ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට පැවරීමට සාකච්ඡා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට පැවරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග සාකච්ඡා සිදුකරමින් සිටින බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (05වැනිදා) අමාත්‍යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා ජනාධිපතිවරයා ද මැදිහත් වී ඇති බවයි.

ඒ අනුව මේ දිනවල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ ඊට අදාළ අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවත්, එම සාකච්ඡා සඳහාද ජනාධිපතිවරයා සම්බන්ධ වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එකඟතාවය මත ඉදිරි කටයුතු සිදුකරන බවත්, ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවිය නොහැකි බැවින් ක්‍රීඩාව ආරක්ෂා කර ගනිමින් ‍ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් අදාළ සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවත්, ඊට අදාළ පියවර කිහිපයක් දැනටමත් ගෙන ඇති බවත්, ඉදිරි සැලසුම ද කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමේ වගකීම රජයක් ලෙස බාරගෙන ඇති බවත්, එය කිසිවෙකු මත පවරා කර ඇරිය නොහැකි බවත් අමාත්‍යවරයා කීවේය.

මේ මොහොතේදී ක්‍රීඩකයන්ට අපහාස වන ආකාරයෙන් හෝ ඔවුන්ට අගෞරව වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *