා, සංකල්ප පිළිබඳ ශක්තිමත් අවබෝධයක් ලබා ගැනීම සහ පරීක්ෂණ, පැවරුම් සහ ව්‍යාපෘතිවල ගැටළු විසඳීම සඳහා මෙම දැනුම භාවිතා කිරීම විශ්ලේෂණය කර ප්‍රවේශමෙන් අවධාරණය කිරීමට ඔබෙන් අපේක්ෂා කෙරේ. ඒවා සඳහා ඔබේ කාලය කළමනාකරණය කිරීමට ඉගෙන ගන්න. පංති සහභාගීත්වය, සාකච්ඡා, කණ්ඩායම් වැඩ සෑම ආකාරයකින්ම සිසුන්ට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. පංති කාමරයේ සමානාත්මතාවය, අධ්‍යාපනයට සම්බන්ධ ඔබේ කාර්ය්යය සමඟ අධ්‍යයන අඛණ්ඩතාව, අවංකභාවය, විශ්වාසය, සාධාරණත්වය සහ ගෞරවය මතක තබා ගත යුතු ඉතා වැදගත් සාධක වනවා.
8. සමාජ ඒකාබද්ධතාවය – නව රටක හුදකලා බවක් දැනීම බියජනක විය හැකි අතර නව රටක සමාජ සහාය ජාලයක් ගොඩනැගීමට යම් කාලයක් ගතවනු හේතුවෙන් සමාජ වැඩසටහන් සහ සිදුවීම් වලට සම්බන්ධ වීම ජාත්‍යන්තර සිසුන්ට ඉතා වැදගත් වෙනවා.
9. මානසික සෞඛ්‍ය සහාය – මා ඉහත සඳහන් කළ සියලුම පීඩන ජාත්‍යන්තර සිසුන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑ හැකි අතර බොහෝ අන්තර්ජාතික සිසුන් සඳහා කැම්පස් තුළ සේවා සහ වැඩසටහන් සපයනු ලබනවා. එසේම, ජාත්‍යන්තර සිසුන්ට සහාය වීම සඳහා රජයටද වැඩසටහන් තිබෙනවා.
https://www.educanada.ca/study-plan-etudes/during-pendant/wellness-bien-etre.aspx?lang=eng
නැවතත් තවත් ආගමන තොරතුරු සමඟ ලබන මස හමුවනතුරු ඔබ සැමට ආයුබෝවන්!
මේ යූ ටියුබ් දිගුවෙන් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්


