මියන්මාරට ලක් රඡයෙන් ඩොලර් මිලියනයක්.ආධාර රැගත් පලමු ගුවන් යානයත් පිටත්ව යයි.

මියන්මාරයේ සිදු වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට කැබිනට අනුමැතිය ලැබී තිබේ.රජය සඳහන් කළේ, මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මෙහෙයවීම මත රැස් කරනු ලබන ද්‍රව්‍යමය ආධාර කඩිනමින් මියන්මාරයේ ජනතාවට ලබා දීම සඳහා රජයේ මැදිහත්වීමෙන් අවශ්‍ය පියවර ගන්නා බව යි.මේ අතර  මියන්මාරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය (05 වැනිදා) මියන්මාරය බලා පිටත්ව ගියා.

මෙම ගුවන් යානය මගින් වෛද්‍ය කණ්ඩායමක් සහ විපතට පත් ජනතාව මුදවා ගැනීම සඳහා මුදවා ගැනීමේ කණ්ඩායමක් මෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් යුතුව රැස් කරගන්නා ලද මානුෂීය ආධාරද රැගෙන යනු ලැබුවා.

එමෙන් ම, වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත සහන සේවා කණ්ඩායමක් අවශ්‍ය ඕනෑ ම අවස්ථාවකදී මියන්මාරය වෙත යැවීමට සුදානම් බව රජය සඳහන් කළේ ය.මාර්තු 28 වන දා සිදු වූ ප්‍රබල භුකම්පනය හේතුවෙන් මියන්මාරයේ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර මේ වන විට විශාල පිරිසක් මිය ගොස් තිබේ.එසේ ම, පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති අතර තවත් විශාල පිරිසක් එම සිදුවීම හේතුවෙන් අනතුරුවලට ලක් වී රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ අතර මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට ස්තූතිය පළකර තිබේ. ඒ මියන්මාරය ආශ්‍රිතව වාර්තා වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ විනාශය පිළිබඳව මියන්මාර රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් යොමු කළ ශෝක පණිවුඩයට ප්‍රතිචාරයක් දක්වමිනි. Than Swe මහතා ස්තූතිය පළ කළේ ඒ පසුගිය (02 වැනිදා) පෙරවරුවේ අමාත්‍ය විජිත හේරත් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගනිමිනි.
භූ කම්පනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍යවරු කණ්ඩායමක් මියන්මාරයට යැවීමට දැක් වූ උනන්දුව, හදිසි සහන සහ මානුෂීය ආධාර මියන්මාරයට ලබා දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වීම පිළිබඳව ද ශ්‍රී ලංකා රජයට සහ මහජනතාවට Than Swe මහතා මෙහිදී කෘතවේදය පළ කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *