
දෙසැම්බර් 05 වැනිදාට යෙදුණු අමරදේවයන්ගේ 98 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙනි
මහාාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ නාට්‍ය හා නවකතා නිෂ්පාදනයට පමණක් නොව ප්‍රකට සංඥා නාම පාදක කොටගෙන විකට සංඥා නාම නිෂ්පාදනයටද පරම ශූරයෙකි. එහි ලා ඔහු තන්වැසි , මුකරි සිංහල ගැමියන්ට දෙවැනි නොවන්නෙකි. අමරදේව හා ‘අමාරුදේව’ යන විකට නාමකරණය වනාහී මහාචාර්ය සරච්චන්ද්‍ර මහාශයන්ගේ තත් ශූරත්වය මනාව සනාථ කරන සාක්ෂාත් සාක්ෂියකි. ‘අමාරුදේව’ යනු මහා ගාන්ධර්ව අමරදේවයන්ගේ චරිතයේ සහජ ප්‍රකෘතියක් සදය සරදමට ලක් කිරීම සඳහා සරච්චන්ද්‍රයන් විසින් නිපදවන ලද විහිළු නමකි. එහෙත් එය හුදෙක් උපහාසය පිණිස මිස අපහාසය පිණිස නිපදවූවක් නොවේ. තම ආත්ම අපදාන වෘත්තාන්තය වන ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ යන කෘතියෙහි ලා සරච්චන්ද්‍රයන් පවසන මෙවදන් අසන්න!
“මගේ ‘එලොව ගිහින් මෙලොව ආවා’ නම් නාට්‍යයට තනු නිර්මාණය කරවා ගැනීම පිණිස මම කොළඹ විත් ඔහු (අමරදේවයන්) මගේ මොටෝ රියෙහි නංවාගෙන පේරාදෙණියට ගියෙමි. මුළු ගමනෙහිදී කිසියම් රාගාලාපයක් මුමුනමින් අතින් මුද්‍රා දක්වමින් නිලඹරෙහි පියාසර කරමින් හුන් ඔහු මා ගෙදරට පැමිණ කාර් එක නතර කළ විට යළි පොළොවට බැස්සා සේ වට පිට බලා “අපි පේරාදෙණියට ආවද?” යි මවිත වී ඇසුවේය. ඒ වේලාව රාත්‍රී අටට පමණ ඇත. මම ඔහුට කන්ට බොන්ට සලසා නිදාගන්ට කාමරය පිළියෙළ කොට දී “අපි හෙට උදේ නැගිටලා අපේ වැඩේ පටන් ගනිමු” යි කියා නිදන්ට ගියෙමි. උදේ පාන්දර මම තේ කෝප්පයකුත් වක්කරවාගෙන ඔහුගේ කාමරයට ගියෙමි. ඔහු කඩිමුඩියේ ඇඳුම් අඳිමින් හුන්නේය.
“ඇයි මේ අඳින්නෙ?” යි මම ඇසීමි. ඔහු සමාව අයදින්නෙකුගේ විලාසයකින් යුතුව “යන්න ඕන ඩොක්ට ” යි කීවේය.
“කොහේද?”
“කොළඹ”
“එතකොට අපේ වැඩේ?”
“ඒකට වෙන දවසක එන්නම්. ඩොක්ට එන්න ඕන නෑ. මං කෝච්චියෙන් එන්නම්”
“ඇයි ඉතින් මේ හදිසියෙන් යන්නෙ?”
ඔහු ආයාසයෙන් මඳ සිනාවක් පාමින් “අද පන්තියක් තියෙනවනෙ. මට මතක නැති වුණා.” යි කීවේය.
“කීයටද?”
“උදේ.”
“ඉතින් කොහොමද දැන් යන්නෙ? පරක්කු වෙනවනෙ.”
“පරක්කු වෙලා හරි යන්න ඕන. මාව ගිහිල්ල ඉස්ටේසමට ඇරලනවද?”
(289,290 පිටු)

සරච්චන්ද්‍රයන්ගේ එම අත්දැකීම අනුව ඔහු අතින් අමරදේවයන්
අමාරුදේවයන් වීම කවර අරුමයක්ද? මෙම සරච්චන්ද්‍රීය නාමකරණය පිටුපස තවත් අපූරු දෙයක් ඇත. එනම් සරච්චන්ද්‍රයන් මේ විකට පටබැඳීම කළේ ඔහු විසින්ම පටබඳින ලද ප්‍රකට නාමයටම වීමය. ඇල්බට් පෙරේරා අමරදේව බවට පත් කිරීමද සරච්චන්ද්‍ර මහැදුරාණන්ගේම සත් කර්තව්‍යයක්මැයි. ‘එදිරිවීර රංජිත සරච්චන්ද්‍ර’ බවට පත් යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා විසින් ඇල්බට් පෙරේරා , අමරදේව බවට පත් කරනු ලැබීම කවර අරුමයක්ද!
(සරච්චන්ද්‍රයන් පළමුව එදිරිවීර රන්ජිත සරච්චන්ද්‍ර ලෙසින් නම වෙනස් කරගෙන සිටි බව මා අසා දැනගත්තේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මුවිනි. ‘රංජිත’ යන්න අත් හැරීමට හේතුව සරච්චන්ද්‍රයන්ගෙන් විමසා දැනගන්නට මට කල්පනාවක් නොවුණි.)
වරක් සරච්චන්ද්‍රයන් අප ඉදිරියේ උස් හඬින් සිනා නගමින් තමාද විකට නමකින් හඳුන්වා ගත් අයුරු මට මෙවේලේ සිහිවෙයි.
“Sara gurunnanse has come to meet Sala gurunnanse.” (සලා ගුරුන්නාන්සෙ
හම්බවෙන්න සරා ගුරුන්නාන්සෙ ඇවිල්ල.)
එදා මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග පින්නවල සලා ගුරුන්නාන්සේ හමුවීමට සුනන්ද මහේන්ද්‍ර ,නාරද දිසාසේකර , සුනිල් සරත් පෙරේරා සහ මා ගිය ඒ ගමන සදා සිහියෙහි රඳන අතිශය ආස්වාද ජනක අත්දැකීමකි. සරච්චන්ද්‍රයන් තම ආත්ම අපදානයෙහි ලා එය වදන් සිත්තමට නැගීමට අමතක නොකිරීමෙන් හැඟෙන්නේ එය ඔහුටද සුන්දර අත්දැකීමක් වූ බව නොවේද ?
අමරදේවයෝ වනාහි ගායනයේදී වාදනයේදී හා නිර්මාණයේදී පමණක් නොව හුදකලාව සිටියදී පවා
ස්වයංභූ භාව ලෝකයකට ඉබේම පාවී ගොස් රසාවිෂ්ට වන ප්‍රකෘතියක් ඇත්තෙකි. එවිට ඔහුට තමා නොදැනුවත්වම විෂය ලෝකය අමතකව යයි. සමාධියට සම වැදුණු යෝගාවචරයෙකුගේ ස්වභාවය භජනය කරයි. එහෙත් එය හුදු සංගීත සමාධියම මිස අනිකක් නොවේ. එසේ සමාධියට සම වැදෙන තුරු ඔහුගෙන් කිසිවක් පහළ නොවෙයි. එවැනි ප්‍රකෘතියක් ඇත්තෙකුගෙන් පල නෙළීම සුකර කාර්යක් විය හැක්කේ කෙලෙසද? මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් ‘අමාරුදේව’ යන සදය උපහාස පදය නිපදවන ලද්දේ අමරදේවයන්ගේ මේ සහජ ප්‍රකෘතිය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් මිස ඔහු කෙරෙහි වූ බින්දු මාත්‍ර හෝ අනාදරයකින් නම් නොවන බැව් නියතය.

ඒ පස්වැනි දශකයේ අග භාගයේ දිනකි. ගුවන්විදුලි මාධ්‍යයට තිලකායමාන මාධ්‍ය විශාරදයෙකු , ලේඛකයෙකු හා ගේය කාව්‍ය රචකයෙක් වූ තිලක සුධර්මන් ද සිල්වාණන් මා කැටුව පාදුක්කට ගියේ මෙරට සුප්‍රකට සංගීත වේදියෙකු මෙන්ම ගායකයෙක්ද වූ පියසිරි විජේරත්නයන්ගේ ආරාධනයෙනි. එකල ඔහු සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කළ පාදුක්කේ ලියන්වල පාසලේ විවිධ ප්‍රසංගයකට සහභාගී වීම නිමිත්තෙනි. විජේරත්නයන්ගේ විශේෂ ආරාධනය ලැබූ අමරදේවයෝද එම පාසල් විවිධ ප්‍රසංගයට සහභාගී වීමට පැමිණ සිටියහ. එහිදී මට පළමු වරට පියසිරි විජේරත්නයන් මෙන්ම අමරදේවයන්ද හඳුන්වා දෙන ලද්දේ මගේ කටහඬද පළමු වරට තම ගුවන් විදුලි ළමා පිටිය ඔස්සේ අසන්නන්ට ඇස්සවූ තිලක සුධර්මන් අයියා විසිනි. සුනිල් සාන්තයන්ගේ තනුවක් අනුව අයිවෝ ඩෙනිස් ගායනය කළ , එකල රසිකයන් තුඩ තුඩ රැඳුණු , ‘කුරුලු පරාදීසයේ’ ගුවන් විදුලි ගීතය බිහි වුණේ සුධර්මන් අයියාගේ හදවතිනි. ඔහු කලක් සුනිල් සාන්තයන්ගේ සංගීත ශිෂ්‍යයෙක්ද විය. ‘සිතු සිත්තම්’ ඔහුගේ නවකතාවයි. මේ හමුවීම සිදුවූයේ අමරදේවයන්ට පත්ම ශ්‍රී , පණ්ඩිත් සහ ආචාර්ය යන ගෞරව උපාධි මෙන්ම ඔහුගේ ජීවිතයේ පරම ආරක්ෂිකාව වූ විමලාවන්ද හිමි වීමට බොහෝ කලකට පෙරය. එදා එම පාසල් විවිධ ප්‍රසංගයේදී අමරදේවයන් සහ ඔහු ගැයූ ‘මහ බෝ වන්නම’ ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙමින් මා ඉදිරිපත් කළ පූර්ව කථනයේදී මවිසින් භාවිතයට ගැනුණු වදන් හා යෙදුම් ගැන අමරදේවයන් අතිශය ප්‍රශංසා මුඛයෙන් නිර්ලෝභීව කතා කරනු ඇසූ මගේ සිත දිරියෙන් ඔද වැඩී ගිය අයුරු දැනුදු සිහිවේ. ඉන්පසුව දින දින වැඩී ගිය අප දෙදෙනාගේ ඇසුර ඔහු මිය යන තෙක්ම නොවෙනස්ව පැවතුණි. ඔහු මගේ නිත්‍ය ගුවන් විදුලි නාට්‍ය රසිකයෙකු වීමද මම මහත් භාග්‍යයක් කොට සලකමි.
එක්තරා කලෙක අමරදේවයන්, කිරුළපනේ විසූ මගේ සන්මිත්‍ර , එසේම , මගේ දෙවැනි මනමාලයාද වූ අසෝක කොළඹගේගේ මහගෙදරට නුදුරින් වූ ගෙයක පදිංචිව සිටියේ කීර්තිමත් සංගීතඥ ලයනල් අල්ගමයන් සමගය. සද්ධිවිහාරික වූ ඔවුහු දෙදෙනාම එකල තනිකඩයෝය. මා අසෝකයන් මුණගැසීමට ඔහුගේ මහ ගෙදරට ගිය ඇතැම් දවසක ඔහුත් සමග අමරදේවයන් පදිංචිව සිටි නිවෙසට යාමටද පුරුදුව සිටියෙමු.
එදා අප එහි යන විට ඔහු ලයනල් අල්ගමයන් සමග ගමනක් යෑමට සැරසෙමින් සිටියේය. ඇඳුම් ඇඳගෙන සිටි ඔහු පුටුවක වාඩිවී තම පාවහන් සඟළ තුළට පවුඩර් ටින් එකකින් පවුඩර් හලමින් සිටියි. අසෝකත්
මමත් විමතියෙන් උනුනුන් මුහුණු බලා ගතිමු. අප දුටු ඔහු මුව පුරා සිනාසුණේ අතිශය ස්නේහාර්ද්‍ර ලීලාවෙනි.
“ආ කරූ , අසෝක. එන්න. එන්න. අපි දෙන්න මේ පොඩි ගමනක් යන්න.”
එසේ කියමින්ම තම සපත්තු දෙක තුළට පවුඩර් පිරවූ ඔහු එතුළට දෙපා එබුවේ සල්ලහුක විලාසයෙනි. අමරදේවෝපම අමරදේවයන්ගේ අමරදේවාකාර ප්‍රකෘතිය මැනවින් වටහාගෙන සිටි අසෝකත් මමත් ඔහු කෙරෙහි පැවැති මේ අප්‍රකට අපූරු ඇබ්බැහිය පළමු වරට දැනගත්තේ එදාය.සාමාන්‍යයෙන් කෙනෙකු පාවිච්චියට ගන්නේ එක් පවුඩර් ටින් එකක් පමණි. ඒ මුහුණේ හෝ සිරුරේ තවරා ගැනීම පිණිසය. අමරදේවයෝ පවුඩර් ටින් දෙකක්ම පාවිච්චි කිරීමට ඇබ්බැහි වී සිටියහ. එකක් මුහුණටය. අනික දෙපතුලටය. පවුඩර් පිරවූ පාවහනින් තම දෙපතුල විඳි කුසුම කෝමල පහස අමරදේවයන්ට පරමාස්වාදයක් විය.අමරදේවයන්ගේ මේ අපූරු ඇබ්බැහිය ගැන අප එදා අසා දැන ගත්තේ ලයනල් අල්ගම සකිසඳාගෙනි.
වරක් මගේ සන්මිත්‍ර සුනන්ද මහේන්ද්‍රයන් සමග අමරදේවයන් හමුවීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවක් මෙවේලේ මගේ සිහියට නැගේ. ඒ ඔහු විවාහ වී නොබෝ දිනකිනි. එකල නව යුවළ පදිංචිව සිටියේ බත්තරමුල්ලේ සුභූති පුර නිවසකය.අප දෙදෙනා පිළිගත්තේ අභිනව මනමාලිය විමලාවන්ය.ඕ රූපත , පැහැපත , යහපත. අප සාලයේ වාඩි වුණු පසු ගෙතුළ සිට අමරදේවයන් පිපි සිනාවෙන් අප ඉදිරියට පැමිණියේ “තොප දැකුමෙන් අප පින් කළ බව දැනුණි” යැයි ගැඹුරු සරින් කියමිනි. “වෙන සැප කුමට තොප දකිනා එම පමණ” යැයි අපිදු කීවෙමු. ඒ දිනවල ඔහු ‘මධුවන්ති’ ගුවන්විදුලි සංගීත වැඩසටහන සඳහා ගී තනු සාදමින් සිටියේය.ඔහු ඒ ගැන සඳහන් කරමින් සිට එක් වරම යමක් මතක්ව මෙසේ පැවසීය.
“ඊයේ රෑ විමලයි මායි ඇහැව්වා කරූගෙ ස්පේස් ඔඩිසි ගුවන්විදුලි නාට්‍යයක් සුගත් ( සුගතපාල ද සිල්වා)එක්ක කළ. ඒක අපි ආසාවෙන් ඇහැව්ව.”
ඔහු මතක් කළේ පෙර දා රෑ ගුවනින් ප්‍රචාරය වූ ගුවන්විදුලි රඟමඬල නාට්‍යයක් ගැනය.එය අභ්‍යවකාශ තරණය පාදක කරගෙන රචනය කළ විද්‍යා ප්‍රබන්ධයකි. අප මෙසේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටින අතරතුර මිහිරි ලෙස සංගීත භාණ්ඩයක් වැයෙන නාදයක් ගේ තුළින් ඇසුණි. සංගීතඥයා අප සමගය. විමලාවෝද මෙතැනමය.
“කවුද ඒ සංගීත භාණ්ඩයක්
වයන්නෙ?”
සුනන්ද ඇසූ ප්‍රශ්නයට මේ අමරදේවයන් දුන් පිළිතුරය.
He is my elder brother.He was a great musician before Amaradewa.He was my teacher.
(ඒ මගේ ලොකු අයිය. එයා අමරදේවට ඉස්සෙල්ල මහා සංගීතඥයෙක්.එයා මගෙ ගුරුවරය.)
ටික වේලාවකින් ගෙතුළට ගිය අමරදේවයන් යළි අප වෙත පැමිණියේ වංශවත් මදිරා බෝතලයකින් ලංකෘත කුඩා ට්‍රොලියක්ද තල්ලුකරගෙනය. ඉන්පසු ඔහු මැන්ඩලීනය තුරුලු කරගෙන වයන්න පටන් ගත්තේ අලුත බිහි කළ ‘මධුවන්ති’ ගී තනුවකි. බිඳ බිඳ මී විතෙන් මඳ මඳ පිබිදුණු අමරදේවයන් ඒ ගීය තම මධුර ස්වරයෙන් ගායනය කිරීමට පටන් ගත්තේ මධු මද මුදිත මත කොවුලෙකු විලසිනි අප දෙදෙනා ඉන් රසාවිෂ්ට වූයේ මද මත් බමරු මෙනි. අමරදේවයන් සංගීත සමාධියට සම වැදුණු කල ඔහුගේ ශ්‍රවණ රමණීය ස්වරය මුවින් ගලා එන්නේ සුව දායක ලෙස දෑස පියවමිනි.භාරතයේ විශිෂ්ට ගායිකාවක වූත් රබීන්ද්‍ර සංගීතය පිළිබඳ විශේෂඥවරියක වූත් සුචිත්‍ර මිත්‍රාවන් කළ ප්‍රකාශයක් මෙහිදී මගේ සිහියට නැගේ.
“Amaradewa just on singing in perfect SUR and TAT music gushes out from his throat like water from a fountain.”
(නියම ස්වර හා ටාටඅනුව අමරදේවයන් ගායනය කරගෙන යන විට ඔහුගේ මුවින් සංගීතය වෑහෙන්නේ දිය උල්පතකින් දිය වෑහෙන්නා සේය.)
කරුණාරත්න අමරසිංහ ශුරීන්ගේ මුහුණු පොත් පිටුවෙනි.
සියළු හිමිකම් රචකයා සතුය.
https://www.facebook.com/karunarathna.amarasinghe.3


