

අද ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ටොරොන්ටෝ සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත පමණක් නොව ලෝකයටම මහත් මෙහෙයක් කරන ප්රසාංගික චරිතයක් එක්ක . මේ අපේ ලිපි පෙලේ දී ඔබ හමුවන පළමු ප්රසාංගික ශිල්පියා ඔහුයි. කැනඩාවේ ශ්‍රී ලාංකික පිරිස් වෙනුවෙන් මහත් මෙහෙයක් කරන තවත් ප්රසාංගික චරිත රැසක් සිටියදී අප ඔහු ගැන මේ මාසයේදී කතාකරන්නේ කැනඩාවේ ටොරොන්ටෝවේදී ඔහු නායකත්වය දුන් විශේෂ වැඩසටහනක් නිසයි. ඒ වගේම ඔබට කිවයුතු තවත් කාරණාවක් තියෙනවා. අපේ මේ ලිපි පෙලට විවිධ වයස් කාණ්ඩවල, විවිධ ක්ෂේත්‍ර වල, විවිධ ආගම් සහ දර්ශන අදහන, විවිධ ජාතීන්ට අයත් කැනේඩියානු ශ්‍රී ලාංකික පුද්ගල චරිත එකතු කර ගන්නේ කිසිදු පිලිවෙලකින් තොරවයි. ඒ වගේම කැනඩාවේ මේ වනවිටත් ක්‍රියාත්මක වන අපේ සහෝදර පුවත්පත් හරහා ඔබට මුන නොගැසුණු චරිතත් මේ වෙනුවෙන් එක් කරගන්නට අපි හැමවිටම උත්සාහ කරනවා.


සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. වචනවලට කිව නොහැකි බොහෝ හැගීම් සංගීතය මගින් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා අපි අසා තිබෙනවා. ඒ වගේම වයලීනයක ස්වරවලට මිනිසුන්ගේ සිත් සතන් වෙනස් කරන්න පුළුවන් බව සංගීතයට සවන් දෙන අපි අත්දැකීමෙන් දන්නවා. ඒකට හේතුව වෙන්නේ ඒ ස්වරවලට හැගීම් තිබීම නේද? කළා කරුවා විසින් ඒ ස්වරවලට කාවද්දන ආදරය, දුක, සංතාපය, විරහව, සතුට, කරුණාව, ත්‍රාසය බිය වැනි සෑම හැගීමක්ම සංගීතය ලෙසිනුයි අප රස විඳින්නෙ. ඇත්තටම, සංගීතයේ මේ ස්වරවලට කාවද්දපු හැගීම් ගැන ස්ථීර වශයෙන්ම දැනගන්න නම් කලාකරුවා ගෙන්ම ඒ ගැන අසා දැන ගත යුතුයි. අරුමයක් ලෙස, පන්හිඳ අතේ තිබෙනා මට ඒ අහඹු අවස්තාව උදා උනා.
අපි කවුරුත් දන්නා පරිදි කතෝලික ආගමේ ජන වන්දනාවේ ගීතිකාවට, නමස්කාර කරන්නන්ගේ හද ගැබේ ඇත්තේ ඉතා සුවිශේෂී ගෞරවයක්. ගීතිකාවක් කියන්නේ දෙවරක් යාඥා කිරීමක්. ඒ වගේම, ප්‍රශංසාව සහ නමස්කාරය පාදක කරගත් ගීතිකා තමයි යාඥාවේ ප්‍රධානම අංගය. ජීවිතයේ සියලුම හැලහැප්පීම්, දුක, සතුට වැනි සෑම හැගීමක්මකින්ම සපිරි ඒ ගීතිකා මගින් තමයි ජනී ජනයා දෙවියන් වහන්සේට කන්නලව් කරන්නෙ. මෙම ගීතිකා මුල් කරගෙන ශ්‍රී ලාංකික සංගීත පරිසරයේ පෙරලියක් කල කළා කරුවෙක් තමයි අද “srilancan” නම් වූ අප ඩිජිටල් පුවත්වතට ප්රස්තුතය වන්නේ. කැනඩාවේ, මිසිසාගා නගරයේ ජීවත්වන මොහු ඕනෑම කෙනෙකුගේ අවධානය ක්ෂණිකව ලබාගත හැකි ඉතා මිහිරි කට හඬක් හිමි හෙට්ටිආරච්චිගේ ජෝන් එම්මානුවෙල් පෙරේරා. කෑගල්ල සාන්ත මරියා පාසලේදී ඔහු එම්මානුවෙල් පෙරේරා. කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේදී ඔහු ජෝන් පෙරේරා.
ඔහු ඉපදුනේ කෑගල්ල නගරයේමයි. සාන්ත මරියා පල්ලිය, සාන්ත මරියා පාසැල කියනා වටිනා බිම් සලකුණුවලට ඉතා ආසන්නව මුල් අවුරුදු 13ම ගෙවුණු ඔහුගේ නිවස පිහිටා තිබීම ඔහුට විශාල ජීවන අත්දැකීම් සමුදායකට මුල් වුවා. ජම්බු ගහ ගෙදර නම් වූ ජෝන්ගේ නිවස පිහිටා තිබුනේ කොළඹ නුවර පාරේ 48 වැනි සැතපුම් කනුව අසල. පවුලේ 6 දෙනෙකුගෙන් සමන්විත ඔහුගේ පවූලේ, ඔහු හතර වැනියා. ලාංකික පවුල්වල මැද දරුවන්ගේ ඉතා සුලභව දක්නට ලැබෙන විසේකාර චරිතය ඔහුටත් තිබුනා. ඒ හේතුවෙන් ඔහුගේ සීයා විසින් ඔහුට පටබැඳි නම වුයේ “කැළෑ ජෝන්”. ක්‍රිස්තියානු කතෝලික ආභාෂය අනුව බයිබලයට සම්බන්ධ නමක් දීම තමයි ක්‍රිස්තියානුවන්ගේ සම්ප්රදාය වන්නේ. පල්ලියේ ජයමාන්න ස්වාමි, ජෝන් යනුවෙන් නම තැබීමට හේතු වුයේ ඔහුගේ උපන් දිනය වූ දෙසැම්බර් 27 දිනයට යෙදී තිබු සාන්තුවරයාගේ නම සාන්ත ජුවාන් නිසයි. ඔහුගේ මැද නම වූ එම්මානුවෙල් නමේ තේරුම වන්නේ God Is With Us කියන එකයි.
ඔහු අපේ සාකච්චාවට ආරම්භයක් දුන්නෙ ඔහුගේ ළමා කාලයෙන්, “මගේ පුංචි කාලෙ දඟ කාරකම් බොහෝ විට අවසන් වුයේ අතපයත් කඩාගෙන. ඉතා විනයානුකුලව දරුවන් ඇති දැඩි කල “බබ්සි ඇන්ටි” නම්වූ මගේ මවගෙන් වැඩියෙන්ම වේවැල් පාරවල් කෑ දරුවා උනෙත් මම. කාටත් උදව් උපකාර කල මගේ අම්මා, කෙතරම් අඩුපාඩු ගෙදර තිබුනත් අපිව එලියට එක්කරගෙන ගියේ ඉතාමත් ලස්සනට ඇඳුම් අන්දවලා. ඒ වගේම හැමදාම හැන්දෑවට අපි දරුවන් කවුරුත් එක්ව දණ ගසා ජපමාලය කියා දෙවියන්ට කරනා යාඥාව කිසි දිනක වැරද්දුවේ නැහැ. එය තමයි මගේ ආත්මික ජීවිතයේ පදනම. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ මේ ජීවන ගමනේදී අපි ගත් තීරණ හැමදේම සර්ව සම්පුර්ණයි කියලා. නමුත් මවක් ලෙස කල ඒ මඟ පෙන්වීම අපි හැමෝටම මඟ පෙන්වූ තාරකා එළියක් උනා.” යැයි ඒ සුන්දර ළමා කාලය ගැන ඔහු කතා කලේ මුවඟට නැගුනු අපුරු සිනහවත් සමඟම.
ඔබගේ කළා ජීවිතයේ ආරම්භය ගැන මට යමක් කියන්න යැයි මා කල ඉල්ලීමට ඔහු සෙමින් කතාව පටන් ගත්තා, “ජෝර්ජ් පෙරේරා නම්වූ මගේ පියා වී මෝලක් හිමි ව්‍යාපාරිකයෙක් උනාට එයා සංගීතයට දැක්වුයේ අමුතුම ආදරයක්. එකෝඩියන් එක සහ සර්පිනාව ඉතාම ලස්සනට වාදනය කිරීමේ හැකියාව නිසා යාලුවන්ගෙ උත්සවවලට එයා නැතිවම බැරි කෙනෙක් උනා. මම හිතන්නෙ මගේ සංගීත ගමනේ ආරම්භය සහ මගේ සංගීත ආභාෂය මට පියාගෙන් ලැබුණු ජාන උරුමයක්. මගේ අය්යා, ලොකු අක්කා වෙරෝනිකා, දෙවෙනි අක්කා ශ්‍රියානි, මම සහ මල්කාන්ති සහ ශෙල්වින්, අපි හැමෝම සංගීතයට පුදුම දක්ෂතාවයක් සහ ඇල්මක් දක්වපු අය. මගේ පොඩි අක්කා අවුරුදු 8 දී, එවකට ලංකාවේ තිබු “මල් පියලි” නම්වූ ආධුනික ගී තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා. අපි සින්දු කිව්වෙ වෙන කරන්න දෙයක් නැති කමට. මම එච්චර ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරපු කෙනෙකුත් නෙවෙයි. ඒ කාලේ TV නැහැනෙ, රේඩියෝ එකේ මුවන්පැලැස්ස වගේ කතාවක් අහනවා ඇරුනම වෙන මොනවා කරන්නද? දවස තිස්සෙ නටලා කියලා ගෙදර ආවම අපි කලේ ලොකු අය්යා, මිල්ටන් පෙරේරා, එක්ක එකෝඩියන් එක හෝ සර්පිනාව ගහද්දි සින්දු කියන එක. අපි ඔක්කොම එකතු වෙලා, සෑම සිංහල ගායකයෙකුගේම සින්දු වගේම, සමහර ඉංග්‍රීසි සින්දුත් කිව්වා, වචන ගැන ලොකු දැනීමක් නැති උනත්, ඇහෙන විදියට කිව්වා. අපි ඔක්කොගෙම ඇඟේ සංගීතය තිබුනා කියලයි මට හිතෙන්නෙ. අද බැලුවහම, සංගීත අධ්‍යාපනයක් නැති උනත් මගේ ලොකු අය්යා සංගීතයෙන් ඉතා පරතෙරට ගිය කෙනෙක්. ශ්‍රියානි අක්කාත් අද සංගීතයට සම්බන්ධයි”, ඔහු එක හුස්මට කියාගෙන ගියා.



සුළු නිහැඩියාවකින්, ඔහු නැවතත් කතාව පටන් ගත්තා, “මගේ සංගීත ජීවිතයට පල්ලියෙන් තමයි බාහිරින් ලැබුණු ප්‍රබලම බලපෑම ලැබුනේ. අය්යා, ලොකු අක්කා, මම, චුටි අක්කා, පොඩි මල්ලි අපි හැමෝම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. ඒ වගේම කෑගල්ලෙ ඉපදුනු ඉතා ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලක සහ සංගීතඥ මහින්ද බණ්ඩාර දෙන්නම මගේ අය්යගේ යාලුවො. රූකාන්ත අය්යා අපේ ගෙදර නිතරම ඇවිත් අය්යත් එක්ක ගිටාර් වාදනය මෙන්ම ගායනයද කළා. එයාගෙන් ලැබුණු ආභාෂයත් මගේ සංගීත ගමනට විශාල රුකුලක් උනා. ඒ වගේම මරීටා ගුණතිලක නම්වූ රූකාන්ත අය්යගේ අක්කා තමයි අපේ පල්ලියේ ගීතිකා කණ්ඩායම මෙහෙය වුයේ. එයත් එක්ක අපි සතියකට වරක් ගීතිකා කණ්ඩායම පුහුණු වෙනවා. ඉංග්‍රීසි ගුරුවරියකගේ පුතෙක් වූ රූකාන්ත අය්යා තමයි මුල් අදියරේ මට ඉංග්‍රීසි ඉගැන්නුවෙත්. වරද්දන කොට මට ගහනවා. මට ඒ ලබාදුන් ඉංග්‍රීසි දැනුමට එයාට මම අදටත් ණය ගැතියි” යනුවෙන් ඔහු හැගීම් බරව පැවසුවා.
ජෝන් පෙරේරා කළා කරුවාගේ සංගීත සංචාරයේ අනෙක් බලපෑම සිදු වුයේ ඔහු අධ්‍යාපනය ලැබූ සාන්ත මරියා පාසැලින්. ඔහුව එම පාසලේදී ඇමතුවේ “එම්මානුවෙල් පෙරේරා” නමින්. ඉතා කුඩා කාලයේ සිටම කුඩා එම්මානුවෙල් දරුවාගේ හැකියාවන් තේරුම ගත් ගුරුවරුන් පාසලේ සියලුම සාහිත්‍ය තරඟ, උත්සවවලට ඔහුව ඉදිරිපත් කළා. සමහරවිට, උත්සව සභාවලදීත් ඔහුට ගීත ගායනා කිරීමට ක්ෂණික ආරාධනා ලැබුනා. පාසලේ ශිෂ්‍ය නායකයෙකු නොවුනත් ඔහු යම් තරමක වගකීමක් දැරිය හැකි දරුවෙකු ලෙසයි ගුරුවරුන් සැලකුවේ. දිනක සුළු වරදකට විදුහල්පතිවරයාගේ කන්තෝරු කාමරයට කැඳවූ හේතුවෙන්, වේවැලේ භීතියෙන් කඳුළු පෙරාගෙන එහි ගිය කුඩා එම්මානුවෙල්ට ලැබුණු දඬුවම වුයේ, එම කාමරයේ සිටි විදුහල්පති තුමාත්, ඔහුගේ බිරිඳත් දුවලා දෙදෙනාත් ඉදිරියේ ගීත ගැයීමටයි. ඔහු ගැයුවේ මැක්ස්වෙල් මෙන්ඩිස්ගේ “මම බොහොම බය උනා” සහ එච්. ආර්. ජෝතිපාලගේ “වාසනාව දොර ඇරලා බලනවා” යන ගීත දෙකයි. ඉතාමත් සැර පරුෂ පුද්ගලයෙකු යයි නම් දරා සිටි විදුහල්පතිතුමා එදා කී, “පුතා ඔයා බොහොම ලස්සනට සිංදු කියනවා” වචන පෙළ ඔහුගේ හදවතේ පතුලටම කිඳා බැස ඇති බවයි ඔහු සතුටින් මා සමඟ පැවසුවේ.
එම්මානුවෙල් 4, 5 වසරේ සිටියදී සංගීත ගුරුවරයා වු සුප්‍රසිද්ධ බොකලවෙල කළා කරුවාගේ සොහොයුරෙකු වූ බොකලවෙල ගුරුවරයාගෙන් ඔහුගේ පෙරදිග සංගීතයට විශාල ආභාෂයක් එකතු කරනු ලැබුවා. එතුමාගේ නිවස අසල ජීවත්වූ එමානුවෙල්ට, ඔහු හවසට නොමිලේම වයලීනය සහ බට නලාව දෙකම පුරුදු පුහුණු කළා. පෞද්ගලිකව වයලීනයක් නොතිබූ හේතුවෙන් අදට උනත් ඔහුට වාදනය කල හැක්කේ වයලීනයේ මුලිකම ස්වර පමණක් බව ජෝන් මට පැවසුවේ ඉතාමත් කනගාටුවෙන්. බොකලවෙල ගුරුතුමා බෞද්ධයකු වුවත් පල්ලියේ ගීතිකාවලට ඔහු තුල තිබුනේ විශාල ගරුත්වයක්. එතුමාට විශ්වාසයක් තිබුනා පෙරදිග සහ අපරදිග සංගීත සංකලනයෙන් අළුත් රසයක් ඇති අපුර්ව නිර්මාණ බිහි කරන්න පුළුවන් කියලා.
අපරදිග සංගීතය(Western Music) පිළිබඳව ඔහුට අධ්‍යාපනයක් ලැබුනේ පල්ලියෙන්. එමානුවෙල් දරුවාට පාසැලේ තුර්යවාදක කණ්ඩායමේ බටනලාව වාදනය කිරීමට අවස්තාව ලැබුනේ බොකලවල ගුරුතුමාගේ පුහුණුව හේතුවෙනුයි. තම්මැට්ටම්, දවුල්, හේවිසි වැනි විවිධ සංගීත භාණ්ඩ වාදනය කිරීමට අවස්ථාව ලැබුනත්, ඒ කිසිවකින් පරතෙරට යාමට ඔහුට අවස්තාවක් නොලැබුනේ ඒ භාණ්ඩ පරිහරණයට අවස්තාවක් නොලැබූ හේතුවෙන් බව ඔහු පැවසුවේ පශ්චාත්තාපයෙන්. ඔහුගේ කළා දිවියේ තක්සලාවන් වුයේ පෙරදිග සංගීතයේ ආභාෂය ලැබූ නිවසත්, පාසලත් සහ අපරදිග සංගීත ආභාෂය ලැබූ පල්ලියත්. පසුකාලීනව තාපසාරාමයත් ඔහුට කලාවේ තක්සලාවක් උනා. ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට ඔහුට උපකාරී වූ විතාරණ ගුරුතුමිය නිසයි ඔහුට ඉංග්‍රීසි කථනය ඉගෙන ගැනීමට හැකි වුයේ. ජෝන් එතුමිය ගැන සඳහන් කලේ බොහොම ආදරයෙන්.
ඔහු නැවතත් කටහඬ අවදි කළා, “මට පුංචි කාලේ ඉඳලම සෙම් අමාරු තිබුනා. නමුත් ගීත ගායනයට එය බලපෑමක් වුයේනැහැ. මට මතකයි බොකලවෙල සර් අපේ අම්මට කිව්වා, “මේ දරුවාට සංගීතය පැත්තෙන් ඉතාමත් දීප්තිමත් අනාගතයක් තියෙනවා, ඒක නිසා විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නලා මේ අසනීපය සුව කර ගන්න” කියලා. එයට යම් වෙද හෙදකම් කෙරුණත්, කිසි දිනක සුව උනේ නැහැ.
ජෝන් දරුවාට අවුරුදු 13 වයසේදී, ජීවිතයේ සිදුවූ හැරවුම් ලක්ෂයක් ගැනයි අපේ ඊළඟ කතා බහ සිදු වුයේ. 1977 ජුනි මාසයේදී, ඔහු මුහුණ පෑ ඉතාමත් අභාග්‍යසම්පන්න සිදුවීමක් හේතුවෙන් ඇතිවූ කලකිරීම නිසා ඔහු ස්වාමි කෙනෙක් වීමට තීරණය කළා. මෙය කුඩා කල සිටම තිබුනාවූ ආසාවක් වේගවත් වීමක්. ඉන්පසුව පල්ලියේ තියඩෝර් ලැම්බට් ස්වාමිත් සමඟ මහනුවර අම්පිටියේ පිහිටි රෝමානු කතෝලික මොන්ටෙෆානෝ ශාන්ත සිල්වෙස්ටර් තාපසාරාමයට ගියේ එම අරමුන ඉෂ්ඨ කර ගැනීමට. පියතුමෙක් වීමට නම් එහි අවුරුදු 5 ක අධ්‍යාපනයක් ලැබිය යුතුව තිබෙනවා, මුල් වසර දෙකෙහි දර්ශන විද්‍යාවත්, ඊළඟ වසර 3 තුල දේව ධර්මයත් ඉගෙන ගත යුතුයි. අද ඔහුට දර්ශනවාදය උපාධිය තිබුනත්, දේවධර්මය පිලිබඳ උපාධියේ අවසන් විභාගයට පෙනී සිටීමට් නොහැකි උනා. ඉතාමත් තද නීති රීති තිබු මෙම තාපසාරාමයේ දිනකට පස් වතාවක් යාඥා කරනු ලැබුවා. බයිබලයේ ගීතාවලිය පොතේ(The Psalms) තිබෙනා ගීත 150 තුලම මනුෂ්‍යයා මව්කුස සිට මරණය දක්වාම ලබනා දුක, සතුට, වේදනාව, විරහව, භීතිය, ද්‍රෝහිකම් වැනි අත්දැකීම් ගැබ්ව තිබෙනවා. මේවා ඔහුගේ සංගීත දිවියට බෙහෙවින්ම බලපෑවා.



තාපසාරමයෙදී සෑම සංගීත භාණ්ඩයක්ම වාදනය කිරීමේ අවස්තාව ලැබීමත්, එක් කන්‍යා සොහොයුරියක් ඔහුට පියානෝ වාදනය ඉගැන්වීමත් හේතුවෙන් ඔහුගේ සංගීත දිවියට ලැබුනේ නව පුනර්ජීවනයක්. එයට සමපාතව, ජෝන් දර්ශනවාදය සහ දේවධර්මවාදයේ උපාධිය ලබා ගැනීමේ අරමුණින් මොන්ටෙෆානෝහි තවත් සොහොයුරන් සමඟ මහනුවර තිබු ජාතික දෙව් සත්හලට සම්බන්ධ වෙනවා. මෙම දෙව් සත්හලට සෑම පදවියකින්ම පැමිණෙන සිසුන් අතරින් සංගීතයට ලැදි සිසුන් කිහිප දෙනෙකුත් සිටීම ඔහුගේ සංගීත ජීවිතය එලි පෙහෙළි කිරීමට මග පෑදුනා. ඒ වගේම, තාපසාරාමයේ අධ්‍යාපනය සිදුවුයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා ඔහු ඉතා කැපවීමෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගැනීමටත් උත්සුක වුවා.
ඔහු සෙමනේරියේ ජීවිතය ගැන කතා කලේ ඉතාමත් උද්දාමයෙන්, “ඒ තමයි මගේ සංගීත ජීවිතයේ ස්වර්ණමය යුගය. මගේ දක්ෂතාවයන් එලි දැක්වු ඒ කාලයේ කල නිර්මාණ තමයි මම කතෝලික ලෝකය අභියසට ගෙන ගියේ. එහිදී තමයි මට ඉතා දක්ෂ සංගීතඥ ඇන්ටන් ජයනාද සොහොයුරුතුමා(අද පියතුමෙක්) සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ගීත ලිවිය හැකි බ්‍රයන් ජෙගනාදන් සහෝදරයා මුණ ගැසුණේ. ඒ වගේම ක්ලේවර් පෙරේරා පියතුමා අපිට බොහෝ සංගීත පුහුණුවීම් සිදු කළා. සෙමනේරියේදී සිංහල, ඉංග්‍රීසි, දෙමළ සාහිත්‍ය උළෙලවල්වලදී මට නාට්‍යවල රඟපෑමේ අවස්ථාද, හාෂා තුනෙන්ම ගීත ගායනා කිරීමේ අවස්ථාද ලැබුනු අතර බොහෝ විට එම ගීත ගායනාවලින් මට ප්‍රථම ස්ථානය ලැබුනා. තරුණ ජෝන් සොහොයුරාගේ භූමිකාව වුයේ හාර්මෝනියම් සහ ගිටාරය වාදනය කිරීමයි. සිංහල ගීතිකා ලිවිය හැකි ඇන්ජලෝ පාරිස් සහෝදරයා හෙබවූයේ Choir Master ගීතිකා කණ්ඩායම පුහුණු කිරීමේ තනතුර”, ඔහුගේ ජීවිතයේ උච්චතම කාලය ගැන ඔහු කතා කලේ හරිම ප්‍රමෝදයෙන්.
සෙමනේරියේ මාස දෙක හමාරේ නිවාඩුවේදී ඔවුන් වහකෝට්ටේ පල්ලියේ සාන්ත අන්තෝනි මංගල්‍යයට සහභාගිවීම පුරුද්දක් කරගෙන තිබුනා. එහි වැඩ විසූ කිතුනු සංගීතයට බෙහෙවින් ලැදි සිල්වෙස්ටර් ජයකොඩි පියතුමාට හදිසියේ විදේශගත වීමට සිදුවූයෙන් එතුමා ජෝන් සහ ඇන්ජලෝ පාරිස් සහෝදරයන් දෙදෙනාගෙන් ඉතාමත් භාරදුර කටයුත්තක් වු 100 කට අධික සංගීත කණ්ඩායමක් පල්ලියේ මංගල්‍ය වෙනුවෙන් සුදානම් කරන ලෙස ඉල්ලා සිටියා. එම කටයුත්ත සඳහා ඇන්ජලෝ සහෝදරයා ගීතිකා ලියු අතර ජෝන් සහෝදරයා ඒ ගීතිකාවලට තාල දමා නිර්මාණය කලා. තාල දැමීම තමයි ඔහුගේ විශිෂ්ඨතම හැකියාව. ඔහු පැවසුවේ ඔහුට එය හරියට භාවනාවක් වගේ කියලා. ඔහු විශ්වාස කරනවා, තාල දැමීමට පෙර එම ගීතිකාවේ වචන ඉතා ගැඹුරින් මෙනෙහි කිරීමෙන් තමයි ඒ වචනවලට අරුතක් ගැබ්වුණු ජීවයෙන් පිරි තාල දැමීම කල හැක්කේ කියා. ඇන්ජලෝ සොහොයුරා අතින් ලියැවුනු එම ගීතිකා ජෝන් සොහොයුරාගේ සම්ප්‍රදායික නොවූ වෙනස් ආරක තාලවලින් හැඩවීමෙන් ඒවා පෙරළිකාර නිර්මාණ වුවා. ඉන් දිරිමත් වූ ඇන්ජලෝ පාරිස් සහෝදරයා දිගටම ගීත ලියු අතර, ජෝන් සහෝදරයා ඒවාට අලංකාර තාල දැම්මා. 1987-1988 වර්ෂ දෙක මෙම තරුණ සහෝදරයන් දෙදෙනාට ඉතා ජයග්රාහික වසර දෙකක් වුවා. නුවර ප්‍රදේශයේම මොන්ටෙෆානෝහි ගීතිකා කණ්ඩායම ප්‍රසිද්ධ වූ අතර, එහි ප්‍රධාන පියතුමා වූ තෝමස් ද සිල්වා ඔවුනට විශාල සහයෝගයක් දුන්නා. ඒ අතර ඔවුනට අදහසක් ආවා මේ ගීතිකා තැටිගත කර තැබීමට. එම අරමුණ ඉටුකර ගත්තත්, ඒවා කැසට් පටවලට ගැනීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ඔවුනට තිබුනේ නැහැ. එකම විකල්පය වුයේ මොන්ටෙෆානෝහි ආචාර්යවරුන්ගේ පිහිට පැතීමයි. ඔවුන්ගෙන් රුපියල් 100, 200 වැනි මුදලක් එකතුකර කැසට් පට 10 ක් පටිගත කරගත් ජෝන් සහ ඇන්ජලෝ සොහොයුරන් ආපස්සට හැරී ඔවුනටම විකිණීම ඉතාමත් හාස්‍යජනක සිදුවීමක් උනා. මේ ගීතිකා අතර “එක සිතින් එක මුවින්, ජේසු සමින්ඳේ, සාදුකාර දී, පිනි බිඳු සැලෙනා, අණබෙර ගසා, සමිඳුන් පුදන්න, සමිඳු පුදට පඬුරු රැගෙන” සහ තවත් ගීත අඩංගු මෙම කැසට්වලට එම ආචාර්යවරුන්ගෙන් ලැබුනේ ඉතා විශිෂ්ඨ ප්‍රතිචාරයක්.
ජෝන් සහෝදරයා මා සමඟ ආයෙත් දොඩමළු උනා, “මේ ගීතවලට සවන් දුන් අතිගරු වියානි ප්‍රනාන්දු, වැලන්ස් මෙන්ඩිස්, ක්ලීටස් චන්ද්‍රසිරි(එතුමන් සැම අද බිෂොප් වරුන්) අමන්දානන්දයට පත්වූවා. අපිට මෙම කැසට් පටයේ සංගීත අධ්යක්ෂකම සහ ගීත දෙක තුනක් රූකාන්ත අය්යාගේ කටහඬින් කරගැනීමට අවශ්‍යතාවය තිබුනත් එය කර ගැනීමට අපහසු වුවා. නමුත් ඉන් ඉතාමත් ධෛර්යට පත්වූ අපි, මෙය අපිම කල යුතු යැයි අධිෂ්ඨාන කර ගත් මම, සෙමනේරියේ ඉතාමත් විශිෂ්ඨ සංගීතඥයෙකු වූ ඇන්ටන් ජයනන්ද සොයුරු සමඟ කොළඹ බොරැල්ලේ “ජොයනෙත්” නම්වූ කතෝලික ශබ්දාගාරයට ගොස් ගීතිකා 14ක් පටිගත කළා. ඉන් ගීතිකා 8ක් 9ක් ඇන්ජලෝ පාරිස් ලියු හා මා තාල දැමු ඒවා. ඇන්ටන් ජයනන්ද පියතුමා තමයි සංගීත සංකලනය කලේ. 1989 දී, මේ “පිනිබිඳු සැලෙනා” කැසට් පට වහකෝට්ටේ පල්ලියේ සාන්ත අන්තෝනි මංගල්‍යය දිනයේදී ප්‍රථම වරට එලි දැක්වුවා. “එවකට, මොන්ටෙෆානෝහි සෑම වසර දහයකටම වරක් ගීතිකා පොත් නිකුත් කිරීමේ සිරිතක් තිබුනා. 1960 සහ 1970 දශකය යන දෙකේම පිණිබිඳු 1, පිණිබිඳු 2 නම්වූ පොත් දෙකක් පමණයි නිකුත් කර තිබුනේ. මා සිටි 1980 දශකයේ, එනම් 1989, අනෙකුත් පියතුමන්ලාගේත්, සහෝදරයින්ගේත් ගීත සහ අපේ ගීතිකා එකතු කර පිණිබිඳු 3 පොත එලි දැක්වීම සිදු කළා”.
1988-1989 වකවානුවේදී, සෙමනේරියේ සිල්වෙස්ටර් ජයකොඩි පියතුමාගේ උපදෙස් පරිදි සොහොයුරන් දෙදෙනා බැගින් ගොස් රටේ සෑම පල්ලියක් හරහා මේ කැසට් විකිණීම කිරීමට ඔවුන් තීරණය කළා. බොහෝ පල්ලිවලින් කැසට් පට සහ පිණි බිඳු 3 ගීතිකා පොත් මිලදී ගත්තේ ජෝන් සොහොයුරා පැමිණ ඔවුන්ගේ ගීතිකා කණ්ඩායම් පුහුණු කරදෙන පොරොන්දුව මතයි. ඒ අනුව එම ගීතිකා ලංකාව පුරා ප්‍රචලිත වුයේ ඔවුන් කවුරුත් බලාපොරාත්තු නොවූ ආකාරයටයි.
1991 වසරේදී, පෞද්ගලික හේතුන් මත ජෝන් තීරණය කරනවා ඔහුගේ පැවිදි බවින් අයින් වීමට. එම වසරේදීම, ඇන්ජලෝ පාරිස්ද ඒ තීරණයම ගත්තා. ඉන්පසුව, අවාසනාවකට, ඔහු තදින්ම ඇලුම් කල ගීතිකා ගැන සොයා බැලීමක් ඔහු අතින් සිදු වුයේම නැහැ. මොන්ටෙෆානෝ සෙමනේරියෙන් නැවත කෑගල්ලට ගිය ඔහු, ඔහුගේ මල්ලීගේ සංගීත කණ්ඩායමට ගායකයෙක් ලෙස සම්බන්ධ වෙනවා. අති දක්ෂ නලින් සාමත් තමයි Lead gutarist උනේ. 1991 සිට 2003 දක්වාම ඔහුගේ කිතුනු අධ්‍යාත්මික දිවිය සහ කිතුනු සංගීත දිවියේ යම් පසුබැස්මක් සිදු වුවත් මල්ලි ගේ බෑන්ඩ් එකත් සමග සංගීත ජීවිතය බොහෝ ඉදිරියට ගියා. එම කාල සීමාව ආර්ථික වශයෙනුත් ඔහු හොඳ ස්ථාවරයකයි සිටියේ. මේ බැහැරවූ වකවානුව තුල ඔවුන් නිකුත් කල “පිණි බිඳු සැලෙනා” ගීතිකා කැසට් පටය ඉතාමත් ජනප්‍රියව තිබුනා.
ඔහු නැවත කතාව පටන් ගත්තේ ඔහුගේ ජීවිතයේ ඊළඟ සන්ධිස්ථානය වූ කැනේඩියානු ආගමනය ගැන මා සමඟ තොරතුරු බෙදා හදා ගන්න. මා ඔහුගෙන් විමසුවා, “ඇයි ඔබ කැනඩාවට ඒමට තීරණය කලේ කියලා, “මම 2008 කැනඩාවට ආවේ මගේ පුතා හිටියෙ කැනඩාවේ සිටි නිසා එයාට ලඟින් ඉන්න ඕන නිසයි. මගේ මුල් කාලය මම ගත කලේ ඉතා නිහඬ ජීවිතයක්. සෑම සංක්රමණිකයෙකුටම වගේ මටත් සිදු උනා බත්පත සරි කරගන්න. නමුත් 2008 මම ආපු වසරේදීම, හිතවතෙකුගෙන් මට නත්තල් උත්සවයකට ආරාධනා ලැබුනා. ඒ ජූඩ් ජයලත් සහ වෛද්‍ය ධාන්යාගේ නිවස. මා ගැන කිසිවක් නොදැන සිටි ඔවුන්ගේ නිවසේදී, මට අහම්බෙන් ගිටාර් එකක් වාදනය කිරීමේ අවස්ථාව ලැබුනා. එදා ඉඳලා අද වෙනතෙක්, මම ගිටාර් ගහනවා. ඒ වගේම ජූඩ් ධාන්‍යා නිවසට අදටත් නත්තල්වලට මට ආරාධනා ලැබෙනවා. ඔවුන් හරහා, මගේ සංගීතය පිළිබඳව අපේ ශ්‍රී ලාංකික සමාජය තුල සෑහෙන ප්‍රචලිත වීමක් සිදු උනා”.
“ඉන්පසුව, 2015 වසරේදී මම J.P. Productions නම්වූ මගේම Company එක පටන් ගෙන ඒ හරහා එම වසරේදීම, චන්ද්‍රලේඛා, රූකාන්ත පවුල සහ මහින්ද බණ්ඩාර ගෙන්වා “රූ සඳ රෑ” නම්වූ සංගීත සංදර්ශනයක් Oakville නගරයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුවා. ඉන්පසුව 2016දී, මහේෂ් දෙනිපිටිය, මරියසෙල් ගුණතිලක, නලින් සාමත් ගෙන්වා මුල්ම Valaentine Dance එකත්, ජුනි මාසයේදී, Wayo සහ උමාරියා සමඟ “අපි කවුරුද” සංගීත ප්‍රසංගයත් පැවත් වුවා.



දිගු නිහඬතාවයකින් පසුව, 2015 දී හඳුනා ගත් Canada Sri Lanka Catholic Association(CSLCA) සංගමයේ සාමාජිකයින් නිසා ගීතිකා ගැන නැවත ඔහුට ඇති වුයේ ඉමහත් ආසාවක්. මාළුවන්ට පිහිනන්නවත් කුරුල්ලන්නට පියාඹන්නවත් කවදාවත් අමතක වෙන්නේ නැහැ වගේ, ඔහුටත් සංගීතය අමතකව තිබුනේ නැහැ. ඉන්පසුව Royse De Almaida ගේ ආරාධනාව පරිදි ඔහු CSLCA එකට සම්බන්ධ වී ගිටාර් වාදකයෙක් සහ ගායකයෙක් ලෙසට Choir එකට සම්බන්ධ උනා. CSLCA වාර්ෂික වන්දනාවේදී, 1987 දී ඔහුගේ මිතුරා වූ ඒඩ්‍රියන් දුනුවිල ලියා, ජෝන් තාල දැමු ගීතය වූ “දෙවිඳුනේ ජේසුනී ආත්මයාණනි” ගීතිකාව ඔහු පල්ලියේ Choir එකට හඳුන්වා දුන්නා. 2015 වසරේ කැනඩාවේදී, ජෝන් සංගීත ජීවිතයේ පුනරුත්පත්තිය ලැබුවේ එහෙමයි.
ඊළඟට ඔහු මා සමඟ බෙදා ගත්තෙ ඔහුගේ ජීවිතයට බලපෑ ඉතා සංවේදී අත්දැකීම් කලාවට සම්බන්ධ කරගත් අවස්ථා ගැන. ගීත ගායනාවට ඉතා දක්ෂ ඔහුගේ චුටි අක්කා ශ්‍රියානි පෙරේරා ජීවත්වෙන්නේ ඉතාලියේ. එයා ජීවිතයේ ඉතා අමිහිරි අත්දැකීම් සමුහයකට මුහුණ දී, වේදනාව සංගීතය මගින් මග හරවා ගැනීමට උත්සාහ ගන්නා කළා ශිල්පිනියක්. දිනක් චුටි අක්කා ජෝන්ගෙන් ඉල්ලා සිටියේ ඇය කිරීමට බලාපොරොත්තු වන Album එකට ඔහු විසින් නිර්මාණය කල ගීතිකාවක්. ඒ ඉල්ලීමට මහින්ද බණ්ඩාරගේ සංගීත සංයෝජනය යොදවා, ජෝන් කැනඩාවේ සිටත් ශ්‍රියානි පෙරේරා ලංකාවේ සිටත් “දෙවිඳුනේ ජේසුනී ආත්මයාණනි” ගීතිකාව පටිගත කරනු ලැබුවා. ඉතාලියේ සිටිනා චුටි අක්කාගෙන්ද දැනගන්න ලැබුණු දෙයක් තමයි අද වන විට වතිකානුවේ ශ්‍රී ලාංකික කිතුණු සංගය පවා ඔවුන්ගේ කැසට් පටයේ ගීත ගායනා කරනා බව. ඇත්තටම චුටි අක්කා නිසයි ඔහු නැවතත් නිර්මාණශීලී සංගීතයට පුනර්ජීවනයක් ලැබුනෙ.
ඔහු නැවත කට හඬ අවදි කලේ ඉතාමත් වේදනාත්මක ස්වරයෙන්, “එම සිදුවීම් අතරේම මගේ ලොකු අක්කා ඉතා බරපතල ලෙස අසනීපව ඇයගේ දිවි සැරියේ අවසාන මොහොතෙයි සිටියේ. ඇය බැලීමට ලංකාවට ගිය මට ඇස් අදහාගත නොහැකි ලෙස, අවුරුදු 80 කට ආසන්නයේ සිටි මගේ මව, ලොකු අක්කාගේ කැත කුණු අතගා ඇයව බලා කියා ගත්තේ අත දරුවෙකු බලා ගන්නා ලෙසටයි. කිසිදිනක ගීයක් නොලියූ මගේ අතින් පැය භාගයක් ඇතුලත ගීයක් ලියැවුනේ ගැහැණියක මවකවී ඇය විසින් කරනු ලබනා මේ ආත්මීය කැපකිරීම් මගේ හදවත සසල කළ නිසයි. ප්‍රේමයේ ප්‍රථම බීජය හදට එබිකම් කල මුල්ම මොහොතේ සිට ගැහැණියගේ හද ගැබේ ඇතිවන දොළදුක් වන බිරිඳක් වීම, මවක් වීම වැනි තමාගේ මරණය තෙක් කෙලවර නොවන ආදරය නමිනුයි මම, “ආදරයේ උල්පත වූ අම්මේ” ගීතයට පද සහ තනු ගැලපුවේ. එය 2016 “මව්වරුන්ගේ දිනය” ට මගෙන් උපහාරයක්”, ඔහුගේ වදන් ආවේගශීලී වුවා.
ඇත්තටම ඔහු සාමාන්‍ය ව්යවාහාරයෙදී හඳුන්වන දොළදුක ප්රතිවිරුද්ධව යොදා ගත්තා. ඕනෑම අතකට පෑන හැරවීමේ අයිතිය තියෙන්නේ කලාකරුවාට පමණක් කියලයි මට හැඟෙන්නේ. 2016 ලියු මේ ගීතය පටිගත කලේ 2018 දී. ඉන්පසුව, 2019 සිට සෑම වසරකම මව්වරුන්ගේ දිනයෙදී ඔහු එය YouTube ඇතුළු සෑම සමාජ මාධ්‍යයකින්ම බෙදා හදා ගත්තා. ඒ වගේම 2019 දී, ඔහු “අම්මා තාත්තා සමරු ප්‍රසංගය” නමින් දෙමාපියන් දරුවන් වෙනුවෙන් කැපකල ඔවුන්ගේ ආත්මය වටා ගැයුණු ගීත ඇතුළු වූ ප්‍රසංගයක් කැනඩාවට හඳුන්වා දුන්නා. සහභාගී වූ සියල්ලන්ම ඉතාමත් සංවේදී කල, ඉංග්‍රීසි මාධ්‍යයේ ගීතද ඇතුලත් වූ මෙම ප්‍රසංගයට සංගීතය සැපයුවේ සුමුදු සමඟ Matrix සංගීත කණ්ඩායම. මෙහි කටහඬට පණ දුන්නේ මේ රටේ ජීවත්වන දක්ෂ ගායක ගායිකාවන්.
2017 වසරේදී තමයි, කැනඩාවට වසර 150 ක් පිරීමේ සංවත්සර ජුබිලිය තිබුනේ. Canada Sri Lanka Catholic Association මගින් ජෝන්ට ආරාධනාවක් ලැබුනා ඒ සඳහා ගීතිකාවක් කරන ලෙසට. කැනඩාවේ ඉතිහාසය ඉතා ගැඹුරට හැදෑරු ජෝන්, බයිබලයේ පදත් හවුල් කරගෙන ජුබිලිය වෙනුවෙන් ඉතා අලංකාර ගීතිකාවකට සිංහල සහ ඉංග්‍රීසි අකුරු අමුණා හිතවත් දෙමල පියතුමෙකු වන අහිල්රාජ් මගින් එම ගීතය දෙමල බසටද පරිවර්තනය කර ගත්තා. ගීතය අවසන් කලේ “O Canada” හි පද පෙලකින්. එම ගීතයට පදනම වුයේ කැනඩාවට පැමිණි ශ්‍රී ලාංකිකයින් මෙම රටේදිවත් සමගියෙන් ඉඳිමු කියනා සාමය පිලිබඳ පණිවිඩය. භාෂා තුනෙන්ම නිර්මාණය වූ මෙම උපහාර ගීතයට අනර්ඝ ලෙස තාල යෙදවූයේ ජෝන්. මහින්ද බණ්ඩාරයන් සිංහල, දෙමල, ඉංග්‍රීසි ගීතවලට ගැලපෙන ලෙස එම ජාතීන්ට ආවේනික වූ සංගීත උපකරණ භාවිතා කරමින් කල විශිෂ්ඨ සංගීත සංයෝජනය ජෝන් බලාපොරොත්තුවාටත් වඩා විශිෂ්ඨ වුවා. මිඩ්ලන්ඩ් පල්ලියේදී, එම ගීතිකාව ගායනා කරන ලද්දේ කැනඩා සහ ශ්‍රී ලංකා කොඩි 150 ක් සහිතව.
2020දී, කොවිඩ් වසංගතය හේතුවෙන් “කැනඩා දිනය” සැමරීම නොපැවැත්වීමට තීරණය කල නිසා කැනඩාවට ශ්‍රී ලාංකික කතෝලිකයින්ගෙන් උපහාරයක් ලෙසට මෙම ගීතය ගැහැණු සහ පිරිමි හඬවල් 15ක් යොදවා ජූඩ් පෙරේරාගේ ස්ටුඩියෝවේ පටිගත කිරීම කර, පසුව 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග පල්ලියක වීඩියෝ පටයක් සකස් කර ගත්තේ “Cinamon Media” හි රනුකගේ උදව්වෙන්. “To Canada with Love from Sri Lanka” යනුවෙන් නම් කල එම ගීතය ඉතා ජනප්‍රිය වුවා. එම වීඩියෝව කැනඩාවේ අගමැති ඇතුළු සියළුම මන්ත්‍රීවරුන්ට යැවූ අතර, ඉන් කිහිප දෙනෙකුගෙන් “ජාතික සමගිය” උදෙසා කල උසස් නිර්මානයක් යයි සඳහන් කල සුභවාදී ප්‍රතිචාර ලැබීමට තරම් ජෝන් වාසනාවන්තක් වුවා. ඔහු එය සඳහන් කලේ ඉහ වහා ගිය ප්‍රීතියෙන්. එයට ප්‍රතිචාර මුළු ලොවේම ජනතාවගෙන් ලැබීම හේතුවෙන්, එදා පටන් සෑම වසරකම ජුලි පළවෙනිදාට ඔහු එය නැවත නැවත ඉදිරිපත් කළා. එය දුටු ඔහුගේ “පිනි බිංදු”කැසට් පටයට සංගීතය සැපයු Anton Jayananda පියතුමා පැවසුවේ මෙය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ නිර්මාණයක් කියලයි. ජෝන්ගේ කළා ජීවිතයේ හැරවුම් ලක්ෂයක් කල වටිනාම නිර්මාණය තමයි එම ගීතය.
2022 දී, ජෝන්ට මුණ ගැසුණු ගීත රචක අනුරුද්ධ වැලිගමගේ ගෙන් ඔහු ඉල්ලා සිටියේ “කොවිඩ් ඛේදවාචකයෙන් එහාට මිනිසාගේ ජීවිත බලාපොරොත්තු ගැන” ගීතයක් ලියා දෙන ලෙසට. අනුරුද්ධ ලියා දුන් “ සිත් පහන අද්දරම” ගීතයට තාල දැමීම සිදු වුයේ ජෝන් අතින්, එයට සංගීත සංයෝජනය නැවතත් සැපයුවේ මහින්ද බණ්ඩාර. ටොරොන්ටෝවේ කටහඬ පටිගත කල, අදටත් අවසන් නොකළ මේ ගීතයේ නිමක් දැකීමට හොඳම වෙලාව එලැඹ ඇතැයි ඔහු මට පැවසුවා.
සෑම සැබෑ කළා කරුවෙක්ම තමාගේ සංවේදී හැගීම් ප්‍රකාශ කිරීමට යොදා ගන්නේ ඔවුන්ගේ නිර්මාන. මගේ ඊළඟ ප්රශ්නය වුයේ “ටොරොන්ටෝ හද ගැස්ම” නම්වූ වාදක කණ්ඩායම් 12 ක් සහ DJ 7ත් 8 දෙනෙක් ප්‍රථම වරට එකම වේදිකාවකට එක්කල ප්‍රසංගය ගැන. තම මව්බිමෙන් එතෙරව වෙනස් ලොවක ඉතා ගැඹුරට මුල්බැස සිටියත්, ජෝන් තම මාතෘ භුමිය වෙනුවෙන් සංවේදීව කරනා ලද මේ ප්‍රසංගය ඉතා සුවිශේෂී සංගීත සජ්ඣායනයක්. මෙය ප්රාතිහාර්යයක් වන්නේ එය ඉතාමත් කෙටි කාලයකින්, මෙතරම් සංගීතවේදීන් සමුහයක් හවුල් කර ගැනීමේ අරමුණ මල්ඵල ගැනීම නිසයි. මේ කර්තව්‍ය සඳහා ඔහු දර දිය ඇද්දේ ඔහුගේ පෞද්ගලික අරමුණු සඳහා නොවීම මෙම ප්‍රසංගය ඉතාමත් උසස් තලයකට ගෙන යනවා. ඒ ප්‍රසංගයෙන් ලැබුණු සම්පුර්ණ මුදල කැපවූයේ ලංකාවේ ගංවතුරෙන් අනාථ වුවන් සඳහා. මෙම සත් ක්‍රියාව අපිට ජෝන්ගේ චරිතය සම්බන්ධව බොහෝ දේ පසක් කර දෙනවා.
තවත් ඉතාමත් විශ්මිත දෙයක් තමයි, දෙසැම්බර් 14 වෙනිදාම, දිනිත විතානගේ කලාකරුවාගේ මාමා වූ ප්‍රදීප් ගමගේ ඕස්ට්‍රේලියාවේ සිට බෑන්ඩ් 14 ක් යොදවා ගෙන මේ අයුරින්ම සංගීත ප්‍රසංගයක් පැවත්වීම. එමෙන්ම “ටොරොන්ටෝ හද ගැස්ම ප්‍රසංගය” ගැන ඉව වැටුණු ඕස්ට්‍රේලියාවේ රේඩියෝ චැනලයක සේවය කරන පැතුම් තිලකසිරි, ජෝන් පෙරේරා සමග මේ ප්‍රසංගය පිළිබඳව සාකාච්චාවක්ද පැවැත් වුවා. ඇත්තටම, රූපණ නාලිකාවේ වීර ෆොන්සේකා තමයි මේ සම්බන්ධයට මග පෑදුවේ.
මේ දිගුවෙන් ඔබට ටොරොන්ටෝ හදගැස්ම ගැන දැනගන්න පුළුවන්.
” ටොරොන්ටෝ හද ගැස්ම”සේයා රූ මතක
ටොරොන්ටෝ TTC හි බස් රියදුරුවරයෙකු ලෙස සේවය කරන ජෝන්ගෙන් මම විමසුවේ ඔහුගේ වෘත්තීය ජීවිතයත්, කළා දිවියත්, පවුල් ජීවිතයත් සමබරව තබා ගන්නා ආකාරය පිළිබඳව. මම අසා තිබුනේ එම රැකියාව ඉතාමත් වගකීම් සහගත, පීඩාකාරී මෙන්ම අපවාදාත්මක සැලකීම් ලබනා රැකියාවක් නිසා ඔවුනගේ සමාජ ජීවිතය ඉතාමත් දුෂ්කර බව. නමුත්, මම බලාපොරොත්තු වුවාට වඩා වෙනස් පිලිතුරකුයි මට ඔහුගෙන් ලැබුනේ. ඉතාමත් කැපවීමකින් වගේම, සම්පුර්ණ නිල ඇඳුමෙන් සැරසී ප්‍රියමනාප ලෙස රැකියාවට යන ඔහුට බොහෝ විට මගීන් ගෞරවයෙන් සලකන බවයි ඔහු පැවසුවේ. ඒ වගේම රියැදුරු සේවය කරන අතරතුරදී, බොහෝ නිර්මාණවල බීජ ඔහු මනසට එන බවත්, සිතට ආ ඒ සිතිවිලි ඔහු බසය නැවතූ හැටියේම රෙකොර්ඩ් කරන නිසාත් රැකියාව ඔහුගේ කළා ජීවිතයට කිසිම බාධාවක් නොවන බවයි ඔහු පැවසුවේ.



ඔබ ලබා ඇති ජයග්‍රහණ සම්බන්ධව ඔබ සැහීමකට පත්වෙනවාදැයි මම ඇසු පැනය අසා නිමවන්නටත් කලින්, “මම කරනු ලබන කළා කටයුතු බොහොමයකින් මට ආර්ථික වාසි නැහැ, නමුත් මම ඉන් ලබන තෘප්තිය කිසිසේත්ම මිල කල නොහැකියි” ඇත්තටම, මම හරිම සතුටුයි මගේ සංගීත ජීවිත කාලය තුල මා කල කී දෑට”, ඔහු ක්ෂණිකවම පිළිතුරු දුන්නා.
සෑම කලාකරුවෙකුගේම එකම අභිලාශය වනුයේ තම දරුවනුත් එම මාර්ගයේම ගමන් කිරීමයි. ඒ ගැන ජෝන්ගේ වචන වලින්ම, “මගේ පුතා හෙට්ටිආරච්චිගේ ජෙහාන් ලසිත් පෙරේරා ගීත රස විඳීමට ආසාවක් දැක්වුවත්, මගේ දුව තමයි ගීත රස විඳීමට මෙන්ම ගායනයටත් ප්‍රබල කැමැත්තක් දක්වන්නේ. ඉතාමත් මිහිරි ලෙස ගී ගැයීමට හපන් මගේ දුව තෙහාරා ජුඩිත් කවින්ති පෙරේරා. අම්මගෙ පෙනුමත් මගේ කටහඬත් ඇති ඇයට මට වඩා හොඳට ගී ගයන්න පුළුවන්වීමෙන් ඇය මට ලබා දෙන්නේ ඉතාමත්ම ප්‍රෞඩ හැගීමක්. පොඩි කාලේ සිටම පාසලේ ගීතිකා කණ්ඩායම්වල ගී ගයා ඇති ඇය, අද මගේ “7th String” Band එකේද ගී ගයනවා. ඇය අප සංගීත කණ්ඩායමට වටිනා ආභරණයක්.
“ඔබගේ හීන මොනවාද” කියන එකයි මගේ ඊළඟ ප්රශ්නය වුයේ, “මම හරිම ධනාත්මකව හිතන කෙනෙක්. වැරදුනු තැන් හදාගෙන ඉදිරියට යාම තමයි මගේ සිහිනය”. ඔහු ඉතා සරලව මට පිළිතුරු දුන්නා.
අපගේ දීර්ඝ සාකච්චාවේ අවසාන භාගයේ සිටිනා මගේ හිත ඇතුලේ කැකෑරුණු ඊළඟ ප්රශ්නය වුයේ, ඔහුගේ මඟ හැරුණු සිහින ගැන. ඉතා දුක්බර හඬින් ඔහු නිහඬතාවය බින්දා, “මම ආදරය කරනා සියළුම දේ අත්හැරීමේ පාරමිතාව පුරා කැනඩා බිමට පය තිබ්බේ දරුවන් වෙනුවෙන්. මගේ පුතාගේ මුල්ම අවදියේ ඔහු සමඟ ගත කිරීමට නොහැකිවීම තමයි මගේ මඟ හැරුණු සිහිනවලින් එකක්. අද මම ඒ වෙනුවෙන් කල හැකි හැම දේම කරනවා. අනික මට හරිම ආසාවක් තිබුනා දරුවනුත් අරගෙන ලොව පුරා සංචාරය කිරීමට. ඒ අවස්ථාව මට මග හැරුනා, නමුත් කතෝලිකයකු ලෙස දෙවියන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලෞකික ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්නවලට හැකි පමණින් සුභවාදීව මුහුණදී පරමාදර්ශී පියෙක් වීමටයි. ඒ නිසා මම මග හැරුණු දේ ගැන පශ්චාත්තාප නොවී අද මගේ යුතුකම් ඉටු කිරීමටයි උත්සාහ කරන්නෙ” ඔහු බිඳුණු හදින් පැවසුවා.
මගේ අවසාන ප්රශ්නය වුයේ, ඔහුට පරමාදර්ශී වූ චරිත පිළිබඳව, “මුලින්ම මම සදා ණය ගැතියි මාව අද්විතීය ලෙස මවා මෙලොවට එවූ දෙවියන් වහන්සේට. ඉන්පසුව, මගේ අම්මාත්, සංගීත ජාන දුන් මගේ පියාත්, මගේ පවුලේ සොහොයුරු සොහොයුරියනුත් සඳහන් කල යුතුමයි. මට සංගීත දිවියට අතදුන් ගුරුවරුන්, මිතුරන් නම් කිරීමට බැරි තරම් බොහොමයක් ඉන්නවා. අද මගේ බිරිඳ ජැකී තමයි මගේ හෙවනැල්ල වගේ මට ආත්මීය ජීවය දෙන්නෙ”




“ටොරොන්ටෝ හද ගැස්ම”ප්රසංගයේදී, ඔහුගේ ගීතවලට ඇහුම්කන් දීමේදී මට පසක්වූ විශේෂිත කරුණක් තමයි, සිංහල ගීතවලදී ඉතා අලංකාර ලෙස සිංහල උච්චාරණයත්, ඉංග්‍රීසි ගීත ගායනයේදී, ඉතා මනරම් ලෙස ඉංග්‍රීසි උච්චාරණය කිරීමේ ඔහුට ඇති සහජ හැකියාවත්.
තමාගේ ජීවන පත්තිරු පොතෙහි පරිච්චේද තමා විසින්ම ලියා තැබීමට උත්සාහ ගන්නා මේ කලාකරුවාගේ සිහින ලෝකයේ බලාපොරොත්තු සැබෑ වේවා’යැයි අප “srilancan” digital පුවත්පත වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනා අතරම, අදටත් තරුණ හදවතක් ඇතිව කළා කර්තව්‍යන්හි යෙදෙන ජෝන් පෙරේරාට ඒ සදහා ශක්තියත්, ඔහුගේ කැදැල්ලෙහි ගෙවනා සුන්දර දිවියට ආශීර්වාදයත් පල කරමින් ඉතාමත් සුහදශීලීව ගෙවුණු පැය කිහිපය නිමාකර අපේ දුරකථන සංවාදය නිමකළ වගයි.
අවසානයේ, අප සහෘද ජෝන් පෙරේරාගේ “ටොරොන්ටෝ හද ගැස්ම” සංගීත ප්‍රසංගයේ ඔහු ගැයූ ගීතයක පද පෙලක් ඔබ වෙනුවෙන් සටහන් කරමි. අනුරුද්ධ වැලිගමගේ අතින් මෙම ප්‍රසංගය වෙනුවෙන්ම ලියැවුනු මෙම ගීතයට ජෝන් විසිනුයි ඉතා අලංකාර තාල දැමීම කරනු ලැබුයේ.
මේ රන් වැටයි පිබිදෙනා අප රටයි
ජවය ඇත්තෙ වැටි වැටි නැගිටිනා තරමටයි
මේ මල් මිටයි එකමුතු බලය එතකොටයි
මුතු ඇට ලස්සන පෙළකට හැදෙන තරමටයි


