‘මහා සඟ සමුළුවෙන්’සංඝ ප්‍රඥප්තියක්. රාහුල හිමියන්ගෙන් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක්.

බුදුදහමට සහ මහා සංඝරත්නයට වර්තමානයේ එල්ල වෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැති ‘මහා සඟ සමුළුව’ පසුගිය (20) වැනිදා පස්වරුවේ කොළඹදී පැවැත්විණි. ඒ බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදීය.

එහිදී වර්තමානයේදී බුද්ධ ශාසනය, භික්ෂුන් වහන්සේ සහ ජනතාව මුහුණ දෙන සමාජීය අර්බුද සමනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවාසී සියලුම භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ නායකයින් එක්ව සංඝ ප්‍රඥප්තියක් ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව අදාළ සංඝ ප්‍රතිඥාව සියලු හිමිවරුන්ගේ අත්සන් සහිතව ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමටද නියමිත බව මොරටුව, ලුනාව බෝධිරාජාරාමාධිපති, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශාධිපති පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියන් සඳහන් කළේය.

එම කරුණු 10කින් යුත් සංඝ ප්‍රතිඥාව පහතින්,

01. අර්හත් මහා මහින්ද මා හිමියන් වහන්සේ ශ්‍රී සද්ධර්මය රැගෙන විත් එය මේ භූමියෙහි ස්ථාපනය කිරීමේ දී එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ දෙවන පෑතිස් මහරජාණන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුවූ බවත්, එදා සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ බුද්ධාගම එකිනෙකට සම්බන්ධව පැවති බවත් එම සම්බන්ධය මත සදාචාරාත්මක දේශයක් ගොඩනැගීමේ වගකීම පාලකයාට මෙන්ම ආගමට පැවරුණු බවත් හා බුදු දහමේ ඉගැන්වීම් රාජ්‍යානුශාසනා කිරීමේ කාර්යභාරය ඓතිහාසිකව භික්ෂූන් වහන්සේ විසින් සිදු කර ඇති බැවින් මේ අයිතිය පිළිගන්නා ලෙස අපි රජයට අවධාරණය කර සිටිමු.

 02. පෙර රජදරුවන් විසින් සුරක්ෂිත කොට පෝෂණය කරන ලද බුදු දහමත් ඒ හා බැඳුණු සියලු සංස්කෘතීන් ද සිද්ධස්ථානය ආරක්ෂා කිරීමේ වගකීම උඩරට ගිවිසුමෙන් ද තහවුරුව, 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද සම්මත කොට අධිකරණය මගින් ද බුද්ධ සාසනය යන්න නිර්වචනය කොට ඇති බැවින් මෙම ව්‍යවස්ථානුකූල අයිතිය රජය විසින් ආරක්ෂා කළ යුතු බව ද අපි රජයට අවධාරණය කර කියමු.

 03. ජාතියේ එක්සත්කමත්, සමගියත්, සහජිවනයත් රඳා පවතින්නේ ඓතිහාසිකව ගොඩනැගුණු ගිහි පැවිදි සම්බන්ධතාව නිසා බවත්, සොළීන්ට බටහිර කුමන්ත්‍රණකරුවන්ට මෙන්ම කොටි සංවිධානයට පවා මේ සම්බන්ධතාව විනාශ කරලන්නට නොහැකි වූ බවත්, විවිධ ස්වභාවික විපත් හා ව්‍යාධීන් සමනය කරලන්නට මෙම ගිහි පැවිදි සම්බන්ධතාව හේතු වූ බවත්, එය බිඳ දමන්නට විරසක කරන්නට සමාජ මාධ්‍ය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන යන අදුරදර්ශී ක්‍රියාමාර්ග පරාජය කරන්නට රජය විසින් අවශ්‍ය කටයුතු යෙදිය යුතු බව අපි අවධාරණය කර කියා සිටිමු.

 04. අතීත පාලකයන් බුදු දහම කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් කටයුතු කළ බවද, නොබොහොසත්හු ලක්දිව රජ නොවිය යුතු බවට ශිලා ලේඛන ගත කර ඇති බැවින් ද, බුදු දහමින් නිර්දේශිත පරිදි බෞද්ධ දේශපාලන දර්ශනයට අනුගතව විශේෂයෙන් දසරාජ ධර්ම සතර සංග්‍රහ වස්තු ක්‍රියාවට නංවමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ද, සතර අගතියෙන් තොරව රට පාලනය කිරීමේ අවශ්‍යතාව ද අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටිමු.

 05. අතීතයේ සිට ම බුද්ධ ප්‍රතිමාව ලංකාවේ සැදැහැවත් බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට ලක් වූ උතුම් පූජනීය වස්තුවක් වූ බව ද සමාධි, අවුකන, ගල් විහාර වැනි මහා නිර්මාණ පැරණි රජ දරුවන් මහත් පරිශ්‍රමයෙන් ඉදි කළේ ජනතාවගේ ශුද්ධාව දියුණු කරනු පිණිස බවත්, අද දක්වා මෙම ආගමික හා සංස්කෘතික උරුමයන් මහත් වන්දනාවට ලක් වන බවත්, එබැවින් බුද්ධ ප්‍රතිමාවට නිගරු වන කවර ආකාර හෝ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව හෝ වෙනත් කවර සමාජ ආයතන විසින් හෝ සිදු නොකළ යුතු බවත්, ඊට අවශ්‍ය පියවර නීත්‍යානුකූලව ගත යුතු බවත් අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටිමු.

 06. බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානය අනුරාධපුර මහා විහාරය වන බවත්, එතැන් සිට භික්ෂුන් වහන්සේලා රටේ ජනතාවගේ ප්‍රධාන ආචාර්යයන් වහන්සේ වූ බවත්, එයින් සදාචාර සම්පන්න සිසු පරපුරක් ගොඩනැගුණු බවත්, උසස් සාහිත්‍ය කලාවන් රටට උරුම කරමින් භික්ෂුව අධ්‍යාපනිකව ඉටුකළ මෙහෙවර අගය කළ යුතු බවත්, විද්‍යෙදය, විද්‍යාලංකාර පිරිවෙන් අරඹා සහ ඒ ඔස්සේ විශ්ව විද්‍යාල දක්වා ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය දියුණු වු අයුරු පදනම් කොට නුතන පිරිවෙන් සහ පාසල් අධ්‍යාපනය ගොඩනැංවීම සිදු කළ යුතු බවත්, විෂය මාලා සංවර්ධනයේ දී බෞද්ධ අධ්‍යාපන මූලධර්ම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවත් අපි රජයට අවධාරණය කර කියා සිටිමු.

 07. පෙර ජනාධිපතිවරුන් විසින් අමාත්‍ය ධුරය දරමින් ක්‍රියාත්මක කරන ලද බුද්ධ ශාසන අමාත්‍යාංශය මේ වනවිට නිසි අමාත්‍යවරයෙකු නොමැති වීමෙන් අකර්මණය වී දියාරු වී සහ අවස්ථාවට පැමිණ ඇති බැවින් අමාත්‍යංශයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සේවා සපයා ගැනීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලාට, බෞද්ධ ජනතාවට ඒවා කාර්යක්ෂමව ඉටු කර දීමට එහි නිලධාරීන් අපොහොසත්ව ඇති හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ආයතනයක් බවට පත් කරවන්නට අපි රජයට අවධාරණය කර සිටිමු.

 08. බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වන “දේවෝ වස්සතු කාලෙන නම් ගාථාවෙහි එන පරිදි රටෙහි ආර්ථික, දේශපාලන, සමාජයීය දියුණුවෙහි මූලික පදනම ලෙස සැලකෙන දැහැමි රාජ්‍ය පාලනයක් පිළිබඳ ජනතාවගේ ඓතිහාසික ප්‍රාර්ථනා මල්ඵල ගන්වන ලෙසින් රාජ්‍ය මෙහෙයවන ලෙස අපි රජයට අවධාරණය කරමු.

 09. බෞද්ධ පුරාවස්තු, පුජනීය ස්ථාන, විහාර, දේවාලගම් පෞද්ගලිකව භික්ෂූන්ගේ නොව රටේ ජාතියේ උරුමයන් වන බැවින් කවරාකාරයෙන් හෝ ඒවාට හානියක් නොවන පරිදි ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරී තිබෙන බව අපි අවධාරණය කර කියා සිටිමු.

 10. ශ්‍රී ලංකාවේ කවර තැනක හෝ භික්ෂුවට සීලාදී ගුණ ධර්මයන් වඩමින් ගෞරවනීය ලෙස තමාගේත් ලෝකවාසී ජනතාවගේත් මෙලොව පරලොව දෙකෙහි අභිවෘද්ධියට හේතුවන ලෙස පරාර්ථ චර්යාවෙහි යෙදෙන විට උන් වහන්සේලාට නිග්‍රහ වන ලෙසින් අදහස් ප්‍රකාශ කිරීම, මත පැතිරවීම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විවිධ අපහාස උපහාසයට ලක් කිරීම්, චෝදනා කිරීම ආදී භික්ෂු ගෞරවය කෙලෙසන ආකාරයේ කටයුතු රාජ්‍ය යටතේ සිදු නොවිය යුතු බව අපි රජයට අවධාරණය කර කියා සිටිමු.

මේ අතර මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් කොළඹ බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේ පැවති සංඝ සමුළුවේදී පැවසූ ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් මේ වන විට දැඩි සංවාදයකට ලක්ව තිබෙනවා.

එහිදී උන්වහන්සේ “අපිට මොකටද ලිංගික අධ්‍යාපනය, අපට ඕන නැහැ ලිංගික අධ්‍යාපනය” ලෙස සදහන් කරමින් රැස්ව සිටි සංඝයාවහන්සේලා අමතමින් කළ කතාව මහාචාර්ය හිමිනමකට තරම් නොවන කතාවක් බව බොහෝදෙනා මත පලකරනවා.

භික්ෂූන්වහන්සේලාට ලිංගික අධ්‍යාපනය අනවශ්‍ය වුවත් ලෞකික ජීවිතයක් ගතකරන ගිහියන්ට ලිංගික අධ්‍යාපනය අත්‍යාවශ්‍ය බවත් විශේෂයෙන් ගිහියන්ගෙන් මෙන්ම භික්ෂූන්ගෙන් අතවරයට ලක්වන දරුවන් හට ලිංගික අධ්‍යාපනය අත්‍යාවශ්‍ය බවත් සමාජ මාධ්‍ය මත පලවනවා.

මේ අතර කොටපිටියේ රාහුල හිමියන් සිව්වන පන්සිල් පදය කඩකරමින් ඉතිහාස කරුණු සම්බන්ධයෙන් සිදුකල අසත්‍ය කරුණු රැසක් මෙම කතාව තුළ අන්තර්ගත වුණා.

රොබට් නොක්ස්ගේ වාර්තාවල සදහන්වූ කරුණක් ලෙස උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙරටට ප්‍රථමයෙන් දුම්රිය ගෙන්වා එය ධාවනය කරන ප්‍රථම අවස්ථාවේදී එය දැක බලාගැනීමට විශාල පිරිසක් දුම්රිය මඟ දෙපස රැදී සිටි බවයි.

එහිදී එංජිමක එක යාන්ත්‍රික ක්‍රියාවක් දැක ලැජ්ජාවට පත්වූ මව්වරුන් තමන්ගේ දියණියන්ගේ දෑස් ඇද සිටි රෙදිකඩෙන් වසාදැමූ බව කොටපිටියේ රාහුල හිමියන් සදහන් කළා.

බ්‍රිතාන්‍ය පාලන සමයේදී වතු වගා නිෂ්පාදන ප්‍රවාහනය සඳහා 1864 දෙසැම්බර් 27 වන දින ශ්‍රී ලංකාවේ පළමුවන දුම්රිය ධාවනය සිදුකෙරුණා.

ඒ අනුව කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා සැතපුම් 34 ක් එනම් කිලෝමීටර් 54 ක දුරක් මෙම පළමු දුම්රිය ධාවනය වුණා.

කෙසේවෙතත් 1641 වසරේ පෙබරවාරි මස 08 වැනිදා උපත ලැබූ රොබට් නොක්ස් 1720 ජූනි මාසයේ 19 වැනිදා මියගොස් තිබුණා.

ඒ අනුව ඔහු මියගොස් වසර 144 කට පසුව මෙරට සිදුවූ පළමු දුම්රිය ධාවනය සම්බන්ධයෙන් වාර්තාවන් ලියූවේ කෙසේදැයි දන්නේ කොටපිටියේ මහාචාර්ය රාහුල හිමියන්ම පමණයි.

මේ අතර සංවිධායකයන් අපේක්ෂා කළ සහභාගීත්වය නොලැබීම නිසා පැවති සඟ සමුළුව සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවත් එය බල්බ් එකක් පිච්චී ගියා වැනි තත්ත්වයක් බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, 8,000ක පමණ මහා සංඝරත්නයක් වැඩම කරවීමට සැලසුම් කර තිබුණද, අවසානයේ වැඩම කර සිටියේ 275ක් වැනි සුළු පිරිසක් බවයි.

රටේ වත්මන් ආණ්ඩුකරණය, ආර්ථිකයේ ස්ථාවරත්වය, නව දේශපාලන සංස්කෘතිය සහ ජාතිවාදයට එරෙහිව සමාජයේ ඇති වී තිබෙන පිබිදීම දෙස බැලූ විට මෙවැනි සමුළුවක් සාර්ථක නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙන බව අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නා.

උන්වහන්සේලා යම් බලයක් පෙන්වන්නට උත්සාහ කළද  මෙම සිදුවීමෙන් එම බලය ශුන්‍ය තත්ත්වයට ඇද වැටුණු බව පැවසූ ලාල්කාන්ත අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, මෙය නොකර සිටියා නම් තවමත් උන්වහන්සේලාට යම් පිළිගැනීමක් ඉතිරි වන්නට තිබුණු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *