
රමණයට දින කිහිපයක් පමණක් ඇති ඈ බිත්තර දමා පසු මියෙන්නී
ඇයට විනාඩියක් ඔබටත් මටත් පැයක්
ඇය හිරු එළිය ඇති අහසේ උයන් බිම හරහා පියාසර කරන්නී
ඇගේ බිඳෙනසුලු පියාපත් මත දුඹුරු පැහැ ලප ඇති සුදු සමනළයෙක්
කුරුල්ලෙකුට මෙන් ඇයට ගායනා කිරීමට ගීතයක් නැති එනමුත්
සොබා දහමේ ආශ්චර්යයන් පුදුමමයි
ලාම්පුවක් ළඟ වැනි උණුසුම් වූ දවසක ලස්සන පියාඹන කෘමියෙක්
තවත් දින කිහිපයක් ඇය සොබා දහම සමඟ වැතිර සිටිනු ඇත
එක දිනක් තුල ඇය සිය දිවියේ උච්චයට පැමිණෙනු ඇත
ඒ වගේ දින කිහිපයක් ජීවත් වුනාට පෙනෙන්නේ කාලය මද බවක්
නිහඬ පියාපත් මත ඇය උණුසුම් ගිම්හාන සුළඟ තුළ උයන තුළ නටන්නිය
එතරම් මෘදු හා බිඳෙන සුළු පියකරු දෙයක් මෑත වැසි මහා වැස්සෙන්
උයන් බිම හරිතවත් වී සශ්රීක වී ඇය පිපෙන ගස් හා මල් වටා නටන්නී

ෆ්රැන්සිස් ඩගන්

පරිවර්තනය – අජිත් ධර්මකීර්ති
https://kolambagamaya.blogspot.com
මා අමතක කරනු මැන

ඔබේ ඔය කඳුළැල් පිස දමා
අමතක කරනු මැන මා සදහටම
අඳුරෙහි පරව යන කුසුමන්
මතකයෙහි රඳවනු කිම්ද ?
පරව ගිය කුසුම් ගෙන
ඔබේ පැස පුරවනු මන්ද ?
තැලී පොඩිවුණු මෙ මල්දම
කවුරු වෙත ඔබ පුද කරන්නෙද ?
රෑ දුටු මිහිරි සිහිනවල මතකය
අමතක කරනු මැන අවදි වූ කල
රෑ කල බියජනක අවතාර
අමතක කරනු මැන හිරු නැගෙන විට
මිදුලට උඩින් රෑ කල
පාවුණු වළාකුළ
සොයනු කිම උදෑසන
ඈත ක්ෂිතිජය ඉම
ඔබ සුවසේ නිදන කල
රෑ පුරා ඔහු වැළපුණිය
නැවත ඔබ අවදි වූ විට
සෙවුවෙහිය ඔහු නිෂ්ඵලවම
ඈත ජන සුන් කතර
වළාකුළු මෝදු වන කල
කවර නම් උඩඟු සිතකින්
අග්නියෙන් පවස නිවනුද
කිවිඳ ඔබ ?

කාසි නස්රුල් ඉස්ලාම්
(1899-1976)
සයිඩ් මුජිබුල් හක් ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි.
පරිවර්තනය නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් .
http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.


