ක්‍රිකට් පිටියේDRS  අයිතිය ඉල්ලන ශ්‍රී ලාංකිකයා.

ක්‍රීකට් පිටියේ විනිසුරුගේ තීරණවලට අභියෝග කරමින් ඒවා තුන්වැනි විනිසුරුට ඉදිරිපත් කෙරෙන ඩීආර්එස් ක්‍රමවේදය (Decision Review System) නොඑසේ නම් විනිසුරු තීරණ යළි විමසීම ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෑතකාලීන විප්ලවයකි. යම්කිසි පිතිකරුවකු දැවී ගිය බවට හෝ නොදැවුණු බවට පිටියේ විනිසුරුවරයා විසින් දෙනු ලබන තීන්දුවට එරෙහිව අදාළ පිතිකරුවා විසින් හෝ ප්‍රතිවාදි කණ්ඩායමේ නායකයා තුන්වැනි විනිසුරුවරයාට යොමු කරන්නැයි ඉල්ලීම ‘ඩීආර්එස්’ (DRS) ලෙස හඳුන්වයි. ඒ ඉල්ලීම ඉදිරිපත් කරන ‘ටී අකුරේ’ අපූරු හස්ත සංඥාව සාමාන්‍ය ජනතාව අතරද ඉතා ජනප්‍රිය අභිනයකි. එහෙත් ක්‍රිකට් ලොව උඩුයටිකුරු කළ මේ ඩීආර්එස් ක්‍රමවේදය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු බව දන්නේ අතළොස්සක් පමණි. ඔහු නමින් සේනක වීරරත්නය. ‍හෙතෙම ප්‍රවීණ නීතිඥයෙකි; ලේඛකයෙකි; චින්තනවාදියෙකි.

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දැඩි අවධානයට ලක් වූ ලිපියක් වසර 1997 මාර්තු 25 වැනිදා ‘දි ඔස්ට්‍රේලියන්’ පුවත්පතේ පළ විය. ‘Third umpire should perform role of appeal judge’ ශීර්ෂපාඨය යටතේ පළ වූ ඒ ලිපියෙහි සඳහන් වූයේ ඒ වනවිට අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී පිටියේ විනිසුරුවරුන් අතින් සිදු වන වැරදි තීන්දු තීරණ සම්බන්ධවය. ඒ ලිපිය සම්පාදනය කරනු ලැබුවේ ඉහත කී සේනක වීරරත්න විසිනි. පළපුරුදු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වූ හෙතෙම ඒ සඳහා සිය නීතිඥ දැනුමද මනාව භාවිත කරමින් ලියන ලද එම ලිපිය පසුකාලීනව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ක්‍රිකට් පිටියට හඳුන්වා දුන් විනිසුරු තීරණ යළි විමසීමේ රෙෆරල් ක්‍රමවේදය දක්වා ඇදී ගියේය.

වසර 1997 සිට 2000 දක්වා උතුරු ඔස්ට්‍රේලියාවේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ, දැඩි ක්‍රිකට් ක්‍රීඩාලෝලීයකුද වූ සේනක වීරරත්නගේ මේ යෝජනාව ‘ඩීආර්එස්’ ක්‍රමවේදය බවට පරිවර්තනය කරමින් වසර 2009 දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ලොවට හඳුන්වා දුන් අතර, අදටත් සාර්ථකව අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ භාවිතයට ගනු ලබයි. එහෙත් එහි නිල අයිතිය ඔහුගේ බවට අයිසීසීය මෙතෙක් පිළිගෙන නැති අතර, සේනක වීරරත්න සිය අයිතිය වෙනුවෙන් අඛණ්ඩව සටන් කරමින් සිටී.

“මගේ ලිපියෙන් මම මතු කර පෙන්නුවේ තාක්ෂණය තියෙනවා නම් විනිසුරුගේ වැරදි පෙන්නන්න, ඇයි ඒ තාක්ෂණයම පාවිච්චි කරන්නේ නැත්තේ විනිසුරුගේ වැරදි තීන්දුව නිවැරදි කරන්න කියන එකයි. ඊට පස්සේ මම කිවුවා මේකට තිබෙනවා විසඳුමක්. නිවැරදි තීරණ දෙන්න නම් මුලින්ම විනිසුරුගේ තීරණය අවසන් තීරණය කියන සිද්ධාන්තය ඉවත් කරන්න ඕනෑ. හරියට අධිකරණ ක්‍රියාවලිය වගේ. නඩුව අහන උසාවියක් තියෙනවානේ. ඊට පස්සේ අභියාචනාධිකරණයක් තියෙනවා. ඊටත් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙනවා. චුදිතයකුට පුළුවනි උසාවියකින් ඔහුට දෙන දඬුවම හෝ තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට යන්න. ඉන් ඔබ්බට ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන්නත් හැකියාව තිබෙනවා. ඒ තර්කයම තමයි ක්‍රිකට් පිටියේ විනිසුරු වැරදි විනිසුරු තීරණ සම්බන්ධයෙන් භාවිත වෙන්නේ.” සේනක වීරරත්නගේ විනිසුරු තීරණ යළි විමසීමේ ක්‍රමවේදයට අනුගත වී ඇත්තේ එම තර්කය මතිනි.

“ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර ගන්නට තිබුණු හොඳම අවස්ථාවක් තමයි ඔය විදිහට මඟහැරුණේ. අදටත් මම මේ සම්බන්ධව මගේ අයිතිය බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ සංකල්පයේ අයිතිවාසිකම් දිනා ගන්න මම තවදුරටත් සටන් කරනවා,” ඔහු පැවසීය.

සැබැවින්ම ‘ඩීආර්එස්’ ක්‍රමවේදයේ නිර්මාතෘ සේනක වීරරත්න බව එම ක්‍රමවේදය පිළිබඳ අන්තර්ජාලයේ විකිපීඩියා වෙබ් අඩවියේ පැහැදිලිව සඳහන් වේ. එපමණක් නොව; ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින රටවල් රැසක පුවත්පත්වල ඒ පිළිබඳ වාර්තා පළ වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *