මැදපෙරදිග යුද්ධෙ නිසා ලංකාවෙ තැපෑල දවසක් ඇර දවසක් වැඩ. ඇඟලුම් අපනයනටත් බාධා.

තැපැල් ප්‍රවාහනය දවසක් ඇර දවසක් සිදු කිරීමට තීරණයක්.මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහනය දිනක් හැර දිනක් සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සහ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමනාකරණ කිරීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව මේ වන විට දිවයින පුරා පිහිටි තැපැල් හුවමාරු කිරීම් දිනක් හැර දිනක් සිදු කිරීමටත් සෑම බදාදා දිනකම තැපැල් ප්‍රවාහනය නතර කිරීමටත් තැපැල් පරිපාලනය විසින් තීරණය කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් තැපැල් ප්‍රවාහන කටයුතු මේ අයුරින් සිදුවන බැවින් තැපැල් ප්‍රවාහනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ විදෙස් තැපැල් සාමාන්‍ය පරිදි නොලැබෙන බවත් පැවසූ ඒ මහතා මෙරටින් විදෙස් රටවල්වලට පිටත්වන තැපෑලත් මේ වන විට දැඩි ප්‍රමාදයකට ලක්ව ඇති බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් තැපැල් කාර්යාල විවෘත කිරීම බදාදා සහ ඉරිදා දින හැර අන් සෑම දිනයකදීම සිදුවන බවත් පැවසූ ඒ මහතා ඒ අනුව පාරිභෝගිකයින්ට සිය තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල වෙත ලබා දීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇණවුම් රැගෙන යන නෞකා බොහොමයක් ගමන් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බවත් ඉරාන යුද්ධය හේතුවෙන් ඇණවුමක් බාර දීමට ගතවන කාලය දින 3ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල යාම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට අදාල ගාස්තුවට අමතරව තවත් මුදලක් ගෙවීමට ඇඟලුම් කර්මාන්තකරුවන්ට සිදුව තිබෙන බවත් විශාල ගැටලුව මතුව ඇත්තේ ගුවනින් යවන භාණ්ඩවලට බවත් ඔහු පැවැසුවේය. ගුවනින් යවන භාණ්ඩ සඳහා ඉහළ ඉල්ලුමක් තිබුණත් සැපයුම අඩු බවද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් ගමන් සීමා වීම හේතුවෙන් බොහෝ ඇණවුම් යවා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ඇඟලුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යද පැමිණෙන්නේ ගුවන් මාර්ගයෙන් බැවින් ඒවාද ප්‍රමාද වී තිබෙන බවත් ඔහු පැවැසුවේය. වෙනම ගුවන් යානා කුලියට ගෙන ඇණවුම් ප්‍රවාහනය කළත් එහි පිරිවැය අධික බවද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *