
ශ්‍රී ලංකා භූමිය, මුහුදු කලාපය මෙන්ම ගුවන් කලාපයන් කිසිසේත්ම රාජ්‍යයන් අතර ගැටුමකදී පක්ෂපාතී ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් යොදා ගැනීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය (5 වැනිදා) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.
ලංකාව ජාතියක් මෙන්ම රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථ බව ආරක්ෂා කරන අතරම මනුෂ්‍යත්වය අංක එකෙහි තබා ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.ඉරාන නෞකාව ශ්‍රී ලංකා රජය භාරයට ගෙන ත්‍රිකුණාමලය වරායට ගෙනයන බවද ජනාධිපතිවරයා කීය.කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක මහතා මෙසේද කීය.
ඉරානයේ නෞකා දෙකක් පිළිබඳව ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. එහිදී අප අනුගමනය කරමින් සිටින්නේ මධ්‍යස්ථ භාවයයි.
ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරය වන්නේ මධ්‍යස්ථ බවයි. අප අපගේ භූමිය, මුහුදු කලාපයන් මෙන්ම ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට ගැටුමේදී පක්ෂපාතී ආකාරයට හෝ කවර හෝ රාජ්‍යයකට පීඩාවක් ගෙන දෙන ආකාරයෙන් කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ.ගැටුම ආරම්භ වූ මොහොතේ සිටම අප ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම අපේ ප්‍රකාශයන් සියල්ල මේ ස්ථාවරය මත පදනම්ව කටයුතු කරනවා.අප ජාතියක් මෙන්ම රාජ්‍යයක් ලෙස මධ්‍යස්ථ බව ආරක්ෂා කරන ගමන් මනුෂ්‍යත්වය අංක එකෙහි තිබෙනවා.මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ,මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අප කිසිසේත් පැකිලෙන්නේ නැහැ.රාජ්‍යයකට ගත හැකි හොඳම ප්‍රතිපත්තිය එයයි. අප ඒ ප්‍රතිපත්ති වල ඉඳගෙන කටයුතු කරනවා.
පසුගිය 26 වැනිදා ඉරාන රාජ්‍ය විසින් අපගේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නාවික යාත්‍රා තුනක් අපේ වරායට සේන්දු වීම සඳහා මාර්තු 9 සහ 13 අවසර ඉල්ලුවා.එය හැඳින්වූයේ සහයෝගීතාව වර්ධනය කරන සංචාරයක් ලෙසයි.අප සොයා බලන විට ඔවුන් අපගේ ජාතික ජල තීරය ආසන්නයේ ඉන් ඔබ්බෙහි රැඳී සිටියා.
සහයෝගීතා සංචාරයක් ඒ විදියට සිදුවන්නේ නැහැ. ඊට අවශ්‍ය විශාල ක්‍රියා පටිපාටියක් තිබෙනවා.අප ඒ පටිපාටි අධ්‍යයනය කරමින් සිටියා.
ඊට පසුව අපට වාර්තා වූයේ දැන් අප බාරයට ගෙන තිබෙන නෞකාවේ නාවිකයෙක් නැවේ වැටී ආපදාවට ලක්වී තිබෙන බවයි.එම නාවිකයා සහ නිලධාරියෙක් මානුෂික අවශ්‍යතාවයක් සඳහා ගොඩබිමට පැමිණෙන්න ඉල්ලා සිටියා.අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මැදිහත් වී එම දෙදෙනා ගොඩබිමට ගෙනැවිත් වෛද්‍ය කටයුතු සඳහා යොමු කළා.
ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 19ක දුරින් යම් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව පසුව සැලවුනා.ඒ අනුව අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක නිරත වුනා.අපේ නාවික හමුදාව වේගයෙන් මැදිහත් වී තිස් දෙදෙනෙක් මුදාගත්තා.මළ සිරුරු අසූ හතරක් සහ තුවාල කරුවන් ගොඩබිමට ගෙනාවා.
දෙවනුව අයිරිෂ් බුෂර් නෞකාව 4 හෝ 5 යන දෙදින තුළ අපේ වරායට සේන්දු වීමට අවසර ඉල්ලුවා.අප ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියා.අපේ විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ ඇමති සමග සාකච්ඡා කළා.අනතුරුව ඔවුන්ගේ එක් එන්ජිමකට ආපදාවක් සිදුවී තිබෙන බව දැනුම් දුන්නා.අප අනුගමනය කළ යුතු සම්මුතීන් තිබෙනවා.මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවේ.එක් පාර්ශවයක නැවක් අපේ වරාය වෙත පැමිණීමට කරන ලද ඉල්ලීමක්.අප එය සලකා බැලිය යුත්තේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති අනුවයි.
සාකච්ඡා වලින් අනතුරුව අපේ යෝජනාව වුණේ ඒ පිරිස සහ නෞකාව අපේ භාරයට ගැනීමට ලෑස්ති බවයි.ඒ අනුව නැවේ සිටින පිරිස මුදවා ගැනීම සහ නැව ස්ථාන ගත කරන ස්ථානය පිළිබඳවත් අප පොදු එකඟතාවයකට ආවා.අපගේ කොළඹ වරාය ආසන්නයේ මෙම නාවික යාත්‍රාව තිබුණත් කොළඹ වරාය අපේ ප්‍රධාන වාණිජ වරායයි. එමෙන්ම මෙවැනි නෞකාවක් කොළඹ රඳවා ගැනීම නාවික කර්මාන්තයට අනතුරක්.ඒ නිසා එම නෞකාව අප කොළඹ වරායට රැගෙන එන්නේ නැහැ. ත්‍රිකුණාමල වරායට රැගෙන යනවා.ඊට පෙර එහි සිටින පිරිස කොළඹ වරායට ළඟා කරගන්න කැමතියි.
අපේ යාත්‍රාවක් ඒ යාත්‍රාව සමීපයට ගොස් ඒ අය මුදවා ගැනීමේ කාර්යයේ නිරත වෙනවා.දැනට 208 දෙනෙක් ගොඩබිමට කැඳවාගන්න කටයුතු කර තිබෙනවා. එහි නිලධාරීන් 53ක් ඉන්නවා.
කැඩෙට් නිලධාරීන් 84ක් ඉන්නවා. ජේෂ්ඨ නාවිකයන් 48 ක් ඉන්නවා.නාවිකයන් 23ක් ඉන්නවා .මේ පිරිස අපේ යාත්‍රාවකින් රැගෙන විත් කොළඹ වරායට ගෙන එනවා.ඉන් අනතුරුව ඒ නැවට අවශ්‍ය කාර්ය මණ්ඩලය අපේ නාවිකයන් සමඟ ඒකාබද්ධව ත්‍රිකුණාමල වරාය අසලට ගෙනයන්න කටයුතු කරනවා.
අප කිසිදු රාජ්‍යයකට පක්ෂපාතී හෝ කිසිදු රාජ්‍යයක යටත් වීමට කටයුතු කරන්නේ නැහැ.
අපේ මුහුද පිළිබඳවත් රාජ්‍ය පිළිබඳවත් ජනතාව පිළිබඳවත් අපට වගකීමක් තිබෙනවා.අප තීන්දු තීරණ ගත යුතු වන්නේ අපේ ජනතාව සහ මාතෘ භූමිය පිළිබඳව ප්‍රමුඛතාවයක් ඇතිවයි.මොන අඬ හැරයන් එළියේබතිබුණත් අප කිසිවකට යටත් වන්නේ නැහැ. අපේ ස්ථාවරය බවට පත්වන්නේ මධ්‍යස්ථ බව රැකගෙන මානව වාදයේ ඉස්මතු කිරීමයි.කිසිදු පුරවැසියෙක් මෙවැනි යුද්ධයකින් මිය යා යුතු යැයි අප විශ්වාස කරන්නේ නැහැ. අපගේ ප්‍රවේශය වන්නේ සියලු පුරවැසියන්ගේ ජීවිත තමන්ගේ ජීවිත හා සමාන ලෙස සැලකීමයි.මේ අනුව අප මේ තීන්දු තීරණ ගන්නවා.මුදවා ගැනීම් කටයුතු කරනවා.
ලෝක සාමය වෙනුවෙන් හැම දෙනාම තමන්ගේ කැපවීම දැක්විය යුතුයි.විශාල ආර්ථික කුණාටුවක් හඹා යාමේ අනතුරක තිබෙනවා.සමාජ දේහය යම් අනතුරකට පත්වීමේ අනතුරක් තිබෙනවා. ලෝකයට අවශ්‍ය වී තිබෙන්නේ සාමයයි.ඒ සාමය වෙනුවෙන් කැපවීම කරමු.සාමය සඳහා වන හැම පියවරකටම අපේ සහාය ලබාදෙන්න ලෑස්තියි.
අද දවස පුරාම මේ පිළිබඳව අසත්‍යය අතාර්කික චෝදනා මුඛයෙන් මෙන්ම විවේචනාත්මක මුඛයෙන් බිය අදහස් ප්‍රකාශ කෙරුණා. අප මේ සියල්ල මැද රජයක් ලෙස අප රටේ කීර්තිය ගෞරවය ආරක්ෂාව වන ආකාරයෙන් මැදිහත්වීම කලා.රාජ්‍යයක් ලෙස අප ගත යුත්තේ නිර්භීත සහ මානවවාදී ක්‍රියාමාර්ගයයි.
මේ අතර ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පසුගිය (05 වැනිදා) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝවක් ආධාරයෙන් නෞකාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ද රජය විශේෂ ප්‍රකාශයක් සිදුකළ යුතු බවය.
ශ්‍රී ලංකාවේ හමුදාවන් විසින් ඉරාන නෞකාවේ සිටි පිරිසගේ ජීවිත බේරාගැනීම පිළිබඳව ප්‍රසංසාව පුදකරන බවද පැවසු විපක්ෂ නායකයවරයා, රාජතාන්ත්‍රක වශයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නොමැති බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ ස්වෛරීයභාවය, භෞමික අඛණ්ඩතාවය පිළිබඳ අවධානය යොමුකළ යුතු බරපතළ තත්ත්වයක් පැන නැගී ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා, පසුගිය (04වැනිදා) දිනයේ දී රට ආසන්නයේ දී මෙවැනි නෞකාවක් විනාශ වී තිබීම පිළිබඳව රජය දැනුවත්ව සිට සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටුකිරීමට බාධාවක් බවද සඳහන් කළේය.
එමෙන්ම මේ වනවිට ගාල්ල, කරාපිටිය රෝහලට රැගෙන විත් ඇති ඉරාන ජාතිකයන්ගේ මෘත දේහයන් තැන්පත් කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් අඩි 40 කන්ටේනර් රථ ඉල්ලා ඇති බවත් රජය මඟින් ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද පැවසු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා, අපේ රටේ මුහුදු සීමාවේ සිදුවන ක්‍රියාවන් රජය නොදැන සිටීම ජාතික ආරක්ෂාවට ගැටලු නොවන්නේ කෙසේ දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී කියාසිටියේ ඉරානයට අයිති තවත් නැවක් ශ්‍රී ලංකා ජල තීරයට ආසන්න විශේෂ ආර්ථික ජල තීරයේ පවතින හෙයින් ඒ ජීවිත ආරක්ෂා කිරීමට රජය උපරිම ලෙස මැදිහත්වී සිටින බවයි. ඒ කටයුතු අවසන් වූ වහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර අනතුරට ලක්වු ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් 84 දෙනකුගේ මළ සිරුරු ගාල්ල කරාජිටිය ජාතික රෝහලේ මෘත ශරිරාගාරය වෙත පසුගිය (04වැනිදා) රාත්‍රි රැගෙන එනු ලැබු බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මළ සිරුරු රැගෙන ඒම සදහා අවශ්‍ය බෑග් කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශය මගින් නාවික හමුදාව වෙත ලබා දි තිබුණි.
රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන එනු ලැබු මළ සිරුරු වලින් කොටසක් මෘත ශරිරාගාරයේ තැන්පත්කිරිමට කටයුතු කළ බවත් ඉතිරි මළ සිරුරු අයිස්කැට අතුරා තැන්පත් කිරිමට කටයුතු කළ බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
අනන්‍යතාවය තහවුරු කර ගැනිම සදහා සෑම මළ සිරුරක්ම ඡායාරුපගත කිරිමට කටයුතු කළ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය අජිත් රත්නවිර මහතා සදහන් කළේය.එකි මළ සිරුරුවල මුහුණු ඡායාරුපගත කොට ලේඛනගත කිරිමට කටයුතු කළ බවද හෙතෙම පවසයි.
ඉතිරි මළ සිරුරු තැන්පත් කිරිම සදහා ශිතාගාරයක් ලැබිමට නියමිතව ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය අජිත් රත්නවිර,මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතර අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.
ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඔහු පවසා ඇත්තේ ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරට බවය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “අපි සටන් කරන්නේ දිනන්න” යනුවෙනි.
මේ අතර මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පසුගිය (03 වැනිදා) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
“ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. තාක්ෂණික වශයෙන්, යුදමය වශයෙන් ඉතාම විශාල අවි තාක්ෂණික මෙවලම් නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොන තරම් විනාශකාරී ද කියන එක පිළිබඳව අපි කාටත් අවබෝධයක් ලබාගත හැකියි.
එනිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ, මේ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්
ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම්, මඟ පෙන්වීම් කළ යුතු යන්නයි.”
ශ්‍රී ලංකාවේ පිහිටි තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාලවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.එම ආරක්ෂක වැඩපිළිවෙළ නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ගෝලීය වශයෙන් උද්ගත වී ඇති අර්බුධකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙරට ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාමට බාධා විය හැකි සිදුවීම් වැළැක්වීමේ අරමුණින් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත මෙම උපදෙස් නිකුත් කර ඇත.
ඒ අනුව, තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, එම නිල නිවාස හා අදාළ අනෙකුත් ස්ථානවල ආරක්ෂාව තරකරමින් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම, මෙරට සංචාරයේ නියුතු හා රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද පැය 24ම ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබාදී ඇත.ඔවුන් රැඳී සිටින වාසස්ථාන, ව්‍යාපාරික ස්ථාන, සංචාරක ගමනාන්ත, නේවාසික ගොඩනැගිලි සහ ආගමික මධ්‍යස්ථානවල ආරක්ෂාව ද මේ යටතේ තහවුරු කෙරේ.
අවශ්‍යතාවය මත මෙම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබාගැනීමටද උපදෙස් ලබාදී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතු වල නිරත නොවන ලෙස තමා සියලුම ධීවරයන්ගෙන් ඉල්ලීමක් කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.ජාත්‍යාන්තර මුහුදු සීමාවේ පවතින අවදානම් සහගත තත්වය හේතුවෙන් තමා මෙම ඉල්ලීම කරන බවද ඔහු ප්‍රකාශ කළේය.ධීවර ජනතාව රැක ගැනීම තමාගේ යුතුකමක් බව අමාත්‍යවරයා පැවසීය.


