දිට්වා පහව යද්දී, ඊසානදිග මෝසම සක්‍රියවන ලකුණු- මියගිය හා අතුරුදන් වූ පිරිස ඉහලට – සහන වැඩපිළිවෙල දිගටම.

ළඟ එන මෝසම් වැස්සෙන් වැඩිම බලපෑමක් වන ජලාශ ගැන අවධානය
අනාවැකි අනුව ජලය මුදාහරින්න බැහැ- වාරිමාර්ග අධ්‍යක්‍ෂ
ඇරපු වාන් දොරටු රැසක්ම වසයි
ගංගා ජලය බැස්සත් පහත් බිම් තාමත් යටවෙලා
ලක්‍ෂ 15 1/2 ක් පීඩාවට

ඊසානදිග මෝසම සක්‍රියවීමත් සමග වර්ෂාපතනයේ වැඩිවීමක් සිදුවී ඉන් බලපෑමක් ඇතිවන ජලාශ සම්බන්ධයෙන් අවධානයෙන් සිට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ) එල්. එස්. සූරියබණ්ඩාර මහතා පසුගිය (03 වැනිදා) පැවසීය.

ශ්‍රී ලංකාවේ පවතින්නේ වාරි පද්ධතියක් බවත් එම පද්ධතියට ලැබෙන ජලය කෘෂිකර්මය, පානය ඇතුළු අවශ්‍යතා සඳහා රඳවා ගතයුතු බවත් එම ජලාශවල ජලය කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අනාවැකි අනුව මුදාහැරිය නොහැකි බවත් ඒ මහතා කීය.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මහවැලි, කැලණි, මල්වතු, දැදුරු, මාඔය ඇතුළු ගංඟා රැසක ජල මට්ටම අඩුවෙමින් පැවතියත් එම ජලාශ ආශ්‍රිත පහත් බිම් කිහිපයක පසුගිය 04 වැනිදා වන විටත් ජලය එක්රැස්වී පවතින බවට වාර්තා විය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 25 තුළ පවුල් 437,507ක පුද්ගලයන් 1,558,919ක් පීඩාවට පත්ව සිටින අතර පුද්ගල මරණ 465ක් ද, පුද්ගල අතුරුදන්වීම් 366ක් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබිණි.

නිවාස 783ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබූ අතර අර්ධ නිවාස හානි 1,433ක් ද වාර්තා වී තිබේ. පවුල් 61,875ක පුද්ගලයන් 232,752ක් ආරක්‍ෂිත මධ්‍යස්ථාන 1433ක රැඳවීමට කටයුතු කර තිබිණි.

බදුල්ල, කොළඹ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70ක් සඳහා නිකුත් කර තිබූ රතු නිවේදන (ඉවත්වීමේ)  (04 වැනිදා) දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබිණි. මේ වනවිට අනතුරු ඇඟවීම් සිදුකර නිවාසවලින් ඉවත්ව සිටින ජනතාවට ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පරීක්‍ෂා කර දැනුම්දීමක් සිදුකරන තෙක් එම නිවෙස්වලට යළි නොයන ලෙස ද එම ආයතනය ඉල්ලා සිටී.

ඊසානදිග මෝසම සක්‍රියවීමත් සමග උතුර, උතුරු මැද, නැඟෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකිය.

මේ අතර දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය පෙන්වා දෙන්නේ සුළි කුණාටුවෙන් දරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරන බවයි.යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජය සමග එක්ව ළමුන්ට අවශ්‍ය හදිසි උපකාර සේවා සහ ජීවිතාරක්ෂක සේවා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් වේ.දැඩිලෙස පීඩාවට පත් දිස්ත්‍රික්කවල සිටින දරුවන් වෙනුවෙන් හදිසි අධ්‍යාපන කට්ටල ලබා දීමට ද බලාපොරොත්තු වන බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

මේ අතර ආපදාවෙන් විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයාගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් පසුගිය (03වැනිදා) පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.ආපදා තත්ත්වයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලයේ විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වා තිබුණි.එම විශේෂ රැස්වීමේදී අදාළ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව වාර්තාවේ.

ආපදා තත්ත්ව­යෙන් විප­තට පත් සියලු පාසල් දරු­වන්ට ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් 25,000ක දීම­නා­වක් ලබා දෙන්න පිය­වර ගෙන තිබෙන බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙනවිය පාර්ලි­මේ­න්තු­වේදී ‍ පසුගිය (03 වැනිදා) ප්‍රකාශ කළාය.

“විප­තට පත් සියලු පාසල් දරු­වන්ට ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් 25,000 බැගින් ලබා දෙන්න පිය­වර ගෙන තිබෙ­නවා. අපි සමස්ත ලෝක­යට ආද­ර්ශ­යක් ලබාදී තිබෙ­නවා. අපේ රටේ සියලු පවුල් මේ ව්‍යස­න­යෙන් පීඩා­වට පත්ව සිටින ජන­තාව වෙනු­වෙන් සහාය ලබා­දෙන්න කට­යුතු කළා.

ජීවිත අහි­මිවූ සියලු දෙනා වෙනු­වෙන් අපි කන­ගාටු වෙනවා. අපි එක­මු­තු­ක­මින් නැඟී සිටිය යුතු වෙනවා. අපි එක­මු­තුව මේ අභි­යෝ­ගය ජය­ගත යුතු වෙනවා” යැයි ද අග්‍රා­මා­ත්‍ය­ව­රිය පැව­සු­වාය.

දේ අතර ශ්‍රී ලංකා­වට බලපෑ අය­හ­පත් කාල­ගු­ණික තත්ත්ව­යෙන් සිදුවූ දැඩි හානිය සම්බ­න්ධ­යෙන් රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින්, බ්‍රිතා­න්‍යයේ චාල්ස් කුමරු, ඉන්දි­යානු අග­මැති නරේන්ද්‍ර මෝදි ඇතුළු රට­වල් රැසක නාය­ක­යන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත සංවේ­ගය පළ කර තිබෙන අතර අසීරු මොහොතේ දී ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගන්නා බවට ප්‍රකාශ කර තිබේ.

මීට අම­ත­රව අමෙ­රි­කානු ජනා­ධි­පති වෙනු­වෙන් ධවල මන්ද­රයේ නියෝ­ජි­ත­ව­ර­යකු ද ජනා­ධි­ප­ති­ව­ර­යාට සිය සංවේ­ගය පළ කර තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකාව සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කළ ආකා­ර­යෙන් ඉදි­රි­ය­ටත් ශක්ති­මත්ව කට­යුතු කිරී­මට සූදා­නම් බව ද මෙම ව්‍යස­න­කාරී අව­ස්ථාවේ ශ්‍රී ලාංකීය ජාතිය සමඟ නිර­න්ත­ර­යෙන් සිටින බව ද රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මීර් පුටින් මහතා සඳ­හන් කර ඇත. ශ්‍රී ලංකාව පුරා ඇති වූ ගංව­තුර හා නාය­යෑම් හේතු­වෙන් සිදු වූ ජීවිත හානි සහ විනා­ශය සම්බ­න්ධ­යෙන් රුසි­යානු ජනා­ධි­ප­ති­ව­රයා සිය සංවේ­ගය පළ­කර තිබෙන අතර තුවාල ලැබූ­වන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ. ඊට අම­ත­රව ශ්‍රී ලංකාව සහ අග්නි­දිග ආසි­යාව පුරා ඇති වූ දරුණු කුණාටු හේතු­වෙන් සිදුවූ විනා­ශය ගැන තමා සහ බිරිය ශෝක­යට පත්වන බව එක්සත් රාජ­ධා­නියේ චාල්ස් රජු ප්‍රකාශ කර තිබෙන අතර එම කුණා­ටුව හේතු­වෙන් බල­පෑ­මට ලක් වූ සියලු දෙනාගේ ජීවිත සහ ජීව­නෝ­පා­යන්ට කෙත­රම් බල­පා­න්නට ඇත්දැයි අනු­මාන කළ හැකි බව ද පෙන්වාදී ඇත. ඛේද­ජ­නක ලෙස ජීවිත අහිමි වූවන්ගේ පවු­ල්ව­ලට ඔවුන්ගේ හෘද­යාං­ගම ශෝකය ප්‍රකාශ කරන බව ද මෙම දුෂ්කර දින­වල විශේ­ෂ­යෙන්ම නිර්භීත ලෙස හදිසි ප්‍රති­චාර දක්ව­න්නන් සහ අත්‍ය­වශ්‍ය ආධාර සප­යන සියලු දෙනා විශේ­ෂ­යෙන් අගය කරන බව ද බ්‍රිතා­න්‍යයේ චාල්ස් රජු සඳ­හන් කර තිබේ.

සුළි කුණා­ටු­වෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ විනා­ශය පිළි­බඳ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ශෝකය පළ­කර තිබෙන අතර මෙම අව­ස්ථාවේ දී ඉන්දීය ජන­තාව ශ්‍රී ලංකාවේ ජන­තාව සමඟ සහ­යෝ­ග­යෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත. ඊට අම­ත­රව සිය ගණ­නක් මිය­ගොස් ලක්ෂ ගණ­නක් අව­තැන් වූ සුළි කුණා­ටු­වෙන් පසු දුර­ක­ත­න­යෙන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක අමතා තිබෙන දකුණු හා මධ්‍යම ආසි­යානු කට­යුතු පිළි­බඳ අමෙ­රි­කානු විශේෂ නියෝ­ජිත සහ ධවල මන්දිර ජනා­ධි­පති කාර්යා­ලයේ අධ්‍යක්ෂ සර්ජියෝ ගෝර් මහතා එක්සත් ජන­ප­දය තත්ත්වය සමී­පව නිරී­ක්ෂ­ණය කර­මින් සිටින අතර ආද­ර­ණී­යන් අහිමි වූ පවු­ල්ව­ලට සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කරන බව ද සඳ­හ­න්කර තිබේ.

මේ අතර කලා­පයේ විනා­ශ­කාරී ගංව­තු­රෙන් සිදු වූ විනා­ශ­යෙන් පීඩා­වට පත් ඉන්දු­නී­සි­යාව, මැලේ­සි­යාව, ශ්‍රී ලංකාව, තායි­ල­න්තය සහ විය­ට්නා­මය යන රට­වල ජන­තාව ශෝකය පළ­කර තිබෙන ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂිකා ක්‍රිස්ට­ලිනා ජෝර්ජිවා මහ­ත්මිය සිය නිල x පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් මේ බව සඳ­හන් කර තිබේ.

මෙකී ව්‍යස­න­යෙන් අහිමි වූ ජීවිත ගැන ශෝකය පළ­කර ඇති ඒ මහ­ත්මිය කුණා­ටු­වෙන් බල­පෑ­මට ලක් වූ සියලු දෙනා සමඟ නැ‍ඟී සිටින බව ද එමෙන්ම ව්‍යස­න­යට මුහු­ණ­දුන් රට­වල් නැවත යථා තත්ත්ව­යට පත්වී­මට සහ ඔරොත්තු දීමේ හැකි­යා­වට සහාය වීමට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සූදා­නම් බව ද අදාළ පණි­වු­ඩයේ වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

විදේ­ශීය පරි­ත්‍යා­ග­ශී­ලීන් විසින් ආප­දා­වට ලක්වූ ජන­තාව වෙත ලබා­දෙන මානූ­ෂීය ආධාර සඳහා තීරු බදු සහ ගාස්තු­ව­ලින් තොරව ගෙන්වී­මට රජය විසින් ක්‍රම­වේ­ද­යක් සකස් කර ඇත.

ආප­දා­වට පත්වූ ජන­තාව වෙත අත්‍ය­වශ්‍ය භාණ්ඩ පරි­ත්‍යාග කිරීම සඳහා විදෙස් රට­වල් සංවි­ධාන, පුද්ග­ල­යන් මෙන්ම විදෙ­ස්ගත ශ්‍රී ලාංකි­ක­යින් විසින් සිදු­කර ඇති ඉල්ලීම් සැල­කි­ල්ලට ගනි­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ උප­දෙස් මත මෙම ක්‍රම­වේ­දය සකස් කර තිබේ. ඒ අනුව ඔවුන් මෙර­ටට එවනු ලබන භාණ්ඩ­මය ආධාර සියලු තීරු­බදු ගාස්තු­ව­ලින් තොරව කඩි­න­මින් නිශ්කා­ෂ­ණය කර බෙදා හැරීම සඳහා පහසු ක්‍රම­වේ­ද­යක් ප්‍රකා­ශ­යට පත් කර ඇති බව රේගු දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් සීවලී අරු­ක්ගොඩ මහතා සඳ­හන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මින් එසේ කී අධ්‍යක්ෂ ජන­ර­ල්ව­රයා මානු­ෂීය ආධාර එවීමේ දී තිබෙන භාණ්ඩ පිළි­බඳ විස්ත­ර­යක් එවී­මෙන් මෙම කාර්ය වඩාත් පහ­සු­වෙන් නිද­හස් කර ගැනී­මට හැකි­යාව තිබෙන බව ද කියා සිටි­යේය. වරායේ හා කටු­නා­යක ගුව­න්තො­ටු­පළේ රේගු අංශය පැය 24ක ක්‍රියා­ත්ම­ක­වන පරිදි මෙම නිශ්කා­ෂණ වැඩ­පි­ළි­වෙළ සිදු කරන අතර, ආන­යන තත්ත්වයේ භාණ්ඩ එවී­මෙන් සිදු­වන අප­හ­සුතා මඟ­හැ­රවා ගත හැකි බව ද සීවලී අරු­ක්ගොඩ මහතා සඳ­හන් කළේය.

පරි­ත්‍යාග පිළි­බඳ මාර්ගෝ­ප­දේශ සඳහා WWW.CUSTOMS.GOV.LK වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් ද එසේ පරි­ත්‍යාග කළ හැකි අත්‍ය­වශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළි­බඳ සවි­ස්ත­රා­ත්මක විස්තර WWW.DONATE.GOV.LK යන වෙබ් අඩ­වි­යට පිවි­සී­මෙන් ද ලබා­ගත හැකිය. මේ අතර දිට්වා සුළි කුණා­ටු­වෙන් සිදුවූ අති­වි­ශාල හානි­යෙන් පසුව රට යළි ගොඩ­නැං­වීම අර­මුණු කර­ගත් “රී – බිල්ඩින් ශ්‍රී ලංකා” අර­මු­දල ස්ථාප­නය කිරී­මට කැබි­නට් මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලබා දී තිබේ. මෙරට වෙනත් පුද්ග­ල­යකු හෝ සංවි­ධා­න­යක නමට ද්‍රව්‍ය­මය පරි­ත්‍යාග එවනු ලබන අව­ස්ථා­වක බදු නිද­හස් කර ගැනී­මක් අවශ්‍ය නම්, එම පරි­ත්‍යාග ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය වෙන භාර­දී­මට අදාළ පාර්ශ්වය එක­ඟ­තාව පළ කළ යුතුය. එසේ නැත­හොත් සාමාන්‍ය නිශ්කා­ෂණ ක්‍රියා­ව­ලි­යට අනු­ගත කළ යුතුවේ. මේ පිළි­බඳ විස්තර +94704752823 දුර­ක­තන අංක­යෙන් හෝ relief25@custom.gov.lk විද්‍යුත් ලිපි­න­යෙන් ලබා­ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *