ගැහැණු ළමයි සමඟ කෑන්ස් රතු පලසට ගිය ටොරොන්ටෝවේ අජිත් අය්යා

https://en.wikipedia.org/wiki/Gehenu_Lamai

ප්‍රවීණ නවකතාකරු කරුණාසේන ජයලත් ගේ ගැහැණු ළමයි නවකතාව ඇසුරින් 1978 දී සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කල ගැහැණු ළමයි චිත්‍රපටය සංරක්ෂණය කරමින් 2025 මැයි මස 17 වැනිදා ප්‍රංශයේ සුප්‍රකට කෑන්ස් චිත්‍රපට උළෙලේදී තිරගත වුනා.එම අවස්ථාවේ එම චිත්‍රපටය නියෝජනය කරමින් රතු පලස මතින් ගමන් කලේ ප්‍රධාන නළු අජිත් ජිනදාස, ප්‍රධාන නිළි වසන්ති චතුරාණි , නිළි ශ්‍යාමා ආනන්ද සහ තවත් පිරිසක් . අජිත් ජිනදාස මහතා ටොරොන්ටෝවේ අප සමග ඉන්නා කෙනෙක් . ශ්‍යාමා ආනන්ද මහත්මියත් කැනඩාවේ වාසය කලත් මේ වනවිට ශ්‍රී ලංකාවේ පදිංචි බවයි පැවසෙන්නේ. නුදුරු දිනක රූපණ වෙබ් රූපවාහිනිය තුලින් ඔවුන්ගේ ඒ අත්දැකීම් බෙදාගැනීමේ අදහසක් තිබෙනවා. මේ ඒ හා බැදුණු මුහුණු පොත් සටහන් වලින් කිහිපයක්.

As the restored “Gehenu Lamai” gets set for its world premiere at the Cannes Film Festival in a few days, here’s looking back at the life of the remarkable filmmaker known as the Poetess of Sri Lankan Cinema.

Accomplished film editor, filmmaker, film producer and diplomat, Sumitra Peries was a woman of many parts and a pre-eminent figure in the world of Sri Lankan cinema.

She was born Sumitra Gunawardena on 24 March 1935 in a village some 30 miles from Colombo. Just before she turned 21, she boarded a ship to the Mediterranean to meet her brother and they drove to Malta where he had anchored a yacht. They proceeded to live a bohemian existence dropping anchor in ports across the Mediterranean and meeting interesting people including Roger Vadim and Brigitte Bardot.

After her brother returned to Sri Lanka, she met her future husband, the legendary Sri Lankan filmmaker Lester James Peries, at the Ceylon Legation in Paris. Lester advised Sumitra to leave for England where she enrolled at the London School of Film Technique (LSFT) in Brixton, where she was the sole female student in a class of mostly white, middle-class males. She returned to Sri Lanka, where she worked as an assistant director on Lester’s 1960 film Sandesaya (The Message). Four years later, they were married.

After working her way up in the industry as an editor, including on a few of her husband’s films, Sumitra directed Gehenu Lamai, which became a resounding success, at home and abroad. Its success emboldened her to make nine more films, all of them centring on female protagonists. In addition to her work in film, she also served in a number of official and academic posts, before departing for Paris as Ambassador Extraordinary and Plenipotentiary for France and Spain from 1995 to 1998.

Sumitra Peries died on January 19, 2023 at the age of 87.

Lead actress Wasanthi Chathurani, who made a remarkable debut with Sumitra Peries' 'Gehenu Lamai' (1978), expresses her emotions at FHF's restoration of the film and its world premiere at the Festival de Cannes this year. Wasanthi Chathurani will be presenting the film at Cannes along with her co-actors Ajith Jinadasa and Shyama Ananda on May 17 at 4 pm at the Salle Bunuel.

https://www.facebook.com/filmheritagefoundation

දශක හතරකට පසු යළි හමු වූ 'ගැහැනු ළමයි' | රැස | 2019 මාර්තු 05

"රංජනීට උපන්දින උත්සවයක දී මාමා කෙනෙකුගෙන් බෝනික්කෙක් ලැබුණු දා මම තදින් හැඬුවෙමි. එකල මගේ වයස කීයදැයි කීමට මතක නැතත් මා පාසල් නොගිය කාලය බව නම් ස්ථිරව ම කිව හැකිය. ලොකු නංගී නිදා සිටි පැදුර මත වැතිරගත් මම හඬන්නට පටන් ගතිමි.මා හැඬුවේ රංජනී වෙතතිබුණු බෝනික්කා ගැන නොවේ. හෙට මට අම්මා ගෙනත් දෙතැයි සිතාගෙන සිටි-දැන් අහිමි වී තිබෙන-මගේ බෝනික්කා මතක් වීමෙනි" 1966 වසරේ විශිෂ්ඨතම නවකතාව ලෙස සම්මානයට පාත්‍ර වූ 'ගැහැනු ළමයි" කෘතිය එලෙස ඇරඹූ කරුණාසේන ජයලත් සූරීන් ලියනගේ දෝන කුසුමාවතී ගේ අනාගත ඉරණම් කතාව ම එක් ඡේදයකට කැටි කළේ ය. නිමල් හතුරුසිංහ ගේ සහ කුසුම් ගේ ආදර පුවත මුද්‍රිත පොතක අකුරු අතර ම සිර වී තිබිය යුතු නැතැ යි සිතූ සුමිත්‍රා පීරිස් එය 'ගැහැනු ළමයි' නමින් ම 1978 වසරේ දී සිනමාවට නැගුවා ය. එතෙක් කල් රිදී තිරයේ දක්නට ලැබුණු පරිණත සහ වැඩිහිටි පෙම්වතුන් පෙම්වතියන් වෙනුවට සුමිත්‍රා ලාබාල සහ නවක මුහුණු කිහිපයක් තම නිර්මාණය පිණිස තෝරා ගත්තා ය. කුසුම් ගේ චරිතය ට වසන්ති චතුරානි ද, නිමල් හතුරුසිංහ ගේ චරිතයට අජිත් ජිනදාස සහ පද්මිණී සේනාරත්න ගේ චරිතයට ශ්‍යාමා ආනන්ද ද සමගින් 1978 වසරේ දී රිදී තිරයේ දිග හැරුණු 'ගැහැනු ළමයි' වනාහී එක රැයින් ජනප්‍රියත්වය වැළඳ ගත් සිනමා නිර්මාණයක් බව ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. අද වන විට වසර හතළිස් එකක් ගත වී ඇත.

අහම්බකාරකයක් නොවන නුමුදු හදිසි සහ විනෝදජනක සැලසුමකට අනුව 2019 වසරේ පෙබරවාරියේ අගභාගයේ සුමිත්‍රා පීරිස් මහත්මිය හමුවන්නට ඇයගේ නිවසට එන්නේ කුසුම් , නිමල් සහ පද්මිණී ය. හතළිස් එක් වසරක ට පසුව යළි මතකයට නැගෙන, විසිරෙන අතීත ආවර්ජනා ය. "ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ - ඉගිලී යන්නද හිතා බලන්නේ". සුමිත්‍රා,වසන්ති,ශ්‍යාමා සමග අජිත් දසක හතරක අතීතය සිහියට නගන්නේ මෙසේ ය.

"මම එතකොට ලෙස්ටර් මහත්තයා ගේ 'මඩොල් දූව' චිත්‍රපටයේ උපාලි ගිනිවැල්ලේ විදියට රඟපාලා හිටියේ. ඒත් ඒක තිරගත වුණේ අපි 'ගැහැනු ළමයි' රූ ගත කරන අතරේ. අපිට ඒ කාලේ ආරංචි වෙලා තිබුණේ ප්‍රධාන චරිතයට අලුත් නිළියක් ගත්ත බව. එයා පළවෙනිම දවසේ ෂූටිං වලදි ගෙදර යන්න ඕනේ කියලා අඬපු බවත් ආරංචි වුණා. පස්සේනේ වසන්ති ව අඳුනගත්තේ. ශ්‍යාමා ආනන්ද මේ අපි එක්ක රඟපාන බව නම් අපි දැනගෙන හිටියා" අද වන විට කැනඩාවේ ජීවත් වන , නිවාඩුවකට ලංකාවට පැමිණ සිටි නිමල් හතුරුසිංහ හෙවත් අජිත් ජිනදාස අපගේ කතාව ට ප්‍රවේශය සැපයී ය."ශ්‍යාමා ආනන්ද කිව්වාම ඒ කාලේ ..." ඔහු නළල රැළි කරමින් විරාමයක් ගත්තේ ය. "ශ්‍යාමා තමයි එතකොට ස්ටාර්"

අජිත් ගේ එම ප්‍රකාශයට එකඟ වූ සුමිත්‍රා ගේ සහ වසන්ති ගේ අනුබල දීම් අවසානයේ එතෙක් නිහඬව සිටි ශ්‍යාමා ආනන්ද තම හඬ අවදි කරන්නට තීරණය කළා ය."ඒ වෙනකොට මම ඩබල් ඇක්ටිං කරපු 'ප්‍රවේසම් වෙන්න' (1969) චිත්‍රපටය හුඟක් ජනප්‍රිය වෙලා තිබුණේ. ශ්‍යාමා නමින් කරපු චිත්‍රපට මාලාවේ මුල්ම චිත්‍රපටය 'මගේ නංගි ශ්‍යාමා' (1975) ත් තිරගත වෙලා තිබුණේ. ඇත්තටම ඒ නිසා මාව හුඟ දෙනෙක් දැනගෙන හිටියා" ශ්‍යාමා පවසන ආකාරයට ඇය මුලින්ම චිත්‍රපටයක පෙනී සිට ඇත්තේ කිසිවක් නොතේරෙන ළදරු වයසේ දීය. "මට මාස හයේ දි සුවිනීත ලාලනී චිත්‍රපටයේ ගීතමය ජවනිකාවකට අරගෙන තිබුණා. ඊට පස්සේ 'සුහද දිවි පිදුම', 'වෙන ස්වර්ගයක් කුමට ද' වගේ චිත්‍රපටි වලත් හිටියට මට මතක තිබුණේ තාත්තා යටතේ රඟපාන්න ගත්ත චිත්‍රපට තමයි" ලංකාවම හඳුනන ජනප්‍රිය ළමා නිළියකව සිටි ශ්‍යාමා යනු මෙරට බිහි වූ අති විශිෂ්ට කැමරා ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන එම්.එස්. ආනන්ද ගේ ද චිත්‍රපට නිෂ්පාදිකා වයලට් ආනන්ද ගේ ද දියණිය යි. 'ගැහැනු ළමයි' චිත්‍රපටයේ ද කැමර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ එම්.එස්. ආනන්ද නිධානය, ගොලු හදවත, මඩොල් දූව, අක්‌කර පහ, හඳපාන වැනි චිත්‍රපට වල ද කැමරා අධ්‍යක්ෂවරයා ය.

'ඒක ඇත්ත. ඒ කාලේ මෙයා හරිම ජනප්‍රියයි" වසන්ති චතුරානි ද කතා බහට අලගු තැබී ය."කොච්චර ද කියනවා නම් මට මතකයි ඉස්කොලේ කාලේ ටීචර්ස් ලා අපිට කියනවා 'ඔයාලට ශ්‍යාමා ආනන්ද වගේ රටම දන්න කෙනෙක් වෙන්න ඕනේ නම් ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕනේ" කියලාත්. 'ගැහැනු ළමයි' හි පද්මිණි සේනාරත්න නම් කටකාර දඟකාර යුවතිය ගේ චරිතයට එන ශ්‍යාමා ආනන්ද යනු ඒ වන විට ලාංකේය සිනමාවේ ජනප්‍රියතම ළමා නිළිය බව වසන්ති පවසන විට සිහියට නැගෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගේ 'මඩොල් දූව' චිත්‍රපටය පිළිබඳ කර තිබූ පුවත්පත් සාකච්ඡාවකි. උපාලි - ජින්නා ලෙස රඟ පෑ අජිත් ජිනදාස සහ පද්මසේන අතුකෝරාල දසක හතරකට එහා අතීතය සිහිපත් කර තිබිණ. ඔවුන් දෙදෙනාම පවසා තිබුණේ එම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ එම්.එස්.ආනන්ද ගේ ජනප්‍රිය දියණිය වූ ශ්‍යාමා ආනන්ද 'මඩොල් දූව' රූගත කිරීම් නැරඹීමට පැමිණීම පවා යොවුන් පාසල් වයසේ සිටි තමන් හට මහත් ආනන්දයක් වූ බව ය.

"ඈත ගසක් යට ගුරුවරයෙක් පාඩමක් කියා දෙමින් සිටියේය. ළමයෙක් කොරිඩෝවක් දිගේ ගියේය. පාසලේ සේවකයෙකු මම හඳුනා ගතිමි. පාළු පිට්ටනියේ අව්ව නටමින් තිබුණි. අව්ව නැටීම මිරිඟුව නමින් අපි හඳුන්වමු. මිරිඟුව ! නිමල්, පද්මිනී, විජයලතා, කිත්සිරි, ජයසේකර ආදී හැමෝම එහි සිටිතැයි මට සිතිණි. පද්මිනී හමු වී වචනයක් කතා කරන්නට ඇත්නම්! ලියනගේ දෝන කුසුමාවතී එහි සිටිතැයි මට මතක් විය. පුංචි ගැහැණු ළමයකු අතින් අල්ලාගෙන බාල සාරියක් ඇඳගෙන මේ පාරේ යන මා නොව අනාගතය ගැන උසස් බලාපොරොත්තු ඇතිව දක්ෂ ලෙස ඉගෙන ගත් දුප්පත් කුසුමාවතී!" යනුවෙන් ලියන කරුණාසේන ජයලත් කුසුම් ඔස්සේ පාඨක සමාජය කම්පනය කළේ ය.'ගැහැනු ළමයි' චිත්‍රපටයේ ඒ අභියෝගය භාර වූයේ වසන්ති චතුරානි ට ය. මෙයට පෙර කිසිම නිර්මාණයකට දායක වී නොතිබුණු ගම්පහ සිරිකුරුස කන්‍යාරාමයේ වසන්ති චතුරානි !රංගනය පිළිබඳ මෙලෝහසරක් නොදත් යුවතියක් ජනකාන්ත නවකතාවක ප්‍රධාන චරිතය වන කුසුම් බවට පත් වූ ආකාරය සිහිපත් කරන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව වන සුමිත්‍රා පීරිස් විසිනි.

"මම ලෙස්ටර් එක්ක ගම්පහ සිරිකුරුස කන්‍යාරාමයට ගියේ මගේ ඥාතියෙක් කියපු ගෑණු ළමයෙක්ව බලන්න. ඒත් සිස්ටර් ප්‍රින්සිපල් අපිට කිව්ව 'මේ ඉන්නේ ඕනේ තරම් ගෑණු ළමයි. බලලා තෝරගන්න' කියලා. මම සිස්ටර් ට කිව්වා මට ඕනේ ලස්සන , අහිංසක පෙනුමක් තියෙන කුසුම් කෙනෙක් කියලා" සුමිත්‍රා සෙවූ කුසුම් සිරිකුරුස විදු පියස තුළ සිටියා ය. ඒ ගොඩනැගිල්ලක කණුවක් අසල තාවර වෙමිනි. ඒ වන විට ගැහැනු ළමයි චිත්‍රපටය සඳහා ගැහැනු ළමයෙක් සොයන්නට පැමිණි සුමිත්‍රා වටකරගත් ගැහැනු ළමයි ඇයට තමන්ගේ ලිපිනය දෙමින් තමන්ව තෝරා ගන්නැයි පවසමින් සිටිය හ. "මම දැක්කා අහිංසක පෙනුමක් තියෙන ගෑණු ළමයෙක් කණුවකට මුවා වෙලා ඉන්නවා. මම එයාට අතින් අඬ ගැහුවා" කණුව අසල වූ අහිංසක යුවතිය දැරියන් අතරට කර පොවා මෙතැන සිදුවන්නේ කුමක්දැයි විමසුම් සහගතව බැලුවා ය. "මම වසන්තිගෙන් ඇහුවා ඔයා රඟපාන්න කැමති ද කියලා." සුමිත්‍රා සිනාමුසුව සිහිපත් කරන්නී ය. "වසන්ති මගේ මූණ දිහා පුදුමයෙන් වගේ බලලා ආච්චි අම්මගෙන් අහන්න කියලා කිව්වා". ආච්චි අම්මා ළඟ හැදී වැඩුණු වසන්තා ඩොරීන් පීටර්සන් හෙවත් වසන්ති චතුරානි , සුමිත්‍රා පීරිස් නම් සිනමාවේදිනිය ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයේ ප්‍රධාන නිළිය බවට පත්වන්නේ එලෙසිනි.

"මගෙන් රඟපාන්න කැමතිද ඇහුවාම මම පුදුම වුණා." ඒ පාසල් වේදිකාව පවා නුපුරුදු වසන්ති චතුරානි ගේ කතාව ය. "මට හිතුණා ෂාහ් නියමයිනේ කියලා. ඉතිං මම කැමතියි ද කොහෙද කියලා කිව්වා ආච්චි අම්මාගෙන් අහන්න කියලා. මොකද මම හැදුණේ ආච්චි අම්මා ළඟ" ඒ අනුව කුලී ටැක්සියක නැගුණු ලෙස්ටර් - සුමිත්‍රා යුවළ ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි වසන්ති ගේ නිවෙස ට පැමිණ ඇයගේ ආච්චි අම්මාගෙන් අවසරය ලබා ගත් හ. "අපි ගෙදර එනකොටත් වසන්ති හිටියේ කොල්ලෝ ටිකක් එක්ක බෝල ගහ ගහ" සුමිත්‍රා පීරිස් ගේ සිනහව පුපුරා යයි. ඒ සිනහවට එකතු වන වසන්ති චතුරානි තමාගේ නම පිළිබඳ අතීත කතාව සිහියට නගයි. වසන්තා ඩොරීන් පීටර්සන් වන ඇයට වසන්ති චතුරානි යන නම තබන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි. "වසන්තා ඩොරීන් කිව්වාම ඒක සිනමාවට ගැලපෙන්නේ නෑ කියලා එයා කිව්වා. වසන්ති කියලා හැදුවේ වසන්තා කියන එක. චතුරානි කියන්නේ මම හිතන විදියට සුනිල් සර් ගේ හිතවතියක්" වසන්ති ඉතා විනෝදයෙන් සිහිපත් කරන්නීය. "ඉතින් එයා එයාගේ හිතවතියගේ නම මට තිබ්බා"

අජිත් ගලප්පත්ති විසින් සංස්කරණය කරන ලද "සුමිත්‍රා" නම් වූ සවිස්තර චරිතාපදානයට අනුව සුමිත්‍රා පීරිස් නම් සිනමාවේදිනිය ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය 'ගැහැනු ළමයි' නවකතාව වීම පසුපස වෙනම ම කතා පුවතක් ඇත. "ලෙස්ටර් 'ගොළු හදවතින්" පස්සේ ගැහැනු ළමයි ගැන හිතද්දී මම ඒ පොතට ආසා විත්තිය දැන ගත්තා ම ඔහු එය මට බාර දුන්නා. ගැහැනු ගැන මේ තරම් සියුම් ලෙස බැලූ නවකතාවක් මා දැක නැහැ. මේ නවකතාව චිත්‍රපටයකට නගන්න මම හිතුවේ මම ගැහැණියෙක් වීම නිසා වෙන්න පුළුවන්. නවකතාවේ එන ඉතාම සුළු හැඟීම් පවා මතුකරගන්නට පුළුවන් ය කියන මගේ ආත්ම විශ්වාසයත් බලපාන්න ඇති. කොහොම නමුත් ගැහැනු ළමයි අධ්‍යක්ෂණය කිරීමෙන් මම උපරිම තෘප්තියක් ලැබුවා. මේ චිත්‍රපටයේ වැඩ කරන අතරතුර මාත් හිතින් ගැහැනු ළමයෙකු වී සිටියා"

"මුලින්ම රූගත කිරීම් කළේ බැද්දගානේ. කුසුම් ගේ ගෙදර දර්ශන තිබුණේ. මුලම දවසේ හවස් වෙනකොට ගෙදර යන්න ඕනේ කියලා වසන්ති අඬන්න ගත්තා. අපි රූගත කිරීම් නැවැත්තුවා." සුමිත්‍රා පීරිස් එසේ පවසන විට වසන්ති පැවසුවේ චිත්‍රපටයක රඟපෑම යනු මේ තරම් සංකීර්ණ කටයුත්තක් ලෙස තමා දැන නොසිටි බව ය. "මම හිතුවේ ඒක මේ අපි ඉස්කොලේ සමිතියේ රඟපාන නාට්‍යයක් වගේ කියලා" අවසානයේ රූගත කිරීම් නවත්වන අධ්‍යක්ෂිකාව කැමරා අධ්‍යක්ෂ එම්.එස්. ආනන්ද ගෙන් ඉල්ලීමක් කරන්නී ය. ඒ ඔහුගේ දියණිය ශ්‍යාමා ව මේ පසුතලයට රැගෙන එන ලෙස ය. චිත්‍රපට රූගත කිරීම්වලට අමුත්තියක නොවන ශ්‍යාමා පැමිණෙන්නේ නවක නිළිය වසන්ති ගේ තනියට ය. "මම මේක කියන්නම ඕනේ" වියපත් සුමිත්‍රා ශ්‍යාමා ආනන්ද දෙස ආදරණීය බැල්මක් හෙළුවා ය. 'ශ්‍යාමා නොහිටින්න වසන්ති ව ෆිල්ම් එකේ තියාගන්න මට හුඟක් අමාරු වෙනවා. ශ්‍යාමා ඒ වෙලාවේ ලොකු දෙයක් කළේ". ඒ අසන වසන්ති ද ශ්‍යාමා ගේ අත අල්වා ගන්නී ය. "අනේ ඔව් ! මම ඒක හැමතැනම කියනවා. ශ්‍යාමා ඒ වෙලාවේ මට පුදුම විදියට උදව් කළා. මම කිසි දෙයක් දන්නේ නැතුව රඟපාන්න ආපු කෙල්ලෙක්. ශ්‍යාමා ලංකාවම දන්න ළමා නිළියක්. ඒත් එයා මට හරි ආදරයෙන් උදව් කළා". ශ්‍යාමා ආනන්ද සුපුරුදු සංසුන් සිනහමුසු මුහුණින් ඒ ප්‍රශංසා භාරගන්නී ය. "අපි චිත්‍රපටියේ කුසුම් - පද්මිණී වගේ ම තමයි යාළුකමෙන් හිටියේ. මම දඟකාර කටකාර කෙල්ල. වසන්ති අහිංසක කෙල්ල" ඇය සිහිපත් කළා ය. "අනික් එක ඒ කාලේ අපි ඔක්කොම පොඩි ළමයි"

වයස දහ හතරක් පමණ වූ සිරිකුරුස කන්‍යාරාමයේ වසන්ති චතුරානි සමග මිතුරු වන සමවයසේ ම ශ්‍යාමා ආනන්ද ඉගෙනුම ලැබුවේ කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ය. දහ හත් හැවිරිදි අජිත් ජිනදාස කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකි. ඒ වන විට 'මඩොල් දූව' තිරගත වීම ඇරඹුණු බැවින් අජිත් හට ගැහැනු ළමුන්ගෙන් නොමද ප්‍රතිචාර ලැබුණු බව ශ්‍යාමා සහ වසන්ති සිහිපත් කළ හ. "ඇයි ශ්‍යාමා ට" අජිත් එකට එක පැවසුවේ ය. "අපි ශ්‍යාමා ගේ තාත්තා ට හොරෙන් තමයි මෙයා එක්ක කතා කරන්නෙත්". තමා කොතරම් චිත්‍රපට වල රඟ පා තිබුණ ද සෑම රූගත කිරීමක දීම තම දෙමාපියන් රැඳී සිටි බව සිහිපත් කළ ශ්‍යාමා එවකට ඇගේ රසිකයින් පාසලට පවා දුරකතනයෙන් ඇමතීම නිසා අපහසුතාවට ලක්වූ බව සිහිපත් කළා ය. "මම රඟපාන නිසයි එහෙම කෝල්ස් එන්නේ කියලා අපේ තාත්තා සිස්ටර්ස්ලා ට පැහැදිලි කළා. ඒ නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. අනික් එක ඉස්කෝලෙත් රඟපාන්න තියෙන ඕනේම වැඩක දි සිස්ටර්ස්ලා අඬ ගහන්නෙත් මට" ඒ අනුව වසන්ති ගේ අදිමදි කිරීම් මත තාවකාලික ව නවත්වන ලද රූ ගත කිරීම් පාසල් දර්ශන වලින් ම ඇරඹීමට සුමිත්‍රා තීරණය කළා ය. ඒ වෙනුවෙන් පාසල් නිවාඩු කාලය වන තෙක් ඉවසා සිටින්නට සිදු විය.

කුසුම් ගේත් පද්මිණී ගේත් , නිමල්ගේ ත් පාසල ලෙස සිනමාවට නැගෙන්නේ කළුඅග්ගල සාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලය ය. එම පාසලෙන් අතිරේක ළමා නළු නිළියන් එකසිය පණහක් පමණ සහභාගී වූ අතර මඩොල් දූවේ රඟ පෑ පද්මසේන අතුකෝරාල , මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සොහොයුරු නිමල් දයාරත්න , එවකට ළමා ගායිකාවක වූ දමයන්ති ජයසූරිය ආදී පිරිස ඒ අතර විය. කුසුම් ගේ නංගී හෙවත් සෝමා ලෙස රඟපෑවේ ජෙනිටා සමරවීර ය. "ඉස්කොලේ දර්ශන පටන් ගත්තට පස්සේ මට රඟපානවා කියලා තේරුණේ ම නැහැ. අපි ඔහේ දඟල දඟල හිටියා" වසන්ති පවසන්නී ය. "ඒත් මෙයා පඩිපෙළේ දිගේ දුවගෙන එනකොට ගවුම අතින් අල්ලගෙන දුවන්නේ. මම ඉතිං කියනවා ළමයෝ ... ගවුම අතින් හදාගෙන දුවන්න ඕනේ නෑ' කියලා" ඒ මතකය සුමිත්‍රා ගේ ය. " කරුණාසේන ජයලත් මහත්තයත් එනවා ෂූටිං බලන්න. බුලත් විටක් එහෙම කන ගමං ළමයි එක්ක වාඩි වෙලා ඉන්නවා මට මතකයි" ශ්‍යාමා ආනන්ද ඒ ජනකාන්ත ලේඛකයා පිළිබඳ මතකය ආවර්ජනය කරන්නී ය. අජිත් ජිනදාස ට සිහිපත් වන්නේ තමාගේ මුල් ම අධ්‍යක්ෂවරයා වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාව ය. තම බිරිඳ ගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය නරඹන්නට ආ හෙතෙම කිසිදු මැදිහත්වීමක් නොකර පසෙක වාඩි වී බලා සිටි බව අජිත් පවසයි "සර් මට කතා කරන්නේ නෝන්ඩියක් දාන ගමං. හෙලෝ මිස්ටර් රෝමියෝ.මේ වෙනකොට ජුලියට් ලා කී දෙනෙක් හම්බ වුණා ද කියලා ඉංග්‍රීසියෙන් අහනවා" අජිත් සිනාසෙයි. "ඊට පස්සේ මෙහෙම කිව්වා. තමුසේ කොච්චර ෆිල්ම්ස් වල හිටියත් මඩොල් දූවේ තරම් හොඳට ආයේ කරන්න බෑ කියලා. ඒකට හේතුවත් සර් කිව්වා" අජිත් මදක් කතාව නවතා බලා හිඳී " මඩොල් දූව කරනකොට තමුසේ රඟපාන්න දන්නේ නෑ. තමුසේ කළේ තමුසේ විදියටම ඉන්න එක. දැන් තමුසේ රඟපාන්න දන්නවා. දැන් ඉතිං කරන්නේ රඟපාන එක" එදා ලෙස්ටර් පැවසූ වදන් වල බරපතල කම තමාට වැටහුණේ බොහෝ කලකට පසුව යැයි අජිත් අද පවසයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් කිසිවිටෙකත් තම නිර්මාණ ජීවිතයට බලපෑම් නොකළ බව සුමිත්‍රා පීරිස් සිහිපත් කළා ය. "කමලාවතීගේ ගෙදර පිරිතක් තියෙන දර්ශනයේ දී මම පිරිත් නූල හුඟක් වෙලාවක් කැමරාවට හසු කරගන්නවා. ලෙස්ටර් මගෙන් ඇහුවා පිරිත් නූල මෙච්චර දිගට ගත්තේ ඇයි කියලා. මම කිව්වා ඒක මට වැදගත් කියලා. එච්චරමයි" ඇය මහා සිනමාකරුවා තමා ගේ නිදහස කෙරෙහි දැක් වූ ආකල්පයට නිදසුන් සැපයූවා ය. "මම සංස්කාරකවරියක් නිසා මට අවබෝධයක් තිබුණා කරන දේ ගැන. වසන්තිගේ මූණ ශෝකාකූල ව ගන්නකොට තමයි ප්‍රබල කියලා මම හිතුවා. ශ්‍යාමා ඒකේ විරුද්ධ පැත්ත. එයා හිනාවෙලා දඟකාර විදියට ඉන්නකොට තමා ඒ මූණේ තියෙන සුන්දරත්වය මතුවෙන්නේ. ඒත් ඉතිං හැම දර්ශනයම ඒ විදියට ගන්න බෑ." අධ්‍යක්ෂවරියක ලෙස තමා මුහුණ පෑ අභියෝගා ඇයට තවමත් එක සේ මතක ය. "කුසුම් සහ පද්මිනි තනිවම ඉන්න වෙලාවක කම්මුලට හාදුවක් දෙන දර්ශනයක් තියෙනවා. ඒක ඒ යොවුන් ගෑණු ළමයින්ගේ ආදරණීය බැඳීම. අපි ඒ දර්ශනය කිසිම විරෝධතාවක් එන්නේ නැතිවෙන්න කළා."

1978 තිරගත වූ 'ගැහැනු ළමයි' චිත්‍රපටය වෙනුවෙන් පුවත්පත් දැන්වීමක මෙසේ වූ බව අජිත් ගලප්පත්ති "සුමිත්‍රා" චරිතාපදානයේ සඳහන් කළේ ය. "ජීවිතයේ ලස්සනම දවස් වල කතාන්දරය - පොඩියට නවා රෝස පාට නූලෙන් මලක් මැසූ ලස්සන ලේන්සුවක් පොත් අතර හංගාගෙන ඔබ පාසල් ගිය දවසේ ඔබේ හිතේ කැටි වුණු සුන්දරම හීන මැදින් අපි මේ චිත්‍රපටය කළේ ඔබ වෙනුවෙන්. ගැහැනු ළමයි-අද පටන් ඔබ හමුවට"

"මුල්ම දවසේ ගම්පහ ජයන්ත හෝල් එකේ 09.30 දර්ශනය වෙන් කෙරුණේ සිරිකුරුස විද්‍යාලය වෙනුවෙන්. අපේ ඉස්කෝලේ ළමයි ෆිල්ම් එක බලලා ඇඬුවා" යනුවෙන් වසන්ති සිහිපත් කරන විට ශ්‍යාමා පවසන්නේ කොළඹ පාසල් ළමයින්ගේ ද ඒ හා සමාන ප්‍රතිචාර ලැබුණු බවයි. සුමිත්‍රා පීරිස් වසන්තා ඩොරීන් පීටර්සන් නම් යුවතිය වසන්ති චතුරානි නම් නිළිය බවට පරිවර්තනය කළේ "ආච්චි අම්මාගේ" අවසරය ලබාගෙන ය. "අනේ අපේ ආච්චි අම්මට මම ගැහැනු ළමයි රඟපාන හැටි බලන්න වුණේ නහැ. එයා ඊට කලින් නැති වුණා" වසන්ති සංවේගයෙන් සිහිපත් කළා ය.

ශෝකජනක මොහොත සමනය කර යළි සංවාදය සිනාවෙන් රස ගැන්වූයේ අධ්‍යක්ෂවරිය විසිනි. සුමිත්‍රා පවසන පරිදි මේ දැරිය තෝරාගත් විට එවකට සිරිකුරුස කන්‍යාරාමයේ විදුහල්පතිවරිය වූ නෙලී හෙලන් කන්‍යා සොයුරිය මේ සිවුවිය ට හදවතේ රෝගයක් ඇති බව ට පූර්ව දැනුම් දීමක් කර ඇත "මම ඉතිං ඩොක්ටර් වාලුපිල්ලේ ළඟට එක්කගෙන ගිහිං ඔක්කොම මෙඩිකල් චෙක් අප්ස් කළා. ඇයි ඉතිං හදවතේ සිදුරක් කියලා කිව්වාම බයයි නේ" සුමිත්‍රා පවසන අතර තුර වසන්ති කොක් හඬලා සිනාසෙන්නී ය. අජිත් ජිනදාස ද ඒ කතාව තමාට මතක බව පවසා විස්මය පල කළේ ය. "කුසුම් ට ගන්න ඉන්න ළමයාගෙ හදවතේ සිදුරක් කියලා කතාවක් ගියා. ඒ වසන්තිම ද ? මම අද වෙනකං හිතුවේ වසන්තිට කලින් තෝරගත්ත කෙනෙක් කියලා" ඔහු පැවසී ය. "මෙඩිකල් රිපෝර්ට් වල හැටියට එහෙම ලෙඩක් නෑ. බලනකොට මේ වසන්තිගේ බොරුවක්" සුමිත්‍රා පවසන්නී ය. ශ්‍යාමා ද අජිත් ද විස්මයෙන් බලා සිටින විට වසන්ති සිනහව අතරින් කතාව ඇරඹුවා ය. "මම ඒ කාලේ ඉස්කෝලෙ යන්න කම්මැලියි. බොරු ලෙඩ ගන්නවා. ගෙදර ඉඳලා ඉස්කෝලේ ආවාම කියපු බොරුවක් ඔය.මම අඩුම ගාණේ හෝල් ඉන් ද හාර්ට් කියන එකේ තේරුම වත් දන්නේ නෑ ඒ කාලෙ. කටට ආවට කිව්ව එකක්." වසන්ති හෙළි කළා ය. "කවුද හිතන්නේ එක මේ වෙලාවේ මතු වෙයි කියලා"

'ගැහැනු ළමයි' චිත්‍රපටයේ රඟපාන්නට යන විට එම නවකතාව කියවා තිබුණේ අජිත් ජිනදාස පමණක් බවත් ශ්‍යාමා ට ඒ පිළිබඳ මතකයක් නැති බවත් ඔවුන් සිහිපත් කළහ. ගැහැනු ළමුන් දෙදෙනාටම තිබුණේ එකම අත්දැකීම කි. එය ජීවිතය ඉතා සැහැල්ලුවෙන් දුටු වයසක් බවත් මේ චිත්‍රපටය වනාහි ඒ දඟකාර වයසේ තවත් එක් වික්‍රමයක් පමණක් බවත් ය. "අපි රඟපාන්න එන අයට එක එක නම් දාලත් තිබුණා. මතකද ?" සුමිත්‍රා පීරිස් ගේ නිවස්නයේ දී වසර හතලිස් එකකට පසුව හමු වූ කුසුම් සහ පද්මිණි අතීතය සිහිපත් කරමින් සිනාසෙති. 'වියෝ ගී' ගීතය හැර අනෙක් ගීතය වන "ගැහැනු ළමයිනේ" යන ගීතය රචනා කළ ජේ.ඒ. කැමිලස් යනු සංගීතඥ නිමල් මෙන්ඩිස් ගේ හිතවතෙක් බව පවසන සුමිත්‍රා තමා නිමල් මෙන්ඩිස් ගේ සංගීතයට අප්‍රමාණ ව ඇලුම් කළ බව ද සිහිපත් කළා ය. " ට මතක විදියට මම ජේ.ඒ. කැමිලස් කියන මහත්තයාව මුලින් ම දැක්කේ මේ ළඟක දි වික්ටර් රත්නායක ගේ 'ගැහැණු ළමයිනේ" කියන සී.ඩී එක අවුට් වුණ වෙලාවේ" ඇය ඒ විස්මයජනක මගහැරීම සිහියට නැගුවා ය.

යළිත් සිහිපත් වන්නේ කරුණාසේන ජයලත් වය. ඔහු 'ගැහැනු ළමයි" නවකතාවේ මෙසේ ලියුවේ ය. "'හත්දින්නත් පොකුර' නම් තරු ගොමුව නිල් අහසේ එක තැනක තිබෙනු මට හඳුනාගත හැකිය. කුඩා දවස අප මේ තරු පොකුර ගණන් කරන්නට උත්සාහ ගත් වාර අනන්තය. අපට කිසි දිනෙක එය හරිහැටි කරන්නට පුළුවන් වී නැත. ඒ ගැන අපි නො තැවුණෙමු."

අග්‍රගණ්‍ය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වියෝවෙන් පසුව හුදෙකලාව ගත කරන ජීවිතය තුළ වුව ද සුමිත්‍රා පීරිස් 'ගැහැනු ළමයි' පිළිබඳ තෘප්තිමත් ය. වසන්ති චතුරානි , අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද ද එසේ ම ය. වසර හතළිස් එකකට පෙර ගැහැනු ළමයි මැවූ මේ සිව්දෙනා හත්දින්නත් තරු පොකුර දුටුවහ. අදටත් ඒ පිළිබඳ ව ඉමිහිරි අතීතකාමයෙන් වෙසෙති.

ගැහැනු ළමයි ! ඒ 'ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා' යනුවෙන් පැවසූ කුසුම් ගේ කතාවයි.

- සහන් කසීර වික්‍රමසිංහ -

https://www.facebook.com/sahankaseera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *