
මහා ගත්කරුගේ අවසන් උපන් දින සාදය
( 2025 මැයි මස 29 වැනි දාට යෙදුණු මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 135 වන ජන්ම සංවත්සරය අරබයා පළ වන හෘදයංගම මතක වතකි.)
මාර්ටින් වික්‍රමසිංහ මහාශයන් මට මුලින්ම හඳුනා ගන්නට වාසනාව ලැබුණේ මා විශ්වවිද්‍යාලයේ අවසන් වසර ගත කරන සමයේය. එනම් අප විශ්වවිද්‍යාලයේ දර්ශන අංශ සඟරාවේ ඒ වසරේ සංස්කාරක වූ මා ඊට ලිපියක් සපයන ලෙසට ආරාධනා කිරීමට මගේ විශ්වවිද්‍යාල සගයෙක් වූ සෝමරත්න දිසානායකයන් (පසුව නීතිඥ සෝමරත්න දිසානායක )සමග වික්‍රමසිංහයන්ගේ නාවල නිවසට ගිය දිනයේය. ඒ ලිපිය හා බැඳුණ මන බඳින සිද්ධියක් ඇත. ආරාධනයෙන් සතියකට පමණ පසු එක්තරා හැන්දෑවක සෝමෙත් මමත් අර ලිපිය ගෙන ඒමට නාවල ගෙදරට ගියෙමු. අප දැක හඬ නඟා සිනාසුණ වික්‍රමසිංහ සූරීහු අපූරු පුවතක් හෙළි කළහ.
"මං අර ලිපිය ලියාගෙන ගියා. දන්නෙම නැතුව ඒක පොතකට දික් වුණානෙ! ඒ වෙනුවට මං වෙන ලිපියක් දෙන්නං"
පසුව ඔහු විසින් පළ කරන ලද "භව කර්ම විකාශය " එම ලිපියෙන් විකසිත පොතයි.
ඒ අයුරින් සිදුවුණු අපගේ නෑඹුල් හමුවීම නොසිතූ විරූ දැඩි කුලුපග ඇසුරක් ලෙසට වැඩී ගියේ ඔහු මගේ විවාහයේ සාක්කි කරුවෙකු බවටද පත් කරමිනි. ගුණදාස අමරසේකර සාහිත්‍ය සූරීහු අනෙක් සාක්කිකරුවාණෝ වූහ.
පසු කලෙක වික්‍රමසිංහ සූරීන් දුන් අවසරයෙන් ඔහුගේ 'මඩොල් දූව' නවකතාව මවිසින් ගුවන්විදුලි ළමා නාට්‍යයක් ලෙස සකසා සතිපතා කොටස් වශයෙන් ප්‍රචාරය කරන ලද්දේ ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ චිත්‍රපටය නිෂ්පාදනය වීමටත් පෙරමය. එම ගුවන්විදුලි නාට්‍යය නිෂ්පාදනය කළේ එකල ජාතික ගුවන්විදුලියේ ළමා හා කාන්තා වැඩසටහන් සම්පාදකවරිය ලෙස රාජකාරි කළ ලංකා ගුවන්විදුලියේ පළමු නිවේදිකාව වශයෙන් ඉතිහාස ගත වුණු ප්‍රභා පෙරේරා( පසුව රණතුංග) මහත්මියයි. එකල ඇගේ නිෂ්පාදන සහයක වූයේ අප විශ්වවිද්‍යාලයේ එකම වසරේ මගේ සගයෙකු වන ගුවන්විදුලි සංස්ථා සභාපති ධුරය කීප වරක් දැරූ හඩ්සන් සමරසිංහයන්ය. අලුත ගුවන්විදුලියට බැඳී සිටි ඔහු , අති කෝවිද ගුවන්විදුලි නිෂ්පාදකයෙකු , ශූර ක්‍රිකට් විස්තර ප්‍රචාරකයෙකු මෙන්ම පසු කලෙක සිංහල සේවා අධ්‍යක්ෂක වරයාද වූ පාලිත පෙරේරා විශිෂ්ටයා යටතේ එකල පුහුණු වෙමින් සිටියේය. එම 'මඩොල් දූව' නාට්‍යය නිෂ්පාදනයට පෙර වරක් මා හඩ්සනුන්ද නාවල ගෙදරට කැඳවා ගෙන ගොස් මාර්ටින් වික්‍රමසිංහයන්ට හඳුන්වා දුන් සැටිත් එදා අප දෙදෙනා බොහෝ වේලා ඔහු සමග මධු සාද විඳිමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිට ආපසු පැමිණි සැටිත් මෙවේලේ මගේ සිහියට නැගෙයි. මා ලියූ 'මඩොල් දූව' ගුවන්විදුලි නාට්‍යයේ එකල කාර්මික නිෂ්පාදන සහායක වූ ආර්.පියදාසයන් මුලදී ගුවන්විදුලියේ අධ්‍යාපන සේවයේ ශූර නිෂ්පාදකයෙකු ලෙස මෙන්ම පසුව රූපවාහිනියේ කෘතහස්ත නිෂ්පාදකයෙකු ලෙසද කටයුතු කිරීමෙන් අනතුරුව , එහිම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පදවියටද පත් වූයේ පියදාස රත්නසිංහ යන නම් පෙරළියෙනි. පසු කලෙක මගේ 'මඩොල් දූව' ගුවන්විදුලි නාට්‍යය දෙවැනි වරටත් ප්‍රචාරය වූයේ අති ශූර ගුවන්විදුලි නිෂ්පාදක මහින්ද අල්ගමයන්ගේ නව නිෂ්පාදනයක් වශයෙනි. 'ගම්පෙරළිය' චිත්‍රපටිය හැර වික්‍රමසිංහයන් ධරමාන කාලයේ ඔහුගේ නිර්මාණ කෘති ආශ්‍රයෙන් කෙරුණු අනික් එකම විද්‍යුත් නිෂ්පාදනය 'මඩොල් දූව' ගුවන්විදුලි නාට්‍යය යැයි සිතමි.
එදා ගුවන්විදුලිය විසින් 'මඩොල් දූව' පොතේ අයිතිය වෙනුවෙන් ගෙවන ලද කර්තෘ භාග මුදලද මටම ගෙවන ලෙස ගුවන්විදුලි බලධාරීන්ට ලියා දැන්වූ වික්‍රමසිංහ සූරීන්ගේ නොමසුරු ත්‍යාගශීලී ගුණය හා පිය සෙනෙහස කෙසේ සිතින් මැකී යේද? අප දෙදෙනා අතිශය කුලුපග වීමෙන් පසු ඔහු විසින් ලියැවුණු හැම පොතකම වාගේ සෝදු පත් කියවීම මෙන්ම සූචිය හා ගැටපදය සැකසුමද මටම පැවරීම ඔහු නියත වතක් කරගෙන සිටියේය. එය මා ලද දුර්ලභ ගෞරවයක් කොට සලකමි. එම කාරිය උදෙසා ඔහු නොමසුරුව යහමින් ගෙවූ මුදල් මා ප්‍රතික්ෂේප කළ බැවින් වරින් වර මට බොහෝ ඇඳුම් පරිත්‍යාග කිරීමෙන් වික්‍රමසිංහ සූරීන් තම හිත නිදහස් කර ගත්තේ තමා තුළ පැවති අවංක ශ්‍රම ගෞරවය මනාව ප්‍රකට කරමිනි.
එකල සතියකට වරක් දෙවරක් නාවල නිවසට ගොස් වික්‍රමසිංහ සූරීන් මුණ ගැසී අල්ලාප සල්ලාපයෙහි යෙදීම මා අත් නොහළ වතකි. ඔහු සමග පිළිසඳරෙහි යෙදෙන විනාඩි පහක කාලය අවුරුදු පහක ඥානාලෝක කදම්බයකි. යහපත් කාලගුණය පවත්නා සෑම දිනකම සවස් යාමයේ කරන පා ගමනද වික්‍රමසිංහ සූරීන්ගේ නියත වතක්ව පැවතුණි. මා නාවල නිවසේ සිටි ඇතැම් සැන්දෑවක තම පාද යාත්‍රාවට මාද සහභාගි කර ගත්තේ නව යොවුන් කෙළි ලොල් ලීලාවෙනි. එසේ ඇවිද යන ඇතැම් විටක ඔහු කතා කරන්නේ සිනාසෙන්නේ හැසිරෙන්නේ කුඩා දරුවෙකු සතු සැහැල්ලු බවකිනි. මා ඉතා සමීපව ඇසුරු කළ සාහිත්‍ය වනස්පතීන් දෙතුන් දෙනා අතුරෙන් මා දැක ඇති නිහතමානයේ පරම මූර්ති වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ සහ එදිරිවීර සරච්චන්ද්‍ර යන උභය පුරුෂ ශ්‍රේෂ්ඨයන් හැඳින්වීම කවර වරදද?

මා සමග එකට නාවල ගෙදරට ගොස් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් හමුවී නිතර නිතර සාහිත්‍ය පිළිසඳරෙහි යෙදීම වතක් කරගෙන සිටි මගේ කුලුපග මිතුරු සහෘදයෝ කිහිප දෙනෙක් එකල සිටියහ. ඒ වූකලී සුනන්ද මහේන්ද්‍ර , සෝමරත්න දිසානායක ,රංජිත් ධර්මකීර්ති, හේමරත්න ලියනආරච්චි , පාලිත පෙරේරා ,නිමල් හොරණ යන විශිෂ්ටයෝය. නාවල ගෙදරට ගිය හැම හවසකම රෑ බෝ වන තුරු පිළිසඳරෙහි යෙදී සිටින අප ඉන් පිටත්ව එන්නේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් වතක් මෙන් නොවරදවා නොමසුරුව කරන ප්‍රශස්ත අතිථි සංග්‍රහයෙහි අනුහසින් මධුර මධු මද මුදිතවය. අහෝ ඒ සැමරුම් මනරම්ද කෙතරම් නම්!
1972 ජනරජ ව්‍යවස්ථාව අනුව බිහිවුණු ආණ්ඩුව විසින් පළමු ජනාධිපති සම්මාන උළෙල පවත්වන ලදී. එම උළෙලේදී ජනාධිපති සම්මානයෙන් පුද ලද පළමු ලේඛකයා වූයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ය. ඉස්කෝලේ පහේ පන්තියෙන් හැලීමට පමණක් වාසනාව ලබා උපන් මාර්ටින් වික්‍රමසිංහ නාමධේය මේ පින්වත් කුමරා (කේන්දර බසින්) එහිදී තමාට සම්මාන තිළිණයක් සමග පිරිනැමූ දහසින් බැඳි පියල්ල එවේලෙහිම ආපසු පිරිනමමින් එය දිළිඳු සිසුවෙකුට විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වයක් පිහිටවනු පිණිස යොදා ගන්නැයි වග කිය යුත්තන්ගෙන් ඉල්ලා සිටියේය.එකල වූ විශ්වවිද්‍යාල තුනම ඔහු නූතන සිංහල සාහිත්‍යයට කළ මහා මෙහෙවර සලකා වික්‍රමසිංහ සූරීන්ට සම්මාන ආචාර්ය උපාධි පිරිනැමුවේය. එහෙත් ඒ සම්මාන ආචාර්ය නාමය තම නමට මුලින් නොදමන ලෙස ඔහු සියලුම පුවත්පත් කතුවරයන්ට වහා ලියා දැන්වූ බව මා ඇසුවේ ඔහුගේ මුවින්මය. "ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහ" නාම ධාරී ලේඛක මහේශාඛ්‍යයෙකු ගැන සිහිනෙනුදු අපට අසන්නට නොලැබුණේ එහෙයිනි .
තමා උපන් කොග්ගල නිවස 1962 වසරේදී එකල ආණ්ඩුව විසින් යළි වික්‍රමසිංහ සූරීන්ට පිරිනැමෙන දින පැවැති වෙසෙස් උත්සවය වාර්තා කිරීම සඳහා ගුවන්විදුලියේ තිලක සුධර්මන් ද සිල්වා සහ කුලසිරි අමරතුංග යන විශිෂ්ටයන් සමග එහි ගිය මට එහිදී මාර්ටින් වික්‍රමසිංහ සූරීන් කළ කෙටි දෙසුමේදී ඇසුණු මේ සදානුස්මරණීය හෘදයානන්දකර වදන් දිවි හිම් තෙක් මගේ මතකයේ රැව් පිළිරැව් දෙනු කවර අරුමයක්ද?
"මට දුකක් දැනුණු වෙලාවෙදිත් මම මගේ සිංහල භාෂාවෙන් ලිව්වා. සන්තෝෂයක් දැනුණු වෙලාවේදීත මගේ සිංහල භාෂාවෙන් ලිව්වා .ඒ නිසයි මම සිංහල ලේඛකයෙක් වුණේ . ඒක හින්දා ඔබ මට කරන මේ ගෞරවය හිමි විය යුත්තේ මට නෙවෙයි. මගේ සිංහල භාෂාවටයි."
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණ කාර්යට ජීවමාන මූලාශ්‍රයක් වූ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ අවමංගල උත්සවය මෙවෙිලේ මගේ සිහියට නැගෙයි. එය පැවැත්වුණේ ගුරුන්නාන්සේ උපන් බලපිටියේ අම්පේ නම් කුඩා ගමෙහිය. එදා එම අවමංගල සභාවේදී ගුරුන්නාන්සේගේ ගුණ කීර්තනය කළේ දෙදෙනෙකු පමණි. ඉන් ප්‍රධාන වූයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ය. අවමංගල සභාව මෙහෙයවූ තැනැත්තා පළමු ගුණ කථනය සඳහා ආරාධනය කළේ මෙසේය.
"ලංකාවේ ඉර හඳ වගේ ප්‍රකට පුද්ගලයෙකුටයි මම පළමුවෙන් ආරාධනා කරන්නෙ. ඒ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාටයි"
මාර්ටින් වික්‍රමසිංහයන් අවමංගල සභාවකදී පැවැත්වූ එකම කතාව
එයදැයි නොදනිමි. ඔහු එදා එහිදී පැවැත්වූයේ ඉතා කෙටි ගුණ කථනයකි. ඔහු මේ වදන් කීපයෙන් තම කතාව හමාර කළේ කට කොනකට නගාගත් හිනාවක්ද සමගිනි.
"චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සෙත් ගැමියෙක්. මමත් ගැමියෙක්. ඔහු කලාකාරයෙක්. මම ලේඛකයෙක්. අපි දෙන්නගෙ වෙනස මේකයි. ගුරුන්නාන්සෙ තමන්ගෙ කලාවෙන් ආස්වාදයක් ලැබුවා. මම රටේ නැති වල්බූත ඔළුවෙ පුරවාගෙන දුක් විඳිනවා."
කොළඹ හා පේරාදෙණිය ගුරු කුල අතර පැවති නොනවතින සාහිත්‍ය කෝලාහලවලින් ඒක කෝලාහල වුණු හයවැනි දශකය තවමත් මගේ මතකයේ ඒක කෝලාහල වෙයි . නව නගර ශාලාවේ දවස පුරා පැවැති සාහිත්‍ය සම්මන්ත්‍රණයකි.හවස් වරුව වෙන් වූයේ 'කෙටිකතා' වෙනුවෙනි. මූලාසනයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීහුය. දේශකයා කේ.බී සුගතදාස සූරීන්ය. මූලාසන සමාලෝචනයේදී වික්‍රමසිංහ සූරීන්ගේ මුවින් මෙවදන් පිටවුණි.
"සුගතදාස මහත්තයා කෙටිකතාව ගැන කළේ මහා වල්බූත කතාවක්."
කොළඹ ගුරුකුල දෙබරයට ගල වැදුණි .වියරුව ගිය කොළඹ ගුරුකුල දෙබරුන්ගේ විෂ මිසයිල පහරින් පේරාදෙණිය ගුරුකුලයට කවර ගැලවීමක්ද? මයික්‍රෆෝනයෝ ඉගිල ගියහ. පුටුහු අහසට පිනූහ. ආක්‍රෝශ පරිභවයෝ ඒක නින්නාද දෙති. කොළඹ ගුරු කුල කඳවුරු සෙන්පතියෝ වනාහි පී.මලල්ගොඩයෝය. මැන්දිස් රෝහණධීරයෝ පේරාදෙණි ගුරු කුල කඳවුරු සෙන්පතියෝය. නව නගර ශාලා සාහිත්‍ය කෝලාහල සප්ත මහා සාගරය ආලෝලනය කළ යුගල ගුරුකුල ලෝල ජන කල්ලෝලයන් මැඬලිය හැකි වූයේ අප්‍රමාණ ආයාසයකිනි.
යළි මුලසුන ගත් වික්‍රමසිංහ සූරීහු නැඟිට සිටියහ. මයික්‍රෆෝනය වෙතට සෙමින් ළං වූහ. ඉන් පසු ඔහුගේ මුවින් ගිලිහුණු මේ අමර වදන් මගේ මතකයේ සදා රැව් දේ.
"සරස්වතී වාසය කරන්නෙ කලාකාරයෙකුගේ හදවතේ පමණයි. ද්වේෂය ඇති කලාකාරයෙකුගේ හදවතේ සරස්වතීට ඉන්න බැහැ. හිටියත් ඇය පිච්චිලා අළුවෙලා යනවා."
මාර්ටින් වික්‍රමසිංහ සූරීන් හඳුනාගෙන කුලුපග වීමෙන් පසු ඔහුගේ සෑම උපන්දින උත්සවයකටම සහභාගීවීම මම වතක් කරගතිමි. එසේ සහභාගී වීමට බැරි වූයේ එකම එක උපන්දින උත්සවයකට පමණි.එය ඔහුගේ 79 වැනි ජන්ම සැමරුමයි. එය යෙදී තිබුණේ 1969 මැයි මස 29 වැනි දිනටය. මගේ පානීග්‍රහණය සිදුවූයේ ඊට කලින් දිනයේය. මගේ හෘදයංගම සාක්කිකරුවන් වනු පිණිස එදින ගුණදාස අමරසේකරයන් සමග බොරැල්ලේ වයි.එම්.බී.ඒ ශාලාවට පැමිණි මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 79 වැනි උපන්දිනය වෙනුවෙන් පසු දා රාත්‍රියේ පැවති උත්සව සාදයට මා කෙසේ සහභාගි වන්නද? එය මගේ මංගල රාත්‍රිය වූ හෙයිනි..
මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ 85 වැනි උපන් දිනය නිමිත්තෙන් 1975 මැයි මස 29 වැනි දින රාත්‍රියේ (මීට අවුරුදු 50 කට පෙර ) ඔහුගේ නාවල නිවසේ පැවති සාදයට මා සහ මගේ කුලුපග මිතුරන් වන නිමල් හොරණ (එකල ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා සහෝදරයාගේ ජනදින-ජනසතිය වාමාංශික පුවත්පත්වල ප්‍රධාන කර්තෘ; 1994-1999 'සිළුමිණ' පුවත් පතේ ප්‍රධාන කර්තෘ, සුප්‍රකට කවියා හා ලේඛකයා ); දයාපාල ජයනෙත්ති (මාර්ටින් වික්‍රමසිංහ භාරකාර පදනමේ වර්තමාන පරිපාලන ලේකම් ; සුප්‍රකට ලේඛක) ඇතුළු අපි කීප දෙනෙක් සහභාගී වීමු.
මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අවසන් උපන්දින සාදය මෙය වෙතියි අපි කිසිවෙක් එදා නොසිතුවෙමු. ඔහු එදා එතරම්ම ජීවයෙන් හා සති සම්ප්‍රජන්‍යයෙන් යුක්තව සිටි හෙයිනි . එහෙත් 1976 මැයි මස 29 වැනි දින තම 86 වැනි උපන් දිනය එළඹෙන විට ඔහු සිටියේ බලවත් ලෙස රෝග ග්‍රස්තව මංච පරායණවය. මුළු ජීවිතය පුරාම එකසර කෙසරිඳු බඳුව සිංහල ලකුණ සොයන්නට නිරතුරුවම වෙහෙසුණු මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ මසැස 1976 ජූලි මස 23 වැනි සිකුරාදා සවස 06.45 ට සදහටම වැසී ගියද, එතුමන්ගේ නැණැස ඔහු ලියූ පොත පතෙහි තවමත් නොනිවී දැල්වෙයි.
සිරිකත ඔබට පිටු පෑ මුත්
පැටි කලම
තනිවම පොත පතින් ගති
සරසවි වරම
අගයා ඔබේ සාහිත මෙහෙයෙහි
තරම
දුනි ආචාරි පට තිබු
සරසවි තුනම
නොමගෙන ආචාරි අබිමන
තම සිතට
නොදමන ලෙසට එම ගරු පට
නම මුලට
දැන්විය එදා ඔබ පත් කතුවර
හැමට
පස් වැන්නට එහා නොගියත්
පාසලට
මගෙ සරසවි සමයෙ ඔබ
පළමුව හැඳින
බැඳුණයි හදින් බව ඇසුරක
පල ලෙසින
නිවහල් සිතුම් මසිතෙහි
පොබ කළ නිතින
ඇදුරෙකි පියෙකි සොයුරෙකි
මිතුරෙකි කලන
පරගැති නැති සිහල සලකුණෙහි විසිතුරූ
දිවි හිම් තෙක් වැනූ තම පොතින් නිරතුරූ
ඔබ හට දිගා පැතු රසවතුන්
පිරිවැරූ
අමතක වෙද එදින පස්
අසූ වස් පිරූ
[මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අවසාන (85) උපන්දින සාදයේදී ගත් මේ ඡායා රූපයේ සිටින්නේ (වම් පස සිට) දයාපාල ජයනෙත්තීන්, මාර්ටින් වික්‍රමසිංහ සූරීන්, නිමල් හොරණයන්, මාම්පිටිය මිතුරා හා මම සමග තවත් මිතුරෙකි.]

කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.
සියළු හිමිකම් රචකයා සතුය.
https://www.facebook.com/karunarathna.amarasinghe.3

ෂේක්ස්පියර් හා භර්තෘහරි

මිනිසාගේ ජීවන දසා පිළිබඳ සනාතන සත්‍ය විවරණයක් විලියම් ෂේක්ස්පියර් කිවිඳුන්ගේ සුඛාන්ත නාට්‍යයන්ගෙන් (comedies) එකක් වන 'As you like it' නාට්‍යයෙහි හමුවෙයි. මේ ලිපිය මගින් ඔබ වෙත ඉදිරිපත් වන්නේ ඒ විශ්ව විවරණයයි.
ෂේක්ස්පියර් කිවිඳුන් තම දෘශ්‍ය කාව්‍ය සඳහා උපයෝගී කොටගෙන ඇත්තේ බටහිර ඡන්දස් ශාස්ත්‍රය අනුව Iambic Pentameter (අයැම්බික් පෙන්ටාමීටර්) නමින් දන්නා පද්‍ය රචනා විශේෂයයි. Iambus (අයැම්බස්) යනු මුලට ලඝුවක් හා ඊළඟට ගුරක් ඇති ගණයෙන් සැදූණකි. Pentameter යනු පංච පාද පද්‍යයයි. Blank Verse නමින් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ විශේෂයෙන් Iambic Pentameter පද්‍ය උපයෝගී කොට ගන්නා එළිසම රහිත රචනාය. ඉංග්‍රීසි Free Verse යනු එළිසම රහිත සම්මත තාල , පාද හා මාත්‍රා නියමයෙන් තොර පද්‍ය රචනා ගණයකි. ඒවා ඉංග්‍රීසියේ
Vers Libre නමින්ද හැඳින්වේ. ස්වාධීනව ලියැවෙන පද්‍ය රචනා යන අරුත ඉන් පළ වෙයි.
අද සුලබ නිසරු වහරක් බවට පත්ව ඇති 'නිසඳැස්' යන පදය වනාහි ඉංග්‍රීසි Blank Verse යන්නෙහි ඇති 'එළිසම රහිත' යන අරුත පමණක් සලකා ගත්තවුන් විසින් නිපදවන ලද්දකැයි සිතමි. එම පැදි රචනා සසඳැස් ගණයට වැටෙන බව ඔවුන්ගේ අඳ ඇසට හසුව නොමැත. එළිසම සහිත, මාත්‍රා නියමයෙන් යුත්, සවිරිත් පද්‍ය රචන පරිචය ලද කවියන් මෙකල මෙලක දුලබවීමද සුලබ නිසරු නිසඳැස් කවි ගඩ්ඩරිකා ප්‍රවාහය බහුලවීමට හේතු භූත වූයේ යැයි සිතමි.
[ 'ගඩ්ඩර' යනු එළුවා හැඳින්වෙන සකු වදනයි. 'ගඩ්ඩරිකා' යනු එළු රැළයි. 'ගඩ්ඩරිකා ප්‍රවාහය' නම් වැල නොකඩා එකා පස්සේ එකා යන එළු රංචුවයි. වටපිට නොබලාම නායක එළුවා පස්සෙන් යෑම එළුවන්ගේ සිරිතය. එසේ පසු පස්සේ යන එළු රැළ නායක එළුවා යම් තැනකදී ආපසු හැරෙයිද ඒ සමගම වහා ආපසු හැරීම කරණකොටගෙන එකා පිට එකා පෙරළෙති. සිටවූ කාඩ් පැක් එකේ කාඩ් පෙළ පෙරළී යන්නා සේය. නිවහල් මනසින් තොර අනුකාරක කවියන් කර්කශ උපහාසයට ලක් කිරීම සඳහා පැරණි සංස්කෘත ආලංකාරිකයන් (විචාරකයන්) විසින් නිර්මිත සෝපහාස අලංකාරෝක්තියකි 'ගඩ්ඩරිකා ප්‍රවාහය' යන්න.]
ඉංග්‍රීසි Free Verse යන නමින් හැඳින්වෙන්නේ එළිසම රහිත, පාද හා මාත්‍රා නියමයෙන් තොර පද්‍ය රචනා ගණයයි. ජී බී. සේනානායකයන් අනුගමනය කළේ මේ ඉංග්‍රීසි පැදි ගණයයි. ඔහු ඒවා හැඳින්වීමට සිංහල නමක් නිපදවන්නට ගියේ නැත. මාර්ටින් වික්‍රමසිංහයන් පාලි ථේරී ගාථා සිංහල පැදියටපරිවර්තනය කළේ සේනානායකයන් අනුව යමිනි. එළිසම රහිත, පාද නියමයෙන් තොර පැදි පාලි සාහිත්‍යයේ ඉතා සුලබය. ඒවාට අයත් කවි ලකුණු මුලින්ම විමසුමට ලක් කළේද මාර්ටින් වික්‍රමසිංහයන් මය.
ගඩ්ඩරිකා ප්‍රවාහය මෙන් වත්මන් තරුණ කවි පරපුරට අයත්
සුකවි කුකවි දෙපිරිසෙන්ම වැඩි දෙනෙකු 'නිසඳැස්' අඩයාලමෙන් වැඩි වශයෙන්ම ලියන්නේ එළිසම රහිත,පාද නියමයෙන් තොර, පැදි මිස අන් කිසිවක් නොවේ. එනම් ඉංග්‍රීසි Blank Verse ය. එහෙත් ඒ සියල්ලම සසඳැස් බව , එනම්, කිසියම් සඳෙසකට වැටෙන බව ඔවුහු නොදනිති. එනිසාම ඒවා 'නිසඳැස්' අඩයාලමෙන්ම හඳුන්වති.
එහි මාත්‍රා ගණන ප්‍රස්තාර කර බැලුවහොත් 'සඳැස' හොයා ගත හැකිය. එහෙත් එය පුරාණයේ සිට නොපැමිණි, සම්මතව නොපැවති,නව සඳැසක් නව විරිතක් වනු කවර අරුමයක්ද!
'එළු සඳස් ලකුණ' කළ භද්‍ර හිමියන් තම කෘතියෙහිලා එය අවධාරණය කරඇත්තේ මේ ගීයෙනි.
"කෙළ සුවහස් විරිත්-සඳස්
ලකුණු දනු එළුවේ
එබඳුත් හොත් කිවියරන්-
නොවිරිත් නමැයි කොවිරිත්."
"හෙළ බසෙහි කෝටි සිය දහසක් විරිත් සහිත සඳස් ලකුණු ඇති බව දැන ගන්න. කවි බඳින කවියන්ට කොයි විරිතද විරිතක් නොවන්නෙ!"
මෙය අපේ අදීන සිංහල කාව්‍ය සම්ප්‍රදාය හෙළි කරන මනා සාක්ෂියක් නොවේද? ගඳඹ ඇදුරෙකු නිසඳැස් පැදි පෙළක් ඇසුරෙන් මවන නව ගී තනුව වූකලී එම පැදි පෙළ තුළ සැඟව පැවති පෙර නොවූ විරූ නුදුටු විරූ නොඇසූ විරූ නව සඳෙස හා නව විරිත ඇසුරෙන් පහළ වුණු අභිනව නිර්මාණ ඵලයක් නොවෙතියි කාහට නම් පැවසිය හැකිද ?

මිනිසාගේ ජීවන අවධි ෂේක්ස්පියර් කිවිඳුන් බෙදා දක්වන්නේ දශක දශකයකට නොව වයස සප්තකයකටය. (The Seven Ages Of Man).තම As you like it නාට්‍යයේ දෙවැනි අංකයේ හත් වැනි දර්ශනයේ එන Jaques (ජැකී)නමැති චරිතයේ මුවට ෂේක්ස්පියර් කිවිඳුන් නගා ඇති මිනිසාගේ වයස සප්තකය පිළිබඳ ඒ විවරණය මම මෙසේ ඔබ වෙනුවෙන් සිංහලයට නගා දක්වමි.
මුළු ලොවම කරළියකි
නළුවෝය සියලු දන
ඔවුහු ඉන් පිටවෙතී
නැවත එහි පිවිසෙතී
එකෙක් තම වාරයෙදි
රඟපාති නන් චරිත.
ඔහු රඟන ජවනිකා
දිවියෙ සත් අවදියකි.
පළමුව බිලිඳෙකි
කිරි වමනය කොට
උංගෑ කියනා
කිරි මව් දෑතේ
ඉන් පසු කොඳුරා
අඬනා සිසුවෙකි.
දිළෙන උදය වැනි
මුහුණක් හිමි ඔහු
ගොළුබෙලි ගමනින්
නොසතුටු සිතකින්
පොත් බෑගය ගෙන
පාසල වෙත යයි.
අනතුරුව එයි පෙම්වතෙක්. පෙම්වතියගේ දෙබැම ගැන ඔහු
කවි කතාවක් ගොතා දුක්බර
සුසුම් ලයි උදුනක් ලෙසින්.
ඉක්බිති සෙබළෙක් එළඹෙයි. දිවියෙකුගේ රැවුළැති ඔහු
අමුතු අමුතු දිවුරුම්දෙයි.
නන් ගරු බුහුමන් ලබනට
ඊරිසියාවෙන් සැරසෙයි.
සැණින් සටන් වදිනා ඔහු
යසස් ලොබින් වෙඩි නොතකයි.
ඊළඟට විනිසුරුවෙකී.
රවුම් හැඩයේ බඩකි ඔහු හට
තියුණු වූ නෙත් යුවළකී.
නැණැති කියමන්
අලුත් නිදසුන්
ඇති චරිතයක්
රඟයි ඔහු.
කෙසඟ සරීරයක් දරන
සෙරෙප්පු දෙපයේ පලඳින
විකට කෝලමෙකු වෙත දැන්
හය වැනි අවදිය පැමිණෙයි.
කන්නාඩියකි නහය මත්තේ
පසුම්බියකී පසෙක ඇත්තේ
තරුණ කල දැමු මේස් කුට්ටම
කෙට්ටු කෙණ්ඩේ රැඳී නැත්තේ.
ඔහුගෙ වැඩිහිටි පිරිමි කටහඬ
ළමා හඬකට හැරී යන්නේ.
සිහින් සරකින් ඇසෙන එය දැන්
නළාවක නාදයක් වැන්නේ.
අරුම පුදුම දේ සිදුවුණ
මේ ජීවිත කතන්දරේ
අවසන් වන ජවනිකාව,
දත් නොමැති, ඇස් නොමැති,
රස නොමැති,කිසිත් නැති
මතක අමතකව ගිය
බිලිඳු විය වෙයි දෙවැනි.
මහා කවි කාලිදාසයන්ගෙන් පසුව භාරතීය කවියන්ගේ නිර්මාණ නෛපුණ්‍යය ප්‍රකාශ වෙන කාව්‍ය ග්‍රන්ථ ස්මාරක තුනක් ඇත.ඒ භර්තෘහරිගේ ශතක පොත් ත්‍රිකයයි.විවිිධ වෘත්තවලින් ප්‍රේම ජවනිකා නිරූපිත 'ශෘංගාර ශතකය', උපේක්ෂාව චිත්‍රිත 'වෛරාග්‍ය ශතකය' හා ප්‍රඥාව වර්ණිත 'නීති ශතකය' එකී ග්‍රන්ථයෝ වෙති. ආංගල දේශයේ පහළ වුණු කවිරාජ ශිරෝමණී විලියම් ෂේක්ස්පියරයන් තම කාව්‍ය ලෝචනයෙන් විලෝචනය කොට As you like it නමැති තම සුඛාන්ත නාට්‍යයෙහි ලා නිරූපිත ජීවන ජවනිකා භාරතීය කවීන්ද්‍ර භර්තෘහරි චිත්‍රණය කර ඇත්තේද විස්මයාවහ සමීපත්වයකිනි. එය වූකලී ගම්භිර ජීවන පරිඥානයේ විශ්ව සාධාරණත්වය විදහා පාන්නකි.
කවීන්ද්‍ර භර්තෘහරීන් විරචිත ශතක ශ්ලෝකය මෙසේය.
ක්ෂණම් බාලෝ භූත්වා ක්ෂණමපි
යුවා කාමරසිකඃ
ක්ෂණං චිත්තෛර් හීනඃ ක්ෂණමපි ච සම්පූර්ණ විභවඃ
ජරාජීර්ණෛරංගෛර් නට ඉව වලී මණ්ඩිත තනුර්
නරඃ සංසරාන්තේ විශති යමධානීයවනිකාම්
" මොහොතකට මිනිහා ළදරුවෙකි. මොහොතකට කාම රසික තරුණයෙකි. මොහොතකට ධනයෙන් හීන වූවෙකි. මොහොතකට ධනයෙන් පිරුණෙකි. ජීවිතය අවසානයේදී මහලුව දිරූ අත් පා හා රැළිවලින් සැරසුණු සිරුරද ඇතිව නළුවෙකු මෙන් මරණයේ ජවනිකාව පිටුපසට යයි."
අපි දැන් බෞද්ධ සාහිත්‍යයේ විස්තර වන 'දශක දශකය' දෙසට හැරෙමු. පළමුව මේ පාලි ගාථාවට සිත දෙන්න.
මන්දෝ ඛිඩ්ඩා ච වණ්ණා ච
බලා පඤ්ඤා ච හායනා
පබ්භාරා ච පවංකා ච
මෝමූහා සයනා දස
මෙය වූකලී 'දශක දශකය' කවරේද යන්න විස්තර කරන ගාථාවකි. 'දශක දශකය' යනු මිනිසෙකුගේ මුළු ආයුෂ ප්‍රමාණය සියයක් ලෙස සලකවමින්, එය දහය දහය බැගින් වෙන් වෙන් වශයෙන් ගෙන ඊට අයත් ස්වභාවය පිළිබඳ යථාර්ථ විවරණයක් ඉදිරිපත් කිරීමකි.
එය වනාහි බෞද්ධ දර්ශනයට පාදක වුණු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අතරින් අනිත්‍ය ලක්ෂණය මුල් කරගත් තථ්‍ය විග්‍රහයකි. යට දැක්වුණු පාලි ගාථාවේ සරල තේරුම මෙසේය.
"මන්ද, ඛිඩ්ඩ, වණ්ණ, බල, පඤ්ඤා, හායන, පබ්භාර, පවංක,
මෝමූහ, සයන යනු (මිනිසාගේ ජීවිතයේ) දසා දහයයි."
දැන් ඒ දසා දහය විස්තර වශයෙන් දැන ගනිමු.
(1) මන්ද = උපන් දා සිට පළමු දස වසර (10 විය)
(2) ඛිඩ්ඩ = ක්‍රීඩාවෙන් ගත වෙන දස වසර ( 20 විය)
(3) වණ්ණ= හැඩට රුවට ගතවෙන දස වසර ( 30 විය)
(4) බල = සිරුරු බල පවතින දස වසර (40 විය)
(5) පඤ්ඤා = නුවණින් මුහුකුරා ගිය දස වසර (50 විය)
(6) හායන= පිරිහෙමින් යන දස වසර
( 60 විය)
(7) පබ්භාර = කෙළින් ඉන්න වලංගු නැති වන දස වසර (70 විය)
( පවංක = වක ගැහෙන, කුදු ගැහෙන දස වසර (80 විය)
(9) මෝමූහ = සිහි කල්පනාව නැති වන දස වසර (90 විය)
(10) සයන = සයනයට හෙවත් ඇඳට වැටෙන දස වසර (100 විය)
මුල-අග එළිවැට රැකම කවි ලියන කියන කවියෙකු හැටියට ප්‍රකට, කොළඹ යුගයේ අතිශය ජනප්‍රිය කවියකු වන,හක්මන බැන්ටිස් රණවීර කිවිඳුන්,මිනිසාගේ දුර්දසාව ගැන ලියූ චිත්තාහ්ලාද ජනක දාර්ශනික සතර පද පැදියකින් මගේ මේ විවරණය හමාර කරමි.
යම් මිනිහෙකු කරා ආවොත් දුර්
දයිවේ
බොම්හයි මුවට ගත් ඇල්වතුරත් හයිවේ
යම්හයි කියා පියවර තැබුවොත්
දොයිවේ
නම් පටිපාටියෙන් ලත් ජූනිත්
මැයිවේ
කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.
සියළු හිමිකම් රචකයා සතුය.
https://www.facebook.com/karunarathna.amarasinghe.3