
ඕස්ට්‍රේලියාවේ පැවති කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේදී කණ්ඩායමට නවාතැන් ලබාදුන් හෝටලයෙන් පළාගිය ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට තම රට විසින් සරණාගතභාවය ලබාදෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
“ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම ඉරානයට බලහත්කාරයෙන් ආපසු යැවීමට ඉඩ දීමෙන් ඕස්ට්‍රේලියාව දරුණු මානුෂීය වැරැද්දක් කරමින් සිටින අතර, එහිදී ඔවුන් බොහෝ විට මරාදමනු ඇත. එය නොකරන්න, අගමැතිතුමනි, සරණාගතභාවය ලබාදෙන්න. ඔබ එසේ නොකළහොත් එක්සත් ජනපදය ඔවුන්ට රැකවරණය ලබාදෙනු ඇත.” යැයි ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහන් කර ඇත.
ඉරානයේ හිංසා පීඩාවලට බියෙන් සිටින මෙම ක්‍රීඩිකාවන්ට ඕස්ට්‍රේලියාවෙන් පිටවීම අවහිර කරන ලෙසට කෙරෙන ඉල්ලීම් මධ්‍යයේ ට්‍රම්ප්ගේ මෙම සටහන තබා ඇත.
පසුගිය සතියේ ඉරාන කණ්ඩායමේ පළමු තරඟයට පෙර, ඉරාන ජාතික ගීය ප්‍රචාරය වන අතරතුර ක්‍රීඩිකාවෝ නිහඬව සිටියහ. ඉරානය තුළ සිටින සමහර දැඩි මතධාරීන් විසින් එය රාජද්‍රෝහීත්වයේ ලකුණක් ලෙස අර්ථකථනය කර තිබිණි.
සංචිතයේ සාමාජිකාවන් පස්දෙනෙකු ඕස්ට්‍රේලියාවේ රැඳීසිටි හෝටලයෙන් පිටව ගොස් එරට පොලිසිය සමඟ ආරක්ෂිතව සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් ට්‍රම්ප් පරිපාලනය පසුගිය වසරේ ඉරාන ජාතිකයන් සඳහා සංචාරක තහනමක් පනවා ඇත.


