

ලක්ෂ සංඛ්‍යාත සැහැදැවතුන් සාධුකාර දෙමින් සෙංකඩගල නගරයට පිළිවෙතින් පෙළගැසෙන "සිරි දළදා වන්දනාව" ට ගෙවුණු 24 වැනිදාට දින 07 සම්පූර්ණ විය.ඒ අනුව පලමු දින 07 තුල බැතිමතුන් ලක්ෂ 07 ක් පමණ දළදා වහන්සේ වැදපුදාගෙන තිබිණි.
මේ අතර සිරි දළදා වහන්සේ වන්දනා කිරීමේ අරමුණික් ලක්ෂ 04කට අධික බැතිමතුන් පිරිසක් පෝලිම්වල පසුගිය (23) වැනිදා සවස් වන විට ඒකරාශී වී සිටි බැවින් නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.
දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට පසුගිය 24 වැනිදා එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවය.
තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඒ මහතා පැවසීය.
මේ අතර දළදා වන්දනාවට පැමිණි තිදෙනෙකු මේ වනවිට මිය ගොස් ඇතැයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක ඉරේෂා ප්‍රනාන්දු පැවසීය.මිය ගිය පිරිස අතර 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 74 සහ 80 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනකු වන බවයි වෛද්‍යවරිය කියා සිටියේ.මෙම මරණකරුවන් පිළියන්දල, ගලගෙදර, ගල්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි ඇය වැඩිදුරට ත් සඳහන් කලේ.
මේ අතර පසුගිය (24) වැනිදා සහ (25)වැනිදා සිරි දළදා වන්දනාව වෙනුවෙන් පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුණා.
ගෙවුනු දින දෙක තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් බැතිමතුන් පිරිසක් පෝලිම්වල රැඳී සිටි බැවින් මෙම ඉල්ලීම කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. දැනට පෝලිම්වල රැඳී සිටින බැතුමතුන් හඳුනාගැනීම සඳහා ස්ටිකරයක් ඊයේ රාත්‍රිෙය් සිට නිකුත් කිරීමට කටයුතු කළ බව මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ෙපාලිස්පති ලලිත් පතිනායක මහතා සඳහන් කළේය. ලක්ෂ හතරකට අධික පිරිසක් පෝලිම්වල රැඳිසිටින බැවින් එම ජනතාව හැසිරවීම සඳහා යුද හමුදාවේ අතිරේක භට කණ්ඩායම් පවා කැඳවීමට සිදුව ඇති බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසීය.
සිරි දළදා වහන්සේ වන්දනා කිරීමේ අරමුණින් පසුගිය (23) වැනිදා පස්වරුව වන විට ලක්ෂ හතරකට ආසන්න සැදැහැවතුන් පිරිසක් පෝලිම්වල රැඳී සිටි බව ගණනය කර තිබුණේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය මඟිනි.එම ආයතනය මඟින් පසුගිය (22) වැනිදා සිදු කළ ගණනය කිරීමට අනුව එදින 65,000ක පමණ පිරිසක් දළදා වහන්සේ වන්දනා කරගෙන තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේය.
මෙම දත්ත අනුව ඉදිරි දින හතරක කාලයේදී දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට තරම් පිරිසක් පසුගිය (23)වැනිදා පස්වරුව වන විට පෝලිම්වල රැඳී සිටින බව සංවිධායකයන්ට පෙනී ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමත් තේවාව භාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දියවඩන නිලමේවරයාත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් පසුගිය (23)වැනිදා පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.
පවතින තත්ත්වය අනුව දළදා වහන්සේ වන්දනා කිරීමට අලුතින් පෝලිම්වලට එකතු වන සැදැහැවතුන්ට දළදා වන්දනාව නිමා කිරීම සඳහා දැනට තීරණය කර තිබෙන 27 වැනිදා වන විට දළදා වහන්සේ සියැසින් දැක වැඳ පුදා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය මඟින් සැදැහැවතුන් ගණනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුවය. මෙම ගණනය කිරීම AI තාක්ෂණය ඔස්සේ සිදු කර තිබේ. ස්වේඡාවෙන් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය ඉංජිනේරු අතුල ලියන්ගේ හා දිනුක සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. දළදා වන්දනාව සඳහා පැමිණෙන ජන සංඛ්‍යාව විධිමත් පරිගණක තාක්ෂණ ක්‍රමවේදයකට අනුව ගණනය කිරීම තම සංගමයේ අරමුණ බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහාය මෙයට ගත් බවත් ඉංජිනේරු දිනුක හෙට්ටිආරච්චි මහතා කීය. පසුගිය (23)වැනිදා සවස් වන විට වැඩිම ජන පිරිසක් මහනුවර වැව රවුමේ ඇති පිවිසුම් මාර්ග දෙකේ රැඳී සිටින බවත් එම සංඛ්‍යාව ලක්ෂ දෙකකට වැඩි බවත් ඒ මහතා පැවසුවේය.
දළදා වහන්සේ සියැසින් දැක වන්දනා කිරීමේ අරමුණින් මහනුවරට පැමිණ පෝලිම්වලට එක්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව හේතුවෙන් මහනුවර යාපනය ඒ-09 මාර්ගයේ කටුගස්තොට දක්වා අධික වාහන තදබදයක් ඇති වීම නිසා එක් මංතීරුවක් සැදැහැවතුන් වෙනුවෙන් වෙන් කර අනෙක් මංතීරුවේ පමණක් වාහන ගමනා ගමන කටයුතු සඳහා අවස්ථාව සලසා දීමට පොලීසිය පියවර ගත්තේය.
අම්පිටිය රතු බෝක්කුව ආසන්නයේ ද දැඩි මාර්ග තදබදයක් නිර්මාණය වීම නිසා මාර්ගය අවහිර වන සේ රැඳී සිටි පිරිස පාලනය කිරීමට යුද හමුදාව යෙදවීමට සිදුවිය. මේ හේතුවෙන් එම මාර්ගයේ ගිලන් රථ ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල විය. මේ අතර 'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය පසුගිය(24) වැනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය.
සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළයෑමත් සමග යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ.
පසුගිය (23) පෙරවරුවේ රැස්වූ සිරි දළදා වන්දනා කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.එදින දහවල් වන විට 250,000කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාවට පැමිණ ඇති අතර ඉදිරි දිනවල මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ.
මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් හැසිරවීමේ කටයුතු පොලීසියට පමණක් සිදුකළ නොහැකි බැවින් යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඒ සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත.
මීට අමතරව සැදැහැවතුන් සඳහා සැපයෙන පහසුකම් සම්බන්ධයෙන් ද සිරි දළදා වන්දනා කමිටුවේදී වැඩි අවධානයක් යොමු කර තිබේ.