සිංහල කෙටිකතාව –යන්නම් අක්කා,ජීවන කතන්දර- මගේ දැලි රැවුල,පරිවර්තිත කෙටිකතාව- සොහොයුරෝ

සිංහල කෙටිකතාව

යන්නම් අක්කා

“මාසෙක සල්ලි කළින් දෙන්න ඕන, කෑම දෙන්නේ නැහැ, හීටර් ගහන්න බැහැ, ෆ්ලාස්ක් එකක් දුන්නොත් දවසට දෙසැරයක් උණු වතුර දෙන්න පුළුවන්.” අලුත් බෝඩිමේ ඇන්ටි එක හුස්මට කට පාඩමින් කීවා ය. 

ඒ සරසවියේ පළමු වසරේ මැද භාගයයි. මාත් මගේ අතිජාත මිතුරිය දිලිනිත් නවාතැනක් සොයමින් අසරණ ව පසු වූයේ අපගේ පළමු බෝඩිමේ අයිතිකරුවන් තකහනියක්ම ගෙවල් දොරවල් කුලියට දී ඈතක පදිංචියට යාමට තීරණය කළ නිසාය. වසර මැද තියා වසර මුල වත් බෝඩිම් සෙවීම ලේසි නැත. කටින් කට ලැබුණු ඔත්තු අනුව අප මේ පැමිණ සිටියේ දොළොස්වන තැනටයි.  

“හරි හරි ඇන්ටි, අපි කැමතියි! අපිට කාමරේ බලන්න පුළුවන් ද?” ඇන්ටිගේ නීති මාලාව හරිහැටි කණට නොගෙන මා විමසුවේ මේ බෝඩිම වත් හරියන ලක්ෂණ පෙන්නුම් කිරීම පිළිබඳව ප්‍රීතියෙන් ඉපිලෙමිනි. අඳුරු කොරිඩෝවක කෙළවර, යුගල ඇඳක්, තනි ඇඳක් කුඩා මේසයක් සහ පුටුවක් ඉතා අමාරුවෙන් සිර කළ කාමරයක් අපට දක්නට ලැබිණි. එය කෙතරම් කුඩා ද යත් සෑම ගෘහ භාණ්ඩයක්ම අඩුම ගණනේ තවත් දෙකක වත් ගෑවෙන තරම් විය. නමුත් ඒ නිවසේ  සුරක්ෂිත බවත්, අප ගේ තදබල අවශ්‍යතාවයත් නිසා අපි ඊට කැමැත්ත දුන්නෙමු. 

“අනිත් ඇඳේ කවුද ඇන්ටි ඉන්නේ?” පසුදාම පදිංචි වන්නට පොරොන්දු වී යන්නටත් ගොස් ගේට්ටුව ළඟදි හදිසියේ සිහිවී දිල් බෝඩිමේ ඇන්ටි ගෙන් විමසුවා ය. 

“ආ.. ඒකෙ ඉන්නේ මිහිරි නේ.. ඔයගොල්ලෝ දන්නවත් ඇති.. අර ෆයිනල් ඉයර්..” ඈ පැවසුවාය.

සිසුන් දහ පහළොස් දාහක් උගෙනගන්නා සරසවියක ‘ෆයිනල් ඉයර් මිහිරි’  තබා ඒ වෙද්දීත් අපේම බැචාලා බැචීලා පවා අප හරිහැටි නොහැඳිනූ බව ඇන්ටි නොදැන සිටින්නට ඇත!

පසුදාම අපි අපගේ ලට පට ගෙනැවිත් අලුත් නවාතැනේ පදිංචි වූයෙමු. ඇඳුම් මලු සහ පොත් පත් සහිත පෙට්ටි ඇඳ යට තබනවා හැරෙන්න වෙන විකල්පයක් නොවීය. එහෙත් තනි ඇඳත් ඒ අවටත් මනුස්ස වාසයක ලක්ෂණ නොවිය. 

“කවුද බං මේ ෆයිනල් ඉයර් මිහිරි? ඇඳුමක් කැඩුමක් අඳින්නේ නැති හොල්මනක් ද?” අස් පස් කිරීමෙන් අනතුරුව තනි ඇඳ යටට එබී බලා දිල් විමසුවේ විමතියෙනි. එහි වූයේ කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් පමණි. 

“අපිට මොකෝ, හොල්මනක් වුනත් කමක් නැහැ රෑට ගොරවන්නේ නැත්නම් එච්චරයි මට නම්!” අපගේ අලුත්ම ෆ්ලාස්කුව සිය පළමු උණුවතුර චාරිකාව සඳහා සුදානම් කරමින් මම පැවසුවෙමි. 

“අනේ ඔව්, එහෙම වුනොත් මට උඹ හීනෙන් කියෝන එව්වා අහන් ඉන්න තමයි වෙන්නේ නැත්තේ!” දිල් සිනාසුනා ය. 

එදා මිහිරි බෝඩිමට සැපත් වෙද්දී රෑ බෝවී තිබුණි. උස මහත එකියක් වූ ඈට තනි ඇඳ තරම් වූවා නම් ඒ යන්තමිනි. අප දෙස යන්තම් බලා “ආ!” කී ඇය ආ පයින්ම යළිත් කාමරයෙන් පිටවී ගියා ය. ඈ නැවත පැමිණියේ කොත ගැසූ බත් පිඟානක් ද අතැතිව යි. ෆස්ට් ඉයර්-සිල්ලර-අපට නැතත් ‘ෆයිනල් ඉයර් මිහිරි’ ට බෝඩිමෙන් කෑම සැපයෙන බව අප දැනගත්තේ එවිට යි. කෑම කා අවසන් ව ඇඳ යට තිබුණු එක් පෙට්ටියකින් රෑ ඇඳුමක් ගෙන ඇඳගත් ඈ, එතෙක් ඇඳ සිටි ඇඳුම් අනිත් පෙට්ටියට දැමුවා ය. සුහද කතාබහකට මාත් දිල්ත් දැරූ සියලු උත්සාහයන් වචනයෙන් දෙකෙන් ව්‍යවර්ථ කළ ඈ එකම මේසය තනි සන්තකයට ගෙන පොත් පත් දිගහැරගෙන පාඩම් කරන්නට විය. 

“what the…..?” 

සාමාන්‍යයෙන් බොහොම නිවුණු ගති ඇති දිල් මගේ කණට කර කෙඳිරූ විට මා සිනහව නවත්වාගත්තේ ඉතා අපහසුවෙනි. එක්කෝ මිහිරි ට අප ගැන බෝඩිමේ ඇන්ටි කළින් කියා නැත. එක්කෝ අප පැමිණීමෙන් සිදු වූ ඇගේ නිදහස සීමා වීම පිළිබඳ ඈ අකමැති ය. ඈ හැසිරුනේ අප ඇගේ අවධානය යොමු කිරීම තරම් නොවටිනා පුද්ගලයන් ලෙසයි. නොරිස්සුමකට කිට්ටු ඇගේ නිහඬබව ළඟ අපගේ හුරුපුරුදු කචබචයත් ගොළු විය. එතැන් සිට ගතවූ සෑම දිනක්ම ඒ ආකාරයටම ගත විය. මිහිරි ගේ දේශණ පැවැත්වුණේ හවස් වරුවේ බැවින් ඇය උදය වරුවේ රැකියාවක නියැලුණා ය. ඈ ඒ සඳහා පිටත් වූයේ අප බෝඩිමෙන් නික්මුණු පසුවයි. එබැවින් මිහිරි සිටිනා උදය වරු ත් රාත්‍රියනුත් බෝඩිම් කාමරයෙහි වූයේ  මළගෙදරක නිශ්ශබ්දතාවයකි.

මිහිරිගේ හැසිරීම් හමුවේ මෙසේ මුනිවත රැකීම කෙසේ වෙතත් සිනා වළකා ගැනීම නම් ඉතා දුෂ්කර විය. උදෑසන රැකියාවට යෑමට ලක ලැහැස්ති වන ඇය, ඇඳ යටින් ඇගේ කිලිටි ඇඳුම් සහිත කාඩ්බෝඩ් පෙට්ටියෙන් ඇඳුම් දෙක තුනක් පිටතට ගනී. ඒවා එකින් එක නහයට ලං කර බලා එදාට අඳින්නට එක් ඇඳුමක් තෝරා ගනී. ඒ ඇඳුම් සබන් සහ වතුර දුටුවේ කලාතුරකිනි. පිරිසිදුකම ඇදහූ දිල් මේ ක්‍රියාවලිය දෙස මුලදී බලා සිටියේ ක්ලාන්තයෙන් මෙනි. මිහිරි සතුව තවත් අමුතු පුරුද්දක් විය. එනම් පාඩම් කරන අතරතුර ඇගේ දිගු වරලස එක් කර කඩදාසි අමුණන බුල්ඩෝග් ක්ලිප් ගැසීමයි. ඒවා ඇය රැකියාවටත් පැළඳගෙන යන බව දුටු පළමු දවසේ අපට හුස්ම ගැනීමට පවා අමතක විය!

රාත්‍රී හත අට වන්නට පෙර කතා කළ යුතු සියලුම දේ කතා කර නිම කිරීමට ත්, ඊටපසු සියලු සන්නිවේදන හස්ත මුද්‍රාවෙන් කිරීමටත්, පාඩම් කිරීමට මේසය නොලැබෙනා බැවින් සියලු පාඩම් කටයුතු, ලිවීම් කියවීම් ඇඳේ සිටම සිදු කිරීමටත් දිල් ත් මාත් බොහෝ ඉක්මණින් හුරු වූයෙමු. එය අපට එක්තරා ආකාරයක විනෝදයක් විය. එහෙත් මිහිරි අපව ‘ගණන් නොගැනීම’ දිල් ගේ නිරන්තර කෝපය ට හේතු විය. 

“එයා හිතන් ඉන්නේ එයා වික්ටෝරියා රැජින කියලා වෙන්නැති.. මාර උණක් නේ අප්පා තියෙන්නේ.. ඇඳුම් හෝදන්නෙත් නැතිව මෙතන!!” බෝඩිමේ සිට සරසවියට යන එන අතරතුර ඈ මිහිරි ට දෙස් දෙවොල් තබන්නීය. 

“වික්ටෝරියා මළා නේ බං, දැන් ඉන්නේ එලිසබෙත්!” මා පවසන්නේ ඈ ව අවුස්සන අටියෙනි. “මටත් හිතයි ඇඳ යට පෙට්ටියක් තියන් ඒකට ඇඳුම් දාන්න!”

“ඒ ඉතින් මාත් එක්ක එක ඇඳේ නිදාගන්න අන්තිම දවස!” දිල් තර්ජනය කරන්නේ එතෙකුදු පහ නොවූ කෝපයෙනි. 

දිල් ගේ ඉවසීමේ සීමාව ඉක්මවමින් පැවතුණු බව මට නො වැටහුණේ මා නම් මිහිරි ගේ හැසිරීම් නොසලකා හැර දමා තිබුණු නිසා ය. එහෙත් දිල් නම් මේ කෝන්තරය සිතින් අස් කරගෙන  තිබුණේ නැත. දිනක් අප උදෑසන සරසවි යෑමට යද්දී, මිහිරි සිටියේ යාබද නාන කාමරයේය. ඈ නෑමක් හෝ ඇඟ සේදීමක් කරමින් උන් බව එතුළින් ඇසුණු ශබ්දයෙන් පැහැදිලි විය. හදිසියේම නාන කාමරය අසල නතර වූ දිල්, එහි දොරට තඩි බාන්නට විය. 

“මේ මොකද බං? පිස්සුවක් හැදිලා ද උදේ පාන්දර?” මා ඈ ව ඇදගෙන යෑමට උත්සාහ දරමින් රහසින් කෙඳිරුවෙමි. මට පිළිතුරු නොදුන් දිල් නොනවත්වාම දොරට ගසන්නට විය. 

නාන කාමරය තුළ ජලය ඉහිරෙන හඬ නැවතිණි. මිහිරි ට මේ ගාලගෝට්ටිය ඇසී ඇත. 

“ඇයි ඇන්ටි.. කෝල් එකක් ද?” මිහිරි සිය මිහිරි හඬින් විමසුවාය. බෝඩිමේ දී ඈ කතා බස් කරන්නේ නිවැසියන් සමඟ පමණක් බැවින් ඈ මේ උපකල්පනයට එළඹෙන්නට ඇත.

“ඇන්ටි නෙමෙයි අක්කා, මම දිලිනි, අක්කගේ එහා ඇඳේ ඉන්නේ…” 

ඉන්පසුව එළඹුණේ මඳ නිහැඬියාවකි.

“ආ.. ඇයි?” එවර මිහිරි ඇසුවේ එතරම් මිහිරි නැති හඬකිනි. 

“අපි මේ අක්කාට යනවා කියලා කියන්නයි කතාකළේ. අපි කැම්පස් යන්න කියලා..උදේ ලෙක්චර් ඒකට..”

තවත් දිගු නිහැඬියාවක් පැතිරිණි. මේ මොන කෙහෙල්මලක් දැයි මිහිරි සිතමින් ඉන්නට ඇත. දිල් අසල සිටි මා සිනාව සිර කරගත්තේ ඉතා ආයාසයෙනි.

“හා.. එහෙනම් ගිහින් එන්නකෝ” ටික වෙලාවකට පසු නාන කාමරය තුළින් ඇසුණේ යන්තමින් මෙනි.

“එහෙනම් අක්කේ අපි යනවා, බුදු සරණයි!” දිල් නැවතත් හඬගා පැවසීය. 

එවර නම් ඈව එතනින් ඇදගෙන දිව යාමට මම සමත් වුණෙමි. 

නිවසේ ගේට්ටුවෙනුත් පිටතට දිවගෙන ගොස් ඇති තරම් සිනාසුණු පසු “මොකාද උඹට වැහුණේ හදිස්සියේ?” යැයි මා දිල් ගෙන් ඇසුවේ විමතියෙනි. දිල් සාමාන්‍යයෙන් නම් කිසිවෙකුගේ හිත නොරිද්දන, ප්‍රසිද්ධියේ අපහාස උපහාස නොකරන නෙනෙකි. 

“ඇයි ඉතින් මම නරක දෙයක් කළා යැ, එයාට යන්නම් කියලානේ කිව්වේ!” ඈ කිසිත් නොදත් තාලයට කීවත් ඇගේ මුවේ පැතිරුනේ ජයග්‍රාහි සිනහවකි.

“යන්නම් තමයි.. දැන් කොහොමද හවසට මූණ බලන්නේ?” 

“ආ.. බය වෙන්න එපා… අදත් හවසට එයා අපේ මූණ බලන්නේ නැහැ!” දිල් කීවේ බොහොම තිරසාරව ය.

“එහෙනම්?” 

“බලන්නකෝ මොකද වෙන්නේ කියලා පැහෙන්නේ නැතිව! දැන් යමු යමු.. අට පහු වෙයි අද නම් කන්ද නගිනකොට!” කියා දිල් ඒ කතාව අවසාන කළා ය.

දිල් කී පරිදිම එදින හවසත් මිහිරිගේ හැසිරීමේ කිසිම වෙනසක් වූයේ නැත. ඇය සුපුරුදු ලෙසටම අප කාමරයේ නැතැයි සලකා ඇගේ වැඩකටයුතු කළාය. දිල් ද කිසිවක් සිදු නොවූ මෙන් හැසිරුණා ය. මේ පිස්සියන් දෙදෙනාට වඩා පිස්සු තිබෙන්නේ මටදැයි සිතෙන තරමට සියලු දේ අති සාමාන්‍ය විය. එහෙත් ඊළඟ දිනයේදීත් පෙර ජවනිකාව ම රඟ දැක්විණි. එකම වෙනස වූයේ මෙවර මිහිරි නාන කාමරයේ දොරට තට්ටු කළ සැණින් ම “ඇයි?” යැයි උස හඬින් ඇසීම යි. ඒ තර්ජනාත්මක ස්වරයෙන් පසු නොබෑ දිල් පෙර සේම “අපි එහෙනම් ගිහින් එන්නම් අක්කේ.. බුදු සරණයි!” කියා ඇද පැද පැවසීය. බොහෝ ඉක්මණින් මෙය අපගේ දින චරියාවේ කොටසක් විය. මෙය වළක්වා ගැනීමට මිහිරි ට බොහෝ වුවමනාකම තිබෙන්නට ඇත. නානකාමරයට යන වෙලාව වෙනස් කිරීමෙන් එය බොහෝ පහසුවෙන්  සිදු කරන්නට ඇයට ඉඩ තිබිණි. එහෙත් එක්කෝ අප නිසා ඇගේ දින චරියාව වෙනස් කිරීමට ඇති අකමැත්ත හෝ එසේ කළහොත් දිල් ඊළඟට මොනවා කරාවිදැයි ඇති දෙගිඩියාව නිසා හෝ ඇය මෙය වළක්වන්නට කිසිවක් නොකළා ය. නානකාමරයේ දොරට තඩි බාන අවස්ථාවල පිළිතුරක් නොදී සිටීමට වුව ඈට හැකියාව තිබුණත් කුමන හෝ හේතුවකට ඈ එසේ කළේ ද නැත. එබැවින් කාමරයේදී එකදු වදනක් කතා නොකළ අප තිදෙනා නානකාමරයේ දොර හරහා දිනපතාම ඉතා සුහද ව එකිනෙකාට සමු දුන්නෙමු. මේ තත්ත්වය දිල් ට ඉමහත් සතුටට කාරණයක් විය. ‘මිහිරි ට පාඩමක් ඉගැන්වූවා’ යන අදහසින් ඈ උද්දාම වී සිටියා ය. මිහිරි අප ව ගණන් නොගෙන පෙන්වූ ගණන්කාරකමට මෙය ඉතා අවිහිංසාවාදී ප්‍රහාරයක් බව මටත් පිළිගන්නට සිදු විය. මේ ජයග්‍රහණයේ ප්‍රීතිය නිමිත්තෙන් අපි මිහිරි ව ‘යන්නම් අක්කා’ ලෙස නම් කර ඈ නැති තැන එලෙස ඈව ඇමතුවෙමු. 

‘ඒයි අද යන්නම් අක්කා පරක්කුයි, ගෙදර ගිහින් ද දන්නේ නැහැ!’..” මේ… ඔය මේසේ තියාගෙන තේ හදන්න එපා.. යන්නම් අක්කා රෙදි හේදුවේ නැතිවට මේසේ පිහිනවා හොඳට!’ ආදී වශයෙන් ඈ ගැන කතාකිරීම අපට සාමාන්‍ය දෙයක් විය. 

දිල් ඇරඹු මේ බොළඳ ක්‍රියාවලිය කිසි දෙයක පැහැදිලි වෙනසක්  කරන්නට සමත් නොවූවත්, එය නිසා කාමරය තුළ අපගේ වැදගත්කම අදෘශ්‍යමාන ආකාරයකට ඉහළ ගිය බවක් හැඟිණි. මුලදී මිහිරි ඇති වෙලාවලට ගොළුවන් මෙන් හැසිරුණු අප දෙදෙන, ක්‍රමක්‍රමයෙන් ඈ සිටිද්දීත් කතා බහ කරන්නට පටන් ගත්තෙමු. මෙය අපගේ සාමාන්‍ය කතාබහෙන් දහයෙන් පංගුවක් වුවත්, එයත් එක්තරා ආකාරයක ජයග්‍රහණයක් විය. 

අපගේ පළමු වසරාවසන විභාගත් මිහිරිගේ අවසන් වසරාවසාන විභාගත් යෙදුණේ එකම කාලයේදී ය. කාමරය තුළ කතාබහේ වෙනසක් සිදු නොවූව ද අපි තිදෙනාම නිරතුරුව මේ සඳහා සූදානම් වූයෙමු. මේ වෙද්දී මේසයක් නැතිව පාඩම් කිරීමට අප කෙතරම් හුරු වී ද යත් මිහිරි අහලක නොසිටියත් අප මේසය දෙස බැලුවේවත් නැත. විභාගය අවසන් වූ දිනයේම මිටින් හළ කුරුල්ලන් සේ දිල් ත් මාත් නිවෙස් බලා ඉගිලුණු අතර අපට නැවතත් සරසවියත්, බෝඩිම ත් මතක් වූයේ ඊළඟ අධ්‍යයන වර්ෂය ඇරඹෙන දිනට පෙර දින යි. කළින් කතා කරගත් පරිදි එදින බෝඩිමට පැමිණි අප දෙදෙනාට මින්පසු එහි ‘මිහිරියෙක්’ නැති බව සිහි වූයේ එකවර යි.

“අඩේ යන්නම් අක්කා ෆයිනල්ස් ලිව්වා නේ.. ඒ කියන්නේ මීටපස්සේ එයා මේකේ නෑ කියන එකද?” දිල් ඇසුවේ තවදුරටත් පහ නොවූ සැකයෙන් තනි ඇඳ යටට එබී බලමිනි. සුපුරුදු කාඩ්බෝඩ් පෙට්ටි දෙක එහි තිබුණේ නැති අතර ඇඳ රෙද්ද ද අතුරුදහන් වී තිබිණි.

“මට නම් ටිකක් පාලුයිත් වගේ එයා නැතිව!” මා කීවේ මා ගැනම පුදුමයෙනි.

“ඔව්නේ.. මේ මාස හයක් හතක් එක කාමරේ ඉඳලා.. කතා නොකළත්.. නැතිවුනහම නිකම්  හොරු ගෙනිච්චා වගේ නේ?” දිල් පැවසුවේ තැවුලෙනි. 

අපගේ ආවර්ජනය බිඳුණේ බෝඩිමේ ඇන්ටිගේ හඬිනි. 

“ආ ඔයගොල්ලෝ ආවා ද? කටහඬවල් ඇහිලා මම මේ බලන්න ආවේ..මොකෝ හිස් ඇඳ දිහා බලාගෙන? මිහිරි නැතිව පාලු ද?” 

“ඔව් ඔව් ඇන්ටි, ඒක තමයි අපිත් කතාවුණේ..” දිල් කීවේ මා දෙස හොරැහින් බලමිනි.

“අන්තිම දවසේ යන්න කළින් මිහිරි මට කිව්වා ඔය දෙන්නාට කියන්න කියලා ‘යන්නම්… බුදු සරණයි’ කියලා. එහෙමම කියන්න කිව්වා. මම ඉතින් හිතුවා ඔය තුන්දෙනාගේ මොකක් හරි විහිළුවක් කියලා.. ඔන්න මම පණිවිඩේ කිව්වා!” කියූ ඈ සිනාසෙමින් යන්නට ගියා ය.

එය අසා අපට සිනහව නවත්වා ගැනීමට බොහෝ වෙලා ගතවිය. අවසානයේදී යන්නම් අක්කා අපට ‘යන්නම්’ කියා යන්නට  ගොස් තිබිණි! 

හෙල්මලී ගුණතිලක

Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

http://hotchocolatedays.blogspot.com/

ජීවන කතන්දර

ගේ දොර විකුනාලා.. ගමකට නයි ඇදලා …

දෝනීගේ පන්තියේ දරුවන් හැමෝම පාහේ ළමා  නාට්ය උළෙලක්  සඳහා හවස පුහුණු වීම් වල නිරත වෙති. වෙනදා තිබුණු නෙට් බෝල් ප්‍රෑක්ටිස් අර සංගම් මේ සංගම් මදිවාට මේ හින්දාත් හැමදාම හවස් වෙනකන් ඉස්කෝලේ ළඟ ගාටන්නට බැරි නිසා මම කිව්වේ ඔය තරම් අතිරේක වැඩ නොකර නිදහසේ ඉන්නටත් පොතක් පතක් බලා ගන්නටත් කාලය ඉතිරි කර ගන්න යි කියලාය.

‘දුවේ ඔය තරම් මහන්සි වෙන්නේ මොකටද? හැම දේම බදා ගෙන ඉඳලා අන්තිමේ මට වගේ වෙයි.’ එහෙම කියලා කට ගන්නට කලින්  ‘ඇයි දැන් ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ?” කියා ළමයින්ගේ අම්මා මගේ ඇඟට ගොඩ වුවාය. 

ඇත්ත නේන්නම් මට මොකුත් වෙලා නෑනේ.

ඒත් මගේ හිත එතැන නොරැඳවී  දශක කිහිපයක් එහා අතීතයට ඉගිල්ලී ගියේ මටත් නොකියාමය
මා කුඩා කාලයේ නාට්‍යය කලේ පුංචි ඉස්කෝලේ සිමෙන්ති වේදිකාවේදීය. සති දෙකකට වරක් සාහිත්‍ය සමිතියට අපි නොවරදවාම නාට්‍යයක් කළෙමු. කිසිම ගුරුවරයෙකුගේ උපදෙස් නොලබා පන්තියේ යාළුවො එක්කාසු වී කළ  මේ රංග ජවනිකා දෙක තුනක් මට මතක් වේ.

සුබ සහ යස නාට්‍යය කරද්දී යසලාලක තිස්ස රජ්ජුරුවෝ සුබ සේ වෙස් මාරු කර ගනිද්දී ඇඳුම් මාරු කර ගත්තේ සබාව මදදීමය. එහෙත් සබා තොමෝ කොක් හඬ ලන්නට පටන් ගත්තේ අපි ඇඳුම් මාරු කරන කොට නොව අපි මුහුණේ අලවාගෙන තිබු රැවුලත් ගලවා මාරු කරද්දීය.

තවත් දවසක සපතේරු කතාවක් රඟ  පාද්දී අපට එක විදිහේ දිග කලිසම් වුවමනා විය. අම්මා පරණ පිජාමා සරොම් කිහිපයක් කපා පුංචි මිතුරන් තුන් දෙනාට  වෙලාවේ හැටියට එක වගේ  දිග කලිසම් තුනක් මසා දුන්නාය.

කතාවේ දෙබසක් කියමින් බිම වාඩි  වෙන දර්ශනයකදී මගේ අලුත් කලිසම බරාස් ගා ඉරී විවර වූ විට සාහිත්‍ය සමිතියේ වැඩ මහා හිනා හඬ මැද්දේ  නතර වී ගියේය.

ඊළඟට නාට්‍ය මතකය පේරාදෙනි වල ගාවට ගොස් මාර ගස් හෙවනේ පැල පදියම් වෙයි.

කලින් කිහිප වතාවක් නරඹා තිබුණු හුණු වටයේ කතාව නාට්යය පේරාදෙණි වලේ පෙන්නු දවසක අපි  සරච්චන්ද්ර  එළිමහන් රඟහලේ රූස්ස රොබරෝසියා ගහ පිහිටි පඩි පේලියේම වාඩි වී සිටියෙමු.

සයිමන් සශාවා  ගෘෂාගෙන් බහ ඉල්ලන ජවනිකාව රඟ දැක්වෙයි. සොල්දාදුවාගේ ප්රශ්නාවලිය( මතක හැටියට)
ගෑණු  දරුව කොයි පළාතේද කියල දැන දන ගන්න කැමතියි.
ගෑණු  දරුවාගේ ඉවසීම කොහොමද? සීත කාලේ ඇපල්  එහෙම ඉල්ලාවිද ගැණු දරුවා.
දියේ ඉන්න මාලුවෙක් වගේ ගෑනු දරුවා නිරෝගිද කියල දැන ගන්න කැමතියි.

මේ ප්‍රශ්ණ  සියල්ලටම හුරුබුහුටි රසවත් බසින් පිළිවදන් දෙන ගෘෂා  අවසාන ප්‍රශ්නය අසන තෙක් රැඳෙන්නට කල් වේලා නැතියෙන් මෙසේ කියන්නීය.

ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ :ඔවු මම කැමතියි !

මේ වචන පෙළ  ඇසෙනවාත් සමගම වලේ අඳුරු මුල්ලක සිටි එකෙක් අවට කඳු වළලු සිසාරා යන හඬකින්  මෙසේ කීවේය.

අන්න කෙල්ලෝ ‘

මෙය මොන තරම් නාට්යමය ස්වරයෙන් කියවුනාද යත් සමහරුන්ට අසුනේ මේ නළුවේම  කොටසක් ලෙසයි. එම කට හඬේ තිබු  දුක්බර එහෙත් හාස්‍ය මතු කරවන ස්වරය නිසා එවදන් ඔහුගේ හද පත්ලෙන්ම නැගුනු ඒවා බවකි හැඟුනේ. 

හිත ගත් මියුලැසියන්ගෙන් යාලු වෙන්නට ඇසීම පළමු විමසීමෙන්ම බෑ  කීම. මනෝ ගැසීම . ආයිමත් ඇසීම.එවර හා කීම හෝ බෑම කීම හෙවත් ඇණ ගැනීම සරසවි දිවියේ සුලබ මනෝ බාවයකට මුල් හේතුවයි.

ඒ නිසාම අඳුරේ ඇසුණු හඬ ගෑමත් සමගම එළිමහන් රඟ හලම සිනා හඬින් ගිගුම් දෙද්දී වේදිකාවේ සිටි සයිමන් සෂාවාගේද  මුවේ මන්දහාසය උතුරා ගියේය.  ගෘෂාගේ මනාපය ලැබීමේ සතුටු මුහුණින් යුතුවම ඔහු එළිමහනේ රළ නගන රස සාගරයටද  එක්කාසු  වුනේය.

අවුරුදු පතා සරසවි පීඨ  දිනයන්ට තොවිලයක්ද ඇතුළු මතක හිටිනා නාට්‍ය දෙක තුනක් අපේ කට්ටිය විසින් එකතු කලා වුනත් මට තාමත් සුනිල් ශාන්තයන්ගේ මිහි කත නලවාලා ගීතය කොහේ හෝ ඇසෙද්දී අපේ  අවසන් නාට්‍යයේ පළමු ගීතමය ජවනිකාවට අනුව රඟන්නට සිතෙයි.

අවූරුදු ගණන් වැහි වැහී ඇරි  ඇරී කල් ඇදුණු  සරසවි ජීවිතයේ අවසන් අවුරුද්දේදී පිටව යන්නට තිබ්බේද අග මුල නොමැති නුහුරු විපරිත සමාජයකටය. අහිංසක පම්පෝරි ගසමින් බලාපොරොත්තු ගොන්නක් සමග කැම්පස් ආ ගමේත් නගරයේත් කොල්ලන් හා කෙල්ලන් ඒ වන විට අරමුණකින් තොර හිස් බවකින් පෙළෙමින්  සිටියෝය. ළමයින් දෙතුන් දෙනෙකුට ඉගැන්නු සමහර දෙමවු පියන්ගේ ගේදොර උකස් වී තිබුනේ ගත්තු බැංකු ණය ගෙවා ගන්නට පරක්කු වූ නිසාය. කොල්ලන් ඉක්මනට සරසවියෙන් පිටවී හොඳ රස්සාවකට ගිය පසු හදා ඉවර කරන්නට බලාපොරොත්තුව සිටි ගෙවල් බාගෙට වැඩ නිම වී  දිය සෙවෙල් බැඳෙමින් එහෙම්මම තිබිණි. කෙල්ලන්ගේ බර අහවර වූ පසු යන්නට සිටි වන්දනා ගමන් විනෝද ගමන් තවත් අම්මලාට කවදාවත් යන්නට නොහැකි විය.

මේ මානසික පරිසරයේදී වුවද අපේ අවසන් නාට්‍යය සඳහා හොඳ උද්යෝගයක් තිබිණි. ගෙවල්වලින් ගෙනා පරණ මැන්ඩලින් හා වයලින් හොයා ගත් සංගීත කණ්ඩායමක් බැචාලා හා බැචිලා අතරින් මතු විය. මේ පිරිස මීට කලින් ගාන්ධර්ව සබාවලදී හෝ අනෙකුත් ආර්ටිස්ට් පන්නයේ වැඩ වලදී එළි පහලියට ආවුන් නොවීය.
නළුව ඇරඹුණේ කෝලම් ඇඳුමින් සැරසුණු  ගැටයන්  තුන් දෙනෙකු අපුරු රංගනයක යෙදෙමින් වෙදීකාවට ගොඩ  වීමත් සමගය. ‘මිහිකත නලවාලා ‘ ගීයේ තාලය හා අනුවාදනය සහිතව මේ ගීතයයි ගැයුනේ

ගේ දොර විකුනාලා……….
ගමකට නයි ඇදලා……..
සර-සවියට යන මේ……..
පිටිසර හෙළ කොලු රැ  ළ    රැ  ව ටේ . ….


මේ පද පෙළ ඉවර වේද්දීම ප්‍රේක්ෂකාගාරය මොන තරම් මුසපත් වුනාද කියනවා නම් ඊළඟ විනාඩි හත අටේ   ගැයූ දෙඩූ  කිසිවක් කාටවත් අසුනේ නැත්තේ නොනැවතී නැගුණූ  ඔල්වරසන් හඬ නිසාය.

ජීවන කතන්දර

මගේ දැලි රැවුල

අපේ ගේ ඉස්සරහ  ජනේලය ඇරිය හැටියේම පෙනෙන චුට්ටන් උණ  පඳුර   විසිරුණු  කොළ වට්ටියක් දරාගෙන බට බට බට ගොන්නක්  උඩට විහිදුවාගෙන සිටියි. එය විසිතුරු මල් කඩයකින් මිලදී ගෙනත් ඉන්දුවේ දැන් අවුරුදු හය හතකට ඉස්සරය. මේ උණ පඳුර පේන මානයේ සිට සෙල්ලම් කරන්නට  අපේ දෝනියන්  කැමතිය.


ලොකු  දෝනී  දෑවුරුදු ළදරියක්ව සිටියදී අප කොහේදෝ යද්දී පාර අයිනේ ළඟ ළඟ පේලියට උණ  බට හිටවා පිදුරු සෙවිලි කර තිබු එළවලු කඩයක් ළඟ නතර කරන්නයි ඇවිටිලි කළාය . ඉන්පසු බොහෝ වෙලාවක් උණ බට අල්ල අල්ලා  කොහේදෝ චමත්කාර ලෝකෙකට ගිය ඇය එතැනින් ආපසු ආවේ සැහෙන වෙලාවක් අරගෙනය.උපතින්ම ලැබුණු උරුමයක් සේ ඇයට උණ ගැන උනක් තිබේ, ඉතින් ඇය ගෙදර වත්තේ කුඩා උණ පඳුර  ලඟට යන්නට ආසා කිරීම අහන්නත් දෙයක්ද?

ඒත් ඇයට උණ  පඳුර ළඟටම යන්නට අවසර නොලැබෙයි. දවසක් උණ පඳුර අස්සේ සිට එලියට ඇදී ආ ගැරඬි පැටියෙකු අපේ රඹුටන් ගහේ සිටි ඇටි කුකුලා පාත් වී ඩෑහැ ගන්නා හැටි ඇයද දුටුවාය. ඒ නිසා සෙල්ලම් බෝලයක් උණ  පඳුර ලඟට ගියත් ඇය තනියම ගොස් ඇහිඳ ගන්නේ නැත.


උණ  පඳුරක් හෙවනේ ගහල කොළ ගොල්ලේ සැඟවුණු වෛවර්ණ රබර් බෝල මෙන් උණ පඳුරු හා මුසු වූ මගේ කතන්දර සැඟවී තිබෙයි, මම ඒවා කාටත් හොරින් වරින්වර බලා අල්ලා චමත්කාරය විඳ  ආයෙමත් එතැනම දමා එන්නෙමි.

ඉන්දියාවේ කේරලයේ රාජ්‍ය බම්බු සංස්ථාව කියා එකක් තිබේ. උණ  බම්බු වලින් සෑදු අත්කම් කැටයම් පමණක් නොව ගේ දොර බඩු මුට්ටු  පවා බොහෝ සෙයින් තිබෙන එරට වාසී මාගේ මිතුරකුටද  උණ ගැන මහත් උනක් තිබේ. ඔහුගේ ගම්මානෙය් ගඟ අවට තිබුණු අනන්තවත් උණ පඳුරු ගැන ඔහු නිතර කියවයි. ගිය අවුරුද්දේ  ඔහු මට ලස්සන උපන් දින කාඩ් එකක් දුන්නේය. උණ පඳුරු හෙවණක වාඩි  වී දරුවෙකුට කිරි දෙන මවකගේ සෙනෙහබර මුහුණකි. ඊට දකුණු පැත්තේ මෙසේ ලියා තිබිණි.

‘ඔබ අඬද්දී අම්මා සිනාසුන එකම දවස ඔබ උපන් දිනයයි’ 

ඔබට සුබ උපන් දිනයක් වේවා!!.

මේ කතාව මම කොතෙක් වාරයක් කියවා තිබුණත් අම්මා ගැන කතාවත් උණ පඳුරු වල කතාවත් එක සැරේ මතක් වෙද්දී හීන් සැරේ මුවට හිනාවක් නැගුනේය. ඔය කතාව ඇත්තම නොවෙයි.මම ඉකි ගසා හඬද්දී මාවත් තුරුළු කරගෙන අපේ අම්මා හිනා වුනු තව දවසක් තිබු බව මම දැන සිටියෙමි.

අවුරුදු කාලය ලං වෙද්දී අපේ අයියලා මේරු උණ  ගසකින් පුරුක් තුන හතරක් කපා ගෙනෙන්නේ  උණ වෙඩිල්ල හදන්නටය. අවුරුද්ද පුරා සතෙන් සතේ එකතු කළ පුංචි මැටි කැටය බිඳ සල්ලි එක්කාසු කර ලාම්පු තෙල් කඩෙන් ගේන්නේ උණ  වෙඩිල්ල පණ  ගැන්වීමටය.

කාල තුවක්කුවක් අටවන්නාක් මෙන් ලී කරුවක් උඩ උණ දණ්ඩ  රඳවා ගත් විට. එහි එක කොනක් බිමය එකක් ඈත කඳු වළල්ල දෙසට එල්ල වී කරුව උඩ  රැඳවී තිබෙයි.  බිම ගෑවෙන කෙලවරේ පුරුක් බිත්තිය සිදුරු  කරන්නේ නැති මුත් වෙඩි පිටවන පැත්තේ පුරුක් අතර බිත්ති බිඳ  තනි කාල තුවක්කු බටයක් හදා ගැනෙයි. බිම ගෑවෙන පැත්තේ මතුපිටේ  අඟලේ අඟලේ සිදුරක් හාරා ගන්නේ  මුනිස්සම් කෙටීමටය. මුනිස්සම් යනු වෙන මොනවත් නොව ලාම්පු තෙල්මය.


උණ කොටයේ යට පැත්තේ ලාවට ගිනි මාලයක් ගසා කොටය රත් වූ පසු උණ වෙඩිල්ලේ සිදුරට ගිනි පුලින්ගුවක් ලං කරද්දී වෙඩි පත්තු වෙන්නට පටන් ගනී. මුලින් මුලින් පුස් වෙඩි ‘බෑන්’සද්දෙන්  නිකුත් වුවද උණ  කොටය හොඳින් රත් වෙද්දී  කඳු වළලු දෙවනත් කරන වෙඩි හඬ නැගේ. දැන් මොන තරම් අනතුරුදායකදැයි  හිතුනත් මේ සෙල්ලම හොඳ පරෙස්සමින් කරන්නට කොලු කුරුට්ටෝ දැනුවත් වී සිටි නිසා උණ වෙඩිල්ල මුල් වූ  අතුරු ආන්තරාවක් ගැන මා අසා තිබුනේ නැත.

අපි කඳු මුදුන් වලට ගොස් වැඩිම සබ්දය පිටවන උණ  වෙඩිල්ල අයිති කාරය ගැන සෙව්වෙමු.. පහුවදා ඉස්කෝලේ කතා කරන්නෙත් උණ වෙඩි ගැනය. ඒ අවුරුද්දේ ගමේ කොළු රැල අතර වීරයන්  වෙන්නේ සද්දෙන්ම  හඬ පිටවෙන උණ  වෙඩිල්ලේ අයිතිකාරයන්ය. තරගයක් නෑ කිව් ගමේ තරගය.

අයියා හා යාළුවෝ උණ වෙඩි පත්තු කරද්දී අපි අත් උදවු කාරයෝය. ඒ වෙඩිල්ලෙන් පසු උණ බටයේ පිරෙන දුම කුඩා සිදුරට මුව ලං කොට පිඹ ඉවත් කරන්නටය.

වෙඩිල්ලට ගිනි පුලින්ගුව ලං කරන කට පුංච වටේට දැලි තට්ටු බැඳෙයි.

දවසක් මෙහෙම බැඳුනු දැලි තලියක් ඇඟිල්ලට ගෙන මම මුහුණ පුරා ගා ගත්තෙමි. හීනියට උඩු රැවුලත් ඇඳ  ගත්තෙමි.

දැන් බලා සිටින සියලු දෙනාට එය විකට ජවනිකාවකි, මම රඟමි. අයියා හා යාළුවො උණ වෙඩි පත්තු කරද්දී මට කවටකම් කරති. අම්මා හා අක්කලාත් හැන්දෑ අඳුර පාත් වෙන මිදුලේ දසුන බල බලා  සොම්නස් වෙති.


ඔය වෙලාවේම අපේ තාත්තා කොහේදෝ දුර ගමනක් ගොස් බඩු මලු උස්සගෙන හොඳටම මහන්සියෙන් ගෙදරට ගොඩ උනේය. ඔහුගේම වචනවලින් කියනවානම් තාත්තා එදා සිටියේ උරූ ජුවල් ගිහිල්ලාය. ඒ කාගේදෝ අකටයුත්තක් ගැන උරණ වීම නිසාය.

මේ කිසි දෙයක් නොදත් පුංචි පහේ මන් මිදුලට ආ හැටියේම දැලි තවරා රැවුල ඇඳ  ගත් මුහුණ තාත්තා වෙත පෑවේ ඔහු සතුටු කරන්නටය. එත් මට ලැබුනේ බලාපොරොත්තු වුණු  ප්‍රතිචාරය නොවේ.

‘පොඩි පුතා මොන  විකාරයක්ද ඔය. මුනේ දැලි තරියක් ගාගෙන . ගිහින් හෝද ගන්නවා ගුටි නොකා.’


මගේ යටි තොල පෙරළී ,මුහුණ විරුවන් වී කඩා හැලුණු කඳුළු පේලියට රැවුල හේදී ගිය නිසා ලිඳ ලඟට යන්නට ඕනෑ  වුනේ නැත.

මම ඒ වෙනුවට කලේ අම්මාගේ තුරුළට පැන ඇති තරම් හැඩීමය.


මාව ලෙහි හොවාගෙන අම්මා මා සනසද්දී මට තවත් අනාගත අනතුරක් ගැන හැඬුම් අස්සේ කල්පනා වුනේය. ඇඬිල්ල නැවැත්වූ. මම  අම්මාගේ මුහුණ දෙස බැලුවෙමි.

‘අම්මේ;

‘අයි මයේ පුතේ’

චිමිනි ලාම්පු එළියෙන් ශෝබමානව තිබුණු අම්මාගේ මුහුණ දෙස බලාගෙනම  මම මෙලෙස ඇසුවෙමි.

‘එතකොට අම්මේ කවදාහරි…. මට නැවත ඉකි ගැසුනේය.

ඉකිය අතරින් මම ඉතිරි ටික කියා ගත්තෙමි.

‘ කවද හරි මගේ මුනේ ඇත්තටම රැවුල ආවොත් එදත් තාත්තා මට බනියිද?

අම්මා මා තදින් තුරුළු කරගෙන හයියෙන් සිනාසෙන්නට පටන් ගත්තාය.

මම දිගටම හැඬුවෙමි .

ඇය දිගටම සිනාසුනාය.

තිලකසිරි ඒකනායක

තිලකසිත බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

https://thilakasitha.blogspot.com

පරිවර්තිත කෙටිකතාව

සොහොයුරෝ

මම මගේ පිටිසරබද නිවහනේ සිටිමි. ඒ ඔක්තෝබර් මාසයේ අග හරියයි. වැස්ස ඇද හැලෙයි. මගේ නිවෙස පිටුපස කැලෑවකි.  නිවෙස ඉදිරිපසින් පාරක් දිවෙන අතර ඉන් ඔබ්බෙහි ඇත්තේ විවෘත කෙත්වතුය. මේ පළාතේ නූස් කඳු ඇති අතර එක්වරම ඒවා තැනිතලා බවට පත්වෙයි. තැනිතලා භූමියෙහි සැතපුම් විස්සක් පමණ එහායින් චිකාගෝ නම් සුවිසල් නගරය පිහිටා ඇත.

මේ වැසි දවසේ, මගේ නිවෙස ඉදිරිපිට පාර දෙපැත්තේ වැවුණු ගස්වල කොළ වැස්ස මෙන් බිම ඇද හැලෙයි. කහ, රතු සහ රන් පැහැති කොළ කෙලින්ම වේගයෙන් බිම පතිත වෙයි. වැස්ස සිත්පිත් නැති ආකාරයෙන් ඒවා බිම පතිත කරවන හෙයින් අවසන් වතාවට රන් පැහැයෙන් දිලි දිලී ‍පොළොවට පතිත වීමේ අවස්ථාව කොළවලට අහිමිය. ඔක්තෝබර් මාසයේදී මෙසේ පතිතවන කොළ තැනිතලාවලට ඉහළින් සුළ‍ඟේ ගසා ගෙන යා යුතුය. ඒවා ඉවත ගසා ගෙන යා යුත්තේ නර්තනයක යෙදෙමිනි.

ඊයේ උදෑසන පාන්දරින්ම අවදි වූ මම ඇවිදින්නට ගියෙමි. ඝනැති මීදුමක් වූ අතර මම එතුළ අතරමං වීමි. තැනිතලාව දෙසට ඇවිද ගිය මම පෙරළා කඳු වෙත පැමිණියෙමි. ගිය සෑම තැනෙකම මීදුම පවුරක් පරිද්දෙන් මා ඉදිරිපිට නැගුණේය. මීදුම මැදින් එක්වරම අස්වාභාවික ලෙස ගස් මතු වූයේ මැදියම් රැයේ නගරයේ වීදියක ඇති වීදි පහනක ආලෝක කවය වෙත අඳුරෙන් මතුවූ මිනිසුන් එක්වරම පැමිණියාක් මෙනි. ඉහළින්, දිවා ආලෝකය සෙමෙන් මීදුම විනිවිද එන්නට පටන් ගෙන තිබිණි. මීදුම ඉවත් වූයේ මන්දගාමීවය. තුරු මුදුන් සෙමෙන් සැලිණි. ගස් යට වූ මීදුම ඝනැතිද දම්පැහැතිද විය. එය කම්හල් නගරයක වීදිවල පැතිර පවතින දුම මෙන් වූයේය.

මීදුම මැදින් මහලු මිනිසෙක් මා කරා ආවේය. මම ඔහු හොඳින් දනිමි. මෙහි වසන මිනිස්සු ඔහු උමතු යැයි කියති. “ මිනිහගෙ මොළේ හොඳ නෑ,” ඔවුහු කියති. ඈත කැලයේ ඇති කුඩා නිවෙසක තනිවම ජීවත් වන ඔහු කුඩා බල්ලෙකු නිතරම වඩාගෙන යයි. බොහෝ දිනවල උදෑසන ඇවිදින විට මට ඔහු මුණ ගැසී ඇති අතර තම සහෝදර සහෝදරියන්, නෑනා මස්සිනාවරුන්, නැන්දා මාමාවරුන් වන මිනිසුන් ගැහැනුන් ගැන ඔහු මට කියා ඇත. මෙය මනස අවුල් කරවයි. තමා අසළ  සිටින මිනිසුන් ගැහැනුන් වෙත සමීප වීමට නොහැකි බැවින් පුවත්පතකින් නමක් අහුලා ගන්නා ඔහු එය සමග මනසින්  ක්‍රීඩා කරයි. කොක්ස් නමැත්තා තමාගේ මස්සිනා කෙනෙකැයි එක්තරා උදෑසනක ඔහු මා සමග කීවේය. මා මෙය ලියන මොහොත වන විට ඒ කොක්ස් නමැත්තා ජනාධිපතිවරණයට තරග කරයි.  තවත් උදෑසනක ඔහු මා සමග කීවේ කරූසෝ නමැති ගායකයා ආවාහ කොට ගෙන සිටියේ ඔහුගේ නෑනා බවයි. “ ඒ මගේ නෝනගේ නංගී,” කුඩා බල්ලා තුරුලු කරගෙන ඔහු කීවේය. ඔහුගේ අළුවන් තෙත්බරිත දෑස මා දෙස ආයචනාත්මක ලෙස බලා සිටියේය. මා එය විශ්වාස කරනු දකින්නට ඔහුට ඇවැසි විය. “ මගේ නෝනා හරිම ලස්සණ කෙට්ටු කෙල්ලක්,” ඔහු පැවසීය. “ අපි ජීවත් වුණේ විශාල ගෙදරක. උදේට අපි අත් අල්ලාගෙන ඇවිද්දා. දැන් එයාගේ නංගි කරූසෝ කියන ගායකයාව බැඳලා. කරූසෝ දැන් අපේ පවුලෙ කෙනෙක්.”

කවුරුන් හෝ පැවසූ පරිදි මේ මහල්ලා කිසි දිනෙක විවාහ වූයෙක් නොවේ. මම ඉවත හැරී යන්නට ගියෙමි. සැප්තැම්බර් මාසයේ මුල් හරියේ දිනෙක එක් උදෑසනක සිය නිවෙස අසළින් දිවෙන පාරේ පසෙක ගසක් යට හිඳගෙන සිටින ඔහු මට හමුවිය. මට බුරා හැලුණු බල්ලා දිවගොස් ඔහු‍ගේ දෑතෙහි සැඟව ගත්තේය. නිළියක සමග පැවැත්වූ හාදකමක් හේතුවෙන් සිය බිරිය සමග ප්‍රශ්නයකට මැදිවූ කෝටිපතියෙකුගේ කතාවෙන් ඒ දිනවල චිකාගෝ නුවර පුවත්පත් පිරී තිබිණි. ඒ නිළිය තමාගේ සොහොයුරියකැයි මහල්ලා මට කීවේය. ඔහුට වයස අවුරුදු හැටක් සහ පුවත්පත්වල සඳහන් වූ නිළියගේ වයස අවුරුදු විස්සක් වුවද ඔහු ඔවුන් එක්ව ගත කළ ළමා කාලය ගැන කතා කළේය. “ මේ දැන් අපි දිහා බලපුවම එහෙම නොපෙනුණත් ඒ කාලෙ අපි දුප්පත්,” ඔහු කීවේය. “ ඒක ඇත්ත. අපි ජීවත් වුණේ කඳු බෑවුමක හදාපු පුංචි ගෙදරක. එක පාරක් තද කුණාටුවක් ඇති වෙච්ච දවසක හුළඟට අපේ ‍ගේ ගහගෙන යන්නම ගියා. අප්පේ හුළඟ හමාපු තරමක් ! අ‍පේ තාත්තා වඩුවෙක්. උන්දෑ අනුන්ගේ ගෙවල් හයියට හැදුවට අපේ ගෙදර හයියට හදලා තිබුණේ නෑ.” ඔහු ශෝකයෙන් යුතුව හිස සෙලවූයේය. “ අන්තිමට ‍මගේ නංගී අමාරුවේ වැටුණා. අපේ ගෙදර හයියට හදලා තිබුණේ නෑ.” මා එතැනින් නික්ම ඇවිද යත්ම ඔහු පැවසීය.

********

අපගේ ගම්මානයට සෑම උදෑසනකම බෙදා හරිනු ලබන චිකාගෝ පුවත්පත් මාසයක් දෙකක් යනතුරු එක්තරා මිනීමැරුමක විස්තරවලින් පිරී තිබිණි. චිකාගෝ නුවර එක් මිනිසෙකු සිය බිරිය මරා දමා තිබුණු අතර එම මිනීමැරුමට හේතුවක් තිබෙන බවක් ‍නොපෙනුණි. ඒ කතාව මීට සමාන යමකි:

දැනට නඩු විභාගයට මුහුණ දෙමින් සිටින, නිසැකවම එල්ලා මරන්නට නියම වනු ඇති ඒ මිනිසා පාපැදි කම්හලක ෆෝමන්වරයෙකු වූ අතර සිය බිරියද ඇගේ මවද සමග තිස් දෙවැනි වීදියේ වූ මහල් නිවාසයක ජීවත් විය. තමා සේවය කළ කම්හලේ කාර්යාලයේ වැඩ කළ තරුණියකට ඔහු ආදරය කළේය. අයෝවා පෙදෙසේ නගරයක සිට පැමිණි ඇය මුලින්ම චිකාගෝ නුවරට පැමිණි කාලයේ සිය නැන්දා කෙනෙකු සමග ජීවත් වූවාය. පසු කලෙක නැන්දණිය මිය ගියාය. අළුවන් දෙනෙතක් ඇති, දැවැන්ත සිරුරැති දරදඬු පෙනුමෙන් යුක්ත මිනිසෙකු වූ ෆෝමන්වරයාට පෙනුණේ මෙලොව සිටින රූමත්ම කාන්තාව ඇය බවයි. කම්හලේ එක් කොණක් පිටතට නෙරා යාමෙන් සෑදුණු ස්ථානයක ජනේලයක් අසළ ඇයගේ මේසය විය. ඊට පහතින් වූ වැඩපොළේ  ජනේලයක් අසළ ෆෝමන්වරයාගේ මේසය තිබිණි. තමාගේ අං‍ශයේ සෑම කම්කරුවෙකු විසින්ම කරන ලද වැඩවල වාර්තා සකස් කරමින් ඔහු සිය මේසය අසළ වාඩි වී සිටියේය. ඔහු සිය කාර්යයෙන් හිස නගා බලන විට ඇය තම මේසයෙහි හිඳගෙන වැඩ කරන සැටි ‍දුටුවේය. ඇය අසාමාන්‍ය ලෙස සුන්දරය යන අදහස ඔහුගේ හිසට ඇතුළු විය. ඇය වෙත ළඟා වීමට හෝ ඇයගේ ආදරය දිනා ගැනීමට ඔහු කල්පනා නොකළේය.  යමෙකු තාරකාවක් දෙස බලන ලෙස හෝ ඔක්තෝබර් මාසයේදී ගස්වල කොළ රතු සහ කහ රන් පැහැයට හැරුණු විට මිටි කඳුවලින් හෙබි පිටිසරබද භූමිභාගයක් දෙස බලන ලෙස ඔහු ඇය දෙස බලා සිටියේය. “ඈ පිවිතුරු, නොඉඳුල් වස්තුවක්,” ඔහු කල්පනා කළේය. “ ජනේලය අසළ වාඩි වී වැඩ කරන අතරතුර ඈ මොනවා ගැන සිතමින් සිටිනවා විය හැකිද?”

සිය කල්පනා ලෝකයේදී ඔහු අයෝවාහි සිට පැමිණි මේ තරුණිය තිස් දෙවැනි වීදියේ පිහිටි තම තට්ටු නිවහන වෙතද සිය බිරියගේ සහ නැන්දණියගේ අභිමුවටද රැගෙන ගියේය.  මුළු දවස තිස්සේම කම්හලේදීත් වැඩ නිමවී ගිය පසු නිවහනේදීත් ඇගේ රුව ඔහු සිය මනසේ රඳවා ගෙන සිටියේය.  සිය තට්ටු නිවහනේ ජනේලය අසළ සිට ගෙන ඔහු ඉලිනොයි දුම්රිය මාර්ගයේ රේල් පීලි දෙසද ඉන් ඔබ්බෙහි වූ විල දෙසද බලන කල තරුණියද ඔහු පසෙකින් සිටගෙන සිටියාය.  පහළ මාර්ගයෙහි කාන්තාවන් ඇවිද ගිය අතර ඒ සෑම කාන්තාවක් තුළම ඔහු අයෝවාහි සිට පැමිණි තරුණියගේ යම් අංග ලක්ෂණයක් දුටුවේය. එක් කාන්තාවක් ඒ තරුණිය මෙන් ඇවිද ගිය අතර තව එකියක් ඇය සිහි ගන්වන ආකාරයේ හස්ත මුද්‍රාවක් පෑවාය. ඔහුගේ බිරිය සහ නැන්දණිය හැරුණු කල ඔහු දුටු සියලුම කාන්තාවන් ඔහුගේ මනසේ විසූ තරුණියට සමාන විය.

ඔහුගේ නි‍වෙසේ හුන් කාන්තාවෝ දෙදෙන ඔහු ප්‍රහේළිකාවකට පත්කොට වික්ෂිප්තභාවයට පමුණුවාලූහ. හදිසියේම ඔවුහු ආදරය නොහිතෙන සාමාන්‍ය වස්තූන් බවට පත් වූහ. විශේෂයෙන්ම ඔහුගේ බිරිය සිය සිරුරට ඇලුණු අසාමාන්‍ය, විරූපී මස් වැදැල්ලක් ලෙස ඔහුට පෙනිණි.

සවස වැඩ නිමවීමෙන් පසුව නිවෙසට ගිය ඔහු තමාට සුපුරුදු තැන හිඳගෙන රාත්‍රී ආහාරය අනුභව කළේය. ෆෝමන්වරයා සාමාන්‍යයෙන් නිහඬ මිනිසෙකු බැවින් ඔහු කතාබහේ නොයෙදීම ගැන කිසිවෙක් සැලකිල්ලක් නොදැක්වූහ. රාත්‍රී ආහාරයෙන් පසුව ඔහු සිය බිරිය සමග චිත්‍රපටියක් බැලීමට ගියේය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු වූ අතර ඔහුගේ බිරිය තවත් දරුවෙකු අපේක්ෂාවෙන් සිටියාය. පෙරළා තට්ටු නිවහනට පැමිණි ඔවුහු හිඳගත්හ. පියගැටපෙළවල් දෙකක් නැගීමෙන් ඕ වෙහෙසට පත්ව සිටියාය.  වෙහෙසෙන් කෙඳිරිගාමින් ඇය සිය මව අසලින් පුටුවක හිඳගෙන සිටියාය.

ඔහුගේ නැන්දණිය ඉතා යහපත් කාන්තාවක වූවා කිසිදු වැටුපක් නොලබා මෙහෙකාරියක ලෙස ගේ දොර සියලු වැඩපළ කළාය. සිය දියණියට චිත්‍රපටියක් බලන්නට යන්නට ඕනෑ වූ විට ඇය සිනාසී එසේ කරන ලෙස කීවාය. “ ඔයා යන්න. මට බෑ. මෙතන වාඩිවෙලා ඉන්න එක වැඩිය හොඳයි.” කී ඇය වාඩිවී පොතක් කියවන්නට වූවාය. අවුරුදු නවයේ පිරිමි ළමයා නැගිට සෙල්ලම් අශ්වයා පදින්නට ඕනෑ වී හැඬුවේය. නැන්දණිය ඔහු එහි රැගෙන ගියාය.

ෆෝමන්වරයා සහ ඔහුගේ බිරිය වැඩ නිමවී පැමිණි විට මේ වැඩිහිටියෝ තිදෙනා නින්දට යන්නට පෙර පැයක් දෙකක් නිහඬව හිඳගෙන සිටිති. මිනිස් පුවත්පතක් කිවයන බවක ඇඟවීය. ඔහු සිය දෑත දෙස බැලුවේය. ඒවා කෙතරම් හොඳින් සේදුවද පාපැදි රාමුවල වූ ග්‍රීස් ඔහුගේ නියපොතු යට අඳුරු පැල්ලම් ඉතිරි ‍කළේය. යතුරුලියනයේ යතුරුපුවරුව  මත නර්තනයේ යෙදෙන අයෝවා තරුණියගේ සුදු කඩිසර දෑත ඔහුට සිහිපත් විය. ඔහුට අපුලක්ද අපහසුබවක්ද දැනිණි.

ෆෝමන්වරයා තමන්ට ආදරය කරන බව දැනගත් කම්හලේ තරු‍ණිය ඒ සම්බන්ධයෙන් මඳක් උනන්දු වූවාය. සිය නැන්දණි‍ය මියගිය පසු ඕ වෙනම කුලී කාමරයක පදිංචියට ගිය අතර ඇයට සවස් වරුවේ කරන්නට කිසිදු කාර්යක් නොවීය. ෆෝමන්වරයා ඇයට වැදගැම්මකට නැති කෙනෙකු වුවද එක්තරා ආකාරයකින් ඇයට ඔහුගෙන් ප්‍රයෝජනයක් ගැනීමට පුළුවන. ඇයට ඔහු එක්තරා ආකාරයක සංකේතයක් බවට පත් වූයේය. ඇතැම් විටෙක ඇයගේ කාර්යාලයට එන ඔහු දොර අසල මඳ වේලාවක් සිටගෙන සිටියි.  ඔහුගේ විශාල දෑත කලු පැහැති ග්‍රීස්වලින් වැසී ඇත. ඇය ඔහු දෙස බැලුවද ඇය ඔහු නොදුටුවාය. ඇයගේ මනෝ ලෝකයෙහි එතැන සිටගෙන සිටියේ උස, හීන්දෑරි තරුණයෙකි. ඇයට පෙනුණු එකම දෙය වූයේ අසාමාන්‍ය ගින්නකින් දැවෙන්නට පටන්ගෙන ඇති ෆෝමන්වරයාගේ අළුවන් දෑස පමණෙකි.  ඒ දෑසින් පළවූයේ දැඩි ආශාවකි; නියාලු, භක්තිමත් ආශාවකි. එවන් දෑසක් සතු මිනිසෙකු ළඟ සිටින විට තමන්ට බියවීමට කිසිදු හේතුවක් නැති බව ඇයට දැනිණි.  

එවැනි පෙනුමක් දෑසෙහි රඳවාගත් ආදරවන්තයෙකු තමා ළඟට පැමිණීම ඇයට අවශ්‍ය විය.  ඉඳහිට, එනම් සති දෙකකට වරක්වත්, අවසන් කළ යුතු වැඩ ඇති බව අඟවමින් ඇය මඳක් රෑ බෝ වනතුරු කාර්යාලයේ රැඳී සිටියාය.  ෆෝමන්වරයාද කම්හලේ රැඳී සිටින සැටි ඇයට ජනේලයෙන් පෙනිණි. සියලු දෙනාම නික්ම ගිය පසු ඇයද සිය වැඩ නිමකර වීදියට පිළිපන්නාය. ඒ මොහොතේම ෆෝමන්වරයාද කම්හලේ දොරටුවෙන් පිටතට ආවේය.

ඇය ට්‍රෑම් රථයට ගොඩවන ස්ථානය දක්වා ගොඩනැගිලි පේළි හයක පමණ දුරක් ඔවුහු එක්ව වීදිය දිගේ ඇවිද ගෙන ගියහ‍. කම්හල පිහිටා තිබුනේ සවුත් චිකාගෝ නම් ස්ථානයෙහි වූ අතර ඔවුන් ඇවිදගෙන යත්ම සැන්දෑ කරුවල වැටෙන්නට පටන් ගත්තේය. පින්තාරු නොකළ ලෑලි ගෙවල් වීදිය දෙපැත්තේ විය. අපිරිසිදු මුහු‍ණුවලින් යුත් ළමයි කෑ කෝ ගසමින් දූවිලි වැකුණු පාර දිගේ දිව ගියෝය. ඔවුහු පාලමක් පසු කළහ. ගල්අඟුරු ගෙන යන බත්තල් දෙකක් අත්හැර දමනු ලැබ පහත වූ ඇළෙහි දිරා යමින් තිබිණි.

ඔහු බර අඩි තබමින් ඇය පසෙකින් ඇවිද්දේ සිය දෑත් සඟවා ගන්නට වෑයම් කරමිනි. කම්හලෙන් පිටවීමට ප්‍රථම හොඳින් අතුල්ලා පිරිසිදු කළද සිය දෑත බරැති අබලි ද්‍රව්‍ය කැබලි දෙකක් මෙන් සිය සිරුර දෙපසින් එල්ලා වැටෙන බව ඔහුට පෙනිණි. එක් ගිම්හාන ඍතුවක කිහිප වතාවක් පමණක් ඔවුන් මෙලෙස එක්ව ඇවිද ගොස් තිබිණි. “හරි ග්‍රීෂ්මයි,” ඔහු කීවේය. කාලගුණය ගැන හැරුණු විට වෙන කිසිදු දෙයක් සම්බන්ධයෙන් ඔහු ඇය හා කතා නොකළේය. “හරි ග්‍රීෂ්මයි. මං හිතන්නේ වහියි.” ඔහු කීවේය.

කවදා හෝ තමා වෙත පැමිණෙනු ඇති පෙම්වතා ගැන; උස සුදු තරුණයා ගැන, ඉඩම් හිමි ධනවතා ගැන ඇය සිහින මැව්වාය. ඇය පසෙකින් ඇවිද යන මේ කම්කරුවා ආදරය සම්බන්ධයෙන් ඇයගේ මනසෙහි වූ සංකල්පය සමග කිසිසේත් ගැළපුණේ නොවේ. ඇය ඔහු සමග ඇවිද ගියේත්, කිසිවෙකුගේ දෑසට නොපෙනී ඔහු සමග ඇවිද යන්නට අනෙක් අය පිටව යනතුරු කාර්යාලයේ රැඳී සිටියේත් ඔහුගේ දෑස නිසාය; ඔහුගේ දෑසෙහි වූ ආශාවෙන් පිරුණු එමෙන්ම නියාලු බවින් ඇය වෙත නැවුණු යමක් නිසාය. ඔහු අසලදී කිසිදු අන්තරායක් නොවුණු අතර එවැන්නක් නොතිබෙනුද ඇත. තමාට ඕනෑවට වඩා සමීප වීමට, තමා ඇල්ලීමට කිසිදා ඔහු උත්සාහ නොකළේය. ඔහු සමග සිටියදී ඇය ආරක්ෂිත විය.

සන්ධ්‍යා කාලයේදී සිය තට්ටු නිවහනේ විදුලි බුබුල යට ඔහු සිය බිරිය සහ නැන්දණිය සමග හිඳ ගෙන සිටියේය. යාබද කාම‍රයේ ඔහුගේ දරු දෙදෙනා නිදාගෙන සිටියෝය. ටික කලෙකින් ඔහුගේ බිරිය තව දරුවෙකු බිහිකරනු ඇත.  ඔහු සහ ඔහුගේ බිරිය චිත්‍රපටියක් නරඹා පැමිණ තිබූ අතර තව ටික‍ වේලාවකින් ඔවුන් නිදන්නට යනු ඇත.

ඇ‍ඳෙහි වැතිර නොනිදා කල්පනා කරමින් ඔහු සිටිනු ඇත. යාබද කාම‍රයේ නිදන නැන්දණිය ඔබ මොබ පෙරළීමෙන් ඇ‍ඳෙහි දුනු කිරි කිරි ගායි. ජීවිතය ඕනෑවට වඩා හුරුපුරුදු එකක් විය. උනන්දුවෙන් යුතුව යමක් අ‍පේක්ෂාවෙන් ඔහු නොනිදා වැතිර සිටියේය- එහෙත් කුමක් අපේක්ෂාවෙන්ද ?

අපේක්ෂා කරන්නට කිසිවක් නොවීය. එක් දරුවෙක් හඬන්නට විය. ඇ‍ඳෙන් නැගිට සෙල්ලම් අශ්වයා පදින්නට ඔහුට වුවමනාය. කිසිදු අසාමාන්‍ය හෝ ප්‍රියජනක දෙයක් සිදු නොවනු ඇත. එසේ සිදුවීමටද බැරිය. ජීවිතය ඕනෑවට වඩා හුරුපුරුදු එකක් විය‍. මේ තට්ටු නිවහන තුළ සිදුවන කිසිම දෙයක් කිසිම ආකාරයකින් ඔහු ප්‍රබෝධවත් කිරීමට සමත් නොවීය; ඔහුගේ බිරිය පවසන දේවල්, ඉඳහිට ඇය කෙරෙන් ප්‍රකාශවන උනන්දුවෙන් තොර ආල හැඟීම්, කිසිදු ගෙවීමක් නොලබා මෙහෙකාරියකගේ වැඩපළ කරන සිය නැන්දණියගේ යහපත්බව මේ කිසිවක් ඔහු ප්‍රබෝධවත් කිරීමට සමත් වූයේ නොවේ.

තට්ටු නිවහනේ විදුලි බුබුල යට වාඩිවී ඔහු පුවත්පතක් කියවන බව ඇඟවූයේය. එහෙත් සැබවින්ම ඔහු කල්පනා කරමින් සිටියේය. හෙතෙම සිය දෑත දෙස බැලීය. ඒවා විශාල හැඩයකින් තොර කම්කරුවෙකුගේ දෑත් විය.

අයෝවා සිට පැමිණි තරුණියගේ රුව කාමරයේ ඔබ මොබ සක්මන් කළේය. ඇයත් සමග තට්ටු නිවහනෙන් පිටවූ ඔහු නිහඬව සැතපුම් ගණනාවක් පාරවල් දිගේ ඇවිද්දේය. වචන ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නොවීය. ඔහු ඇයත් සමග මුහුදු තෙරද කඳු ශිඛරවලද ඇවිද්දේය. රාත්‍රිය පැහැදිලිද නිහඬද වූ අතර තාරකා දිලිසිණි. ඇයද තාරකාවක් විය. වචන ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් නුවූයේය.

ඇගේ ‍දෑස තාරකා බඳු විය. ඇ‍යගේ දෙතොල සහන් එළියෙන් යාන්තමින් ආ‍ලෝකවත් වූ තැනිතලාව පරයා නැගුණු මෘදු කුඩා කඳු වැනි වූයේය. “ මට ඇය ලබා ගන්න බෑ. ඇය තාරකා වගේ බොහෝම ඈතයි ඉන්නේ,” ඔහු සිතුවේය.      “ඇය තාරකාවක් වගේ ලබාගන්න බැරි දෙයක්. ඒත් තාරකා වගේ නොවෙයි. ඇය හුස්ම ගන්නවා. ජීවත් වෙනවා. මට වගේම ඈටත් ආත්මයක් තියෙනවා.”

මීට සති හයකට පමණ උඩදී, එක්තරා සන්ධ්‍යා කාලයක, පාපැදි කම්හලක ෆෝමන්වරයෙකු ලෙස සේවය කළ මිනිසා සිය බිරිය මරා දැමූ අතර දැන් ඔහුට විරුද්ධව මිනීමැරුම් නඩුවක් විභාග වෙයි. සෑම දිනෙකම පුවත්පත් පිරී තිබුණේ මේ පුවතෙනි. මිනීමැරුම සිදු වූ දා සවස සුපුරුදු පරිදි ඔහු සිය බිරිය චිත්‍රපටියක් නරඹන්නට රැගෙන ගොස් තිබිණි. ඔවුහු රාත්‍රී නවයට පමණ පෙරළා නිවහනට එන්නට පටන් ගත්හ. ඔවුන්ගේ තට්ටු නිවහන පිහිටා තිබූ ගොඩනැගිල්ල අසල තිස් දෙවැනි වීදියේ එක් වංගුවකදී පටු වීදියකින් හදිසියේම මතුවූ මිනිස් රුවක් එසැණින්ම යළි ඒ පටු වීදියටම වැදිණි. සිය බිරිය මරා දැමීමේ අදහස ඔහුගේ ඔලුවට වැටෙන්නට ඇත්තේ මේ සිද්ධියෙනි.

තට්ටු නිවහන පිහිටා තිබූ ගොඩනැගිල්ලට සමීප වූ ඔවුහු බිම්මහලෙහි අඳුරු ශාලාවට ප්‍රවේශ වූහ. ඉන් අනතුරුව එක් ක්ෂණයකින් ඔහු සිය සාක්කුවෙන් පිහියක් එළියට ගත්තේ පැහැදිලිවම ඒ ගැන නොසිතාය. “ අර පටු වීදියට වැදුණු මිනිහා අප මරන්නට හිතාගෙන හිටියා නම්,” ඔහුට සිතිණි. පිහිතලය දිගහැරගෙන වේගයෙන් හැරු‍ණු ඔහු ඉන් සිය බිරියට ඇන්නේය. එක් වරක් දෙවරක්—- දොළොස් වතාවක් උමතුවෙන් මෙන් ඔහු ඇයට පිහියෙන් ඇන්නේය. විලාප හඬක් නැගිණි. ඉන් අනතුරුව ඔහුගේ බිරියගේ මළ සිරුර බිම පතිත විය.

බිම්මහලෙහි ගෑස් ආ‍‍ලෝකය දැල්වීම ගොඩනැගිල්ල පිරිසුදු කරන්නා විසින් අතපසු ‍කරනු ලැබ තිබිණි. පසුව, මිනීමැරුම කරන්නට තමාට හේතු කාරක වූයේ මෙසේ ගෑස් ආලෝකය නොදැල්වීමත්, අඳුරු මිනිස් රුවක් පටු වීදියකින් මතුව යළි එය වෙත පළායාමත් බව ෆෝමන්වරයා තීරණය කළේය. “ගෑස් ආලෝකය දල්වලා තිබුණා නම් මම කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ,” ඔහු තමාටම කියා ගත්තේය.

ඔහු කල්පනා කරමින් බිම්මහල් ශාලාවෙහි සිටගෙන සිටියේය. ඇයගේ බිරිය මිය ගොස්ය. ඒ සමගම ඇගේ නූපන් දරුවාද මිය ගොස්ය. ඉහළින් වූ තට්ටු නිවහන්වල දොරවල් ඇරෙන හඬ ඇසිණි. මිනිත්තු කිහිපයක් යන තුරු කිසිවක් සිදු වූයේ නැත. සිය බිරිය සහ ඇගේ නූපන් දරුවා මිය ගොස් තිබුණා පමණය- එපමණය.

ඉක්මනින් සිතමින් ඔහු උඩ තට්ටුවට දිවුවේය. පිය ගැට පෙළෙහි පහළ කොටසේ තිබූ අන්ධකාරය තුළ ඔහු පිහිය යළි සිය සාක්කුවට දමා ගත්තේය. පසුව අනාවරණය වූ ආකාරයට ඔහුගේ දෑත්වලවත් ඇඳුම්වලවත් රුධිරය තැවරී තිබුණේ නැත. තැතිගැන්ම මඳක් පහවූ පසු  නානකාමරයට ගිය ඔහු පිහිය ප්‍රවේසමෙන් සේදුවේය. ඔහු සියලු දෙනාටම කීවේ එකම කතාවය. “ අපිව මගදී අල්ලා ගත්තා,” ඔහු පැහැදිලි කළේය. “ පටු වීදියකින් මතු වෙච්චි මිනිහෙක් මායි මගේ නෝනයි පිටිපස්සෙන් ගේ ළඟටම ආවා. ඒ මිනිහා පහළ ශාලාව ඇතුළටත් අපි පස්සෙන් ඇතුළු වුණා. කිසිම එළියක් තිබුණේ නෑ. ගොඩනැගිල්ල පිරිසිදු කරන මිනිහා ගෑස් එළිය පත්තු කරන එක අතපසු කරලා තිබුණා.”- ඉදින්, අන්ධකාරයේ සටනක් සිදු වී තිබූ අතර ඔහුගේ බිරිය මරා දමා තිබිණි. එය සිදු වූයේ කෙසේ දැයි කියන්නට ඔහුට නොහැකි විය. “කිසිම එළියක් තිබුණේ නෑ. ගොඩනැගිල්ල පිරිසිදු කරන මිනිහා ගෑස් එළිය පත්තු කරන එක අතපසු කරලා තිබුණා,” ඔහු දිගින් දිගටම කියන්නට විය.

දවසක් දෙකක් යනතුරුම ඔවුන් ඔහුගෙන් විශේෂයෙන් ප්‍රශ්න නොකළ බැවින් පිහිය වීසි කර දමන්නට ඔහුට කාලය ලැබිණි. දිගු වේලාවක් ඇවිද ගිය ඔහු පාලම යට ගල් අඟුරු බත්තල් දිරාපත්වමින් තිබුණු සවුත් චිකාගෝහි ගඟට පිහිය වීසි කළේය. පිවිතුරු මෙන්ම නොඉඳුල්, ලබා ගත් නොහැකි ඈතක විරාජමාන වූ, තාරකාවක් බඳු මෙන්ම තාරකාවක් බඳු නොවූ තරුණිය ට්‍රෑම් රථය නැවතුමට කැඳවාගෙන යෑමට ගිම්හා‍නයේ සැඳෑ කාලවල ඔහු ඇය සමග තරණය කළ පාලම තිබූ ගඟට ඔහු පිහිය වීසි කළේය.

ඉන් අනතුරුව ඔහු අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහු සියල්ල පාපෝච්චාරණය කළේය. තමන් සිය බිරිය මැරුවේ මන්දැයි කියන්නට තමන් නොදන්නා බව කී ඔහු  කාර්යාලයේ සිටි තරුණිය සම්බන්ධයෙන් කිසිවක් නොකියන්නට ප්‍රවේසම් විය.  අපරාධයට හේතුව සොයන්නට පුවත්පත් උත්සාහ කළේය. ඒවා තවමත් ඒ උත්සාහය දරමින් සිටියි. ඇතැම් සන්ධ්‍යා කාලයක ඔහු ඇය හා ඇවිද යනු කිසිවෙකු දැක තිබූ අතර ඇයගේ නමද මේ සිදුවීම හා ගෑවී ඇගේ ඡායාරූපය පුවත්පත්වල පළ විණි. සිය ඡායාරූපය පුවත්පත්වල පළවීම සම්බන්ධයෙන් ඇය දැඩි ලෙස කෝපයට පත්වූයේ මේ මිනිසා සමග තමාගේ කිසිම සම්බන්ධයක් නුවූ බව ඔප්පු කරන්නට ඇයට හැකි වූ බැවිනි.

********

නගර සීමාවට ඔබ්බෙන් පිහිටි අපේ ගම්මානය වසාගෙන ඊයේ උදෑසන තද මීදුමක් පැතිරුණු අතර මම උදෑසනින්ම බොහෝ දුර ඇවිදින්නට ගියෙමි. පහත් බිම්වලින් පෙරළා පැමිණ කඳු දෙසට ඇවිද ගිය මට ඉතා පුදුම සහගත නෑදෑ පරපුරක් ඇති මහල්ලා මුණ ගැසිණි. කුඩා බල්ලා තුරුළු කරගෙන ඔහු ‍ටික වේලාවක් මා පසෙකින් ඇවිදගෙන ආවේය. අධික ශීතල කරණ කොට ගෙන බල්ලා කෙඳිරිගාන්නටත් වෙවුලන්නටත් පටන් ගත්තේය. මීදුම නිසා මහල්ලාගේ මුහුණ මට හරි හැටි නොපෙනිණි. මීදුම් වළා මැදින් එය ඉදිරියටත් පසුපසටත් චලනය විය. අපේ ගම්මානයට සෑම උදෑසනකම පැමිණි පුවත්පත්වල සඳහන් වූ, සිය බිරිය මරා දැමූ මිනිසා ගැන ඔහු කතා කරන්නට වූයේය. තමාත්, දැන් මිනීමරුවෙකු බවට පත්වී සිටින තම සහෝදරයාත් එක්ව වරක් ගෙවූ ජීවිතයක් ගැන දීර්ඝ කථාන්තරයකට මා පසෙකින් ඇවිදිමින් ඔහු අවතීර්ණ විය. “ ඒ මගේ මල්ලී.” ඔහු සිය හිස වනමින් යළි යළිත් කීවේ මා එය විශ්වාස නොකරතැයි සිතුවාක් මෙනි. ඔහු කියන කාරණාව තහවුරු කරන්නට ඔහුට වුවමනා විය. “ ඔය මිනීමැරුමට අහුවෙලා ඉන්න මල්ලියි මායි පොඩි කාලෙ ගෙව්වෙ එකට.” හෙතෙම යළිත් කතාව පටන් ගත්තේය. “අපේ තාත්තාගේ ‍ගෙදර අටුව පිටිපස්සේ අපි එකට සෙල්ලම් කළා. අපේ තාත්තා නැවක නැගලා යන්න ගියා. ඒ නිසා තමයි අපි දෙන්නගේ නම් වෙනස් වුණේ. මහත්තයට තේරෙනවා ඇතිනේ? අපි දෙන්නගෙ නම් දෙක වෙනස්. ඒත් අපි සහෝදරයෝ.අපි දෙන්නගෙම තාත්තා එක්කෙනෙක්. අපේ තාත්තාගේ ගෙදර අටුව පිටිපස්සේ අපි එකට සෙල්ලම් කළා. අපි පැය ගාණක් අටුවෙ පිදුරු ගොඩ උඩ වැතිරිලා ඉන්නවා‍‍. එතැන හරිම උණුසුම්.”

මීදුම තුළ මහල්ලාගේ සිහින් සිරුර ගැට සහිත කුඩා ගසක් බඳු තත්ත්වයකට පත් විය. ඉන් අනතුරුව එය අහසේ පාවෙන වස්තුවක් බවට පත් වූයේය. පෝරකයක එල්ලෙන සිරුරක් මෙන් එය පසුපසටත් ඉදිරියටත් පැද්දෙන්නට විය. ඔහුගේ තොල්වලින් මුමුණන කතාව විශ්වාස කරන ලෙස ඔහුගේ මුහුණ ආයාචනා කළේය. මගේ මනස තුළ, ගැහැනුන් හා මිනිසුන්ගේ ඥාති සබඳතා සියල්ල එකම අවුල් ජාලයක් බවට පත් විය.  සිය බිරිය මරා දැමූ මිනිසාගේ ආත්මය මා පසෙක සිටි කුඩා මහල්ලාගේ සිරුර වෙත පැමිණියේය.

නගරයේ අධිකරණයදී විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට කියන්නට නොහැකි කතාවක් මා හා පවසන්නට එය දැඩි ප්‍රයත්නයක් දැරීය. මිනිස් වර්ගයාගේ හුදෙකලාබවෙහි සම්පූර්ණ කතාව, ප්‍රාප්ත කර ගත නුහුණු සුන්දරත්වයට ළඟා වන්නට දැරූ ප්‍රයත්නය, හුදෙකලාබවින් උමතුව බල්ලෙකු තුරුළු කරගෙන මීදුම පිරි උදෑසනක පිටිසරබද පළාතක පාරක් අද්දර සිටගෙන සිටි යමක් මුමුණන මහල්ලෙකුගේ තොල්වලින් ප්‍රකාශ වීමට යත්න දැරීය.

මහල්ලා කෙතරම් තදින් බල්ලා තුරුළු කරගෙන සිටියේද යත් ඌ වේදනාවෙන් කෙඳිරි ගාන්නට පටන් ගත්තේය. එක්තරා ආකාරයක කම්පනයක් ඔහුගේ සිරුර සොලවාලීය. ඔහුගේ ආත්මය සිරුරින් මිදී මීදුම මැදින් තැනිතලාව උඩින් නගරය වෙත, නගරයේ සිටින ගායකයා වෙත, දේශපාලනඥයා වෙත, කෝටිපතියා වෙත, මිනීමරුවා වෙත, සොහොයුරන් වෙත, මස්සිනාවරුන් වෙත, සොහොයුරියන් වෙත යන්නට දඟලන බවක් පෙනිණි. මහල්ලාගේ අභිලාෂයෙහි තීව්‍රබව කෙතරම් වැඩිවීද යත් අනුකම්පාවෙන් මගේ සිරුර වෙවුලන්නට පටන් ගත්තේය. ඔහුගේ දෑත කුඩා බල්ලාගේ සිරුර වටා කෙතරම් තදින් වෙලුණේද යත් ඌ වේදනාවෙන් කෑ ගැසීය. මම ඉදිරියට පැන ඔහුගේ දෑත බල්ලාගෙන් ඉවතට ඇද දැමීමි. බිම වැටුණු බල්ලා කෙඳිරි ගාමින් වැතිර සිටියේය.  ඌට තුවාල වී ඇති බවට සැකයක් නොවීය. සමහරවිට උගේ ඉල ඇට බිඳී ගොස් තිබෙන්නට හැකිය. මහල්ලා සිය දෙපා අසල බිම වැතිර සිටින බල්ලා දෙස බැලූයේ පාපැදි කම්හලේ ෆෝමන්වරයා තට්ටු නිවහන් ගොඩනැගිල්ලේ බිම්මහල් ශාලාවේදී සිය බිරියගේ මළසිරුර දෙස බැලූ ආකාරයෙනි.  “අපි සහෝදරයෝ,” ඔහු නැවතත් කීවේය. “ අපේ නම් වෙනස්. ඒත් අපි සහෝදරයෝ. මහත්තයට තේරෙනවා ඇතිනෙ? අපේ තාත්තා නැවක නැගලා යන්න ගියා.”

********

මම පිටිසරබද පිහිටි මගේ නිවෙසේ හිඳගෙන සිටිමි. වැස්ස ඇද හැලෙයි. එක්වරම මගේ දෙනෙත් ඉදිරිපිට නූස් කඳු අතුරුදන්ව ගොස් තැනිතලාවද තැනිතලාවෙන් ඔබ්බෙහි නගරයද මට පෙනෙයි. කැලෑවෙහි පිහිටි නිවෙසෙහි වසන මහල්ලා මීට පැයකට පෙර මගේ නිවෙස පසුකොට ඇවිද ගෙන ගියමුත් කුඩා බල්ලා ඔහු සමග නොවීය. ඇතැම්විට මීදුම තුළ අප කතා කරමින් සිටින අතරතුර ඔහු සිය සගයාගේ ප්‍රාණය සිරුරෙන් නිරුද්ධ කළා වන්නට පුළුවන. ඇතැම්විට ෆෝමන්වරයාගේ බිරිය සහ ඇයගේ නූපන් දරුවා මෙන් බල්ලාද දැන් මළවුන් අතර වන්නට පුළුවන. මගේ නිවෙස ඉදිරිපිට පාර දෙපැත්තේ වැවුණු ගස්වල කොළ වැස්ස මෙන් බිම ඇද හැලෙයි. කහ, රතු සහ රන් පැහැති කොළ කෙලින්ම වේගයෙන් බිම පතිත වෙයි. වැස්ස සිත්පිත් නැති ආකාරයෙන් ඒවා බිම පතිත කරවන හෙයින් අවසන් වතාවට රන් පැහැයෙන් දිලි දිලී ‍පොළොවට පතිත වීමේ අවස්ථාව කොළවලට අහිමිය. ඔක්තෝබර් මාසයේදී මෙසේ පතිතවන කොළ තැනිතලාවලට ඉහළින් සුළ‍ඟේ ගසා ගෙන යා යුතුය. ඒවා ඉවත ගසා ගෙන යා යුත්තේ නර්තනයක යෙදෙමිනි.

ෂර්වුඩ් ඇන්ඩර්සන් (1876-1941)

පරිවර්තනය – රාජ්‍ය සම්මානලාභී පරිවර්තක නිලූක කදුරුගමුව

පරිවර්තන බ්ලොග් අඩවියෙන් https://nilukakadurugamuwa.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *