වත්මන් ළමා ගී පරපුරේ ආරම්භකයා – රූපදේව කවීන්ද්‍ර ආනන්ද රාජකරුණා, සිංහල නවකතාවට පාර කැපූ ඩබ්ලිව්. ඒ. සිල්වා

‘රෝස මලේ නටුවෙ කටූ – වන බමරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී – මම ළමයෝ පැණි උරමී’

යනුවෙන් ළමයකුත්, වන බමරකුත් අතර සංවාදයක් ආකාරයෙන් ලියා ඇති කුඩා කවිය අදත් අපේ දරුවන් අතරත් වැඩිහිටියන් අතරත් එකසේ ජනපි‍්‍රය ළමා කවකි. ළමයින්ට කවි ලිවීම අරභයා ආනන්ද රාජකරුණා (1885-1957) කවියා දැක්වූ දක්ෂතාව මැන ගැනීමට එම කව ම ප‍්‍රමාණවත්ය. ළමයින් සඳහා විවිධ මට්ටමේ කව් රැසක් ආනන්ද රාජකරුණා විසින් අපේ ළමා පරපුරට දායාද කර තිබේ.

කි‍්‍ර.ව. 1885 ජනවාරි 7 වැනිදා ගාල්ලේ මහදම්පාගම රාල්ලාගේ වත්තේ දී උපන් ඔහුගේ උපත් නාමය ‘ඇල්ෆ්‍රෙඞ්’ වුවද ඔහු පසු කලෙක ඒ වෙනුවට ‘ආනන්ද’ නාමය යොදා ගත්තේය. ගම්මුලාදෑනි මෙන්ම ගමේ වෙද මහතා ද වූ විජය වර්ණකුල චාර්ල්ස් තාබ්‍රෙව් රාජකරුණා ඔහුගේ පියාය. මව හෙලේනා ද ලිවේරා කරුණාරත්න වූවාය. ඔහු පස් හැවිරිදි කල මුලින්ම සිංහල උගන්වන ලද්දේ මවගේ සොහොයුරා වූ ජෝශප් ද ලිවේරා කරුණාරත්න විසිනි.

අකුරල සිංහල පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු මාදම්පේ මිෂනාරි පාසලින් ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබීය. ඉන්පසු පූජ්‍ය මාදම්පේ ධම්මතිලක හිමියන් වෙතින් සිංහල බස වැඩිදුර උගත්තේය. සිරි සුමන වංශාලංකාර පේමරතන හිමියන්ගෙන් පාලි හා සංස්කෘත භාෂාවන් ද උගත්තේය. තරුණ කාලයේ දී ම ඔහු පැරණි කවි පොත් සියල්ලම කට පාඩමෙන් දත්තේය. පියාගේත් මාමාගේත් සිංහල පොත් පරිහරණය කළේය.

මුලින් ගුරු වෘත්තියෙන් ජීවිතය ඇරඹූ ඔහු පසුව පත‍්‍රකලාවේදියකු වශයෙන් කටයුතු කළේය. ළමයින් වෙනුවෙන් ඔහු කළ නිර්මාණ රැසකි. ඒ අතරින් පසුව ආ කවීන් බොහොමයකට ම ඔවුන්ගේ නිර්මාණ කරන්නට ආභාසය සපයා ඇති බව එම නිර්මාණ විමසා බැලීමේදී පෙනේ. සොබා දහම දෙස ළමා නෙතකින් බලන්නට බොහෝ කවීන් පෙලඹවූ මේ කවි සිඟිත්ත ඊට හොඳ නිදසුනකි.

මල

ගසෙක වැලෙක
හැටියට මය
මලක නටුව
අපූරුවක්

නටු අග දිග
ඇදී තිබෙන
පෙති වටය ද
අපූරුවක්

මැද කෙමියයි
රේණු ගොඩයි
සිනිඳු ගතිය
අපූරුවක්

මී මැස්සකු
මල නොතළා
රොන් ගෙන යන
අපූරුවක්

සරල සුමට වදන් යොදා ගෙන මෙම කව් ඔහු විසින් එකල පහළ බාලාංශය (වර්තමානයේ පළමු වන ශ්‍රේණිය) සඳහා ලියන ලද ‘ළදරු කව් මී’ පෙළ පොතට ඇතුළත් කළ එකකි. කුඩා ළමයකුගේ සිතෙහි පරිසරයට ආදරයක් ඇති කරන, පරිසරය තුළ සිදුවන කි‍්‍රයාකාරම් ඔස්සේ රස වින්දනයක් ඇති කිරීමට මේ පුංචි කව් පෙළෙන් කවියා සමත් වී ආකාරය අප තුළ ද ‘අපූරුවක්’ ඇති කරයි.

ඒ හැරෙන්නට අදත් ළමයින් හොඳින් දන්නා ‘ටිකිරි ටිකිරි ලියා’, ‘අම්බලමේ පිනා පිනා’ වැනි කිසිදාක නොමියෙන සුප‍්‍රකට ළමා කවි ද ඔහුගේ නිර්මාණයන්ය. ඒවායේ නිර්මාණකරුගේ නම පරම්පරාවෙන් පරම්පරාවට නොයතත්, ඔහුගේ මේ අපූරු කවි නම් අප අතින් පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන බව නම් කිව යුතුය.

කවිය ළමයින්ට කැප කළ කවීන් අතර පුරෝගාමියකු වූ ඔහු 1934 දී පබැදු ‘ජාතික දරු නැළවිල්ල’ නම් කෘතියට කවි 50ක් ඇතුළත් විය. ළමයා තුළ දේශානුරාගය ඇති කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු තොටිල්ලේ සිට එම කාරිය කිරීම සඳහා මෙම ‘ජාතික දරු නැළැවිල්ල’ බිහි කළේ එවැන්නක් නොමැති වකවානුවක් තුළය. මෙය නොමිලයේ බෙදා දුන්නේ කාහටත් ඉන් ඵල ලැබිය හැකි වන පරිදිය. එහි එන එක් කවියක් මෙසේය:

    ජාතික ගති පණ  පොවන්ට
    නව ජීවන රස      කවන්ට
    සිංහල නම      බබළවන්ට
    සිය රට දැය      පුබුදුවන්ට

දරුවන් වෙනුවෙන් මෙවැනි දේශානුරාගී කව් ලියන්නට, ජාතිකත්වය පිළිබඳව දරුවන් තුළ ඇති කරන්නට, ආනන්ද රාජකරුණා අනුව යමින් සිය නිර්මාණ බිහි කළ කවීන් අතර ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන්ට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ළමා සිත් තුළ දේශානුරාගය වඩවන්නට උන්වහන්සේ නිර්මාණය කළ එම කව් පෙළ හඳුන්වා ඇත්තේ ”දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල” යනුවෙනි. එහි එන කවි දෙකකි, මේ සමග පළ වෙන්නේ.

දොයි දොයි දොයි දොයිය බබෝ
බයි බයි බයි බයිය බයෝ

මුනි සිරිපා       සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ      එන්නේ
මගේ පුතා        නිදියන්නේ

නිදහස මහ මුහුදක්       වේ
එහි උල්පත පුත නුඹ     වේ
ඒ බව සිහි කොට මෙලොවේ
යුතුකම ඉටු කළ      යුතුවේ

ඇස්. මහින්ද හිමියන්ගේ ඒ කව් පෙළ ජාතික හැඟීමෙන් යුතු පරම්පරාවක් බිහි කිරීමට ආනන්ද රාජකරුණා සූරීන් කළ මෙහෙයට එක් උදාරණයක් පමණය. 

අවසානයේ දී එතුමා 1955 ජනවාරි 5 වැනිදා ආනන්ද ධම්ම නමින් පැවිදි බිමට ඇතුළත් විය. 1957 අගෝස්තු 27 වැනිදා මෙලොවින් සමුගත්තේය. එතුමා සිහි කිරීමට 1971 ඔක්තෝබර් 29 වැනිදා තැපැල් මුද්දරයක් ද නිකුත් කරනු ලැබීය.

********************************************************************************************************

සිංහල නවකතාවට පාර කැපූ ඩබ්ලිව්. ඒ. සිල්වා

පල්ලියේ මහත්තයාගේ තෝම්බුවේ හෙවත් රෙජිස්ටාර් රාලහාමිගේ උප්පැ‍න්න රෙජිස්ටර්යේ 1890 ජනවාරි 16 වැනිදා උපන් ළදරුවකුගේ වතගොත ලියැවී ඇත්තේ මෙසේ ය: දරුවාගේ නම: ඒබ්‍රහම්. පියාගේ නම: වැල්ලවත්ත ආරච්චිගේ හර්මානිස් සිල්වා. මවගේ නම: මෙරෝ නෝනා. ළදරුවාගේ සම්පූර්ණ නම: වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා. ඔහු අප හැම දන්නේ ඩබ්ලියු. ඒ. සිල්වා යන නමිනි. මා මෙසේ කතා කළේ හෙළයේ නවකතා සක්විති, සාහිත්‍ය කීර්ති ඩබ්ලියු. ඒ. සිල්වා නම් මහා සාහිත්‍යධරයා ගැනයි.

ඩබ්ලියු. ඒ. සිල්වා

“ඩබ්ලියු. ඒ. සිල්වා මහත්තයට වගේ නවකතා ලියන්න මට පුළුවන්කම තියෙනවා නම් මේ අගමැතිකමෙන් අස්වෙලා නවකතා ලියන්න පටන් ගන්නවා. මට විවේකයක් ලැබුණු හැටියේ මම බලාපොරොත්තු වෙනවා සිල්වා මහත්තයාගෙ නවකතා ඉංග්‍රීසියට පෙරළන්න.” මෙහෙම කිව්වෙ බණ්ඩාරනායක අගමැතිතුමා ය. ඒ බලාපොරොත්තුව ඉටු කර ගන්න ලැබුණේ නැත. මන්ද තවත් වසර දෙකකින් කුරිරු ඝාතකයකු එතුමාගේ ජීවිතය උදුරා ගත් නිසාය. 

1957 මැයි 3 වැනිදා ඩබ්ලියු. ඒ. සිල්වා 67 වැනි වියේ දී අභාවප්‍රාප්ත වූ පසුව පැවති අවමඟුල් උළෙලේ දී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ව්‍යක්ත ස්වරයෙන් කියවූ වචන කොළඹ කනත්ත සුසාන භූමියට එක්රැස්වූ දහස් සංඛ්‍යාත මහා ජනකායක් විසින් අසා සිටි බව කේ.එච්.එම්. ධර්ම‍සේකර ලියූ ‘කතා රජ කතාව’ නම් එතුමාගේ චරිතාපදාන කෘතියෙහි සඳහන්ව ඇත්තේ ය. 

වසර 1906 දී, එනම් 16 හැවිරිදි වියේ දී, ඔහු නවකතාවක් ලියන්න පටන් ගත්තේ ය. ඒ වන විට පියදාස සිරිසේනයන් ඉදිරිපත් කළ නිර්මාණ කතා වෙනුවෙන් සිංහල පාඨක පිරිසක් නිර්මාණය වී තිබුණේ ය. ඒ පාඨක පිරිස ඉලක්ක කර ගෙන නවකතාවක් ලියන්නට ඔහු කල්පනා කළේ ය. ඒ අනුව ඔහු තමාගේ ම වස්තු බීජයක් මත ඉංග්‍රීසි ශෛලියේ අලුත් නවකතාවක් සිංහලෙන් ලියන්නට අදහස් කළේ ය. 1907 දී ‘ශ්‍රියාලතා’ නමින් යුත් ඒ නවකතාව තමාගේ වියදමින් මුද්‍රණය කළ ඔහු පොත් මිටි කරගහගෙන සාප්පුවලට ගියේ ය. එකල ජේ.ඩී. ප්‍රනාන්දු ඇතුළු ප්‍රකට පොත් සාප්පුකාරයන් ඒ පොත විකිණීමට බාර ගත්තේ නැත. භාර ගත්තේ‍ කේ. අයි. පෙරේරා පොත් කඩය පමණකි. ඊළඟට ඔහු කළේ කොළඹ කෙළින් වීදියේත්, නොරිස් වීදියේත් ඇති සුරුට්ටු කඩවලට, විකුණා මුදල් දීමේ පොරොන්දුව පිට පොත් දීම ය. ප්‍රසිද්ධ පඬිවරුන් හා පරිවර්තකයන් කීප දෙනකුට, මෙන්ම ‘දිනමිණ’ හා ‘ලක්මිණිපහණ’ යන පුවත්පත්වලටත් තැපැල් කළේ ය. 

සතියක් ඇතුළත වාසලමුදලි ඩබ්ලිව්. ඇෆ්. ගුණවර්ධන මහතාට යැවූ පොතට ප්‍රතිචාරයක් ලැබුණි. පොතේ භාෂාව අනර්ඝ බවත් ලියා ඇති ශෛලිය ආකර්ෂණීය බවත් කියා දිගටම පොත් ලිවීම සිදු කරන්නැයි ඔහුට ප්‍රසංශාත්මක ඇරයුමක් කළ ගුණවර්ධනයන් ඒ පොතෙහි නම ‘ශ්‍රියාලතා’ කියා දැමීම අසුබ ගණයක් වූ තගණයෙන් යොදා තිබීම නිසා ප්‍රතිඵල ශූන්‍ය වන බවත් මතු මුද්‍රණවල දී එහි නම සුබ ගණයක් වූ නගණයෙන් ‘සිරියලතා’ කියා වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඩබ්ලියු. ඒ. සිල්වා ඊළඟ මුද්‍රණය එනතෙක් බලා සිටියේ නැත. අතේ තිබූ පොත්වල කවර ගලවා ‘සිරියලතා’ කියා නව කවරයක් සකස් කර නිකුත් කළේ ය. ඒ අතර ‘දිනමිණ’ හා ‘ලක්මිණිපහණ’ පුවත්පත්වල පොතේ උසස් භාවය වර්ණනා කර තිබුණි. ඒ පුවත්පත්වල විවේචන පළ වීම ‘සිරියලතා’ අළෙවියට ලොකු රුකුලක් විය. එදා සිරියලතා කෘතියෙහි ගණ දෝෂය නිවැරදි කර පළ කළ ද පසුව ඔහු ලියූ පොත්වලට නම් තැබීමේ දී ගණ පිළිබඳ සැලකිල්ලක් දැක් වූ බව නොපෙනේ. දැන් ගොඩගේ මුද්‍රණය කර ඇති ‘සිරියාලතා’ නවකතාවේ නව මුද්‍රණයේ දී යළිත් වරක් වෙනත් ගණ දෝෂයක් ඇති කර තිබේ. එය ‘සිරියාලතා’ කියා නම වෙනස් කර යෙදීමෙන් වායු ගණයට ගොදුරු කර ඇත. 

සිරියලතා’ නවකතාවෙන් පසු ඔහු ඊළඟට ලියූවේ ‘ලක්ෂ්මී’ ය. ඉංග්‍රීසි ජාතික ලේඛක සර් එච්. රයිඩර් හැගාඩ්‍ගේ ‘ෂී’ නමැති නවකතාවේ ඡායානුවාදයක් ලෙස සැලකෙන ‘ලක්ෂ්මී’ ස්වතන්ත්‍ර නවකතාවක් තරමටම සිත් ගන්නාසුලු ආකාරයට ප්‍රශස්තව ලියූවක් සේ විචාරකයෝ හඳුන්වති. 

ඩබ්ලියු. ඒ. සිල්වා ‘කැලෑහඳ’ නවකතාව ලිව්වේ බණ්ඩාරවෙල තිබුණු ඔහුට අයත් කැලිඩෝනියා නම් තේ වත්තේ බංගලාවේ නැවතී ගෙන ය. සිංහල සිනමාවට නැඟුණු ප්‍රථම නවකතාව ‘කැලෑහඳ’ ය. 

ඩබ්ලියු. ඒ. සිල්වා පදනමේ භාෂා හා සාහිත්‍ය කෞතුකාගාරය

ඩබ්ලියු. ඒ. සිල්වා ජීවත් වූ සිල්වර්මියර් නිවස අද භාෂා සාහිත්‍ය කෞතුකාගාරයක් බවට පත් කර ඇත. අද ඔහු පරිහරණය කළ උපකරණ, මෙවලම්, අත්පිටපත් ආදිය ප්‍රදර්ශනය සඳහා තබා ඇත. වතවන සිරිසුමන හිමියන් අතට පත් සියලුම අත්පිටපත් ප්‍රදර්ශනය සඳහා නැත. ඒ හිමියන් පවසන විදියට විශේෂ සංරක්ෂණ ක්‍රම යොදා ආරක්ෂා නොකර ප්‍රදර්ශනය කළ නොහැකි තරමට අබලන්ව ඇත. ප්‍රදර්ශනයට සුදුසු තත්වයේ ඒවා එහි යන අයට දැක බලා ගත හැකිය. 

ඩබ්ලියු. ඒ. සිල්වා විසින් ඒ ඒ නවකතා ලියූ හැටි විස්තර කරන ඔහුගේ අත් අකුරින් ම ලියූ ලේඛන ගණනාවක් ම මේ ප්‍රදර්ශනාගාරයේ දී දැක ගත හැකිය. ඒවා අතර ‘මා සිරියලතා ලියූ හැටි, මා දෙයියන්නෙ රටේ ලියූ හැටි, මා හිඟන කොල්ලා ලියූ හැටි,’ ආදි වශයෙන් ඒ ඒ පොත් ලියූ හැටි ඔහු‍ගේම අත් අකුරින් ලියූ ලේඛන ඇතත් ඒවා පෙරළා කියවා බැලිය නො හැකි තරමට අබලන් ය. සිය නිර්මාණකරණය ගැන ඔහු ලියූ මේ රචනාවල දිගුවක් ‘මා හිඟන කොල්ලා ලියූ හැටි’ කියා ‘සිළුමිණ’ පත්‍රයේ එකල පළ විය. එය පසුව ධර්මසේකර විසින් එය ඔහුගේ ‘කතා රජ කතාව’ට එක්කර ගෙන ඇත. 

“මම හිඟන කොල්ලා මගින් එකල පැවති විවිධාකාර චරිත රාශියක් නිරූපණය කළෙමි. ඒ චරිත අතර ඉතා උසස් පෙළේ අහංකාර සිංහලයන්මෙන්ම දුප්පත් දාමරික සිංහලයෝ ද මහජන මතයක් ඇති කිරීමට වෑයම් කරමින් රෑ දවල් දෙකේ වෙහෙසුණ දෑ හිතැතියන් මෙන්ම නොයෙක් කවටකමින් ලොව රවටමින්, හිඟාකෑම් ආදිය කළ හිඟන්නෝ ද වූහ. ඔවුහූ කවුරුත් සිත්පිත් ඇතිව ක්‍රියා කරන්නෝය. අවස්ථානුකූලව දුසිරිතෙහි මෙන්ම සුචරිතයෙහිද හැසිරෙන්නෝය. එහෙත් හිඟන කොල්ලා ප්‍රතිරූප සම්ප්‍රදායට අයිති නව ප්‍රබන්ධයක් නොවේ.” සිළුමිණ පත්‍රයේ පළ වූ ඒ විස්තරය ‘කතා රජ කතාව’ට ඇතුළත් කර තිබේ. 

ඩබ්ලියු ඒ. සිල්වා උපන්දා සිට ජීවත් වූ සිල්වර්මියර් නිවසට සහෝදර සහෝදරයන් සිවු දෙනෙකු උරුමකම් කීව ද එහි උරුමයට අවසානයේ කිසිවකුත් නැතිව වැල්වත්තේ සද්ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති වතවන සිරිසුමන හිමියන්ගේ බාරයට පත් වීමද හරි අපුරු සිදුවීමකි. අද උන්වහන්සේ ඩබ්ලියු ඒ. සිල්වා පදනමේ සභාපති මෙන් ම අධ්‍යක්ෂ ද වී විශාල වැඩ කොටසකට අත ගසා ඇත. මේ වගකීම උන්වහන්සේ වෙත පැවරීම සිදු වූයේ අහම්බෙනි. 

ඩබ්ලියු. ඒ. සිල්වා පදනමේ භාෂා හා සාහිත්‍ය කෞතුකාගාරය විවෘත කළ දා

එදා වැල්ලවත්තේ අංක 126 දරණ නිවසට සිරිසුමන හිමියන් ගොඩවැදුණේ රෝගීව සිටි ඩබ්ලියු. ඒ. සිල්වා‍ගේ මල්ලීගේ පුතා වූ සෙනරත් නන්දදේවට පිරිත් ටිකක් දේශනා කොට සෙත් පතන්නටය. අවිවාහකයකු වූ ඩබ්ලියු. ඒ. සිල්වා සිය දේපළ සියල්ල උරුම කර දී තිබුණේ නන්දදේවට ය. සිවිල් නිලධාරියකු වූ ඔහු දිසාපතිවරයකු හා තානාපතිවරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලද අයෙකි. හාමුදුරුවන්ගේ ඇසුර සෙනරත් නන්දදේවගේ සිත් ගත්තේ ය. දිනක් ඒ නිවසට ගොඩ වැදුණු උන්වහන්සේට අසන්නට ලැබුණේ විස්මය දනවන පුවතකි. 

“මම මේ සියලු දේවල් ඔබ වහන්සේගේ නමට ලියන්න තීරණය කළා.” එක්වරම සෙනරත් නන්දදේව කීවේය. උන්වහන්සේට එය අදහන්න බැරි තරම් පුවතක් විය. “එතුමාගේ නංගී වූ ඉන්ද්‍රාණි සිල්වා මහත්මියත් ඊට එකඟවෙලා තියෙනවා.” උන්වහන්සේ පැවසූහ. 

“සෙනරත් මහත්තයා වැඩි හරියක් හිටියෙ පිටරට. ඒ කාලේ මේ ගේ කුලියට දීලා තිබුණා, ගෙදර ති‍බුණු බඩු මුට්ටු එක්ක. ඔය හිටපු එක කට්ටියක් මේක අයිති කර ගන්නත් හදලා තියෙනවා. ඔය කාලේ ගෙදර තිබුණු සමහර දේවල් නැතිවෙලත් තියෙනවා. නමුත් ඒ කිසි කෙනෙක් පොත්පත්වලට අත තිබ්බෙ නැහැ. සමහර විට ඔවුන් පොත්පත් නොකියවන අය වෙන්න ඇති. නැති නම් මේ කඩදාසි ගොඩවල් කසළ ගොඩවල් වගේ පේන්න ඇති. කසළ ‍ගෙ‍ාඩවල් කියල හිතල ගිනි තිබ්බෙ නැති එකයි, පුදුමයක්. මට දැනෙන විදිහට මේ නිවසේ තිබ්බ වෙනත් දේවල් නෙමෙයි, මේ පොතපත ලියකියවිලි තමයි මැණික් ගල් ටික.” උන්වහන්සේ තවදුරටත් පැවසූහ. ‍

ඩබ්ලියු. ඒ. සිල්වාගේ නිර්මාණ කීපයක්.

වතවන සිරිසුමන හිමියන් ඩබ්ලිව්. ඒ. සිල්වා පදනම පිහිටුවා ගෙන ඒ මගින් සිල්වර්මියර් නිවස කෞතුකාගාරයක් කර ‘ඩබ්ලිව්. ඒ. සිල්වා භාෂා සාහිත්‍ය කෞතුකාගාරය’ ලෙස නම් කොට සාහිත්‍යලෝලීන්ට රසාස්වාදනයට විවර කර ඇත. එහි දී ඔබට ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නිර්මාණවල අත් පිටපත්, මුල් මුද්‍රණවල පිටපත්, නව මුද්‍රණවල පිටපත් දැක බලා ගත හැකිය. 

ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ඒ නිර්මාණ අතර, සිරියලතා (1907), ලක්ෂ්මී (1922), හිඟන කොල්ලා (1923), පාසල් ගුරුවරී (1924), දෙයියන්නේ රටේ (1924), කැලෑහඳ (1933), දෛවයෝගය (1936), සුනේත්‍රා හෙවත් අවිචාර සමය (1936), විජයබාකොල්ලය (1938), රදල පිළිරුව, හඳපාන, ජූලි හත, රිදී හවඩිය (මුලින් පළ වූයේ ‘නවයුගය’ සඟරාවේ කොටස් වශයෙනි.), ලේන්සුව, සක්විති රජ, අමෘත හස්තය, දළකුමාරි, අරාබි නිසොල්ලාසය (පරිවර්තන), මායා යෝගය (නාට්‍ය), වාල්මිකීගේ රාමායනය (පරිවරිතන) ආදිය වෙයි. 

ඒ හැරෙන්නට ඔහු ‘සිරිසර’ (1919-1923), ‘නුවණ’ (1940-1946) නමින් සඟරා දෙකක් ද සම්පාදනය කළේ ය. 1933 දී ‘ලංකා සමය’ නමින් සතිපතා පුවත්පතක් ද සංස්කරණය කළේ ය. 

ප්‍රවීණ පුවත්පත් කලාවේදී පර්සි ජයමාන්න මහතාගේ මල් කැකුළු බ්ලොග් අඩවියෙන්

http://www.malkakulu.com/ අවසර ඇතිව උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *