ස්කූටරයෙන් ශ්‍රී ලංකාව වටා කිලෝමීටර් 1822 ක් ගිය සමන්මලී.

දින 8 ක් තුළ ශ්‍රී ලංකාව වටා කිලෝමීටර් 1822 ක දුර ප්‍රමාණයක් සිය යතුරු පැදියෙන් ගමන් කළ ධෛර්යවන්ත තරුණියක පිළිබඳ වේයන්ගොඩ ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. වේයන්ගොඩ පදිංචි සමන්මලී තුෂාරා තම යතුරු පැදියෙන් දිවයින වටා ගොස් මේ අපූරු වාර්තාව තැබුවාය. තම සොයුරියට අයත් පෞද්ගලික ආයතනයක නිර්මාණ ශිල්පිනියක ලෙස සේවය කරන ඇය ලබාගත් කෙටි නිවාඩුවකදී මේ අපූරු චාරිකාවෙහි යෙදී තිබුණාය. තුෂාරා නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි විදුහලේ ආදි සිසුවියකි.

මේ සංචාරය ඇය නම්කර තිබුණේ ” AROUND SRILNAKA ” යන නමින්ය. ඒ සඳහා අවශ්‍ය ජැකට්ටුවක් පවා ඇය නිර්මාණය කරගෙන තිබුණාය. මේ සංචාරය මෙරට අනෙකුත් තරුණ තරුණියන්ටද ආදර්ශයක් සමග පණිවුඩයක්ද ලබාදී තිබෙන අතර, තරුණියකට තනියම රට වටේම නිදහසේ කිසිඳු බාධාවකින් තොරව ගමන් කිරීමේ අවකාශය ඇති බව තුෂාරා මේ අපූරු සංචාරයෙන් රටට පමණක් නොව විසේ රටවලටද පෙන්වා දී ඇත. ඒ තරමටම මේ වනවිට ඇය ගිය සංචාරය සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය මාතෘකාවක් වී තිබේ. එක් අතකට ඇය අප රටේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමටද මේ සංචාරය තුළින් දායකත්වය ලබාදී ඇත.

කලින් සැලසුම් කර තිබූ මෙම සංචාරය ඇය පදිංචිව සිටින වේයන්ගොඩ නිවසේ සිට ගමන් ඇරඹුවේ පසුගිය 28 වැනි දිනය. සමන්මලී පළමු දිනයේ පුත්තලම හරහා කල්පිටියට ගියාය. කල්පිටියේ එදින රාත්‍රියේ නවාතැන් ගත් ඇය පසුදා උදෑසනින්ම නැගිට ගමනේ දෙවැනි දිනය කල්පිටියේ සිට මන්නාරමටත් තුන්වැනි දිනයේ මන්නාරමේ සිට යාපනය දක්වාත් ගමන් කර තිබේ. මන්නාරමේ සිට පැය 4 ක කාලයකදී යාපනයට ගිය ඇයට එහි සංචාරය කිරීමෙන් පසුව යාපනයේ සිට කයිට්ස් දූපත කරා යතුරුපැදිය රැගෙන යාත්‍රාවකින් යතුරුපැදියෙන්ම ගමන් කිරීමටද අවස්ථාව සැලසී තිබිණි. එය ඇගේ සංචාරයේ තිබූ එක් බලාපොරොත්තුවක් ඉෂ්ට කරන්නක්ද වීය. ඉන් අනතුරුව යාපනයේ පේදුරුතුඩුවේ සිට පරන්තන් කර ගොස් එහි සිට මුලතිව් නගරය කර ගමන් ගත්තාය. මුලතිව් සිට නයාරු කෝකිලායි කළපු හරහා නැදුන්කර්ණී දක්වා ගොස් එතැන් සිට පදවි ශ්‍රී පුරට පැමිණ ගොවි ගම්මාන හරහා පැමිණි ගමන ඇයගේ සංචාරයේදී දුටු සුන්දරම පරිසර පද්ධතියක්ද දැක ගැනීමට හැකියාව ලැබී ඇත. එහි සිට ත්‍රිකුණාමලයටත් ඉන් පසුව මඩකලපුවට සහ ආරුගම්බෙටත් ගොස් එදින රාත්‍රිය එහි ගතකළ සමන්මලී, පසුදින පානමටත් ගොස් ලාහුගල කැලය මැදින් මොනරාගල දක්වා ගමන් කර තිබේ. මොණරාගල, වැල්ලවාය, හම්බන්තොට හරහා වැලිගමට පැමිණ සංචාරයේ 7 වන දිනය වැලිගම නවාතැන් ගත්තාය. සිට එක දිගටම නොනැවතී වැලිගමට පැමිණි ගමන තුෂාරාගේ මේ සංචාරයේදී එක් දිනකදී ගිය වැඩිම දුර ප්‍රමාණයද විය. එදින පෙරවරු 6.00 ට ආරුගම්බේ සිට ගමන් ආරම්භ කළ ඈ පානමටද ගොස් එතැන් සිට වැලිගමට පැමිණෙන විට පස්වරු 6.00 ද පසුවී තිබී ඇත. පසුදින සංචාරය අවසන් කරමින් වැලිගම සිට ගාල්ල හරහා වේයන්ගොඩ තම නිවස කරා පැමිණියාය.

මේ ගමනට යොදාගත් ස්කූටර් වර්ගයේ යතුරුපැදිය ඇය මිලදී ගෙන තිබුණේ 2020 වසරේදීය. මනා නඩත්තුවකින් පවත්වාගෙන ගිය මේ යතුරුපැදිය ගැන තිබෙන විශ්වාසය නිසාම ඇය මේ දීර්ඝ චාරිකාවට එයම යොදාගෙන තිබිණි. ඒ විශ්වාසය කෙතරම්දැයි කිවහොත් දින 8 ක් තුළ කිලෝමීටර් 2000 කට ආසන්න දුරක් පැද ගියද එය කිසිඳු තැනකදී කිසිඳු කාර්මික දෝෂයකට ලක් නොවීමත් ඇයගේ චාරිකාවේ සාර්ථකත්වය මූලිකම හේතුවක් වී තිබිණි. ” මගේ විනෝදාංශය තමයි සංචාරය කිරීම. මම යතුරුපැදියක් ගත්ත දවසේ ඉඳලම ඇවිදීම විනෝදාංශයක් විදිහට කරගෙන ගියා. මීට පෙරත් මම මේ තරම්දුරකට නොවුණත් මේ වගේම ගමන් කීපයක්ම තනියම මගේ යතුරුපැදියෙන් ගිහින් තිබුණා. මුලින්ම ගියේ අම්පාරට. එහේ ඉඳලා පොළොන්නරුවට ගිහින් සීගිරියත් බලාගෙන ගෙදර ආවා. ඒ මුල්ම ගමනටනම් දවස් පහක්ම ගියා. ඊට පසුව ආරුගම්බේ ගියා. ගිය අවුරුද්දේ යාපනයටත් ගියා. පාන්දර තුන හමාරට ගෙදරින් පිටත් වෙලා හවස හතර වෙද්දී එදා මම යාපනයට ගියා “.

” ඊට පසුව තමයි මේ දුර ගමන මම සැලසුම් කරලා ගිහින් ආවේ. ගෙදරින් නම් කැමති වුණේම නැහැ මම තනියම මේ වගේ දුර ගමනක් යනවාට. නමුත් මට මා ගැනම විශ්වාසයක් තිබුණා. මේ ගමන ⁣තනියම කොහොම හරි යනවා කියන අධිෂ්ඨානයත් මට තිබුණා. සම්පූර්ණයෙන්ම මට අවශ්‍ය විදිහටම ගමන සැලසුම් කරගත්තා. ගමනට කලින් යතුරුපැදිය පූර්ණ නඩත්තුවකට ලක්කර ගත්තා. ගමනේ දින ගණනට අවශ්‍ය වන ඇඳුම්පැලැඳුම්, මට සහ යතුරුපැදියට අවශ්‍ය වැසි ආවරණ කට්ටල, හදිසියේ රෝගාබාධවකට ලක්වුවහොත් ප්‍රතිකාරවලට අවශ්‍ය ඖෂධ වර්ග, යතුරුපැදියේ හදිසි නඩත්තුවකට අවශ්‍ය උපකරණ කට්ටලයක්, ජංගම දුරකථනයට අවශ්‍ය බැටරි ආරෝපණ වගේම කෙටි ආහාරපානද සකස්කරගත් ගමන් මලු දෙකක සූදානම් කරගෙන මේ සංචාරය පටන් ගත්තා “.

මේ ගමනේදී තනියම ගමන් කළ තුෂාරාට කිසිවෙකුගෙන් බලපෑමක් හෝ පීඩාවක් එල්ල නොවීමද විශේෂත්වයකි. විශේෂයෙන්ම නාඳුනන අන්‍ය ජාතින් පිරිසක් වෙසෙන උතුරුකරයේදී තරුණියක වන ඇයට ලැබී තිබුණේ උණුසුම් ආගන්තුක සත්කාරය. විශේෂයෙන්ම උතුරේ පේදුරුතුඩුවේ ජනතාව ඉතාම සුහදශීලි පිරිසක් බව ඇය පැවසුවාය. එසේම මුලතිව් නගරයේදී පාළු ස්වභාවයක් දැනුනු බැවින් එම නගරයේදී වැඩිපුර සංචාරය කිරීමෙන් වැළැකුණු බවද පැවසුවාය. දින අටක කාලයක මේ සංචාරය සඳහා ඇයට වැයවී තිබූ සම්පූර්ණ මුදල රුපියල් පනස්දහසකට ආසන්නය. ඉන්ධන සඳහා රුපියල් 9650 ක්, නවාතැන් වියදම් සඳහා රුපියල් 21000 ක් සහ ආහාරපාන සඳහා රුපියල් 11470 ක් ලෙස එම මුදල වැයවී ඇත. අන්තර්ජාලයේ සෙවුම් හරහා තමන්ට අවශ්‍ය ගමන් මාර්ගය, ආහාරපාන සහ නවාතැන්පොළවල්ද පහසුවෙන් සොයා ගැනීමට හැකිවීමෙන් ඇයගේ සංචාරය වඩාත් පහසුකර තිබිණි. උතුරේ සිට මොනරාගල දක්වා පැමිණෙන මාර්ග සියල්ලම පාහේ අඩු ජනගහනයක් ගැවසෙන පාළු ස්වභාවයෙන් යුතු ප්‍රදේශ වුවද තුෂාරා එම ප්‍රදේශ හරහා තනියම යතුරුපැදියෙන් ගමන් කිරීමට තරම් නිර්භීත ධෛර්යවන්ත තරුණියක වූවාය. මේ ගමනේදී තම සංචාරයෙන් බලාපොරොත්තු වූ සැලසුම් කළ සියලුම ස්ථාන දැකබලා ගනිමින්, උතුරුකරයට විශේෂිත ආහාරපානවල රස බලමින්ද, හිරු බැස යන අවස්ථාවන් ඇතුළු දර්ශනීය ඡායාරූප රැසක්ම ලබා ගැනීමට හැකිවූ බවද තුෂාරා සඳහන් කළාය. හැකි සෑම අවස්ථාවකදීම දෙමාපියන් ඇතුළු තම පවුලේ සාමාජිකයන් සමග ජංගම දුරකථනය මාර්ගයෙන් සබඳතා පවත්වමින් තම ආරක්ෂාව පවත්වාගෙන යාමටද ඇය කටයුතු කර තිබිණි. තුෂාරා දක්ෂ බතික් නිර්මාණ ශිල්පිනියක වන නිසාම ඇය ඡායාරූපකරණය සඳහාද දක්වන්නේ ඇල්මක් සහ දක්ෂතාවයකි. මේ නිසාම ඇය තම ජංගම දුරකථනය හරහා මේ චාරිකාවේදී මනරම් දර්ශනීය ඡායාරූප රැසක්ම ලබාගෙන තිබීමද විශේෂ කරුණකි. එ⁣සේම මේ දීර්ඝ චාරිකාවේදී ලබාගත් ජායාරූප හෝ වීඩියෝ කිසිවක් ගමන අවසන් කොට නිවසට පැමිණෙන තෙක්ම සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ නොකිරීමටද තුෂාරා කටයුතු කර තිබුණේ ඇගේ පෞද්ගලික ආරක්ෂාව සඳහාමය. තුෂාරා දියණියන් දෙදෙනෙකුගෙන් සහ පුතෙකුගෙන් සමන්විත පවුලක මද්දුමයා වන අතර ඇයගේ පවුලම චිත්‍ර කලාවට සම්බන්ධ මෙරට ප්‍රසිද්ධ පවුලකි. බතික් ව්‍යාපාරය පවුලේ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන අතර පියා වන රන්මුතුගල රන්ජිත්ප්‍රිය මහතා සහ එකම සොයුරා වන සිතුම් සුධාරක මෙරට ප්‍රකට චිත්‍ර කතා ශිල්පින් දෙදෙනෙකි. වැඩිමල් සොයුරිය පවත්වාගෙන යන බතික් ව්‍යාපාරයේ චිත්‍ර නිර්මාණ ශිල්පිනියක ලෙස තුෂාරාද කටයුතු කරයි. තම මීළඟසංචාරය වේයන්ගොඩ සිට මන්දාරම් නුවරට බවද ඇය අවසානයේදී සඳහන් කළාය. මේවනවිට තුෂාරා රටවටා ගිය මේ අපූරු සංචාරය විනෝදාංංශයක් ලෙස සංචාරයෙහි නිරතව සිටින මෙරට තරුණ තරුණියන් අතරේ උන්මාදයක් බවටද පත්ව තිබේ – උපුටා ගැනීම “අරුණ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *