
පෙට්රෝ ඩොලර් ගැන දන්නෙ නැත්නම් ඔයා ලෝක දේශපාලනයට තාම ළදරුවෙක්.. හිතලා බලන්න, ඔබ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා. ඒකට ගෙවන්නේ ඔබේ අතේ තියෙන මුදල් නෝට්ටුවකින්. හැබැයි ඒ කඩදාසි කොළේට වටිනාකමක් ලැබිලා තියෙන්නේ මීට අවුරුදු 50කට කලින් ලෝකයේ අනිත් කෙළවරේ, අඳුරු කාමරයක් ඇතුළේ සිද්ධ වුණු රහසිගත අතට අත දීමක් නිසා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
ඔව්, ලෝකයේ හැම රටක්ම, හැම ආර්ථිකයක්ම පාලනය කරන, හැබැයි අපිට ඇහැට පේන්නේ නැති රහසිගත පද්ධතියක් තියෙනවා. මේක බැංකු පද්ධතියවත්, කොටස් වෙළඳපොළවත් නෙවෙයි. මේකට කියන්නේ “Petrodollar” (පෙට්‍රොඩොලර්) පද්ධතිය කියලා.
Petrodollar කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත්, තෙල් අපනයනය කරන රටවලට ඒ තෙල් වෙනුවෙන් ගෙවන U.S. dollars (ඇමරිකානු ඩොලර්) වලට තමයි පෙට්‍රොඩොලර් කියන්නේ.
මේක ඇහැට පේන වෙනම මුදල් නෝට්ටුවක් නෙවෙයි. මේක ගෝලීය පද්ධතියක්. මේ පද්ධතිය නිසා ලෝකයේ තියෙන හැම රටකටම ඇමරිකානු ඩොලරයේ වටිනාකම ගැන හිතන්න, ඒ ගැන වද වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇමරිකාව අදටත් ලෝකයේ එකම මූල්‍ය සුපිරි බලවතා (Sole financial superpower) විදිහට වැටෙන්නේ නැතුව ඉන්න ප්‍රධානම හේතුව තමයි මේ Petrodollar පද්ධතිය. අද අපි කතා කරන්නේ මේ කළු රත්තරන් (තෙල්) කොහොමද ලෝකයේ බලවත්ම ආයුධය බවට පත් වුණේ කියන එක ගැන.
1971 හැරවුම් ලක්ෂ්‍යය
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක ආර්ථිකය දිව්වේ “Bretton Woods” කියන පද්ධතිය මත. ඒ කියන්නේ ලෝකයේ හැම මුදල් ඒකකයක්ම ඩොලරයට සම්බන්ධ කරලා තිබුණා, ඒ වගේම ඩොලරය ඇමරිකාවේ Fort Knox වල තියෙන රත්තරන් (Gold) සංචිත වලට සම්බන්ධ කරලා තිබුණා.
හැබැයි වියට්නාම් යුද්ධය වගේ දේවල් නිසා ඇමරිකාව තමන් ගාව තියෙන රත්තරන් වලට වඩා ගොඩක් වැඩියෙන් ඩොලර් අච්චු ගහන්න පටන් ගත්තා. මේක තේරුණු ප්‍රංශය වගේ රටවල් ඒ කාලේ තමන්ගේ ඩොලර් දීලා තමන්ගේ රත්තරන් ආයේ ඉල්ලන්න ගත්තා. හැබැයි ඇමරිකාවට හැමෝටම ආයෙ දෙන්න රත්තරන් තිබුණේ නැහැ. ඒ නිසා 1971 දී ජනාධිපති රිචඩ් නික්සන් (Richard Nixon) ලෝකයම පුදුම කරලා ඩොලරය සහ රත්තරන් අතර තිබුණ සම්බන්ධය සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා. මේකට කියන්නේ “Nixon Shock” කියලා. එදා ඉඳන් ඩොලරය කියන්නේ කිසිම වටිනාකමක් නැති, රජයේ විශ්වාසය මත විතරක් දුවන “Fiat currency” එකක් බවට පත් වුණා.
මේ අස්සේ 1973 දී අරාබි රටවල් ඇමරිකාවට සහ බටහිරට තෙල් දෙන එක නැවැත්තුවා (Oil embargo). තෙල් මිල හතර ගුණයකින් වගේ වැඩි වුණා. ඇමරිකානු ආර්ථිකය කඩාගෙන වැටෙන්න ගත්තා. ඩොලරය බේරගන්න නම්, ඒකට අලුත් “නැංගුරමක්” (Anchor) අවශ්‍ය වෙලා තිබුණා.
1974 රහසිගත ගිවිසුම
1974 ජූලි මාසයේදී, ඇමරිකාවේ නව භාණ්ඩාගාර ලේකම් William Simon රහසිගත මෙහෙයුමක් සඳහා සෞදි අරාබියේ ජෙඩා නුවරට යනවා. ඔහුගේ අරමුණ වුණේ හිස් අතින් ආපසු එන එක නෙවෙයි. ඔහු සෞදි රජ පවුලට අපූරු, හැබැයි මාෆියා චිත්‍රපටියක වගේ යෝජනාවක් ගෙනාවා. මේක කොටස් දෙකක ගිවිසුමක්:
ඇමරිකාවේ පොරොන්දුව: සෞදි අරාබියේ රජ පවුලේ පැවැත්ම ඇමරිකාව විසින් සහතික කරනවා. ඔවුන්ට ලෝකයේ තියෙන දියුණුම ප්‍රහාරක යානා, මිසයිල සහ හමුදා ආරක්ෂාව ලබා දෙනවා. කවුරුහරි සෞදියට ඇහැක් ඇරලා බැලුවත්, ඇමරිකාව ඒකට මැදිහත් වෙනවා.
සෞදියේ පොරොන්දුව (Quid Pro Quo): මේක වෙනුවෙන් සෞදි අරාබිය එක දෙයක් කරන්න ඕනේ. ඒ තමයි ලෝකෙට විකුණන තමන්ගේ හැම තෙල් බිඳුවක්ම විකුණන්න ඕනේ “US Dollars” වලින් විතරයි. ජපන් යෙන් වලින්වත්, බ්‍රිතාන්‍ය පවුම් වලින්වත් තෙල් විකුණන්න බැහැ.
සෞදිය ලෝකයේ ලොකුම තෙල් නිෂ්පාදකයා වුණු නිසා, 1975 වෙද්දී මුළු OPEC සංවිධානයටම මේ නීතියට එකඟ වෙන්න සිද්ධ වුණා. Petrodollar ක්‍රමය ඉපදුණේ එහෙමයි.
“Petrodollar Recycling” තේරුම් ගනිමු
දැන් සෞදියට තෙල් විකුණලා බිලියන ගණන් ඩොලර් ලැබෙනවා. මේ තරම් සල්ලි කන්දරාවක් තියාගෙන එයාලා මොකද කරන්නේ? ඇමරිකාව මේකටත් ලස්සන විසඳුමක් ගෙනාවා.
ඇමරිකාව සෞදියට කිව්වා “ඔය ලැබෙන ඩොලර් වලින් ආයෙත් අපේ රටේම ආයෝජනය කරන්න, විශේෂයෙන්ම US Treasury bonds (ඇමරිකානු භාණ්ඩාගාර බැඳුම්කර) මිලදී ගන්න” කියලා. මේ ක්‍රියාවලියට කියන්නේ “Petrodollar Recycling” කියලා.
මේක හරියට වීඩියෝ ගේම් එකක තියෙන Cheat code එකක් වගේ. ඇමරිකාව කඩදාසි වල ඩොලර් ප්‍රින්ට් කරනවා, ඒකෙන් අනික් රටවල් සෞදියේ තෙල් ගන්නවා, සෞදිය ඒ ඩොලර් ආයෙත් ඇමරිකාවටම ණය දෙනවා! මේකෙන් ඇමරිකානු ආණ්ඩුවට දිගටම ණයට සල්ලි ලැබුණා, ඔවුන්ට ලෝකයේ ලොකුම හමුදාව නඩත්තු කරන්න වගේම රට ඇතුළේ විශාල අයවැය හිඟයන් (Deficits) පවත්වාගෙන යන්න මේකෙන් පුළුවන් වුණා.
ලෝකයට ඩොලරය අවශ්‍ය ඇයි?
හිතන්න ඔයා ජපානයේ හරි ශ්‍රී ලංකාවේ හරි මුදල් ඇමති කියලා. රටේ කර්මාන්ත දුවවන්න තෙල් අවශ්‍යයි. ඔබ සෞදියට කතා කරලා කියනවා “අපේ මුදල් වලින් තෙල් දෙන්න” කියලා. සෞදිය කියනවා “අපිට ඕනේ US dollars විතරයි” කියලා.
දැන් ඔබට සිද්ධ වෙනවා කොහොමහරි ඩොලර් හොයාගන්න. ඒ වෙනුවෙන් ඔබ ඔබේ රටේ මිනිස්සුන්ව මහන්සි කරවලා තේ, ඇඟලුම්, ඉලෙක්ට්‍රොනික් බඩු හදලා ඇමරිකාවට යවනවා. ඇමරිකාව ඔබට ඩොලර් දෙනවා. ඔබ ඒ ඩොලර් දීලා සෞදියෙන් තෙල් ගන්නවා.
මේ ක්‍රමය නිසා ලෝකයේ හැම රටකටම ඩොලර් බලෙන් හරි අවශ්‍ය වුණා (Forced Demand). හැම මහ බැංකුවක්ම ඩොලර් සංචිත තියාගන්න පටන් ගත්තා (Reserve Status). ප්‍රංශ මුදල් ඇමතිවරයෙක් මේකට කිව්වේ ඇමරිකාවට තියෙන “Exorbitant Privilege” (අධික වරප්‍රසාදයක්) කියලා. අනිත් රටවල් දහඩිය මහන්සියෙන් බඩු හදද්දී, ඇමරිකාවට කරන්න තිබුණේ ඩොලර් අච්චු ගහන එක විතරයි. ඔවුන් අච්චු ගහන ඩොලර් ලෝකය පුරාම විහිදිලා යන නිසා ඇමරිකාව ඇතුළේ උද්ධමනයක් (Inflation) ඇති වුණෙත් නැහැ. ලෝකය ඇමරිකාවේ උද්ධමනය උරාගන්න ස්පොන්ජ් එකක් වගේ වැඩ කළා.
භූ දේශපාලනය සහ “Petrodollar Warfare” (පෙට්‍රොඩොලර් යුද්ධ)
මේ පද්ධතිය නිසා ඩොලරය කියන්නේ මුදල් ඒකකයක් විතරක් නෙවෙයි, ඒක ලෝකයේ තියෙන භයානකම ආයුධය බවට පත් වුණා. ඇමරිකාවට SWIFT පද්ධතිය හරහා ලෝකයේ ඕනෑම රටක මුදල් ගනුදෙනු අවහිර කරන්න (Sanctions දාන්න) පුළුවන් කම ලැබුණා. හැබැයි මේ ක්‍රමයට අභියෝග කරපු අයට මොකද වුණේ?
සදාම් හුසේන්ගේ වැරැද්ද: 2000 අවුරුද්දේ ඉරාකයේ නායක සදාම් හුසේන් තීරණය කළා තමන්ගේ තෙල් ඩොලර් වෙනුවට “යුරෝ” (Euro) වලින් විකුණන්න. 2002 වෙද්දී යුරෝ එකේ අගය වැඩි වෙලා ඉරාකය ලාභ ලබන්න ගත්තා. මේකෙන් බය වුණු ඇමරිකාව 2003 දී ඉරාකය ආක්‍රමණය කළා. ඔවුන් කිව්වේ න්‍යෂ්ටික අවි තියෙනවා කියලා වුණත්, ඇමරිකාව ඉරාකය අල්ලගෙන කරපු පළවෙනි වැඩේ තමයි ඉරාක තෙල් ආයෙත් ඩොලර් වලින් විකුණන්න නීති හදපු එක.
ගඩාෆිගේ සිහිනය: ලිබියාවේ නායක මුඅම්මර් ගඩාෆි උත්සාහ කළා අප්‍රිකානු මහද්වීපයටම පොදු “Gold Dinar” (රන් ඩිනාර්) කියන මුදල් ඒකකයක් හඳුන්වා දීලා, තෙල් වලට රත්තරන් ඉල්ලන්න. මේක ප්‍රංශයේ සහ බටහිර බැංකු පද්ධතියට විශාල තර්ජනයක් වුණා. 2011 දී NATO ප්‍රහාර හරහා ගඩාෆිව ඝාතනය කරලා ලිබියාව විනාශ කරලා දැම්මා.

නූතන තර්ජන: “Petroyuan” හි නැගීම සහ BRICS (The Rise of the Petroyuan)
හැබැයි කිසිම දෙයක් සදාකාලික නැහැ. අද වෙද්දී ලෝකයේ ලොකුම තෙල් ගැනුම්කරුවා ඇමරිකාව නෙවෙයි, ඒ චීනය. චීනයට තමන්ගේ ප්‍රධානම තරඟකරුවා වෙන ඇමරිකාවේ මුදල් වලින් තෙල් ගන්න එක ලොකු හිසරදයක් වුණා. ඒ නිසා ඔවුන් 2018 දී Shanghai International Energy Exchange එක හරහා තෙල් “Yuan” (යුවාන්) වලින් මිලදී ගන්න පටන් ගත්තා. මේකට කියන්නේ “Petroyuan” කියලා.
ඒ වගේම රුසියාව, චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ දැන් ඉරානය, සෞදිය, UAE වගේ රටවල් එකතු වෙලා ඉන්න BRICS සංවිධානය ඩොලරය මඟහැරලා තමන්ගේම මුදල් වලින් වෙළඳාම් කරන්න පටන් අරන්. 2022 දී ඇමරිකාව රුසියාවේ ඩොලර් සංචිත බිලියන 300ක් එක රැයින් ගල් කළාම (Freeze), ලෝකයේ අනිත් රටවල් බය වුණා. ඔවුන් තේරුම් ගත්තා ඩොලරය කියන්නේ තමන්ගේ සල්ලි නෙවෙයි, ඒක ඇමරිකාව දෙන “අවසර පත්‍රයක්” විතරයි කියලා. මේ නිසා රටවල් ඩොලර් අතහැරලා රත්තරන් (Gold) එකතු කරන්න පටන් ගත්තා.
2024 සෞදි හැරවුම:
2024 ජුනි මාසයේදී සමාජ මාධ්‍ය පුරාම කතාවක් ගියා අර 1974දි අත්සන් කරපු ඇමරිකා-සෞදි අවුරුදු 50 ක ගිවිසුම කල් ඉකුත් වුණා කියලා. තාක්ෂණිකව එහෙම කල් ඉකුත් වෙන ලියවිල්ලක් නොතිබුණත්, එහි යථාර්ථය ඇත්ත. සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු MBS දැන් පැහැදිලිවම කියලා තියෙනවා තමන් තෙල් විකුණන්න ඩොලර් වලට අමතරව යුරෝ, යුවාන් වගේ ඕනෑම මුදල් ඒකකයක් භාරගන්න සූදානම් කියලා. ඒක Petrodollar ආධිපත්‍යයේ අවසානයේ ආරම්භයයි.
බලශක්ති සංක්‍රාන්තිය:
අපි හිතමු ලෝකය පෙට්‍රල්, ඩීසල් වලින් ඈත් වෙලා Green energy (හරිත බලශක්තිය), ඒ කියන්නේ විදුලි වාහන (EV), සූර්ය කෝෂ වලට මාරු වුණා කියලා. එතකොට තෙල් මත යැපෙන Petrodollar එකට මොකද වෙන්නේ?
එතනදීත් ඇමරිකාවට ප්‍රශ්නයක් එනවා. මොකද EV බැටරි වලට අවශ්‍ය Rare earth minerals (දුර්ලභ ඛනිජ), ලිතියම්, කොබෝල්ට් වගේ දේවල් වල සැපයුම් ජාලය (Supply chain) සම්පූර්ණයෙන්ම වගේ
දැනට පාලනය කරන්නේ චීනය. මේක අනාගතයේදී “Electro-Yuan” (හරිත බලශක්තිය යුවාන් වලින් පාලනය කිරීමක්) දක්වා වර්ධනය වෙන්න පුළුවන්. නිදහස් බලශක්තිය කියන්නේ තාක්ෂණික අභියෝගයක් වගේම භූ දේශපාලනික අභියෝගයක් වෙලා ඉවරයි.
හැබැයි ගොඩක් අය හිතන්නේ හෙට උදේ නැගිටිද්දී ඩොලරය බිංදුවටම වැටිලා තියේවි කියලා. හැබැයි ආර්ථික විද්‍යාඥයින් කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ වෙනුවට ලෝකය Multipolar (බහු-ධ්‍රැවීය) ලෝකයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ලෝකයේ එක රජෙක් වෙනුවට, කලාපීය රජවරු කිහිපදෙනෙක් බිහිවෙනවා. ඩොලර් කලාපය, යුරෝ කලාපය සහ යුවාන්/BRICS කලාපය විදිහට ලෝකය ඛණ්ඩනය වෙනවා.
ඒ වගේම අනාගතයේදී ඩොලරයට තියෙන ලොකුම තාක්ෂණික තර්ජනය තමයි CBDC (Central Bank Digital Currency). උදාහරණයක් විදිහට “Project mBridge” කියන ව්‍යාපෘතිය හරහා චීනය, UAE, තායිලන්තය වගේ රටවල් Blockchain තාක්ෂණය පාවිච්චි කරලා ඇමරිකාවේ SWIFT පද්ධතියටවත්, නිව්යෝර්ක් බැංකු වලටවත් නොගිහින් තත්පර කිහිපයකින් තමන් අතරේ සෘජුවම (Peer-to-peer) ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රමයක් හදමින් ඉන්නවා. මේක සාර්ථක වුණොත් ඇමරිකාවට ලෝකයේ සල්ලි යන එන විදිහ බලාගන්නවත්, සම්බාධක දාන්නවත් බැරි වෙනවා.
එතකොට මේක යුගයක අවසානයද?
අවසාන වශයෙන් ගත්තොත්, Petrodollar කියන්නේ අවුරුදු 50ක් තිස්සේ ඇමරිකාව ලෝකය පාලනය කරපු මූල්‍ය ඉංජිනේරු විද්‍යාවේ (Financial engineering) මාස්ටර් ප්ලෑන් එකක්. මේකෙන් ඇමරිකාවට ලෝකයේ පොලිස්කාරයා වෙන්නත්, තමන්ගේ රටේ මිනිස්සුන්ට ඉතා ඉහළ ජීවන මට්ටමක් දෙන්නත් පුළුවන් වුණා.
හැබැයි ඒ යන්ත්‍රයේ රෝද දැන් ගැලවෙමින් පවතිනවා. ඇමරිකාවට ඩොලර් ට්‍රිලියන 35 කට වඩා ණය තියෙනවා. ලෝකය තවදුරටත් ඇමරිකාවේ උද්ධමනය (Inflation) උරාගන්න සූදානම් නැහැ. Petrodollar එක නැතිවෙනවා කියන්නේ ලෝක විනාශය නෙවෙයි, හැබැයි ඒක ලෝක ආර්ථිකයේ සහ බලතුලනයේ අලුත්, සංකීර්ණ පරිච්ඡේදයක ආරම්භයක්. කඩදාසි මුදල් වලට වඩා රත්තරන්, ඉඩම් සහ සැබෑ නිෂ්පාදන (Real assets) වලට වටිනාකමක් ලැබෙන අලුත් යුගයකට අපි පියනගමින් ඉන්නවා. ඉදිරියට වෙන දේවල් අපි බලාගෙන ඉමු.
Written By : Sulochana Dissanayake
Sources : International Media and News Reports

https://www.facebook.com/share/p/18G8ArD47a
විශ්ම ලෝකය – Wishma Lokaya මුහුණු පොත් පිටුවෙන්
https://www.facebook.com/Wishmalookaya
*අවසර ඇතිව උපුටා ගත්තකි.


