මැද­පෙ­ර­දිග අර්බුදය මැද ඡනපතිගෙන් සහන පැකේඡයක්.

මැද­පෙ­ර­දිග පව­තින යුද­මය වතා­ව­ර­ණය හේතු­වෙන් බල­පෑ­මට ලක්ව ඇති මෙරට ක්ෂේත්‍ර රැස­කට සහන සැල­සී­මට මාස තුනක කාල­ය­කට රුපි­යල් බිලි­යන 100ක සහන පැකේ­ජ­යක් හඳුන්වා දෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී පසුගිය (07) වැනිදා ප්‍රකාශ කළේය.

එහිදී ඉන්ධන හා බල­ශ­ක්තිය පිළි­බඳ විශේෂ අව­ධා­න­යක් යොමු­කළ බව පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා, ඉන්ධන පිරි­වැ­යට අනුව ගැළ­පී­මේදී ජන ජීවි­ත­යට බල­පෑම් එල්ල වන බවත් මහ­ජ­න­තාව මත පැට­වෙන බර ලිහිල් කිරීම සඳහා ඉන්ධන සහන සහ මූල්‍ය ආධාර ඇතුළු සහන ක්‍රියා­මාර්ග මාලාව ක්‍රියා­ත්මක කරන බවත් හෙතෙම පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා විසින් පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකා­ශ­යට පත්කළ මේ සහ­නා­ධාර පැකේ­ජ­යට අනුව, මැයි මාසයේ සිට මාස තුනක කාල­යක් සඳහා රජය ඩීසල් සඳහා ලීට­ර­ය­කට රුපි­යල් 100ක සහ පෙට්‍රල් සඳහා රුපි­යල් 20ක සහ­න­යක් ලබා­දී­මට නිය­මි­තය.

සහන පැකේ­ජය ඉදි­රි­පත් කර­මින් අද­හස් දැක්වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙසේ ද පැව­සීය.

“මේ සහන ලබා දෙන්නේ මුදල් මුද්‍ර­ණය කර හෝ ණය ලබා­ගෙන නොවෙයි. උදා කර­ගත් ආර්ථික ස්ථාව­ර­ත්වය අඛ­ණ්ඩව ඉදි­රි­යට පවත්වා ගන්නා අත­ර­තු­රයි.

මැද­පෙ­ර­දිග යුද­මය තත්ත්වය සමඟ මතුවී තිබෙන තත්ත්වය හමුවේ ක්ෂේත්‍ර ගණ­නා­වක් යම් පීඩා­කාරී තත්ත්ව­යට පත්ව සිටි­නවා. ඒ නිසා රජ­යක් ලෙස අපේ වග­කීම වන්නේ ඒ පීඩා­කාරී තත්ත්ව­යට පත්ව සිටින පිරිස පිළි­බඳ අව­ධා­නය යොමු කර යම් සහ­න­දායී වැඩ­ස­ට­හ­නක් ආරම්භ කිරී­මයි. මෙහිදී අප ආකාර දෙකක් පිළි­බඳ අව­ධා­නය යොමු කළා.

මේ අර්බු­දය මතු­වන තැන් දෙකක් තමයි, ඉන්ධන සහ බල­ශක්ති ක්ෂේත්‍රය. එහිදී අපට ඉන්ධන පිරි­වැ­යට ගළපා අලෙවි කිරී­මට හැකි­යාව තිබෙ­නවා. එය එක් කරු­ණක්. මොකද විදු­ලි­බල මණ්ඩ­ලය සහ තෙල් සංස්ථාව අධික ලෙස පාඩු ලැබීමේ ප්‍රති­වි­පා­ක­ව­ලට අපි රටක් ලෙස මුහුණදුන්නා. ඒ නිසා ඉන්ධන පිරි­වැ­යට ගළපා වෙළෙ­ඳ­පොළේ ඉන්ධන අලෙවි කිරීම එක් යෝජ­නා­වක්. දෙවැනි යෝජ­නාව වන්නේ ඉන්ධන පිරි­වැ­ය­ටම ගළ­පන්නේ නැතිව යම් සහ­නා­ධාර ක්‍රම­යක් යෙද­වී­මයි. පළමු ක්‍රමය අපි ක්‍රියා­ත්මක කළොත් භාණ්ඩා­ගා­ර­ය­ටත්, ඛනිජ තෙල් නීති­ගත සංස්ථා­ව­ටත්, විදු­ලි­බල මණ්ඩ­ල­ය­ටත් බල­පෑ­මක් ඇති වන්නේ නැහැ. හැබැයි අපේ ආර්ථි­ක­යට, කර්මා­න්ත­ක­රු­වන්ට, ව්‍යාපා­රි­ක­යන්ට සහ සාමාන්‍ය ජන ජීවි­ත­යට බල­පෑ­මක් ඇති වෙනවා. ඒ නිසා මෙහි තුල­නා­ත්මක තැනක් අපි සොයා­ගත යුතුව තිබුණා.

ඒ අනුව අපි බැලුවා ඉන්ධන මිල ඉහළ යෑම අනුව, වෙළෙ­ඳ­පොළේ මිලට ගියොත් ඩීසල් ලීට­ර­යක් රුපි­යල් 600 ඉක්ම­ව­නවා. ඒ රුපි­යල් 600 ඇතුළේ රුපි­යල් 50ක බද්දක් තිබෙ­නවා. මම දැක්කා ඇතැම් අය ඒ රුපි­යල් 50 අයින් කරන්න කියලා යෝජනා කර තිබෙ­නවා. හැබැයි ඒ බද්ද අයින් කළොත් රුපි­යල් 50කින් තමයි ඩීස­ල්ව­ලට බල­පෑ­මක් ඇති වන්නේ. එහෙත් අපි කල්පනා කළේ එය නොවෙයි, බද්ද එසේම තිබෙන ගමන් අලෙවි වන සෑම ඩීසල් ලීට­ර­ය­ක­ටම රුපි­යල් 100 දක්වා මුද­ලක් මහා භාණ්ඩා­ගා­ර­යෙන් වෙන් කිරී­මට. ඒ කියන්නේ එළැ­ඹෙන මැයි පළ­මු­වැ­නිදා හෝ ඒ ආසන්න දින­කදී නැවත ඉන්ධන පිරි­වැය ගාස්තුව අපි ගෙන එනවා. ඒ පිරි­වැය ගාස්තුව ගණ­නය කරන්නේ ඊට පෙර මාසයේ තිබෙන ඇත්ත දත්ත මතයි. එවිට ඊළඟ ඉන්ධන ගැළ­පුම් ගාස්තු­වේදී, ඇත්ත ගාස්තු­වට ගණ­නය කර ඩීසල් ලීට­ර­යට රුපි­යල් 100 දක්වා සහ­නා­ධා­ර­යක් ලබා දීමට. පෙට්‍රල් ලීට­ර­ය­කට රුපි­යල් 20 දක්වා සහ­නා­ධා­ර­යක් ලබා දීමට. ඒ සඳහා මාස­ය­කට රුපි­යල් කෝටි 2000ක් වැය වෙනවා. මාස 03ක් සඳහා අපි මේ යෝජ­නාව සකස් කර තිබෙ­නවා. ඒ අනුව, මේ ඩීසල් සහ පෙට්‍රල් සහ­නා­ධා­රය සඳහා අපි රුපි­යල් කෝටි 6000ක් වෙන් කර­නවා. එය ඉතා වැද­ගත්. අපි මෙහි මුළු­බ­රම ජන­තාව පිට පට­වන්නේ නැහැ.

මූල­ධ­ර්ම­යක් ලෙස අපි සහ­නා­ධාර ලබා­දිය යුතු වන්නේ ඉල­ක්ක­ගත ප්‍රජා­ව­ටයි. හැබැයි, අපට මේකට නිවැ­රදි දත්ත ක්‍රම­වේ­ද­යක් නැහැ. ඒ අනුව තමයි අපි තීර­ණය කළේ සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වෙළෙ­ඳ­පොළ මිලට ගැළ­පී­මට. හැබැයි ඉතිරි ඒවා ගළ­පන්න බැහැ. අපි විවිධ ආකා­ර­යෙන් මේ පිළි­බද අව­ධා­නය යොමු කළා. ඒ නිසා රජය පොදුවේ සෑම ඩීසල් ලීට­ර­ය­ක­ටම රුපි­යල් 100ක විය­ද­මක් දර­නවා.

තෝරා­ගත් ජන ප්‍රජාව, විශේ­ෂ­යෙන් ධීවර ජන­තාව ඉන්ධන තමන්ගේ ආර්ථි­කයේ ප්‍රධාන කාර්යය බවට පත්ක­ර­ගෙන තිබෙ­නවා. එවිට පෙර සහ­නා­ධා­ර­යට අම­ත­රව ධීවර ජන­තා­වට තව සහ­නා­ධා­ර­යක් ලබා දිය හැකිද? ඒ අනුව, අපි කල්පනා කළා සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටු­ව­කට පෙට්‍රල්, ඩීසල්, භූමි­තෙල් කවර ඉන්ධ­න­යක් භාවිත කළත් පෙර රුපි­යල් 100ට අම­ත­රව තවත් රුපි­යල් 50ක අඩු­වී­මක් ලබා දීමට. සාමාන්‍ය බෝට්ටු­ව­කට දව­සට ලීටර් 25 ගණනේ දවස් 25කට ලීටර් 625ක් ලබා දෙනවා රුපි­යල් 50ක් අඩු­වෙන්. ඒ රුපි­යල් 50 ආණ්ඩුව ඔවුන්ගේ බැංකු ගිණු­මට යොමු කර­නවා. ඒ අනුව මාස­ය­කට රුපි­යල් 31,250ක් මෙය බෝට්ටු හිමි­යන්ට ලැබෙ­නවා. එය මාස 03ක් සඳහා අපි ලබා දෙනවා.

බහු­දින යාත්‍රා සාමා­න්‍ය­යෙන් මාස 03කට එක් වරක් පම­ණයි දිය­ඹට යන්නේ. ඒ නිසා මේ මාස 03 ඇතු­ළත බහු­දින යාත්‍රා­වක් සඳහා එක් වර­කට රුපි­යල් 150,000ක ඉන්ධන දීම­නා­වක් ලබා දෙනවා. පොදු සහ­නා­ධා­ර­යට අම­ත­රව ධීවර ජන­තාව ඉලක්ක කර­ගත් සහ­නා­ධාර වැඩ­ස­ට­හ­නක් අපි ක්‍රියා­ත්මක කිරී­මට අපේක්ෂා කර­නවා.

ඊළඟ ප්‍රශ්නය වන්නේ ඒ හා බැඳුණු පොහොර. විශේ­ෂ­යෙන් යූරියා ප්‍රශ්න­යේදී මතුව ඇති ගැට­ලුව වන්නේ දැනට පරණ මිලට ගෙනා පොහො­ර­ව­ලින් සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථාන සහ කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව සතුව තිබෙ­නවා. පැරණි මිලට ගෙන ආ පොහොර මෙට්‍රික් ටොන් 14,000ක් අපි සතුව තිබුණා. ඒ වගේම මම සමා­ග­ම්ව­ලට ස්තූති­වන්ත වෙන්න අව­ශ්‍යයි. ආර­ම්භක සාක­ච්ඡා­වේදී සමා­ගම් එකඟ වුණා තමන් සතුව තිබෙන යූරි­යා­ව­ලින් 65%ක් ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­න­ව­ලට පැරණි මිලට ලබා­දී­මට. ඒ වගේම නැවත සාක­ච්ඡා­වක් සිදු කිරී­මෙන් පසු ඔවුන් සතුව තිබෙන සියලු පොහොර අපිට ලබා­දී­මට එක­ඟ­තාව පළ කළා. ඒ යූරියා ප්‍රමා­ණය අපිට වී ගොවි­තැන සඳහා නම් මුර දෙක­කට ප්‍රමා­ණ­වත්. හැබැයි තුන්වන මුරය සඳහා අධික මිලට ගත­යුතු වෙනවා. ඊයේ නැවක් ආවා. ඒ නැවේ ව්‍යාපා­රි­ක­යන් හතර දෙනෙක් පොහොර ගෙනාවා. ඒ හතර දෙනාගේ මිල ගණන් තිබෙන්නේ හතර මට්ට­මක. අඩුම එක මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 600. එහි සිට ඩොලර් 850 දක්වා විවිධ මිල ගණන් යටතේ තිබෙ­නවා. ඒ නිසා තුන්වන මුරය වන විට පොහොර මිල ඉහළ යෑමේ අන­තු­රක් තිබෙ­නවා. ඒ නිසා අපි තීර­ණය කළා තුන්වන මුර­යේ­දීත් මේ ලබා දෙන රු.10,200ටම පොහොර ලබා දෙන්න. අර සමා­ග­ම්ව­ලින් ආණ්ඩු­වට අර­ගෙන රුපි­යල් 10,200ක ස්ථාවර මිල­කට ලබා­දී­මට. සමා­ග­ම්වල පොහොර මිටිය රුපි­යල් 13,500 පමණ වෙයි. ඒවා ආණ්ඩුව අර­ගෙන රු. 10,200ට ලබා දෙනවා. එවිට පොහොර මිටි­ය­කට රුපි­යල් 3000ක අති­රේක පිරි­වැ­යක් දැරී­මට සිදු වෙනවා. ආසන්න වශ­යෙන් ගත් විට රුපි­යල් බිලි­යන 1.7ක් ඒ සඳහා වැය වෙනවා. එවිට මේ යල කන්නයේ වී ගොවි­තැන සඳහා යූරියා ස්ථාවර කර­නවා.

මේ පොහොර සහ­නා­ධා­රය ලබා දෙන්නේ ඉතා හොඳ ක්‍රම­වේ­ද­ය­කට. කුඹුරේ ඔවුන් වගා කරන භෝගය කුමක්ද, වීද, අතුරු භෝගද, ඒ අනුව තමයි පොහොර නිර්දේ­ශය ලබා දෙන්නේ. අපි සැල­කි­ල්ලට භාජන කළා තවත් අම­තර සහ­නා­ධා­ර­යක් ලබා­දී­මට. එවිට එය අනෙ­කුත් සහ­නා­ධාර ලබා­දී­මේදී විධි­මත් නිර්ණා­ය­ක­යක් වෙනවා. ඒ අනුව අපි තීර­ණය කළා රුපි­යල් 25,000ට තිබෙන පොහොර සහ­නා­ධා­රය රුපි­යල් 30,000 දක්වා වැඩි කිරී­මට. මේ පොහොර සහ­නා­ධා­රය තුළ අනෙක් විය­දම ඇතු­ළත් වී තිබෙ­නවා. ඒ වගේම විශේ­ෂ­යෙන් යල කන්නයේ කුඹු­රු­වල අති­රේක භෝග වගා කරන ප්‍රමා­ණය වැඩියි, ඒ සඳහා ලබා දෙන රුපි­යල් 15,000ක පොහොර සහ­නා­ධා­රය 18,000 දක්වා වැඩි කිරී­මට අපි තීර­ණය කර තිබෙ­නවා. ඊට අම­ත­රව තේ වගාව සඳහා, මම හිතන්නේ දැන­ට­මත් අපි කුඩා තේ වතු හිමි­යන් සඳහා පොහොර මිටි­ය­කට රුපි­යල් 4,000ක දීම­නා­වක් ලබා දෙනවා. අපි එක­ව­ර­කට පම­ණක් පොහොර මිටි­ය­කට තව රුපි­යල් 5000ක දීම­නා­වක් අම­ත­රව ලබා දෙනවා. මේ සියල්ල ගත් විට ඒ වෙනු­වෙන් අපිට රුපි­යල් මිලි­යන 6500ක් වැය වෙනවා.

ඊළ­ඟට අපි ප්‍රධාන වශ­යෙන් මුහුණ දී තිබෙන ප්‍රශ්නය තමයි අඩු ආදා­ය­ම්ලා­භීන්ට සහ­නා­ධා­ර­යක් ලබා දෙන්නේ කෙසේද කියන එක. අඩු ආදා­ය­ම්ලා­භීන් පිළි­බඳ දැනට අපට තිබෙන එකම නිර්ණා­ය­කය වන්නේ අස්වැ­සු­මයි. ඒ පිළි­බඳ යම් විවේ­චන තිබෙ­නවා. හැබැයි මේ අව­ස්ථාවේ අපට අඩු ආදා­ය­ම්ලා­භීන් හඳු­නා­ගත හැකි නිර්ණා­යක පද්ධ­තිය වන්නේ අස්වැ­සු­මයි. ඒ අනුව අස්වැ­සුම නිර්ණා­යක අනුව දැනට තිබෙන්නේ රුපි­යල් 17,500, 10,000 සහ 5,000 වශ­යෙන්. අස්වැ­සුම ප්‍රති­ලාභ මේ අප්‍රේල් මාස­යට පම­ණක් රුපි­යල් 17,500 මුදල රුපි­යල් 25,000 දක්වාත්, රුපි­යල් 10,000 අස්වැ­සුම මුදල රුපි­යල් 15,000 දක්වාත්, රුපි­යල් 5000 අස්වැ­සුම මුදල රුපි­යල් 7500 දක්වාත් වැඩි කිරී­මට පිය­වර ගෙන තිබෙ­නවා. ඒ අනුව, ඒ සඳහා මේ මාසයේ රුපි­යල් මිලි­යන 8,500ක් අති­රේ­කව වැය කිරී­මට සිදු වෙනවා.

ඊළ­ඟට ගත්තොත් විදුලි බිලේ ප්‍රශ්නය ආකාර තුන­කින් පැන නඟි­නවා. ජලා­ශ­වල ජල මට්ටම පහළ යෑම නිසා අපට වැඩි­පුර තාප බලා­ගා­ර­වල විදු­ලිය නිෂ්පා­ද­නය කිරී­මට සිදු වීම පළ­මු­වැ­න්නයි. දෙවන ප්‍රශ්නය වන්නේ විශේ­ෂ­යෙන් ෆර්නස් ඔයිල්, නැප්තා සහ ඩීස­ල්වල මිල ඉහළ යෑම. තුන්ව­නුව ඔබ හැම­වි­ටම කියන ගල්අ­ඟු­රු­වල ප්‍රමි­තිය අඩු නිසා යම් විදුලි ඒකක ප්‍රමා­ණ­යක් අඩු­වෙන් නිෂ්පා­දන වීම නිසා ඒවා අනික් බලා­ගා­ර­ව­ලින් ගැනී­මට යෑමේදී සිදු­වන අති­රේක විය­දම. ඒ වගේම අපිට දැන් අති­රේ­කව බොර තෙල් පිළි­බ­ඳව ගැට­ලු­වක් පැන නඟි­නවා.

අපිට බොර තෙල් එන්න තිබුණේ ෆුජෙ­යි­රා­ව­ලින්. සිංග­ප්පූ­රු­වෙන්, ඉන්දි­යා­වෙන් අපි පිරි­සුදු කරපු තෙල් ගන්නවා. හැබැයි අපිට බොර තෙල් ගන්න තිබුණේ මැද­පෙ­ර­දිග කලා­ප­යෙන්. බොර­තෙල් එන්න තිබුණු නැවක් ප්‍රමාද වුණා. තව නැවක් එන්න තිබුණා. එයත් ප්‍රමා­ද­යට ලක් වී තිබෙ­නවා. අපිට අප්‍රේල් මාසයේ මැද භාගය වන විට බොර තෙල් නැවක් එනවා. ඒ නිසා බලා­ගාර යම් අන­තු­ර­කට මුහුණ දෙනවා. ඒ අනුව පිරි­ප­හ­දුව අපිට දින කිහි­ප­යක් වසා තැබී­මට සිදු වේවි. මේ පිරි­ප­හ­දු­වෙන් තමයි අපට අවශ්‍ය වන නැප්තා සහ ෆර්නස් ඔයිල් හැදෙන්නේ. ඒ නිසා අපි ඒ අන­තුර කලින් දැකලා ෆර්නස් ඔයිල් වෙනම ආන­ය­නය කිරී­මට තීර­ණය කර තිබුණා. එම නැවත් බොහෝ දුරට අප්‍රේල් 13 සහ 15 යන කාලය ඇතු­ළත එනවා. හැබැයි එත­කොට වෙන දේ තමයි බොර­තෙ­ල්ව­ලින් පිරි­ප­හදු කර ෆර්නස් ඔයිල් ගන්න මිලට වඩා ෆර්නස් ඔයිල් ආන­ය­නය කරන විට දැරී­මට සිදු­වන පිරි­වැය අධික වෙනවා. ඒ වගේම පිරි­ප­හ­දුව දින කිහි­ප­යක් වසා දැමී­මට සිදු වුණොත් ඒ පිරි­ප­හ­දු­වෙන් අවශ්‍ය නැප්තා ප්‍රමා­ණය නිෂ්පා­ද­නය වන්නේ නැත්නම් අපට ඒවා ඩීස­ල්ව­ලින් දුවන්න සිදු වෙනවා. එසේ වූ විට අපේ විදුලි බිලට අති­රේක බල­පෑ­මක් ඇති වෙනවා.

බොර­තෙල් අපි කෙළින්ම ගේන්නේ මැද­පෙ­ර­දිග කලා­ප­යෙන්. ඒ වරා­ය­ව­ලට පහර දෙන පටන් ගත්තා. ඒ නැව් මාර්ග අව­හිර වෙන්න පටන් ගත්තා. එවිට බොර­තෙල් ආන­ය­නය කිරීම ඉතා­මත් දුෂ්කර තත්ත්ව­යක්. එහෙත් දැනට එල්.සී. විවෘත කළ එක ලැබේවි යැයි විශ්වා­ස­යක් අපට තිබෙ­නවා. එවිට බොර­තෙල් හිඟ­වීම නිසා නැප්තා සහ ෆර්නස් ඔයිල් අපට ඩීස­ල්ව­ලින්ම නිෂ්පා­ද­නය කරන්න සිදු වෙනවා. එවිට විදු­ලිය නිෂ්පා­ද­නය කිරී­මට යන පිරි­වැය වැඩි වෙනවා. මේ පිරි­වැ­යට ආකාර කිහි­ප­යක බල­පෑ­මක් තිබෙ­නවා. ජලා­ශ­වල ජල මට්ටම පහළ යෑම නිසා අපට ඉන්ධ­න­ව­ලින් විදු­ලිය නිෂ්පා­ද­නය කිරී­මට යෑම නිසා සිදු වන බල­පෑම. දෙක ඉන්ධන මිල ඉහළ යෑම නිසා විදුලි බිලට ඇති­වන බල­පෑම. තුන ෆර්නස් ඔයිල් සහ නැප්තා වෙනු­වට ඩීසල් පාවිච්චි කරන්න සිදු වීම නිසා ඇති වන බල­පෑම. හතර අපි අපේක්ෂා කරන නිෂ්පා­ද­නය ගල්අ­ඟු­රු­ව­ලින් සිදු නොවීම නිසා ඇති වන බල­පෑම.

පෙරේදා බලා­ගාර සම්පූ­ර්ණ­යෙන් දුවලා තියෙ­නවා. සාමා­න්‍ය­යෙන් අපට බලා­ගා­ර­යෙන් ඒකක 270ක් හැදෙන්න ඕනෑ. බලා­ගාර තුනෙන් එකක් ඒකක 270ක්, අනෙක් එකෙන් 266ක් සහ අනිත් එක ඒකක 244ක් වගේ හැදුණා. එය උච්චා­ව­ච­නය වෙනවා. මෙගා­වොට් 900ක් තිබු­ණාට බලා­ගා­රයේ මෙගා­වොට් 810යි ලැබෙන්නේ. හැම බලා­ගා­ර­ය­ක­ටම මෙගා­වොට් 30 ගානේ වැය වෙනවා අභ්‍ය­න්තර කාර්ය­ක්ෂ­ම­තාව වෙනු­වෙන්. සම­හර අව­ස්ථා­වල 270 හැදෙන්නේ නැහැ. ඇත්ත මේ ගල්අ­ඟු­රු­වල ප්‍රමි­තියේ ප්‍රශ්න­යක් තිබෙ­නවා. එය කිසි­සේත්ම ටෙන්ඩ­රයේ ප්‍රශ්න­යක් නෙවෙයි. සප­යන සමා­ගම අපට නිවැ­රදි පරිදි සප­යන්නේ නැති­කම. නිවැ­රදි ගල්අ­ඟුරු නොමැ­ති­කම. ඒවා පරීක්ෂා කර බලන්නේ නිය­මිත පර්යේ­ෂ­ණා­ගා­ර­ව­ලින්. පට­වන්න පෙර පර්යේ­ෂ­ණා­ගා­රය වාර්තාව එව­නවා ගල්අ­ඟුරු පාස් කියලා. ඊට පසු අපි 80%ක් ගෙව­නවා. ඉතුරු 20% ගෙවන්න අපි නැවත ඉන්දි­යානු පර්යේ­ෂ­ණා­ගා­ර­ය­කින් පරීක්ෂා කර­නවා. කුමක් හෝ හේතු­ව­කට මේ ලැබ් දෙකෙන්ම මේ සම­ත්වීම සිදු වෙනවා. නැව් 3ක් අස­මත් වෙලා තිබෙ­නවා. හැබැයි අනිත් ඒවා පරී­ක්ෂණ වාර්තා­වල සම­ත්වී­මක් තිබෙ­නවා. එහෙත් අපේ පද්ධති කළ­ම­නා­ක­ර­ණය පැත්තෙන් අපට කිය­නවා අවශ්‍ය වන නිෂ්පා­ද­නය අපට ලැබෙන්නේ නෑ කියලා.

ඒ නිසා අපි සම­හර ගල්අ­ඟු­රු­ව­ලට 20% ගෙවීම අත්හි­ටුවා තිබෙ­නවා. සම­හර වාර්තා­ව­ලට අපි පෙනල්ටි තීර­ණය කර තිබෙ­නවා. ඒ වගේම සම­හර ඒවට අපි 80% ගෙව­ලත් නෑ. ඒ නිසා ප්‍රමි­තිය හේතු කර­ගෙන ගල්අ­ඟු­රු­ව­ලින් නිෂ්පා­ද­නය කරන විදු­ලිය අපට ඩීස­ල්ව­ලින් නිෂ්පා­ද­නය කරන්න සිදු වෙන අති­රේක විය­දම තියෙ­නවා නම් එය එම සමා­ග­මෙන් අය කර ගන්නවා. එය කිසි­සේත්ම මේ රටේ පුර­වැ­සි­යන්ගේ විදුලි බිලට එකතු කරන්නේ නැහැ.

මේක අපේ ආණ්ඩුව. ඒවා කොම්පැ­නි­කා­ර­යන්ගේ ආණ්ඩු­ව­ලින් කර ගන්න. පළ­මු­වැනි පාර පෙන­ල්ටිය බැලු­වොත් ඔවුන් අපට නැව දුන්නේ ඩොලර් 98ට. පෙන­ල්ටි­යට අනුව ටොන් එකක් ඩොලර් 64ට අඩු වෙනවා. ඒ තරම් විශාල පෙන­ල්ටි­යක්. අපි දඩ ගහ­නවා. ගෙවන්න අකැ­මැති වුණොත් නඩු යනවා. හැබැයි අති­රේක සාධක ඉන්ධන මිල ඉහළ යෑම, ඔයිල් වැඩි­පුර ඩීස­ල්ව­ලින් නිෂ්පා­ද­නය කරන්න සිදු වීම.

ජල මට්ටම පහළ යෑම නිසා විදුලි බිලට යම් බල­පෑ­මක් ඇති වෙනවා. ඒ අනුව අපි කල්පනා කර තිබෙ­නවා ඉල­ක්ක­ස­හ­ගත ප්‍රජා­වට යම් සහ­න­යක් ලබා දිය යුතුයි කියලා. මේ අප්‍රේල් මාසයේ 01 වැනිදා විදුලි බිල වැඩි වීම කිසි­සේත්ම මේ තත්ත්වය මත සිදු වූ වැඩි වීමක් නොවෙයි. පෙබ­ර­වාරි 01 වැනිදා කරන ලද උප­ක­ල්ප­නය මත තමයි අප්‍රේල් 01 වැනිදා බිලට මේ බල­පෑම ඇති කළේ. අප්‍රේල් මාසේ 01 ගත්තොත් ඒකක 30ට වඩා අඩු අයට මාස­ය­කට රුපි­යල් 15ක වැඩි වීමක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දව­ස­කට ශත 50යි. ඊළඟ එකට රුපි­ය­ලයි. තව එක­කට දව­ස­කට වැඩි වී තිබෙන්නේ එකයි පන­හයි. ඒ නිසා මේ විදුලි බිල වැඩි වීම සිදු වූයේ අර්බු­දය සමඟ නෙවෙයි.

හැබැයි මේ අර්බු­ද­යත් එක්ක අපි දකි­නවා තැන් කිහි­ප­ය­කින් බල­පෑ­මක් එනවා. විදුලිබල මණ්ඩ­ල­යට ඒක මුළු­ම­නින්ම දරා­ගන්න කියන්න පුළු­වන්. එහෙම නැත්නම් ඒක මුළු­ම­නින්ම අපේ භාණ්ඩා­ගා­ර­යට දරා­ගන්න කියන්න පුළු­වන්. එහෙම නැත්නම් ඒක මුළු­ම­නින්ම ජන­තා­වට දරා­ගන්න කියන්න පුළු­වන්. මේ මාවත් තුනෙන් අපි තීර­ණය කර තිබෙ­නවා ඉන් යම් පංගු­වක් ආණ්ඩුව දරා ගන්නවා. යම් පංගු­වක් ජන­තාව දරා­ග­න්නවා. තවත් පංගු­වක් සමා­ගම දරා­ගත යුතුයි කියලා.

ගල්අ­ඟු­රු­වල ප්‍රමි­තිය බාල නිසා හැදෙන විදු­ලි­යෙන් කොටස සමා­ගම දරා­ගත යුතුයි. එසේ නොමැ­තිව එය කිසි­සේත්ම ජන­තාව මත පට­වන්නේ නැහැ. එය ජාතික පද්ධති කළ­ම­නා­ක­රණ සමා­ගම දරා ගත යුතුයි. ඒ අනුව අපි තීර­ණය කර තිබෙ­නවා ඒකක 90ට වඩා අඩු­වෙන් එන අයට ඊළඟ විදුලි බිලේ ඇති වන වෙන­ස්ක­ම­කදී සහ­නා­ධා­ර­යක් ලබා­දී­මට. ඒ සහ­නා­ධා­රය සඳහා අපි මස­කට රුපි­යල් කෝටි 500ක් වෙන් කර­නවා. මාස තුන­කට අපි රුපි­යල් කෝටි 1500ක් වෙන් කර තිබෙ­නවා. ආසන්න වශ­යෙන් දැනට ගණ­නයේ තිබෙන්නේ බිලි­යන 32ක වගේ මාස තුනක පාඩු­වක් සිදු වේවි කියලා. ඉන් බිලි­යන 15ක් ආණ්ඩුව දරා ගන්නවා. ආසන්න වශ­යෙන් බිලි­යන 7ක් අර ගල්අ­ඟුරු ප්‍රශ්නයේ මතු විය හැකියි. එය අය කර ගන්නවා. මේකයි ක්‍රමය. මීට වඩා වෙනස් ක්‍රම­යක් තිබෙ­නවා නම් කියන්න.

මේ අර්බු­දය මේ ආකා­ර­ය­ටම මතු වුණා 2022දී. පන්ද­හසේ කොළ ගහලා බෙදුවා. ඉන්පසු උද්ධ­ම­නය 70%ට ගියා. මුදල් විශාල ප්‍රමා­ණ­යක් මාර්කට් එකට සංස­ර­ණ­යට එවන්න පටන් ගත්තා. බෙදන්න පුළු­වන් වුණත් අනිත් පැත්ත බලන්න. පොලී අනු­පා­තය 33%ට ගියා. ඕ.ඩී. එක 38%ට ගියා. බැඳු­ම්කර පොලිය 30% ඉක්මවා ගියා. ඒවා ඉතා අක්‍ර­ම­වත්. අපි උද්ධ­ම­නය, බැංකු පොලී අනු­පා­තය, ජන­තා­වගේ මිලදී ගැනීමේ හැකි­යාව, භාණ්ඩා­ගා­ර­යට දරාගත හැකි ප්‍රමා­ණය ආදි සියල්ල බල­මින් තම­යි‌ මේ විධි­මත් ක්‍රමය හදා තිබෙන්නේ.

ඔබට මතක ඇති දිට්වා විනා­ශ­යට අති­රේක වශ­යෙන් අපි කෝටි 50,000ක් මහ­ජ­න­තා­වගේ අව­ශ්‍යතා වෙනු­වෙන් යෙද­වුවා. ඒක තමයි ආණ්ඩු කියන්නේ. ඒ වගේම මේ ව්‍යස­නය හමුවේ මා ඉදි­රි­පත් කළ සහන පැකේ­ජ­යට අදාළ යෝජනා තුළ රුපි­යල් බිලි­යන 100ක් තිබෙ­නවා.

මා හිතන්නේ මේ වෙලාවේ අපි ජන­තා­වට සහ­න­යක් දිය යුතුයි. ජන­තාව බලා ගත යුතුයි. ඒ වෙනු­වෙන් අපට දරාගත හැකි පරිදි බිලි­යන 100ක වැය ශීර්ෂ­යක් මාස තුන­කට අපි ඉදි­රි­පත් කර තිබෙ­නවා. හැබැයි මේ තත්ත්වය තව­දු­ර­ටත් වර්ධ­නය වෙනවා නම් නැවත අපි ඔබ ඉදි­රි­යට පැමිණ යෝජනා ඉදි­රි­පත් කර­න්නම්. එදාට එය සම්මත කර දෙන්න. බැංකු පොලී අනු­පාත 10%ට වඩා යටින් පව­ත්වා­ගෙන යන්නත්, උද්ධ­ම­නය 5%ට වඩා පහ­ළින් පව­ත්වා­ගෙන යන්නත් අපි උත්සාහ කර­නවා. ඩොල­රයේ වටි­නා­කම ඉහළ ගියොත් ඒක අපිට නැවත බල­පෑ­මක් ඇති කර­නවා. මේ තිබෙන තත්ත්ව­යට අනු­රූ­ප­වයි අපි සහන ලබාදී තිබෙන්නේ. මැයි මාසයේ අග දක්වා අඛණ්ඩ බල­ශක්ති සැප­යුම සහ අඛණ්ඩ ඉන්ධන සැප­යුම අපි සහ­තික කර­නවා. ඒ සඳහා ඉන්ධන සහ­නා­ධා­රය ලබා­දෙ­නවා. අග­මැති මෝදි සමඟ කළ සාක­ච්ඡා­වේදී ඉන්ධන ලබා­දී­මට එක­ඟ­තාව පළ කර තිබෙ­නවා. අපි ඒ පිළි­බ­ඳව මෝදි අග­මැ­ති­තු­මාට ස්තුති­වන්ත වෙනවා. ඒ වගේම චීන රජ­යත් අපට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන ප්‍රමා­ණ­යක් ලබා­දී­මට කැමැත්ත පළ කර තිබෙ­නවා. චීන තානා­ප­ති­ව­රයා චින­යට ගිහින් රජ­යත් සමඟ සාකච්ඡා කර අපට ඒ ගැන දැනුම් දී තිබෙ­නවා. රුසි­යානු රජ­යත් අපට ඉන්ධන ලබා­දී­මට එක­ඟ­ත්වය පළ කර තිබෙ­නවා. පසු­ගි­යදා රුසි­යානු බල­ශක්ති ඇමැ­ති­ව­රයා අපේ රටට ඇවිත් ඒ ගැන සාකච්ඡා කළා. ඒ වගේම රුසි­යානු විදේශ කට­යුතු නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යාත් ලංකා­වට ඇවිත් අප සමඟ සාකච්ඡා කළා. ඔවුන් අපට ඉන්ධන ලබා­දී­මට සූදා­නම්. ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­රයා අපට අව­ස­රය ලබාදී තිබෙ­නවා අප්‍රේල් 11 දක්වා රුසි­යාව සමඟ ගනු­දෙනු කිරී­මට. ඒක තව දීර්ඝ වෙයිද? නැද්ද? කියලා අපි දන්නේ නැහැ. කොහොම වුණත් රාජ්‍ය­තා­න්ත්‍රික වශ­යෙන් අපි මේ ඉන්ධන සැප­යුම අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යෑමට අවශ්‍ය මැදි­හත් වීම් සිදු­ක­ර­මින් යනවා.

ඒ වගේම, මේ මිලදී ගැනීම් සිදු­ක­රන්න ජාත්‍ය­න්තර බැංකු­වල එක­ඟ­ත්වය තිබෙ­න්නත් ඕනෑ. ඒක අපට විත­රක් නෙවෙයි ලෝකයේ කුමන රට­ටත් බල­පා­නවා. අපි රජ­යක් ලෙස අඛණ්ඩ ඉන්ධන සැප­යුම වෙනු­වෙන් ඔබ­තු­මන්ලා පාර්ලි­මේ­න්තු­වේ­දිත් ඉන් පිට­ත­දීත් ඉදි­රි­පත් කරන අද­හස් සහ යෝජ­නාද සැල­කි­ල්ලට ගනි­මින් අවශ්‍ය රාජ්‍ය­තා­න්ත්‍රික මැදි­හත් වීම සිදු­ක­ර­නවා.

රුපි­යල් යම් ප්‍රමා­ණ­ය­කට අව­ප්‍ර­මා­ණය වී තිබෙ­නවා. විදෙස් සංක්‍රා­ම­වල අඩු­වක් නැහැ. සෑම මාර්තු මාස­ය­ක­ටම වඩා මේ වසරේ මාර්තු මාස­යේදී ලැබී තිබෙන විදෙස් සංක්‍රාම ප්‍රමා­ණය වැඩියි. සංචා­රක කර්මා­න්තයේ සීසන් එක අව­සන් වෙමින් තිබුණේ. දැන් සංචා­ර­ක­යන් එන්නේ යුද­මය ගැටුම් කලා­ප­යෙන් නෙවෙයි අනෙක් පැත්තෙන්. අපි මාර්තු මාස­යේදි සංචා­ර­ක­යන් ලක්ෂ තුනක් බලා­පො­රොත්තු වුණත් ඇවිත් තිබෙන්නේ 150,000ක විතර ප්‍රමා­ණ­යක්. ඒ නිසා එහි අඩු­වක් තිබෙ­නවා. එයින් ලැබෙන විදෙස් සංක්‍රාම අඩු­වක් තිබෙ­නවා.

අපි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ඉතා­මත් හොඳ සාක­ච්ඡා­වක් කර තිබෙ­නවා. පාර්ලි­මේ­න්තුවේ පක්ෂ නාය­ක­යන් සමඟ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සාක­ච්ඡා­වක් යොදා­ගෙන තිබුණා. කථා­නා­ය­ක­ව­රයා දිග ලැයි­ස්තු­වක් යවලා තිබුණා පක්ෂ නාය­ක­යන්ගේ. එහෙත් ඇවිත් තිබුණේ හත­රක් වගේ කියලා තමයි දැන­ගන්න ලැබුණේ.

ඕනෑම පක්ෂ­ය­කට ඒ සාකච්ඡා වර්ජ­නය කරන්න පුළු­වන්. ඒක ඔවුන්ගේ අයි­තිය. එහෙත් අපි ඉතා­මත් ඵල­දායී සාක­ච්ඡා­වක නිර­තව සිටි­නවා. අපි උත්සාහ කර­නවා බ්‍රහ­ස්ප­තින්දා වන විට මාණ්ඩ­ලික මට්ටමේ ගිවි­සුම මෙහෙ­දීම අත්සන් කරන්න. වෙන­දාට මෙහෙදී සාකච්ඡා කරලා, ගිවි­සුම අත්සන් කරන්න අපි එහේ යන්න ඕනෑ. ඒත් මේ වතාවේ මෙහෙ­දීම අත්සන් කරන්න සූදා­න­මක් තිබෙ­නවා. එහිදී පහ සහ හය වාරික දෙකම එකට ලැබෙ­නවා. එහෙම වුණොත් මැයි අව­සන් වීමට පෙර ඩොලර් මිලි­යන 700ක් ලැබෙ­නවා.

ඒ වගේම, ආසි­යානු සංව­ර්ධන බැංකුවේ නියෝ­ජි­ත­යන් කණ්ඩා­ය­මක් පසු­ගිය දින­වල ලංකා­වට ආවා. ඔවුන් මේ වසර තුළ ඩොලර් බිලි­යන 1.2ක ප්‍රදා­න­යක් ලබා­දී­මට එක­ඟ­ත්වය පළ කර තිබෙ­නවා. ඒ වගේම ලෝක බැංකු­වෙ­නුත් යම් ප්‍රදා­න­යන් කිරීම ගැන එක­ඟ­තාව පළ වී තිබෙ­නවා. ඒ අනුව විදෙස් සංචි­ත­වල අඩු­වක් වීමේ අව­දා­නම අඩුයි. අපි වෙළෙ­ඳ­පො­ළෙන් මිලදී ගැනීම අඩු කර තිබෙ­නවා. එහෙත් අපිට ණය වාරික ගෙවන්න සිදුව තිබෙ­නවා. ඒ නිසා මැයි අව­සන් වන විට විදෙස් සංචි­ත­වල අඩු­වක් විය හැකියි. එහෙත් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් සහ ආසි­යානු සංව­ර්ධන බැංකු­වෙන් ලැබෙන ප්‍රදා­න­යන් සමඟ මේක වෙනස් කර ගන්න හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *