
ඉන්දියාව සහ කැනඩාව 2030 වසර වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩොලර් බිලියන 50ක ඉලක්කයක් කරා ගෙනයාමේ අරමුණින්, විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සඳහා වන සාකච්ඡා නිල වශයෙන් යළි ආරම්භ කර තිබෙනවා.ඒ කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කානිගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීවයි.
ඒ අනුව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිය නිල ඉන්දීය සංචාරයේ දී, යෝජිත ගිවිසුම සඳහා වන කොන්දේසි පිළිබදව දෙපාර්ශ්වය විසින් අවසන් තීරණයකට එළඹ තිබෙනවා.
ඒ අනුව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කරන ලද ඒකාබද්ධ නායක ප්‍රකාශනයට අනුව, දෙරටම 2026 වසර අවසානය වන විට සාකච්ඡා අවසන් කිරීමට එකඟ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සංචාරය අතරතුරදී, පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්ව රාමුවක ප්‍රධානතම කුළුණ ලෙස ‘විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම’ (CEPA) යළි ආරම්භ කිරීම හඳුන්වා දෙන ලද අතර මෙම ගිවිසුම මගින් භාණ්ඩ හා සේවා වෙළෙඳාම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන අනෙකුත් ප්‍රතිපත්තිමය ක්ෂේත්‍රයන් ද ආවරණය කිරීමට අපේක්ෂා කෙරෙනවා.
ඒකාබද්ධ ප්‍රකාශනයට අනුව, වෙළෙඳාම සහ ආයෝජන පිළිබඳ යළි පණ ගැන්වූ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා මගින් ඉදිරි කටයුතු මෙහෙයවනු ලබන අතර, ඉදිරි මාසවලදී දෙරටේම සිදුවන අමාත්‍යවරුන්ගේ සංචාර සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම්වල සහභාගීත්වය මගින් ඊට සහයෝගය ලැබෙනු ඇති බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
බලශක්තිය, තීරණාත්මක ඛනිජ සම්පත්, පිරිසිදු තාක්ෂණය, ඩිජිටල් නවෝත්පාදන සහ දක්ෂතා හුවමාරුව යන අංශ හරහා ක්ෂේත්‍රමය සහයෝගිතාව ගැඹුරු කිරීමට ද දෙරට උත්සාහ කරනු ඇති අතර, ප්‍රකාශනයට අනුව, යුරේනියම් ලෝපස් සාන්ද්‍රණය සැපයීම සඳහා කැනඩාවේ කැමකෝ සමාගම සහ ඉන්දියාවේ පරමාණුක බලශක්ති දෙපාර්තමේන්තුව අතර ඇති කරගත් කැනේඩියානු ඩොලර් බිලියන 2.6ක දිගුකාලීන වාණිජ ගිවිසුම නායකයන් දෙපළගේ පැසසුමට ලක්ව තිබෙනවා.


