
රිළවුන් මිලියන 5.17ක් (ලක්ෂ 50) සහ වඳුරන් මිලියන 1.74ක් (ලක්ෂ 20) ශ්‍රී ලංකාවේ ගොවිබිම් සහ ගෙවතු ආශ්‍රිතව සිටින බව ඉකුත් මාර්තු 15 දා සිදු කළ ජාතික සත්ත්ව සංගණනයේදී හෙළිව තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් පසුගිය මාර්තු 15 වැනිදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ කමිටු වාර්තාව එම අමාත්‍යාංශයේදී පසුගිය (12) වැනිදා එළිදැක්විණි.
එම වාර්තාවලට අනුව මෙරට ගොවිබිම් හා ගෙවතු ආශ්‍රිතව මොනරුන් – මිලියන 4.24ක් (ලක්ෂ 40), දඬුලේනුන් මිලියන 2.66 (ලක්ෂ 26) සිටින බව තහවුරු වී ඇත.
දිස්ත්‍රික් වශයෙන් ලැබී ඇති වාර්තා අනුව වැඩිම රිළවුන් ගහණයක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. සංඛ්‍යාව 634,668කි. වඳුරන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. සංඛ්‍යාව 160,315කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම දඬුලේනුන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර සංඛ්‍යාව 546.715කි. වැඩිම මොනරුන් සංඛ්‍යාවක් වාර්තා වන්නේද මොනරාගල දිස්ත්රික්කයෙන්ම වන අතර සංඛ්‍යාව 621,517කි.
මෙම සත්ත්ව කාණ්ඩ හතර අතරින් අඩුම සත්ත්ව ගහණයක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ සිදු කළ සංගණනයේ වාර්තා අනුව රිළවුන් 689ක් ද, වඳුරන් 21,274ක් ද, දඬුලේනුන් 1309ක් ද, මොනරුන් 1370ක් ද වේ. ගෘහාශ්‍රිතව සහ පූජාභූමි ආශ්‍රිතව සිදු කෙරුණු මෙම සත්ත්ව සංගණනයට අදාළ පත්‍රිකා මුද්‍රණය සඳහා සඳහා රුපියල් මිලියන 2.4ක මුදලක් වැය වී ඇති අතර මුද්‍රණය කළ පත්‍රිකා සංඛ්‍යාව මිලියන 07කි. මෙම පත්‍රිකා බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 2.7ක් වැයවී ඇති අතර ඇතැම් පත්‍රිකා පොදු ප්‍රවාහන සේවවන් මගින් කිසිඳු වියදමකින් තොරව බෙදා හැරීම සිදු කර ඇත.එමෙන්ම මේ සංගණනය සඳහා සහභාගිවූ නිලධාරින් කිසිඳු දීමනාවක් ඒ සඳහා ලබා ගෙන නොමැත.
රිළා ගහණය වැඩිම දිස්ත්‍රික්කයන් ලෙස මහනුවර, කෑගල්ල, අනුරාධපුරය, පොලොන්නරුව සහ කුරුණැගල දිස්ත්‍රික්කයන් වාර්තා වී ඇති අතර දඬුලේනුන් වැඩි වශයෙන්ම වාර්තා වී ඇත්තේ කුරුණෑගල සහ මොණරාගල දිස්ත්‍රික්කවලිනි. අනුරාධපුර, හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලින් වැඩිම වඳුරු ගහණයක් වාර්තා වී ඇති අතර අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල දිස්ත්‍රික්කයන්හි වැඩිම මොනරුන් ගහණයක් වාර්තාවී ඇතැයි එම සත්ත්ව සංගණන වාර්තාව සදහන් කරයි.
වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කළමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා විසින් පත් කළ විශේෂ කමිටු සාමාජිකයන් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කරන ලදි.
එහිදී එම කමිටුව මෙම සත්ත්ව සංගණනය පිළීබඳව තම නිර්දේශද ඉදිරිපත් කළේය. එම නිර්දේශයන්ගෙන් කමිටුව පෙන්වා දෙන්නේ කසළ කළමනාකරණය නිසි ලෙස නොකිරීම හේතුවෙන් මෙම සත්ත්ව ගහණය වැඩිවී ඇති බවයි. විශේෂයෙන්ම පුණ්‍ය භුමි සහ ගෘහාශ්‍රිතව ,මහජනයා බහුලව ගැවසෙන තැන්වල නිසි කසළ කළමනාකරණයක් අත්‍යවශ්‍ය බවද එම කමිටුව පෙන්වාදී ඇත.
එමෙන්ම සතුන් ගහනය පාලනය සඳහා වන්ද්යකරණයද සුදුසු පියවරක් බවත් ඉදිරියේදී මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට නිර්දේශ කරන බවත් එම කමිටුව සඳහන් කර තිබේ.එමෙන්ම මෙම කමිටුව පෙන්වා දී ඇත්තේ වන සත්ත්ව කළමනාකරණය ඉතා වැදගත් බවයි. වන සත්ත්ව ආරක්ෂණය පිළිබඳව මෙරට පනත් තිබුණද නීති රෙගුලාසි තිබුණද වන සත්ත්ව කළමනාකරණය පිළිබඳව නීති රෙගුලාසි අප රටේ නොවන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවත් කමිටු නිර්දේශයන්හි සඳහන්ය.
භෝග ආරක්ෂණ කමිටු ස්ථාපිත කිරීම ,වන සතුන් පළවා හැරීමට සිවිල් ආරක්ෂක බළකා සම්බන්ධ කර ගැනීම, සත්ත්ව කළමනාකරණය සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා පරිසර සංවිධාන, සත්ත්ව සංවිධාන ඇතුළු විද්වත් පිරිසගෙන් අදහස් ගෙන ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම විද්‍යාත්මක පදනමකින් ද යුතු ක්‍රමවේද සැකසීම කළ යුතු බවද මෙම කමිටුව නිර්දේශ කර ඇත.
මෙම කමිටු වාර්තාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.