ලෝකයේ ජනප්‍රියම තුංමං හන්දියේ වතුර මල ළග කාසියක් විසිකර බලමුද ?. 2010 ශීත ඔලිම්පික් මතක සමග වලාකුළු අතරට.

ලෝකයේ ජනප්‍රියම තුංමං හන්දියේ වතුර මල ළග කාසියක් විසිකර බලමුද ?

රෝම නගර සංචාරයක මතකය 2

La dolce Vita චිත්රපටියේ චිත්‍රපට නිලි සිල්වියා පැපරාසින්ගෙන් මිදී මාසෙලෝ සමග යන අතරේ එක්තරා වතුර මලක් ළගට යනවා . ඉතා හැගීම්බර ලෙසින් මාසෙලෝට එය ළගට එන ලෙස කියන දර්ශනය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහත් ඉහලින් සැලකු එකක් . දවසකට යුරෝ 3000 කට අධික කාසි තොගයක් එකතුවන මේ වතුර මලේ Trevi යන වදනේ අරුත තුන් පැත්තක් කියන එකයි . මංමාවත් තුනක් එකතුවන තුංමං හන්දියක තිබෙන මෙය තනා තිබෙන්නේ මංමාවත් ආරක්ෂා කරන Trivia දෙවගන සිහිවීම පිණිසයි . මෙතැන ඉතා විශාල පිරිසක් එකතුවෙන තැනක් හින්ද ඉතා ලුවර් කෞතුකාගාරයේ මොනාලිසා වගේ ළගම ඉදන් හොදම ෆොටෝ ගන්න නම් උදෙන්ම යන එක හොදයි .

අපි ගියේ හොදින් ඉර පායපු දවාලක වුණත් හවසකටත් මෙය ආලෝකමත් කරලා තියෙන හින්ද මෙතැන බලන්න පුළුවන්. 7 වන ක්ලෙමන්ස් පාප් වහන්සේ වෙනුවෙන් Bernini මෙය සැලසුම් කලත් අධික වියදම හින්ද එක අවුරුදු 50 කට විතර පස්සෙ 1732 – 1762 කාලෙකදි ඉදිවුනේ Nicola Salvi ගේ අධීක්ෂණය යටතේ. ඉතා ජනප්‍රිය චිත්‍රපට රැසකට පසුබිම් තලය හැදු මේ වතුර මල මීටර් 30 ක් උසට තිබෙන්නේ Palazzo Poli ගොඩනැගිල්ල ඉදිරිපිටයි . එහි ඉතා අගනා මනරම් කැටයම් රැසක් නිමවා තිබෙන්නේ මුහුදු රැල්ලක හැඩයටයි .

මෙතැනට එන හැමෝම වගේ මෙයට කාසි විසි කරනවා . ඔබේ දකුණු අතින් වම් උරහිසට උඩින් වතුර මලට ඇස් වහගෙන කාසියක් විසි කලොත් ආයෙමත් දවසක රෝමයට එන්න ලැබෙනවයි කියනවා. එතකොට කාසි 2 ක් විසි කලොත් ඔබට රෝමයේදී ඔබේ ආදරය ලැබෙනවාලු.

Altar of the Fatherland

ගලින් කෙරුණු මේ සුවිසල් ස්මාරකය ඉදිකර තිබෙන්නේ ඉතාලිය එකමුතු කල පළමු රජු වන Victor Emmanuelසිහිවීම පිණිසයි . මෙය තිබෙන්නේ Pantheon සහ Colosseum එක අතරයි . මෙහි තිබෙන එම්මානුවෙල් රජුගේ තඹ ප්‍රතිමාව සුවිශේෂ එකක් . මෙහි පහත මාලයේ කුඩා කෞතුකාගාරයක් තිබෙනවා .

Roman Forum

මේ පරිශ්‍රය පැරණි රෝම රජයේ ගොඩනැගිලි සංකීර්ණයක්. අතීතයේදී රැස්වීම් පැවැත්වූ රැස්වීම් ශාලා , උසාවි සහ වෙළද සංකීර්ණ මෙතැන අතීතයේදී තිබු බවයි කියන්නෙ. කලින් කලට විවිධ අධිරාජ්‍යය වරුන් විසින් මේ සංකීර්ණයට විවිධ අංග එකතු කර තිබෙනවා .

Arch of Constantine

Constantine අධිරාජ්‍යයා වෙනුවෙන් ඉදිවුණු මෙය Milvian bridge සටනේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඉදිවූ ස්මාරකයක් . කිස්තු වර්ෂ 315 දී ඉදිකර තිබෙන මෙය මීටර් 21 ක් උසයි . සොල්දාදුවන් , සිරකරුවන් සහ සටන් දැක්වුණු කැටයම් මෙහි තිබෙනවා .

Colosseum

කිස්තු වර්ෂ 72-80 අතර Vespasian අධිරාජ්‍යයා විසින් රෝම නගර මධ්‍යයේ ඉදිකල ඕවලාකාර හැඩයේ ලෝකයේ තිබෙන විශාලතම එළිමහන් ක්‍රීඩාගාරය ( amphitheater) මීටර් 189 දිග ,මීටර් 156 පලල සහ තට්ටු 12 ක් උස ගොඩනැගිල්ලක තරමේ එකක් . එහි ක්‍රීඩා සදහා භාවිතා වන ඉඩ අද විශාල පාපන්දු ක්‍රීඩාගාරයක් තරම් . 50000 කට අධික පිරිසකට පහසුකම් සැලසු මෙහි ශක්තිමත් ග්ලැඩියේටර් වරුන්ගේ සටන් , සිංහයින් ඇතුළු රුදුරු වනසතුන් සමග කෙරුණු දරුණු සටන් සදහා භාවිතා කෙරුණා .

අතීතයේදී දින 100 ක් පුරා එකදිගට පැවති සමහර අවස්ථාවලදී 10000 කට අධික සතුන් සහ විශාල තරගකරුවන් පිරිසක් මියගිය බව සදහන් .

ප්‍රේක්ෂකයින්ට හිරු එළියෙන් තරග නැරබීමට බාධා නොවනු පිණිස පියස්සක් , විශාල කාමර සංඛ්‍යාවක් , සතුන් සහ ග්ලැඩියේටර් වරුන් සිරකර තිබු දොරවල් 36 ක් තිබු , දොරටු 80 ක් තිබෙන මේ සුවිසල් පරිශ්‍රය විශාල ගල් කුට්ටි සහ කොන්ක්‍රීට් භාවිතයෙන් තනන්නට දහස් ගණනක සිරකරුවන් යොදා ගත් බව සදහන් .

අතීත ලෝකයේ පුදුම 7 න් එකක් ලෙස සැලකෙන මෙය 2018 දී මිලියන 7.4 ක පිරිසක් පැමිණි ලෝක උරුමයක් .මෙය හා සබැදුණු චිත්‍රපට රැසක්ද නිමැවී තිබෙනවා . මේ පුදුම හත හරිම විවාද සම්පන්න එකක් හින්ද සමහර ලැයිස්තුවල මේක ඇතුලත් වෙන්නේ නැහැ . ඒ කොහොම වුණත් මේ ඉදිකිරීම නම් හරිම පුදුම එකක් තමයි.

රෝමයේදී බැලිය හැකි තැන්

· Castel Saint Angelo
Palatine Hill
Galleria Borghese

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න

https://ahasgawwenehalokaya.blogspot.com/2021/06/blog-post_26.html

2010 ශීත ඔලිම්පික් මතක සමග වලාකුළු අතරට

….. කැනේඩියානු සංචාරයක මතකය

රටවල් 82 ක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2566 දෙනෙක් හිම ආශ්‍රිත ක්‍රීඩාවන් 7 ක ඉසව් 86 කට සහභාගී වූ 2010 ලෝක ශීත ඔලිම්පික් උළෙල පැවැත්වුණේ වැන්කුවර් නගරයේ සිට කිලෝමීටර් 125 ක් උතුරින් පිහිටි විස්ලර් (Whistler) නගරයේදී . වසරකට මිලියන 10 කට අධික සංචාරකයින් පිරිසක් යනෙන හිමෙන් වැහුණු කදු මුදුන් සහිත විස්ලර් නගරය විශේෂයෙන්ම ශීත කාලයේදී සහ වසර පුරා සංචාරයට සුදුසු කැනඩාවේ බලන්නට අමතක නොකල යුතු තැනක්.

රිච්මන්ඩ් නගරයේ අපේ නවාතැනින් අපි උදෙන්ම පිටත්වුනේ පැය එකහමාරක දෙකක ගමනක් තියෙන හින්ද. අපේ ගමන් මග බ්‍රිටිෂ් කොලොම්බියා අධිවේගී මාර්ග අංක 99 එහෙමත් නැත්නම් Sea to Sky Highway හරිම ලස්සන පාරක් . ඉඩ පාඩු තියෙනවා නම් නැවති නැවතී බලන්නට වටින දසුන් එමටයි . අපේ ගමනාන්තය විස්ලර් නගරය . ගිම්හානයේ හිම අඩුවෙන් පෙනුණත් හරිම ලස්සන පලාතක් . ටිකක් වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් සංචාරක දුම්රියේ ගිහින් කදුවල රුව ගුණ බලන්නට පුළුවන් .

විස්ලර් ඔලිම්පික් ගම්මානය ( Whistler Olympic Village)

අපි ඔලිම්පික් ගම්මානයට ආවා . මීට කලින් සංචාරයක මතකය තුලින් ඔබව ගෙනගිය කුවිබෙක් පළාතේ Mont Tremblant අපේ සිහියට ආවා . ශීත කාලයට හිම ක්‍රීඩාවල යෙදෙන අය ගෙනයන උපාංග වෙනුවට මවුන්ටන් බයිසිකල් ගත් අය කදු මුදුන් වලට යන්න පෝලිම් ගැහිලා . 2010 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් හිම ක්‍රීඩාවල අසිරිමත් රූපවාහිනී දර්ශන මේ ඉස්සව්වට යන්න උත්ප්‍රේරකයක් වූ බව කිව යුතුයි .
2010 ඔලිම්පික් සංකේත සටහන Ilanaaq තිබෙන විස්ලර් කදු මුදුනට යන්න අපි විස්ලර් ගම්මානයේ ගොන්ඩෝලාවට ගොඩවුණා . අපි ටිකෙන් ටික අහසට නැගෙනවා . කදු මුදුන්වල ඉදන් මවුන්ටන් බයිසිකල් වලින් වැඩ දමමින් එන අය අපට පේනවා . සමහරු කදු නගිනවා .( Hiking) තවත් අය දුරට යන කේබල් වල එල්ලිලා පහලට රූටනවා ( Ziplining) . වලාකුළු අද්දරදි අපි ඒ ගොන්ඩෝලාවෙන් බැහැලා ගිම්හානයේ දීත් හිම තියෙන කදු මුදුන් පසුබිමට අරගෙන ඔලිම්පික් සංකේතය එක්ක සෙල්පි ගහන්න පටන් ගත්තා .

කදු මුදුන් අතර ගොන්ඩෝලාව ( Peak to Peak Gondola)

විස්ලර් කන්දේත් , බ්ලැක් කෝම්බ් ( Blackcomb) කන්දේත් මුදුන් වෙත වෙන වෙනම ගොන්ඩෝලා සේවා 2 ක් ක්‍රියාත්මක වෙනවා . 1997 දී ඒ සමාගම් 2 කේ ප්‍රධානීන් ස්විට්සර්ලන්තයේ Zermatt නගරයේ කල සංචාරයකට පස්සෙ ආපු අදහස තමයි මේ කදු මුදුන් 2 ක හරහා ගොන්ඩෝලාවක් පටන් ගන්න එක .
සුවිසල් කුළුණු 4 ක් සහ දෙකොන කදු මුදුන්වල සවිකල දැවැන්ත ආධාරක අතරින් ස්විට්සර්ලන්තයේ හෝ ඔස්ට්‍රියාවේ වැනි යුරෝපා සංචාරයක හැගීම් දනවන රතු පැහැති කුටි 28 ක් කිලෝමීටර 4.4 ක් දුරක් දෙපැත්තට යනවා . එක පැත්තකට ගමන් කාලය විනාඩි 11 ක් . මගීන් 28 දෙනෙකු දැරිය හැකි ඒවා අතුරින් 2 ක් වීදුරු පතුල් ඇති ඒවා . ඒවායේ යන්න නම් දැඩි හිතක් සහ දරා ගැනීමක් අවශ්‍ය වෙනවා . පැද්දෙන කොට වගේම සමහර වෙලාවට මැද නතර වෙලා තියෙන කොට නම් පොඩි බයකුත් දැනෙනවා . පැයකදී මේවායින් එහා මෙහා කරන පිරිස 4100 දෙනෙක්. ඔබට වියදම් කරන්නට පුළුවන් නම් කදු මුදුනේදී හෙලිකොප්ටර් චාරිකාවක යෙදෙන්නත් පුළුවන් .

Whistler ක්‍රියාකාරකම්

ශීත කාලයට හිම ක්‍රීඩාවල යෙදෙන අයගේ පාරාදීසයක් වන මේ නගරය ඒ සදහා වන සියළු පහසුකම් වලින් සමන්විතයි . ඔබට අවශ්‍ය සියළු උපකරණ , උපාංග කුලියට ගන්නත් , මග පෙන්වන්නන් , පුහුණු කරුවන් සේම නවාතැන් පහසුකම් මෙහි ඒමට තිබෙනවා . කැනඩාවේ පමණක් නොව ලොව දස දෙසින් පිරිස් මෙහි ඇදී එන්නේ ඒ නිසා . ගිම්හාන කාලයට මෙහි කල හැකි ක්‍රියාකාරකම් රැසක් ද තිබෙනවා . කදු නැගීම , මවුන්ටන් බයිසිකල් පැදීම සහ Ziplining ඒ අතර වෙනවා . ඊට අමතරව කදු මුදුන්වල සිට ගලා හැලෙන දිය පහරවල බෝට්ටු පදින්නත් , ATV රථයක නැගී ත්‍රාසජනක ගමනක් යන්නත් පුළුවන් .ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙනවා නම් ඊට අවශ්‍ය පහසුකම් ද පවුලේ සැමට නිවී හැනහිල්ලේ ඉන්නට පුළුවන් උද්‍යාන රැසක් ද මේ ප්‍රදේශයේ තියෙනවා . රෑ බෝවෙන කොට අපි ආපහු නවාතැනට එන්න වාහනයට නැග්ගා .

Sea to Sky Highway අතර බලන්නට වටින තැන්

· Brandywine Falls
· Squamish
Sea to Sky Gondola
· Shanon Falls

Capilano suspension bridge park

අද දවසේ අපි යොදාගත්තේ කෙටි ගමනක් . මේ අපේ නවාතැනේ ඉදන් පැය බාගෙක විතර දුරකින් තිබෙන පරිසර පද්ධතියක් . ස්වදේශීය Squamish වරුන් ලස්සන ගග අරුතින් කියූ Kia’ palano වලින් බිදුණු වදනක් විදිහට Capilano හදුන්වන්න පුළුවන් .

1888 දී George Grant Mackay සිවිල් ඉංජිනේරුවරයා මිලට ගත් අක්කර 6000 ක බිම් කඩට අයත්ව තිබු මෙය කලින් කලට විවිධ පුද්ගලයින් අතට පත් වුනා . මුලින්ම ගග හරහා කුඩා වැල් පාලමක් තිබුණු අතර කලින් කලට දියුණු වී අද පවතින තත්වයට ආවේ 1983 දී මිලදී ගෙන සංවර්ධනය කල Nancy Stibbard නිසා . රොකී කදු කලාපයේ ඉතා සාර්ථක සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධිකාවක් වන ඇය යටතේ අද වනවිට අති විශාල පිරිසක් යනෙන තැනක් .

මේ උද්‍යානය තුල පැය ගණනක්ම ගත කරන්නට දේ තිබෙනවා . ගස් උඩින් යන පාලම් අතරින් ගහ කොලේ පුසුබ විදින්නටත් , උතුරු ඇමෙරිකාවේ තිබෙන
විශාලතම Totem Poles. එකතුව බලන්නටත්, ගං ඉවුරේ අග්ගිස්ස දිගේ ගමනක් යන්නත් ඔබට පුළුවන් . පෞද්ගලික දේපලක් වන මෙහි අයකිරීම් තරමක් වැඩි වුනත් වැන්කුවර් නගරයට එන සංචාරකයින් මෙය බලන්නට යන්නේ එහි ඇති අපුර්වත්වය නිසා .

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න
https://ahasgawwenehalokaya.blogspot.com/2019/11/2010.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *