පරිවර්තන කවි

මල්බෙරි ගස

මට මතක ඇති කලෙක සිට
ඔබ උස් ව වැඩුනා මෙතැන
එබී මේ පවුරෙන් මෙපිටට

චීනය ගැන වත්
සේද පණුවන් ගැනවත්
දැනගන්නට පෙර
හැඳිනුවා මා ඔබේ ඵල

ඔබේ දම් පැහැය
පොඩිවී මගේ දෙපයට
පැතිරුණා මිත්තනියගේ පලස් මත

කවුරුන් හෝ නැවක නියමුවෙක්
අනාගතයට සෙවනක් මවන්නට
මෙහි මේ පැලය සිටුවන්නට ඇත

මේ සිසිරයේ දී රථයක් ගැටී
අහිමිවුණා ඔබේ පහත අත්තක්
ජීවිත කාලයක්ම
ඔබව හැඳිනූ ඒ මැහැල්ල
වැළපුනා, ඒ තුවාලය දැක

කිසිම මුහුණකට වඩා
රැළි වැටී ඇත ඔබේ මතුපිට
ඉතා සෙමෙන් දිවි ගෙවන්නෙකි ඔබ

ඔබට අපේ කටහඬ ඇසෙන්නේ
සලබ පියපත් හඬ ලෙස ද?
ඔබට අප ව පෙනෙන්නේ
දුක්බරම දේ වෙත ලූ නැංගුරම්
තදින් අල්ලාගත්
මුල් අහිමි වූවන් ලෙසද ?

Translation of the poem ‘Mulberry’ by Craig Arnold ( 1967- 2009)

ඇමෙරිකානු ජාතික කවියෙකු වන Craig Arnold, University of Wyoming හි කාව්‍යකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් විය. ඔහු තම නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක් දිනා තිබේ. 2009 දී කවි පොතකට කරුණු සෙවීමට ජපානයේ ගිනි කඳු සහිත දූපතක සංචාරයේ යෙදුණු Arnold ඒ ගමනේදී අතුරුදන් වී තිබේ.

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක

Hot Chocolate days බ්ලොග් අඩවියෙන්. https://hotchocolatedays.blogspot.com/

 *අවසර ඇතිව උපුටා ගැනුනකි

නොගිය මග ....

කහ පැහැති වන තුරුපතර
දෙමගක් දෙපසට බෙදී ඇත
අහෝ එක් මගියෙක්මි මම

 දෙමගෙහිම යා නොහැකි එකවර


බොහෝ වේලා ගත කොට
බැලුවෙමි එක් මගක් දෙස
වැටී ඇත ඒ මාවත
සරුවට වැඩුණු වන මැද

ඉන්පසු බැලිමි දෙවැනි මග
වල් බිහිව ඇත එහි තදින්
එනමුදු ගතිමි ඒ මග
කිසිවකුත් එය නොමගත් හෙයින්

නොපෑගුණු තුරුපත්
වැටී ඇත දෙමගෙහිම
පා සටහනක්වත්
වැටී නැත ඒ මතින්.

වෙනත් දිනයක පැමිණ
ගනිමි මම පළමු මග
සිතා එතැනින් ගියද
යළිත් කවදාවත්ම එහි
පැමිණෙනු හැකිවෙයිද
පැන නැගිණ කුකුසක්
මා හදවත පතුළ

යුග ගණනකට පසු
කියනු ඇත මා මෙලෙස
හදවතින් නැගෙනා
සුසුමක්ද සමගින් :

"කහ පැහැති තුරු අතර
දෙමගක් දෙපසට බෙදිණි
ගතිමි මම එතැනින්
කිසිවෙකුත් නොමගත් මගම
එබැවිණි වෙනස් වූයේ
මගේ මුළු දිවියම"


රොබට් ෆ්‍රොස්ට් (1874-1963)

පරිවර්තනය නිලූක කදුරුගමුව 

පරිවර්තන බ්ලොග් අඩවියෙන් .  http://nilukakadurugamuwa.blogspot.com/

*අවසර ඇතිව උපුටා ගැනුනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *