
ජුනි මාසයෙන් පසු එල් නිනෝ සංසිද්ධිය සහ ඉන්දියානු සාගර ද්විධ්‍රැව (IOD) සංසිද්ධිය ඇති විය හැකි බවත් එම සංසිද්ධිය සක්‍රීය වුවහොත් ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාව නියඟයකට මුහුණ දිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පසුගියදා අනතුරු ඇඟවීය.
එල් නිනෝ සංසිද්ධිය දැනට උදාසීන බවත් ජුනි මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ එල් නිනෝ සංසිද්ධිය ඇති විය හැකි බවත් ඔහු පැවසීය.
“ජුනි මාසයෙන් පස්සේ එල් නිනෝ සංසිද්ධිය ඇතිවීමේ සම්භාවිතාව පවතින්නේ සියයට 10 සිට 20 දක්වා. දැනට තිබෙන තාප දර්ශකය අප්‍රේල් මාසය පුරාම සහ මැයි මාසයේ පළමු සති දෙක තුන තුළ පවතින්න පුළුවන්. මැයි 20 සහ 25 අතර නිරිතදිග මෝසම් සක්‍රීය වෙයි කියලා අපේක්ෂා කරන නිසා මැයි මාසයේ යම් වර්ෂාවක් අපේක්ෂා කරනවා. මැයි අවසාන සතියෙන් පසු තාප දර්ශකය අඩු වෙයි,” යනුවෙන් ඔහු පැවසීය.නරකම අවස්ථාවක දී, ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාව නියඟයකට මුහුණ දිය හැකි බව විජේමාන්න පැවසීය.
“සාමාන්‍යයෙන් ජූලි සහ අගෝස්තු මාසවල අපට අඩු වර්ෂාපතනයක් ලැබෙන්නේ. නමුත්, එල් නිනෝ සහ IOD සංසිද්ධිය සක්‍රීය වීමත් සමඟ, මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවල නියඟයක් ඇති වෙන්න පුළුවන්,” යනුවෙන් ඔහු පැවසීය.


