
හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම සහ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පවතින අඩුපාඩු මත පදනම්ව, සමගි ජන බලවේගය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.
පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒ සඳහා ඒකමතිකව එකඟ වී ඇති අතර, පසුගිය දින කිහිපයේ ඊට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමට කටයුතු කර තිබුණා.රජයේ අධ්‍යාපන ප්‍රකාශනවල සිදුවූ බරපතළ අතපසුකම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාලන දුර්වලතා මෙම යෝජනාවේ ප්‍රධාන කරුණු ලෙස ඉස්මතු කර ඇත.
මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට වන සාකච්ඡාවක්ද පසුගිය දිනවල දේශපාලන පොරපිටියේ දැඩි කතාබහකට ලක් විය.මෙයට පදනම් වූ ප්‍රධාන කාරණාව වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. එම අධ්‍යාපන ප්‍රශංස කරන වලදී 6 ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සකස්කරන ලද මොඩියුලයකට ඇතුළත් වූ වැරදි සහගත වෙබ් සබැඳියක් පිළිබඳ ගැටළුවය.
ඒ අනුව ගකිවයුතු අමාත්‍යවරිය ලෙස අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බවට ඇතැමුන් විශේෂම විපක්ෂයේ නියෝජනය කරන දේශපාලනඥයෝ විශාල මතවාදයක් ගොඩනැගීමට උත්සාහ කළහ.
එහි කෙළවර වූයේ ජනාධිපතිවරයාටත්, අධ්‍යාපන අමාත්‍යවරියටත්, අධ්‍යාපන ලේකම්වරයාටත් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බවට වූ මතවාදයක්ද ගොඩනඟමිනි.
මේ සිදුවීමෙන් ආණ්ඩුව විශාල අපහසුතාවයකට පත් වූ බවද ඒ නිසා අගමැතිනිය ඉවත්කිරීමේ අරමුණ සහිතව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කරන බවටද වූ කටකතාවක් වේගයෙන් පැතිර ගියේය.එහෙත් ආණ්ඩු පාර්ශවයෙන් සඳහන් කරන්නේ, එවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් දැනට කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.
මුලින් පත්කළ අමාත්‍ය මණ්ඩලයේ සිදුකළ යුතු යම් යම් වෙනස්කම් සහිතව විද්‍යාත්ම ක්‍රමවේදයක් යටතේ මාස කීපයකට පෙර පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ බවද, නැවත එවැනි සංශෝධනයක් අවශ්‍ය නොවන බවද ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර දෙවැනි සහ තෙවැනි පාසල් වාරවලට අදාළ මොඩියුලය පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බව ද ඇය මෙහිදී පෙන්වා දුන්නා.
අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බළකාය විසින් මේ වනවිට ඩිජිටල් භාවිතය පිළිබඳ ළමා ආරක්ෂණය පැතිකඩ තුළින් අධ්‍යනයක් සිදු කර ඒ සඳහා ප්‍රතිපත්තියක් සහ මාර්ගෝපදේශයක් පිළියෙළ කර ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය එය ඉදිරියේදී ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බවත් පැවසුවා.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් එම ආයතනය වෙත කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, ප්‍රාථමික ශ්‍රේණිවල සිටින ගුරුවරුන්ගෙන් 92%ට ආසන්න ප්‍රමාණයකට මේ සඳහා අවශ්‍ය කරන පුහුණුව ද මේ වනවිට ලබාදී ඇති බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවේ පසුගිය මාසවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සැලැසුම් කළ පරිදි ඇතැම් පළාත්වල ගුරුවරුන්ට එම පුහුණු ලබාදීමට නොහැකි වූ බවයි.
ඒ අනුව එම ගුරුවරුන්ට එක සහ හය ශ්‍රේණියේ පාසල් වාර ආරම්භවීමට පෙර එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය මෙහිදී සඳහන් කළා.
එමෙන්ම මෙම අධ්‍යාපන කටයුතු කිරීමේදී අන්තර්ජාල භාවිතය අවශ්‍ය නොවන බවත් එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවකාශය සලසාදී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බැවින් අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවයි.
එමෙන්ම ඉදිරියේදී සිසුන් ඇගයීම් පරිගණක යෙදවුමක් හරහා සිදු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් වන පුහුණු වැඩසටහන් 2025 වසරේදී ක්‍රියාත්මක කර ඇති බවත් ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.


