
2026 අප්‍රේල් 11 වැනිදා වෙබ්ගත වන්නට නියමිතව තිබෙන්නේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ 500 වන වැඩසටහන. රූපණ මාධ්‍ය ජාලයේ අපට එය මහත් ආඩම්බරයක්. මේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ නිර්මාණ අධ්‍යක්ෂක අනුරුද්ධ වැලිගමගේ ගේ මතක
මම රූපණ ට සම්බන්ධ වුනේ 2017 ජනවාරි මාසෙ. ඒක වුනේ මෙහෙමයි. 2016 නොවැම්බර් මාසෙ දවසක අන්තර්ජාලයෙන් රූපණ වැඩසටහනක් දැකල මම වීරා ට ෆේස්බුක් මැසේජ් එකක් දැම්මා. ඊට ටික දවසකට පස්සෙ මට කෝල් එකක් ඇවිත් අපූරු ඉන්ටවිව් එකක් තිබ්බා. වීරා මට කිව්වේ කෙටි නාට්‍ය පිටපත් පහක් ( 5) ලියල එවන්න කියලා. දවස් කීපයකින්ම මම කතා පහක පිටපත් යැව්වා.මාසයක් විතර ගත වුනා. කිසිම උත්තරයක් නෑ. 2017 ජනවාරි මාසෙ දවසක මට ඉටබිකෝවල ගෙදරකට එන්න කියලා කිව්වා. ඒකෙන් කියැවුනේ මගේ නාට්‍ය වලින් දෙකක් (2) පටිගත කරන්න සුදානම් කියල. ඒ ලිපිනයට අනුව මම ගියේ කුමුදු රත්නවිර මහත්මියගේ ගෙදරට. එතනදි තමයි බන්දුල අයියා, දිනේෂ්, වීරා කියන අය මට හම්බවුනේ.
ඒ කාලේ අපි වැඩසටහන් පටිගත කළේ එක එක අයගේ ගෙවල් වල. දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියගේ ගෙදර. නොමැකෙන ගී රස වැඩසටහන් හතරක් පටිගත කලා. අනුෂ්කා තමයි ඒ වැඩසටහන් හතරම ඉදිරිපත් කලේ . සේන මුණසිංහ මහත්මයාගේ ගෙදර නාට්‍ය දෙකක් කලා. බන්දුල රුවන්පුර මහත්මයාගේ ගෙදරත් තවත් නොමැකෙන ගී රස වැඩසටහන් හතරක් කරා. සුනිමල් තමයි ඒවා ඉදිරිපත් කලේ. වීරා සහ දිනේෂ් වාහනයකට බඩු දාගෙන ගෙවල් වලට එනවා . එතැන මැදිරියක් වගේ හදාගෙන තමයි අපි වැඩසටහන් පටිගත කලේ. එහෙම කරන අවස්ථාවල ගෙදරක ටොයිලට් එකක් ෆ්ලෂ් කලත් අපට වැඩසටහන නවත්තන්න වෙනවා. ඒවගේම ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මියගේ ගෙදරදි අලුතින් කැනඩාවට එන අයට රැකියා හොයාගන්න උදව් වෙන සඳැල්ල කියල වැඩසටහනක් පටිගත කළා. ඒ වැඩසටහන් ඉදිරිපත් කළේ ආචාර්ය සරත් චන්ද්‍රසේකර. අපි විහිලුවට කිව්වෙ රූපන දෙවන මැදිරිය කියන්නේ මංජුලාගේ ගෙදර කියලා මංජුලා , පුබුදු ලගේ ගෙදර අපි පටිගත කළ වැඩසටහන් ගණන ගණන් කරන්න බැරි ලොකු නොම්මරයක්.
මුලින්ම මම රූපණ වැඩසටහනක් ඉදිරිපත් කළේ 2017 ශීත කාලෙ දවසක. බ්‍රම්ප්ටන් ඉන්ඩෝර් බැඩ්මින්ටන් කෝට් එකකයි වැඩසටහන පටිගත කලේ . දර්ශන ප්‍රනාන්දු මහත්මයාගෙ බැඩ්මින්ටන් පාසැල ගැන වැඩසටහනක් . දිනේෂ් කිව්වා මේ වැඩේ කරන්න කවුරුත් නෑ කියල. එහෙම නැත්නම් මගේ අදහස තිබුණේ තිරයෙන් පිටිපස්සේ ඉඳන් වැඩ කරන්න.
ඊට පස්සේ රූපණ මැදිරිය හැදුනාම අපිට වැඩ ලේසි වුණා ආපහු අපිට ප්‍රශ්න ආවෙ කොවිඩ් වසංගතය කාලේ සංචරණ සීමා එක්ක. ඒ කාලේ අපි සූම් ( Zoom ) තාක්ෂණය යටතේ වැඩසටහන් කරන්න පටන් ගත්තා. කැනඩාවේ වෙනත් පළාත්වල ඉන්න අය එක්ක වගේම ශ්‍රී ලංකාවේ ප්රමුඛ සම්පත් දායකයින් රැසක් අපට උදව් කලා .අවුරුද්දට මහින්ද කුමාර දළුපොත මහත්මා ,ගීත රචකයින් වන නිලාර් කාසිම් , අචල සොලමන්ස් , මහාචාර්ය කෝලිත භාණ්ඩ දිසානායක, සුනේත්‍රා අළුත්දුන්නේ
වගේ පරිවර්තන කවි නිර්මාණකාරිනියන් එක්ක වගේම ඔස්ට්‍රේලියාවේ හෙල්මලී , ලන්ඩන් වල අනුර හෑගොඩ . ජර්මනියේ රොහාන් ඩිරෙක්ස් . ඉතාලියේ කෞශල්‍යා එදිරිසිංහ වගේ ලෝකෙ වටේ සංචාරය කරන රූපවාහිනී , යූ ටියුබ් සංචාරක චරිත එක්ක වගේම ලන්ඩන් වල අජිත් සහ තුර්කියේ ඉන්නා තිලක එක්ක සිංහල බ්ලොග් ගැන වැඩසටහනකුත් කළා මේ හැම වැඩසටහක්ම කරද්දී වීරා සහ එරංග ඇතුළු අපේ කණ්ඩායමේ හැමෝම කළ කැපවීමත්, එකිනෙකා දුන්නු නිදහසත්, මම හරියට අගය කරනවා.

ලබැඳි , පොත්පිටු අතරින්, අමයුරු කවි රස, ගමනක මතකය, රූපණ ලෝකෙ වටේ වැඩසටහන් වලින් සන්නිවේදකයා වගේම සමහර අවස්ථාවලදී සම්පත් දායකයා විදියටත් මම සම්බන්ධ වෙනවා. අවුරුදු වෙනුවෙන් , කැනඩා දිනය වෙනුවෙන් සහ විශේෂ අවස්ථාවලදී කෙරෙන වැඩසටහන් මම ඉදිරිපත් කරන්නේ තව කෙනෙකුට කියලා ඒක කරනවට වඩා වැඩේ හිටපු නිසා මට පහසු හින්ද මිසක් රූපෙ දාගන්න නෙවෙයි.
ඒවායින් ගමනක මතකය වැඩසටහනේ අදහස සංජීව අබයරත්නගේ. අපි පළවෙනි වැඩසටහන කළේ සංජීව අය්යා Kingston වලින් පටිගත කරගෙන ආපු Footage එකෙන් . රූපණ ලෝකෙ වටේ වැඩසටහනේ අදහස විජිත විතාන මහත්මයාගේ.
කොහොම වුණත්, මම කොච්චර සැලසුම් කලත්, ලස්සනට, අන්තිමේට වැඩේ වෙන්නේ අපේ කණ්ඩායමේ හැමෝගෙම කැපවීම සහ මහන්සිය හින්දයි. ඒ වෙනුවෙන් ගැම්මට වගේම හයියට ඉන්න රූපණ කණ්ඩායමේ හැමෝටම මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි.

රූපණ අන්තර්ජාල රූපවාහිනිය වෙබ්ගත කල වැඩසටහන් 500 ගැන විශ්ලේෂණයක් අප්‍රේල් කලාපයෙන් බලාපොරොත්තු වන්න.


