පාප් වහන්සේ වෙන්න කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ටත් අවස්ථාවක්.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නික්ම යෑමත් සමඟ එම තනතුරට කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පත්වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම මත පළ කර තිබෙනවා.

Washington Examiner පුවත්පත, පාප් තනතුරට මීළඟට පත්වීම සඳහා වඩාක් හැකියාවක් පවතින පිලිපීනයේ කාදිනල් ලුයිස් ටැගල්(Luis Tagle), ප්‍රංශයේ කාදිනල් ජීන්-මාක් ඇවලීන් (Jean-Marc Aveline) සහ ඉතාලියේ කාදිනල් පියෙට්‍රෝ පැරොලින් (Pietro Parolin) වැනි කාදිනල්වරුන් අතරට කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ද ඇතුළත් කර තිබෙනවා.

USA Today ඉදිරිපත් කර ඇති වාර්තාවක් මඟින්ද මැටියෝ සුප්පි (Matteo Zuppi), ජෙරාඩ් මුලර් (Gerhard Müller), රොබට් සාරා (Robert Sarah) සහ රේමන්ඩ් බර්ක් (Raymond Burke) ඇතුළු ගෝලීය වශයෙන් පාප් තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති කාදිනල්වරුන්ගේ ලැයිස්තුව අතරට මැල්කම් රංජිත් හිමිපාණන්ගේ නමද එක් කර තිබුණා.

එමෙන්ම, The Times of India පළ කළ විශ්ලේෂණයක දැක්වෙන්නේ, ගතානුගතික දේවධර්මීය අදහස් දැරීම සහ ගෝලීය දකුණ නියෝජනය කිරීම යන හේතු මත එතරම් ප්‍රසිද්ධියක් උසුළන අපේක්ෂකයෙකු නොවුණත් මැල්කම් රංජිත් හිමිපාණන්ට පාප් තනතුර හිමිවීමේ හැකියාවක් පවතින අතර ඔහු අපේක්ෂකයින් අතර ‘කළු අශ්වයෙකු’ මෙන් දිස්වන බවයි .

මේ වන විට, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානයේ වැඩබලන ප්‍රධානියා ලෙස ඇමරිකාවේද කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් පත් කර තිබෙනවා

ඒ අනුව ඊළග පාප් වහන්සේ තොරාගන්නා තෙක් කැමරලෙන්ගෝවරයා ලෙස ෆැරල් කාදිනල් හිමිපාණන් කටයුතු කරනු ඇති.

නව පාප්වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගනු ලබන්නේ දින 15යි 20යි අතර කාලයකින් පසුවයි.. දැනට ධුර දරන කාදිනල්වරු 252 දෙදෙනාගෙන් සුදුසුකම් ලැබූ 138 දෙනෙකුගේ ඡන්දයෙන් නව පාප්වහන්සේ තෝරා ගැණෙනු ඇති.

මේ අතර, මෙරටින් පාප්වරයෙකු බිහිවීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කළේ ලෝක ජනමාධ්‍ය තුළ කාදිනල් රංජිත් හිමියන් මීළඟට පාප් තනතුරට පත්වීමට නියමිත අපේක්ෂකයින් අතර පෙරමුණේ පසුවන බවට වාර්තා කර තිබූ බවයි.

මෙම වාර්තා පළ වෙන්නේ ජනප්‍රියතාවය උපයෝගී කරගනිමින් බවත් කතෝලික සභාවේ විශේෂ අවදානයකට ලක්වූ කාදිනල් හිමිපාණන් කෙනෙක් වශයෙන් මැල්කම් රංජිත් පියතුමන් සම්බන්ධයෙන් මෙවැනි අදහස් පළ වන බවත් ඔහු පෙන්වා දුන්නා.

“ලෝකයේ ඉන්න සියලුම අය බලාගෙන ඉන්නවා ඊළඟ පාප්වහන්සේ වෙන්නේ කවුද කියන එක, ඒ සඳහා සුදුසුකම් ලබන්නේ කාදිනල් හිමිපාණන්ලා, ඒ අයගෙනුත් අවුරුදු 80ට අඩු අය තමයි පාප් ධූරය සඳහා තෝරාගැනීමේ “කොන්ක්ලේව්”කියන අවස්ථාවට සහභාගී වන්නේ,

අද එලෙස සුදුසුකම් සපුරා ඇති කාදිනල්වරු 135දෙනෙක් ඉන්නවා, ඒ 135 දෙනා වතිකානායට ඇවිල්ලා ඒ “කොන්ක්ලේව්” කියන පිළිවෙත සඳහා වතිකානයේ සිස්ටයින් චැපල් කියන දේවස්ථානයට යනවා, මයිකල් ආන්ජෙලෝ කියන චිත්‍ර ශිල්පියා චිත්‍ර ඇඳලා තියෙන දේවස්ථානයට තමයි මේ සිස්ටයින් චැපල් කියන්නේ”

මීළඟට පාප් ධූරයට පත් වෙන පුද්ගලයා තෝරාගන්න ඡන්දයක් පැවැත්වෙනවා, මේ ඡන්දයත් මනුෂ්‍ය මට්ටමින් සිදුවෙන ඡන්දයක් නෙමෙයි කියලා තමයි  වතිකානය පවසන්නේ, විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ ඒ කාදිනල්වරු යාඥාවෙන් තමයි මුළු කාලයම ගත කරන්නේ, විශේෂයෙන්ම යාඥා කරලා තමයි ඡන්දය පාවිච්චි කරන්නේ, මේ ඡන්දයෙන් 2/3ක් ගන්න කාදිනල්වරයා තමයි පාප් ධූරයට පත්වෙන්නේ”

“සෑහිමකට පත් වෙන්න තරම් ඡන්ද නොලැබුණොත් ඒ පත්‍රිකා නොලැබුණොත් ඒ පත්‍රිකා පුළුස්සා දමනවා , එතකොට වතිකානයේ දුම් කවුළුවෙන් කළු දුමක් තමා එන්නේ, එතකොට ඒ පණිඩෙන් දැනගන්නවා පාප් වහන්සේ කෙනෙක් පත් වුණේ නැහැ කියලා තවම, මේ වගේ ඡන්ද කිහිපයක් පැවැත්වෙන්න පුළුවන්”

“මේ කාලය පුරාවටම සිස්ටයින් දේවස්ථානයේ දොරගුළු අඟුළු දමලා තියෙන්නේ, පිටස්තර කිසිම කෙනෙකුට යන්නට බැහැ, කිසිම පුද්ගලයෙකු සමඟ. සම්බන්ධතාවයක් පවත්වන්න බැහැ, කාදිනල් හිමිපාණන්වරුන්ට එළියට එන්නට බැහැ, මේ ඡන්දය මනුෂ්‍ය බලපෑමකින් තොරව කළ යුතු දෙයක් දෙවියන්වහන්සේගේ අනුභාවයෙන් මඟ පෙන්වීමෙන් කළ යුතු දෙයක් කියන එක තමයි ඒකෙ  ප්‍රකාශයට පත් වෙන්නේ..:

“2/3 ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණොත් එම ඡන්ද පත්‍රිකා පුළුස්සන්නේ විශේෂ ද්‍රව්‍යයක් යොදලා දුම් කවුළුවෙන් සුදු පාට දුමක් නැගෙන ආකාරයට, ඒ දුමෙන් පස්සෙ එළියෙ ඉන්න ජනතාව ප්‍රීතියෙන් ඝෝෂා කරනවා අපට පාප්වහන්සේ කෙනෙක් ඉන්නවා කියන සතුටට,ඒ විදියට තමයි අලුත් පාප්වහන්සේ තෝරා පත් කරගන්නේ”

“ ඉන් පසුව සුළු වෙලාවකින් නව පාප්වහන්සේ ජනතාව ඉදිරියට එනවා , පාප් ධූරයේ ඇඳුම් ආයිත්තම් ඇඳගෙන, පාප් වහන්සේට ඉඩකඩ තියෙනවා විශේෂ නමක් තෝරාගන්න, සාමන්‍යයෙන් ඔවුන්ගේ මුල් නම භාවිත කරන්නේ නැහැ, නමක් තෝරගත හැකියි, නම ප්‍රකාශයට පත් කරලා , වතිකානයේ විශේෂ කවුළුවෙන් එළියට ඇවිත් ජනතාවට ආශිර්වාද කරලා, ජනතාවට කතා කරනවා, එතනින් තමයි ජනතාව දැනගන්නේ ඊළඟ පාප්වහන්සේ පිළිබඳව”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *